අන්තර් භවය

අන්තර් භවය

මේ ලිපියේ මුල් කොටස පසුගිය සතියේ පළ විය

නා උයනේ අරියධම්ම හිමියන් පෙළ දහමෙහි ඇතුළත් බුද්ධ දේශිත ධර්ම විනය අටුවා ටීකා සහිතව මැනවින් හදාරා දිගු කලක් බවුන් වැඩීමෙන් ලද ආධ්‍යාත්මික අත්දැකීම් ද ඇති මහ තෙර නමකි. කර්මය හා කර්ම විපාක, අපාය, දෙව්ලොව හා බඹලොව, මරණය හා පුනර්භවය, අන්තරාභවය හා මනෝකාය ආදී සංකල්ප පිළිබඳ උන්වහන්සේ පැවැසූ අදහස් “නොපෙනෙන ලොව සැබෑ තතු” නමින් “ආලෝකෝ උදපාදි” සමග ඔබට පුදමු.

මෙලොව එළිය දකින විට භූතා වෙන්නෙ. ඊළඟට බිජුවටින් (අණ්ඩජ) හටගන්න සත්වයෝ බිජුවටින් එළියට එනකම්ම මව්කුසේ ඉපදිලා බිජුවට බිහිවී බිජුවටින් නික්මෙන තුරුම සම්භවේසී ඔන්න ඔය විදිහටයි සම්භවේසී කියන වචනය ධර්මයේ විග‍්‍රහ වෙන්නෙ. ඉපදීම නිමා කළ සත්ත්වයෝ භූතා ඉපදෙමින් සිටින සත්ත්වයෝ සම්භවේසී.

ප‍්‍රශ්නය – ති‍්‍රපිටකයට අයත් පාරාජිකා පාලියේ සඳහන් වෙනව මුගලන් මහරහතන් වහන්සේ අහසෙහි හැසිරෙන භූත ආත්ම සියැසින් දුටු බව. අන්තරාභවය සනාථ කිරීමට සමහරු මෙබඳු දේ සාධක කර ගන්නව. අපි ඒ පිළිබඳ අප නාහිමියන් වහන්සේගෙන් විමසුවා. එයට උන්වහන්සේ දුන් පිළිතුර.

පිළිතුර - බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙනවා උප්පත්ති සතර ආකාරයක් පිළිබඳව. අණ්ඩජ, ජලාබුජ, සංසේදජ සහ ඕපපාතික, බිත්තරවලින් උපදින සත්ත්වයෝ අණ්ඩජ මවුකුසින් බිහිවෙන ක්ෂිරපායි සත්ත්වයෝ ජලාබුජ, අකුසල හේතුවෙන් තෙත් ඇති කුණු කසල ආදියෙන් උපදින්නේ සංසේදජ, කුසල හේතුවෙන් නෙළුම් මල් ආදියේ පහළවෙන සමහර මනුස්සයො ඉන්නව ඒ ගොල්ලොත් සංසේදජ සකලාංග සම්පූර්ණව දිව්‍ය ලෝකවල දෙවිවරු, බ‍්‍රහ්මයො, නරකාදියෙ නිරිසත්තු, පෙ‍්‍ර්තයෝ, අසුර ලොව අසුරයො, මේ අය ඔක්කම ඕපපාතිකයි. එයින් වේමානික කියල පෙ‍්‍ර්ත කොට්ඨාසයක් ඉන්නවා.


නා උයනේ
අරියධම්ම හිමි

ඒ අය ඇතැම් විට මේ සතර ආකාරයෙන් මත් උපදිනව. මුගලන් මහරහතන් වහන්සේ දුටු විරූ කොට්ඨාස ඔක්කොම පෙ‍්‍ර්තලෝකෙ උපන් අය. ඒ අය කෙළින්ම ඕපපාතිකයි. ඕපපාතික නිසා උපතින්ම ඒ ඇත්තන්ටම අවශ්‍ය අවයව ඇතිව පහළ වුණා. අහසේ හැසිරෙන්නෙ සෘද්ධි බලයෙන් නෙවෙයි. ඒකට කියන්නෙ කර්මවිපාකජසෘද්ධිය කියල.

ප‍්‍රශ්නය – මව් කුසක දරුවකු පිළිසිඳ ගැනීමට ස්තී‍්‍ර පුරුෂ දෙදෙනෙකුගේ එක්වීමක් අවශ්‍යයි. නමුත් ඕපපාතික උත්පත්තියේදී එබඳු දෙයක් නෑ. එවිට සත්ත්වයෙකු හටගන්නා ආකාරය පිළිබඳ ගැටලුවක් ඇතිවෙනවා. ඒ පිළිබඳව ගරු ස්වාමීන් වහන්ස තව ටිකක් පැහැදිලි කළොත්?

පිළිතුර - මේක කර්ම නියාමයක්. කර්මය කාටවත් පාලනය කරන්න බෑ. යම්කිසි විදියකින් සිතුවා නම් මම මනුලොව උපදින විට ඕපපාතිකව ඉපදේවා කියල ඊට සුදුසු කුසල් උත්සන්නව තිබුණා නම් මවෙක් පියෙක් නැතිව දෙවඟනක් දිව්‍ය කුමාරයෙක් වගේ හිටි හැටියේ පහළ වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේගේ කාලයේ හිටියා එබඳු දෙන්නෙක්. අම්බපාලි සහ චිඤ්චිමානවිකාව. අම්බපාලි උපන්නෙ විශාලා මහනුවර අඹ වනයේ. ඒ නිසයි අම්බපාලි කියන නම් වුණේ. දෙවඟනක් වගේ ශරීර සම්පත්තියක් පිහිටියා. චිඤ්චිමානවිකාව උපන්නෙ සැවැත් නුවර සියඹලා ගහක් යට. චිඤ්චි කියන්නෙ සියඹලා. සියඹලා ගහක් යට ඉපදුන නිසා චිඤ්චිමානවිකාව වුණා. රූපයෙන් ඉතා විශිෂ්ට වුණා. හැමෝම විවාහ යෝජනා ගෙනා නිසා විවාහයට යෑමට නොහැකි වුණා.

අන්තිමේ පරිබ‍්‍රාජිකාවක් වගේ හිටියා. නිගන්ඨයො ආශ‍්‍රය කරල බුදුරජාණන් වහන්සේට අපහාස කර අපායට ගියා. අම්බපාලි පැවිදිව රහත් වුණා. එතුමිය කාශ්‍යප බුද්ධ ශාසනයේ අවුරුදු විසිදාහක් පමණ මහණ දම් පුරල ප‍්‍රාර්ථනාවක් කරල තිබුණා. රහත් වෙන ආත්මෙදී මට ඕපපාතික උත්පත්තියක් ලැබේවා කියල. ආයු කෙළවර දෙව් ලොවින් චුත වී සසර ප‍්‍රාර්ථනාව අනුව මව් කුසක නොඉපදී ඕපපාතිකව ඉපදුනා. ඒක කර්මයක විපාකයක්. දැන් මවු කුසක උපදින්නෙකුට කාය දසක, භාව දසක, වත්ථු දසක තුනයිනේ. මව්කුසේ වැඩිම වශයෙන් රූප කලාප තුනයි පහළ වෙන්නේ. කළල අවස්ථාවේ, ඒ හැර ඕපපාතිකව ඉපදෙන කොට සකලාංග පරිපූර්ණව ඇස, කන, නාසය, දිව සහ ශරීරය යන සියල්ලම එකවර සම්පූර්ණ වෙලා ඒ එක්කම තමයි චිත්තය පහළ වෙන්නෙ. පටිසන්ධියයි රූපකය පහළ වීමයි යන දෙකම පෙර පසු නොවී එකවර සිදුවෙන්නෙ.

ප‍්‍රශ්නය – ඉපදීමට කෙනෙකුට කර්මානුරූපව සුදුසු මව්කුසක් පිළියෙළ වී නොතිබ්බොත් එයාට මොකද වෙන්නේ?

පිළිතුර - ඔය චුති උත්පත්ති ගැන. කිසිම සත්ත්වයෙකුට තමන්ට තමන් වගකියන්න බෑ. හේතුව මරණය සහ උප්පත්තිය කියන්නෙ කර්මානුකූලව කර්ම නියාමයට අනුව සිදුවන දෙයක්. නොඑසේම මට මෙහෙම උපදින්න ඕන මෙහෙම උපදින්න ඕන කියල කිසිම කෙනෙකුට උපදින්න බෑ. ධ්‍යාන අභඥාලාභියෙකුට හැර, ධ්‍යානලාභියෙකුට නම් මම අහවල් බඹ තලයට යන්න ඕන කියල හිතාගන්න පුළුවන්. ඒ හැර මේ කෙලෙස් හරිත අන්ධබාල පෘථග්ජන සත්ත්වයන්ට මට අහවල් තැන හොඳයි කියල තෝරගන්න තරම් ශක්තියක් නෑ. අනිත් කාරණය තමයි අපි මේ සඳහන් කරන්නේ මනුස්ස ලෝකේ ගැනනෙ. මනුස්ස ලෝකය පඤ්ච වෝකාර භවයක්. පඤ්ච වෝකාර භවයෙහි වස්තු රූපයකින් තොරව සිත පවතින්නෙ නැහැ. වස්තු රූපයක් මතයි සිත් හටගන්නේ පවතින්නේ එනිසා අන්තරාභවය සනාථ කිරීමට පිණිස ඉදිරිපත් කළ ඉතා බොළඳ ප‍්‍රශ්නයක් ඔය තැනක් නොතිබ්බොත් කියන ප‍්‍රශ්නය.

මේ විශ්වයේ ඉන්නේ එක අම්මාද? රජ කුලයක හෝ සිටු කුලයක ඉපදීමට සුදුසු පින් ඇති කෙනෙක් සිතමු. ඉතිං එයාට මේ ලෝකෙ උපදින්න ඉන්නේ එක රජ පවුලක්ද? එක සිටු පවුලක් ද? අපි හිතමු අහසට දැම්ම පොල්ලක් ඕක කොතැනකට වැටෙයිද කියල කියන්න බැහැනෙ. ඒ වගේ මෙලොවින් චුතවීමත් මතු ඉපදීමත් එසේ වූවොත් මෙසේ වූවොත් කියා අපි හිතන ආකාරයට නොව කර්ම නියාමයකට අනුව සිදුවන දෙයක්. මිනිස් ලොව ඉපදීමට සුදුසු පින් ඇති අය මෙහි නො ඉපදුනොත් දෙව්ලොවක ඕපපාතිකව හෝ චුතියට අනතුරුවම ඉපදීම තමා ථෙරවාදී ධර්මයට අනුව සම්බුද්ධ දේශනාව අනුව නිසැකවම අපි විසින් පිළිගනු ලබන්නේ.

ප‍්‍රශ්නය – එහෙමයි ස්වාමීන් වහන්ස, අපට දැන් ඉතා පැහැදිලියි. මේ අන්තරාභවය යනු මිථ්‍යාවක් බව. එහෙත් මේ ඔස්සේ සිතා අතරමං වූ බොහෝ දෙනෙකුගේ යහපත පිණිස තව කරුණක් විමසීමට අවසරයි. ථෙරවාදී බෞද්ධ වේශයෙන් පෙනී සිටින එහෙත් ථෙරවාදී ආකල්ප නැති ඇතමුන් අන්තරාභව කථාවේදී කියන දෙයක් තමයි කෙනෙකු අන්තරාභවයට පත් වුණාම ඔහු අහසේ හැසිරෙමින් එක තැනක නොසිට ශීඝ‍්‍ර වේගයෙන් ගමන් කරමින් සිටින බව. ඒ පිළිබඳවත් පැහැදිලි කිරීමක් කළොත්?

පිළිතුර - අපි මේ ජීවත් වන මනුස්ස ලෝකෙ අපේ සිත පවතින්නෙ වස්තු රූපයක් ඇසුරු කරගෙනයි. දැන් අපි මව් කුස පිළිසිඳ ගැනීමේදී කළල අවස්ථාවෙම හටගන්නා හදය (හෘදය) වස්තු රූපය නිසා තමයි එතැන සිට පිහිටන්නෙ. සම්මුති වශයෙන් සත්ත්වයකුගේ පහළවීම පරමාර්ථ වශයෙන් ස්කන්ධයන්ගේ පහළවීම, එනිසා වස්තු රූපයකින් තොරව කවදාවත් වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියන සතර නාමස්කන්ධය පවතින්න බැහැ. කෙනෙක් මරණයට පත් වෙන විටම ඔහු ඔහුගෙ වස්තු රූපය නිරුද්ධ වෙලා ඉවරයි. ඉන්පසු ඔහුට ඇස, කණ, නාසය, දිව, ශරීරය, හෘදය යන වස්තු රූපයක් නැතිව සිත පමණක් අහසෙ ගමන් කරන ශක්තියක් නැහැ. අරූපාවචර බ‍්‍රහ්ම ලෝකෙ බ‍්‍රහ්මයන්ටවත් නාමධර්ම පතුරුවන්න බෑ.

ඒ අය බඹලොව ඉපදුනාම උපන් තැනම ඉන්නවා. ඔවුන්ට ඇවිදීමට කථා කිරීමට කිසිසේත් බෑ. ඇහැට පේන්නෙත් නෑ. අරූපාවචර බ‍්‍රහ්මයන්ටත් එසේ නම් මේ අන්ධබාල කෙලෙස් බහුල පෘථග්ජන සත්ත්වයෝ කොහොමද අහසෙ පාවෙවී ඉපදීමට තැනක් සොයමින් අහසේ සැරිසරන්නේ? එනිසා රූපකාය නැතිව නාමකාය හෙවත් සිත අහසේ සීඝ‍්‍ර වේගයෙන් ගමන් කරන බව උමතු අයෙකු හැරුණු කොට ධර්මය පිළිබඳව සාමාන්‍ය අවබෝධයක් ලැබූ අයෙකුටවත් ප‍්‍රකාශ කළ නොහැකියි. එය සම්පූර්ණ මිථ්‍යාවක්.

ප‍්‍රශ්නය – එහෙම අහසේ ගමන් කරන සත්ත්ව කොට්ඨාස පිළිබඳව ධර්මයේ සඳහන් වෙන්නෙ නැද්ද?

පිළිතුර - ඕපපාතිකව ඉපදිලා අහසේ ගමන් කරමින් දුක් විඳින සත්ත්ව කොට්ඨාස ඉන්න බව විනය පිටකයේ පාරාජීකා පාලියේ සහ සූත‍්‍ර පිටකයේ පෙ‍්‍ර්ත වස්තු දේශනාවේ දැක්වෙනවා. ඒ සියල්ලෝම පෙ‍්‍ර්තලෝකයට අයිති අය. එහෙම නැතිව ඉපදීමට සුදුසු තැන් සොයමින් කය නැති සිත පමණක් ඇති අන්තරා භවික සත්ත්වයො නෙමෙයි.

ප‍්‍රශ්නය – අන්තරාභවය පිළිබඳ දැඩි මතවාද ඉදිරිපත් ඇතැම් හිමිවරු කියා තිබුණා තමන් අන්තරාභවය පිළිගත්තේ කරුණු කාරණා සහිතව යමක් කීවොත් එය කොයි නිකායට, යානයකට අයත් උනත් අප පිළිගත යුතුයි කියල. අනික මහායානික නිකායක් වූ සර්වාස්තිවාදීන් අතරත් රහතුන් වහන්සේලා සිටිය කියල කියනවා. මේ අදහස ධර්ම විනයට එකඟද? එකඟ වෙන්න පුළුවන් සාධක තිබෙනවාද?

පිළිතුර - සම්බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු සියයක් ගතවූ පසු විශාලා මහනුවර භික්ෂූන් වහන්සේලා දස අකැප වස්තුවක් පනවා ගත්තනේ. ඒ නිමිත්තෙනුයි දෙවැනි ධර්ම සංගායනාව සිදුවුණේ. මේ දෙවැනි ධර්ම සංගායනාවේදී දස අකැප වස්තුව විනය විරෝධී බව තීරණය වූ අතර දහදාහක් පමණ අලජ්ජී භික්ෂූන් ශාසනයෙන් ඉවත් කරනු ලැබුවා. එම අලජ්ජී භික්ෂූන් වෙනත් ප‍්‍රදේශයකට ගොස් තමන් ද සංගායනාවක් කර එය “මහාසංගීති” නමින් හඳුන්වා තම භික්ෂු පිරිස ද මහා සංගීති නිකාය වශයෙන් නම් කළා. මේ මහා සංගීති නිකාය තමා මහායානය බවට පත්වුණේ. වැඩිකල් නොගොස් මේ භික්ෂූන් නිකාය දාහතකට බෙදුණා. ඔය මහායාන නිකාය දාහතට අයිති කොටසක් තමයි සර්වාස්තිවාදීන් කියන්නෙත්.

ඔවුන් මේ මහායාන නිකායවල් පිහිටුවා ගත්තෙ ශාසනය ආරක්‍ෂා කරන්නවත් තමන් දුකින් මිදෙන්නවත් නෙමෙයි. ලජ්ජි සිල්වත් භික්ෂූන් වහන්සේලාගෙන් පළිගන්න සහ ශාසනය විනාශ කරන්න. එනිසා ඔව්හු ධර්ම විනය ශාස්තෘ ශාසනය තමන්ට උවමනා විදියට සකස් කරන්න පටන් ගත්තා. බුද්ධ වචන වෙනස් කළා. බුදු සසුනට සතුරුකම් කිරීමත් ථෙරිය පරපුර විනාශ කිරීමත් එකම බලාපොරොත්තුව කර ගත් එම මහායානිකයින් තුළ දියුණු වූ ශීලයක්, සමාධියක්, ප‍්‍රඥාවක් නැහැ. ජනපි‍්‍රය වීමේ ක‍්‍රම උපාය අනුගමනය කරමින් මහජනයාගෙන් පැසසුම් ලබමින් කටයුතු කළා මිස ඔවුන් නිවන් මඟක් අනුගමනය කෙළේ නැහැ.

ඉතිරි කොටස ලබන සතියේ

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා