තෙරුවන් සරණ යන හැටි

තෙරුවන් සරණ යන හැටි

බුද්ධාදි රත්නත‍්‍රය උතුම් පිහිට වශයෙන් පිළිගැනීමට බාධක දෘෂ්ටි විචිකිත්සාදි ක්ලේශයෝ මතු කිසි කලෙක ඒ සන්තානයේ නූපදනා පරිද්දෙන් ලෝකෝත්තර මාර්ගයට පැමිණිමේදී එහි බලයෙන් ඒ පුද්ගලයාට ප‍්‍රහීණ වේ. ඉන් පසු රත්නත‍්‍රය පිළිබඳ මඳ සැකයකුදු ඒ ආර්ය ශ‍්‍රාවකයාට ඇති නොවේ. ඒ පුද්ගලයාට විශේෂ සමාදානයක් නැතිව ම ඒ අවස්ථාවේ දී සරණ ගමනය සිද්ධ වේ. ලෝකෝත්තර මාර්ගයාගේ බලයෙන් සිදු වන්නා වූ ඒ සරණ ගමනය ලෝකෝත්තර සරණ ගමනය ය. එහි බිඳීමක් හො කිලිටි වීමක් හෝ නැත. ලෝකෝත්තර සරණ ගමනයාගේ වශයෙන් සරණ ගිය ආය්‍ය ශ‍්‍රාවක තෙමේ මතු භවයකදී වුව ද අන්‍ය ශාස්තෘවරයකුගේ පිහිට නො සොයන්නේ ය. අන්‍ය ශාස්තෘවරයකු පිහිට සැටියට නො පිළිගන්නේ ය.

සද්ධර්ම ශ‍්‍රවණ සත්පුරුෂ සේවනාදියෙන් රත්නත‍්‍රය හැඳින එහි සිත පහදවා ගෙන සරණ ගමනයට බාධක වූ දෘෂ්ටි විචිකිත්සාදි ක්ලේශයන් මැඩ රත්නත‍්‍රය උතුම් පිහිට සේ සලකා ගන්නා වූ පෘථග්ජනයාගේ ඒ සරණ ගමනය ලෞකික සරණ ගමනය වේ.

මෙසේ සිදු වන්නා වූ සරණ ගමනය ආත්මසන්නිය¸ාතන සරණගමනය, තත්පරායණතා සරණ ගමනය, ශිෂ්‍ය භාවෝපගමන සරණ ගමනය, ප‍්‍රාණිපාත සරණ ගමනය යි සතර ආකාර වේ.

එහි ආත්මසන්නිය¸ාතන සරණ ගමනය යනු සසර දුකින් මිදීම පිණිස හා සකල ලෞකික ලෝකෝත්තර සම්පත් ලැබීම පිණිස ද බුද්ධාදි රත්නත‍්‍රයට ආත්මය භාර කිරීම හෙවත් පරිත්‍යාග කිරීමය.

තත්පරායණතා සරණ ගමනය යනු ‘බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි’ යනාදීන් භික්ෂු සාමණේරාදීන් අතුරෙන් යම් කිසිවකු ඉදිරියේ කීමෙන් හෝ තමා ම ඉටා ගැනීමෙන් හෝ රත්නත‍්‍රය උතුම් පිහිට තුන වශයෙන් පිළිගැනීමෙන් සිදුවන සරණ ගමනය ය.

ශිෂ්‍යාභාවෝපගමන සරණ ගමනය යනු මම අද පටන් බුදුන් වහන්සේගේ ශිෂ්‍යයෙක් හෙවත් අතවැසියෙක් වෙමි, ධර්මයේ අතවැසියෙක් වෙමි, සංඝයාගේ අතවැසියෙක් වෙමි ය යි ආරෝචනය කිරීමෙන් හෝ සිතා ගැනීමෙන් හෝ සිදුවන සරණ ගමනය ය.

ප‍්‍රණිපාත සරණ ගමනය යනු තමා විසින් අන්‍යයන්ට කරන උසස්ම ගෞරවය කිරීම් වශයෙන් සිදු වන සරණ ගමනය ය. යමකු විසින් අන්‍යයන්ට කරන උසස් ම ගෞරවය පිරිනැමෙන්නේ ඒ තැනැත්තා විසින් අන් හැමට ම වඩා උසස් කොට සලකන තැනට ය. එ බැවින් ඒ ගෞරවය කිරීම සරණ ගමනය වේ.

ප‍්‍රණිපාතය යනු වන්දනාදියට නමෙකි. මනුෂ්‍යයෝ නෑකම් සලකා මවුපියාදීන්ට වඳිති. බිය නිසා රාජාදීන්ට වඳිති. උපකාර සලකා ගුරුන්ට වඳිති. පින් ලබනු පිණිස වැඳුම් පිදුම් කළ යුතු උතුමකු බව සලකා ද වඳිති. සතර ආකාරයකින් කරන ඒ වැඳුම් අතුරෙන් පින් ලබනු පිණිස වැඳුම් පිදුම් කළ යුත්තකු බව සලකා කරන වන්දනාවෙන් ම සරණ ගමනය සිද්ධ වේ. අන් ආකාරයන් ගෙන් කරන වැඳීමෙන් සරණ ගමනය සිදු නොවේ. බුදුනට වුව ද මුන් වහන්සේ අපේ නෑ කෙනකැයි වඳින්නා හට ද රාජාදීන් පවා වඳින මුන් වහන්සේට නො වැඳීමෙන් කරදර ඇති විය හැකි යැයි බියෙන් වඳින්නා හට ද මුන් වහන්සේ අපගේ ගුරු කෙනකැයි වඳින්නා හට ද සරණ ගමනය සිදු නොවේ.

සරණ ගමනයා ගේ ඵල හා ආනිසංස

සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අර්හත් යන සතර ලෝකෝත්තර ඵලය, ලෝකෝත්තර සරණ ගමනයෙන් ලැබෙන ඵලය ය. සකල දුºඛයා ගේ ක්ෂයය වූ නිර්වාණය එයින් ලැබෙන ආනිසංසය ය. මනුෂ්‍ය ලෝක දිව්‍ය ලෝකයන්හි ලැබිය හැකි භවභෝග සම්පත්තීහු ලෞකික සරණ ගමනයා ගේ ඵලයෝ ය. සතර මාර්ගය සතර ඵලය නිර්වාණය යන ලෝකෝත්තර ධර්මයෝ එහි ආනිසංස වශයෙන් සැලකිය යුත්තාහු ය.

සරණා ගමනයා ගේ කිලිටිවීම හා බිඳීම

රත්නත‍්‍රය ගැන දැනීම මඳ වීමෙන් ද, රත්නත‍්‍රය කෙරෙහි සැක ඇති වීමෙන් ද, රත්නත‍්‍රය පිළිබඳව දුර්මත ඇතිවීමෙන් ද ලෞකික සරණ ගමනය කිලිටි වේ. කිලිටි වූ සරණ ගමන කුශලය ස්වල්ප ඵල ඇත්තේය. සුපරිසුද්ධ සරණාගමන කුශලය මහත් ඵල මහානිසංස වන්නේය. ලෝකෝත්තර සරණ ගමනයේ කිලිටි වීමක් නැත්තේ ය. ලෞකික සරණ ගමනයාගේ භේදය (බිඳීම) බුද්ධාගම ප‍්‍රතික්‍ෂේප කිරීමෙන් හා අන්‍යාගමක් පිළිගැනීමෙන් ද මරණයෙන් ද වේ. බුද්ධාගමය ප‍්‍රතික්‍ෂේප කිරීමෙන් හෝ අන්‍යාගමක් පිළිගැනීමෙන් හෝ වන සරණ ගමන භේදය සාවද්‍යය ය. මරණයෙන් වන භේදය නිරවද්‍ය ය. ආය¸ ශ‍්‍රාවකයන් ඒ භවයේ දී තබා අන්‍ය භවයකදී වත් අන්‍යාගමක් නො පිළිගන්නා බැවින් ලෝකෝත්තර සරණගමනයා ගේ භේදයක් නැත්තේය.

දෙවියන්ගේ පිහිට සෙවීම

බොහෝ බෞද්ධයෝ විෂ්ණු, කතරගම ආදි දෙවිවරුන්ට ද වැඳුම් පිදුම් කරති. ඔවුන් ගේ පිහිට සොයති. එයින් ඒ බෞද්ධයන්ගේ සරණ ගමනය කිලිටි වේ ය යි නො පිළිගත හැකිය.

ස්වශක්තියෙන් සිදු කර ගත නො හෙන දෙයක් එය සිදු කිරීමට සමතකු ලවා කරවා ගැනීමේ දී ඒ ඒ තැනැත්තාගේ තත්ත්වයේ සැටියට හා සිදු කරවා ගත යුතු කාරණයේ හැටියට ද ගරු බුහුමන් කරන්නට හා පුද පඬුරු ඔප්පු කරන්නට ද සිදුවේ.

බොහෝ බෞද්ධයෝ ද දෙවියන් ගෙන් යමක් කරවා ගන්නට ලබා ගන්නට වුවමනා වූ විට එය කරවා ගනු සඳහා ලබා ගනු සඳහා දෙවියන්ට වැඳුම් පිදුම් කරති. එය රාජාදීන්ට වැඳුම් පිදුම් කිරීම වැනි කි‍්‍රයාවෙකි.

දෙවියන්ට එසේ කිරීමෙන් සරණගමනය කිලිටි වෙතොත් බිඳෙතොත් රජුන්ට ඇමතියන්ට වැඳීමෙන් හා පඬුරු ඔප්පු කිරීමෙන් ද සරණ ගමනය කිලිටි විය යුතුය. බිඳිය යුතුය. නො බිඳෙන නො කිලිටි වන ලෝකෝත්තර සරණ ගමනය ඇත්තා වූ ආය¸ශ‍්‍රාවකයන් ද රජුන්ට වැඳීම, පුද පඬුරු දීම කරන බැවින් එයින් සරණ ගමනයට හානියක් නො විය හැකිය.

යම් කිසිවක් ඉටු කර ගැනීම පිණිස රාජාදීන්ට වැඳීමෙන් පුද පඬුරු දීමෙන් සරණගමනයට හානියක් නො වන කල්හි එබඳුම කරුණකට දෙවියන්ට වැඳීමෙන් පිදීමෙන් දෙවියන් ගෙන් පිහිට ලබා ගැනීමෙන් ද සරණ ගමනයට හානියක් නො විය හැකිය. සරණ ගමනයට හානියක් වනුයේ අබෞද්ධයන් දෙවියන්ට වැඳුම් පිදුම් කරන්නාක් මෙන්, රත්නත‍්‍රයට වඩා දෙවියන් උසස් කොට සලකා වැඳුම් පිදුම් කිරීමෙනි.

රත්නත‍්‍රය කෙරෙහි පිළිපැදිය යුතු ආකාරය

රත්නත‍්‍රය සරණ ගියා වූ බෞද්ධයා විසින් එය අමතක නො කොට නැවත නැවත රත්නත‍්‍රය සේවනය කළ යුතුය. රත්නත‍්‍රයට මහත් භක්තියක් හා අවනත බවක් යටත් බවක් සෑම බෞද්ධයකු කෙරෙහි ම තිබිය යුතුය. රත්නත‍්‍රයට තමා ගේ උසස්ම ගෞරවය පිරිනැමිය යුතුය. හැකි පමණින් එයට පූජා සත්කාර කළ යුතුය.

දැන් බුදුන් වහන්සේ අප ඉදිරියේ නැති බැවින් උන්වහන්සේට කරන්නා වූ ගෞරවය හා පූජාව දාගැබ් මහබෝ පෙති පිළිම ආදී පූජනීය වස්තු කෙරෙහි පැවැත්විය යුතුය. ඒ පූජනීය වස්තූූන්ට සෑම කල්හි ම ගෞරව කළ යුතු ය. විහාර ගෙයකට, බෝ රුක්ක සමීපයට, දාගැබක් සමීපයට යන කල්හි රජකු ඉදිරියට යන්නාක් මෙන් ගෞරවයෙන් යා යුතුය. කුඩ ඉසලා, හිස් වැසුම් ලා, දෙවුර වසා පොරවා, නො පිවිසිය යුතුය. ඒ ස්ථානයන්ට වහන් පයලා නො පිවිසිය යුතුය. ඒ ස්ථාන අපවිත‍්‍ර වන ලෙස අශුද්ධ වූ පා ඇතුව නො පිවිසිය යුතුය. සිද්ධස්ථාන සමීප භූමිභාගයන් ද අපවිත‍්‍ර නො කළ යුතුය.

සිද්ධස්ථානයකට පැමිණි කල එය කුණු කසළවලින් අපවිත‍්‍ර වී තිබෙනු දුටුව හොත් පවිත‍්‍ර කිරීම ද බෞද්ධයාගේ යුතුකමෙකි. සිද්ධස්ථාන නො නැසී පවත්නා පරිදි කැඩුම් බිඳුම් සංස්කරණය කිරීම හා ඒවා වැඩි දියුණු කිරීම ද බෞද්ධයාගේ යුතුකමෙකි. විහාරස්ථානවලට පුදා තිබෙන බුද්ධ සන්තක වස්තුව විෂක් මෙන් සලකා ඒවා තමාගේ ප‍්‍රයෝජනයට ගැනීමෙන් වැළකිය යුතුය. බුද්ධ සන්තක වූ සුළු දෙයක් වුව ද තමාගේ ප‍්‍රයෝජනයට ගැනීමෙන් ගෙවා ගැනීමට දුෂ්කර නපුරු විපාක ඇති පාපයක් අත් වන බව මතු දැක්වෙන කථාවෙන් දත යුතු ය.

පෙර මේ ලක්දිව රුහුණු රට “දීඝාවුක” නම් චෛත්‍යයට කොඩියක් කොට පිදූ වස්ත‍්‍රයක් සුළඟින් කැඩී ගොස් එක් කුඹුරකට වැටුණේය. ඒ වස්ත‍්‍රයේ කොනක චෛත්‍යයට පුදන ලද බව ද ලියා තිබුණේ ය. කෙත් හිමියා කෙත බලා ඇවිදිනුයේ ඒ වස්ත‍්‍රය දැක එය ගෙන චෛත්‍යයට පිදූ දෙයක් බව දැන දැන ම අකුරු ලියා තිබූ කොන ඉරා දමා පොරවා ගත්තේ ය. පසු කලෙක හෝ කාලකි‍්‍රයා කොට ඒ පව නිසා ගිනියම් වූ යපටින් වෙළුණු ශරීරයක් ඇති පේ‍්‍රතයෙක් විය. ඔහුගේ ශරීරය නිරන්තරයෙන් දැවෙන්නේ ය. ඔහුට හිඳගන්නට ද නිදන්නට ද නුපුළුවන. ඉතා අමාරුවෙන් තැනකින් තැනකට යෑම පමණක් ඔහුට කළ හැකිය.

එක් දවසක් මධ්‍යම රාති‍්‍රයේ දී ඒ පේ‍්‍රතයා භික්ෂූන් වහන්සේ කෙනකුන් සමීපයට පැමිණ තමාගේ දුක කියා සිටියේය. ඔහුගේ බස් අසා සංවේගයට පත් භික්ෂූන් වහන්සේ “තට මේ දුකින් මිදීමට කුමක් කෙරෙම් දැයි” විචාළහ. “දීඝාවුක නම් චෛත්‍යරාජයා හට කොඩි දහසක් පිදුව හොත් මේ දුකින් මිදිය හැකිය” යි පේ‍්‍රතයා කීය. තෙරුන් වහන්සේ පසු දින පේ‍්‍රතයා කෙරෙහි මහත් අනුකම්පාවෙන් වස්ත‍්‍ර සොයා කොඩි පනසක් කොට චෛත්‍යරාජයාට පුදා පින් පැමිණ වූහ.

එයින් තවත් අටඟුලක් පේ‍්‍රතයාගේ ශරීරය යපටින් මිදිණ. මෙසේ තෙරුන් වහන්සේ දිනෙන් දින වස්ත‍්‍ර සොයා චෛත්‍යයට කොඩි පුදමින් දහස සම්පූර්ණ කළ සේක. කොඩි දහස සම්පූර්ණ වූ කල්හි පේ‍්‍රතයා සම්පූර්ණයෙන් යපටින් මිදී සැපවත් විය. බුද්ධ සන්තක වස්තුව ගැනීමෙන් වන විපාකයේ බරපතල කම මේ කථාවෙන් තේරුම් ගෙන පරෙස්සම් වෙත්වා!

ධර්මය වස්තුවක් වශයෙන් පෙන්වන්නට ඇති දෙයක් නොවන බැවින් ධර්මයට කරන පූජාව ධර්මධරයන් ධර්ම කථිකයන් කෙරෙහි කළ යුතු බව තථාගතයන් වහන්සේ වදාළ සේක.

ඒ බැවින් ධර්මයට පුදනු කැමැතියන් විසින් ඒ දෙය ධර්ම පූජා වශයෙන් ධර්මධරයන් වහන්සේලාට, ධර්ම කථිකයන් වහන්සේලාට පිදිය යුතුය. ධර්මය ලියා තිබෙන්නා වූ ද මුද්‍රණය කර තිබෙන්නා වූ ද පොත් පත් ධර්ම චෛත්‍යයෝ ය. ධර්මයට ගරු කිරීමක් වශයෙන් ඒවාට ද වැඳුම් පිදුම් කළ හැකිය.

ධර්මය දේශනය කරන කල්හි ඉතා ගෞරවයෙන් එය ඇසිය යුතු ය. උසසුන්වල හිඳ බණ ඇසීම ද, ධර්ම කථිකයන් වහන්සේට පිටුපා බණ ඇසීම ද, ධර්ම කථිකයන් වහන්සේ දෙසට පා දිගු කර ගෙන හිඳ බණ ඇසීම ද ධර්මයට කරන අගෞරවයෝ ය. තවද දහම් දෙසන තැනක එය නො අසා අන් වැඩක යෙදීම ද, බණ අසන අන්‍යයන්ට බාධා විය හැකි පරිදි කථා කිරීම ද ධර්මයට කරන අගෞරවයෝ ය.

ගෞරවයෙන් බණ ඇසීම පිනක් වන්නාක් මෙන් ම ධර්මයට අගෞරව කිරීම පාපයක් වන බව දත යුතුය. තථාගත ධර්මය පිරිහෙන්නට නොදී ආරක්‍ෂා කිරීම ද බෞද්ධයාගේ යුතු කමෙකි. ධර්මය ආරක්‍ෂා වීමට කළ යුතු දේ නම් දහම් පොත් පත් සුලභ කිරීම ය, ධර්මාචාය¸වරයන්ට හා ධර්මය උගන්නා ශිෂ්‍යයන්ට අනුබල දීමය. ධර්ම දේශනා මාර්ගයෙන් මහජනයා අතර ධර්මය පතුරුවාලීම ය යන ආදියයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා