බුදු රුවන

බුදු රුවන

සද්ධම්මෝ ලෝකනාථෙන
අක්ඛාතෝ අමතං දදෝ
දුජ්ජනේ සුජනේ කුබ්බං
චිරං ලෝකේ පවත්තතු

ලෝකයේ වාසය කරන්නා වූ මනුෂ්‍යයන් සම්බන්ධයෙන් නුවණැතියන් ගේ කල්පනාවට භාජන විය යුතු ප‍්‍රධාන කරුණු දෙකක් වේ. ඉන් පළමු වැන්න දුක් කරදර වලින් මිදී මේ ලොව සැපසේ ජීවත් වීම ය. දෙවැන්න මරණින් මතු අපාගත නො වී සුගතියෙහි ඉපිද සුවසේ කල් යැවීම ය. මේ කරුණු දෙක ඉබේ ම සිදු වන දේ නො වන බැවින් ඒවාට යම් කිසි පිහිටක් සොයා ගත යුතුය. මනුෂ්‍යයෝ ගොවිකම් අත්කම් වෙළෙඳ්‍රම් ආදිය මෙලොව සැපයට පිහිට කර ගනිති. තම තමා විසින් සොයා ගන්නා ලද ඒ පිහිටවල හොඳ නරක දෙකේ සැටියට ඔවුන්ට නොයෙක් තරාතිරම්වල සැප දුක් ලැබේ.

මනුෂ්‍යයෝ පරලොව යහපත – පරලොව සැපය සඳහා ආගම් පිහිට කර ගනිති. මෙලොවට ද ආගම් වල පිහිට ඇතත් ඇත්තේ ස්වල්ප වශයෙනි. මනුෂ්‍යයකු මේ ලොව ජීවත් වන කාලය අවුරුදු සියයකට අඩු ස්වල්ප කාලයෙකි. ඉන් ඔබ්බෙහි ඇති පරලොව පිළිබඳ වූ කාලය කල්ප ගණනින් ද ප‍්‍රමාණ කළ නොහෙන දීර්ඝ කාලයෙකි. එ බැවින් නුවණැත්තෝ මෙලොව ගැන කල්පනා කරනවාට වඩා පරලොව ගැන කල්පනා කෙරෙති. මෙලොව කොපමණ ලාභයක් ලැබෙන සැපයක් ලැබෙන කරුණක් වුවත් එය මරණින් මතු දුර්ගතියෙහි යෑමට කරුණක් වේ නම් එබඳු වැඩවලින් වැළකෙති. ඔවුහු ජීවිතාරක්ෂාව නිසා ද පාපයක් නො කරති. එහෙයින් -

‘ජීවිතක්‍ද්ච අධම්මේන – ධම්මේන මරණඤ්ච යං
මරණං ධම්මිකං සෙය්‍යෝ - යං චෙ ජීවේ අධම්මිකං’

යනු වදාරන ලදී. ‘අධර්මයෙන් ජීවත්වීම ය. ධර්මයෙන් මරණය ය යන දෙකින් ධර්මයෙන් වන මරණය ම උතුම්ය’ යනු එහි අදහසයි.

මෙසේ නුවණැතියන් විසින් ඉතා මහත් කොට සලකන ලද පරලොව සැපය ලබනු කැමැතියන් විසින් ඒ සඳහා පිහිට කර ගැනීමට සත්‍යාගමක් සොයා ගත යුතුය. ලෝකයෙහි එකිනෙකට වෙනස් බොහෝ ආගම් ඇති බැවින් ආගමක් තෝරා ගැනීම පරෙස්සමින් කළ යුත්තකි. සෑම ආගමකට ම මනුෂ්‍ය වූ හෝ දෙවි වූ හෝ ප‍්‍රධාන ශාස්තෘවරයෙක් ඇත්තේය. එතුමා ගේ ධර්මයක් ද ඇත්තේ ය.

එතුමාගේ ශ‍්‍රාවක පිරිසක් ද වෙති. යම් ආගමක ප‍්‍රධාන ශාස්තෘවරයා යහපත් වේ නම් ධර්මය යහපත් වේ නම් ශ‍්‍රාවක සමූහය යහපත් වේ නම් ඒ ආගම පරලොවට පිහිට කර ගත හැකි යහපත් ආගම ය. ලෝකයෙහි ඇත්තා වූ ආගම් අතුරෙන් බුද්ධාගම යහපත් ශාස්තෘවරයෙක් ඇත්තා වූ ද, යහපත් ධර්මයක් ඇත්තා වූ ද, යහපත් ශ‍්‍රාවක පිරිසක් ඇත්තා වූ ද ආගම ය. බුද්ධාගම පිළිබඳ වූ ඒ ප‍්‍රධානාංග තුනට රත්නත‍්‍රය ය යි කියනු ලැබේ. තෙරුවනය යනු ද එයට නමකි.

රත්න යනු සත්ත්වයන් විසින් බොහෝ උසස් කොට සලකන්නා වූ ද, බොහෝ ප‍්‍රයෝජනවත් වූ ද, එ හෙයින් ම බොහෝ වටිනාකම ඇත්තා වූ ද, දුර්ලභ වූ ද, කලාතුරකින් ම දක්නට ලැබෙන්නා වු ද, උසස් පුද්ගලයන් පරිභෝග කරන්නා වූ ද, රන් රිදී මුතු මැණික් ආදියට ව්‍යවහාර කරන නමෙකි. තථාගතයන් වහන්සේ ය, උන් වහන්සේගේ ධර්මය ය, උන් වහන්සේගේ ශ‍්‍රාවක සමූහය ය යන මේ වස්තු තුනට වඩා සත්ත්වයනට පිහිට වන්නා වූ ප‍්‍රයෝජනවත් වූ වස්තුවක් හෝ පුද්ගලයෙක් හෝ ලෝකයේ කොතැනක වත් නැත්තේ ය. එ බැවින් ඒ බුද්ධාදි උත්තම වස්තු තුනට රත්න ය යි කීම අතිශයින්ම යුක්ති යුක්ත ය.

බුද්ධාගම්කාරයන් විසින් ඒ රත්නත‍්‍රය මනා කොට නොහැඳින ගතහොත් තමන් අදහන ආගම සත්‍ය වශයෙන් ම පරලොවට පිහිට කර ගත හැකි ආගමක් ද යන බව ඔවුනට නොදත හැකි ය. වන්දනාමානාදි ඔවුන් කරන පින්කම් ද මහත් ඵල වන සැටියට නො කළ හැකි ය. රත්නත‍්‍රය හැඳින ගැනීම බුද්ධාගම ඇදහීමේ අත්තිවාරම ය. රත්නත‍්‍රය නො හඳුනන තැනැත්තා කරන පින්කම් අත්තිවාරමක් නැති ව තැනූ ගොඩනැගිල්ලක් සේ දුබල ය. එබැවින් පරලොව සැප පතන හැම දෙනා විසින් ම රත්නත‍්‍රය හැඳින ගත යුතු ය.

බුද්ධ රත්නය

ඉතා දීර්ඝ කාලයක් මුළුල්ලෙහි රැස් කළ පින් බෙලෙන් සියලු පව් නසා සියල්ල දැන වදාළා වූ කපක් මුළුල්ලෙහි කීව ද ඉවර නො වන ගුණ ඇත්තා වූ මහෝත්තමයන් වහන්සේ බුද්ධ නම් වන සේක.

ලෝකයෙහි ඇත්තා වූ පදවි අතුරෙන් සියල්ලට ම උසස් පදවිය බුද්ධ පදවිය ය. එය ලැබීමට යටත් පිරිසෙයින් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි ධන පරිත්‍යාග, පුත‍්‍ර පරිත්‍යාග, භාය¸ා පරිත්‍යාග, අංග පරිත්‍යාග, ජීවිත පරිත්‍යාග යන මේවා කරමින් පැරුම් පිරිය යුතුය. එය ඉතා උදාර අදහස් ඇති මහා වීරයකුට මිස සැමට ම කළ හැකි වැඩක් නො වන බැවින් ලෝකයෙහි බුදු කෙනකුන් පහළ වන්නේ ඉතා දීර්ඝ කාලයකිනි.

බුදුරජාණන් වහන්සේ ආශ්චය¸ පුද්ගලයෙකි. උන් වහන්සේ ගේ ගුණ තබා ශරීරය ද ප‍්‍රමාණ කළ නොහේ. කොපමණ උස කෙනකුට වුව ද උන් වහන්සේගේ හිස් මුදුන නො බැලිය හැකි ය.

ලෝකයෙහි සැමට ම වඩා ශෝභන තැනැත්තා ද උන් වහන්සේ ම ය. මිනිස් ලොව තබා දෙව්ලොව බඹලොව ද රූප ශෝභාවෙන් උන් වහන්සේට වැඩි කෙනකු තමා සමකෙනෙක් ද නැත. උන් වහන්සේගේ ශරීරය රන්වන් ය. ඔප නැගූ රන් කඳක් සේ දිලිසෙන්නේ ය. එයින් නිල් කහ රතු සුදු රැස් විහිදෙන්නේ ය.

මදට පැහැය ඇත්තා වූ ද කලවම් පැහැය ඇත්තා වූ ද රැස් විහිදෙන්නේ ය.

සියලු කෙලෙසුන් නැසූ බැවින් උන් වහන්සේ ගේ සිත අති පරිශුද්ධ ය. කරුණාවෙන් තෙත් ය. තමන් වහන්සේගේ පුත‍්‍ර වූ රහල් කුමරුවන් කෙරෙහි මෙන් ම දේවදත්තාදී සතුරන් කෙරෙහි ද උන් වහන්සේ ගේ් මහා කරණාව නොවෙනස් ව පවත්නේය. කිසි වස්තුවක් කෙරෙහි හා කිසි ම පුද්ගලයකු කෙරෙහි ද උන් වහන්සේ ගේ ඇල්මක් නැත. දේවදත්තා දී සතුරන් කෙරෙහි ද උන් වහන්සේ ගේ වෛරයක් නැත. උන් වහන්සේ සතුරු මිතුරු සැම දෙනාට ම යහපතක් ම කරන සේක.

උන් වහන්සේ අතීතානාගත වර්තමාන යන කාලත‍්‍රයට අයත් වූ ද කාලමුක්ත වූ ද සියල්ල දත් සේක. උන් වහන්සේගේ දිවැසට කොතරම් දුර තිබෙන දෙයක් වුව ද කොතරම් සියුම් දෙයක් වුව ද පෙනෙන්නේ ය. උන් වහන්සේගේ දිවකනට ඉතා දුර ශබ්ද හා පියවි කනට නො ඇසෙන ශබ්ද ද මැනවින් ඇසෙන්නේය. උන් වහන්සේට අනුන්ගේ සිත් අනුන්ගේ අදහස් අනුන්ගේ ගති ගුණ පෙනෙන්නේ ය. මැරෙන්නන් උපදින තැන් පෙනෙන්නේ ය. ඒ ඒ ඉපදීම් වලට හේතු වන පින් පව් පෙනෙන්නේ ය.

උන් වහන්සේගේ සෘද්ධිය ඉතා ආශ්චය¸වත්ය. උන් වහන්සේට දිය ගිනි සුළං ආදී ඕනෑ ම දෙයක් සිතින් ම මැවිය හැකි ය. කැමැති වෙසක් මවා ගත හැකි ය. පොළොවෙහි මෙන් ම අහස්හි ද සියලු ඉරියව් පැවැත්විය හැකි ය. ජලයෙහි ද පොළොවෙහි මෙන් සියලු ඉරියව් පැවැත්විය හැකි ය. වක් කළ අතක් දිගු කරන්නාක් මෙන් සැණෙකින් ලෝකයේ ඕනෑම තැනකට යා හැකි ය. නො පෙනී ද විසිය හැකි ය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා