රහතන් වහන්සේ ගේ කතා සහ උදාන ගීත

රහතන් වහන්සේ ගේ කතා සහ උදාන ගීත

සසර දුකෙන් මිදීම සඳහා ඒ උතුමෝ අපමණ වෙහෙස දැරූහ. චතුරාර්ය සත්‍යය අවබෝධ කැර ගැනීමෙන් පසු දුකෙන් මිදුණහ.

දුකෙන් මිදීම නිවනය. ඒ අසිරිමත් අවස්ථාවට පැමිණීමෙන් පසු ලැබූ ශාන්ත සුවය උදාන ගාථා ලෙසින් උන්වහන්සේ පළ කළහ. රහත් උතුමන් දෙසිය සිවුසැට නමක ගේ ලුහුඬු ජීවිත කතා සමඟ ඒ උතුමන් දෙසූ උදාන ගාථා ‘ආලෝකෝ උදපාදි’ සමග ඔබට පුදමු.

බුද්ධ ජයන්ති ති‍්‍රපිටක ග‍්‍රන්ථ මාලාවේ ඛුද්දක නිකායේ ථෙර ගාථා පාලි කෘතිය මෙහි දී ඇසුරු කැරිණි. ථෙර ගාථා කියැවීමට පෙර ඛුද්ධක නිකාය ඔබට මේ ඇරැයුම කරයි.

“ඒ උතුම් රහතුන් ගේ හඬට සවන් දෙන්න.”

මහ කඳු මැද පිහිටි ගුහාවල වෙසෙන නද දෙන, තියුණු දත් ඇති සිංහයන් වැනි දියුණු කළ සිත් ඇති ඒ උතුම් රහතුන්ගේ හඬට සවන් දෙන්න. නොයෙක් නම්වලින්, ගෝත‍්‍රවලින්, ඒ රහත් උතුමන් හැඳින්ෙවි. උන්වහන්සේ අනලස්ය. සමාපත්තිවලට සමවදිති. ප‍්‍රඥාවන්තය. සියලු දුකෙන් මිදුණහ.

විදර්ශනා භාවනාවේ යෙදී නිවන් සුව සාදා ගත් උන්වහන්සේ මේ උදාන ගාථා වදාළහ.

මමත් ඒ ගමන යමි

රජගහනුවර මහ වීදිය දිගේ අස් රියකින් ගමන් කරමින් සිටි ඒ සිටු කුමරාට එක් ගෙවුයනක මල් නෙළමින් සිටි තුරුණු රූමතියක දක්නට ලැබිණි.

”ඊයේ මා සමඟ උයන් කෙළියට ගිය පුණ්ණාට වඩා මැය රූප ශී‍්‍රයෙන් සම්පූර්ණයි. මට අද මැය සමඟ උයන් කෙළියට යන්නට ඇත්නම්...” ඔහුගේ සිත රාගයෙන් පිරිණ.

ඇය කාගේ කවුද? මේ නිවස අයිති මහ සිටුවරයාගේ පුතකුට. සමහර විට මේ ඒ සිටු පුතාගේ බිරිය විය හැකියි. ඔහුගේ මුහුණට සිනාවක් නැඟිණ. පසුගිය සතියේ මා අභය බමුණාගේ තරුණ බිරිය සමඟ සිටියා. ඊට පසුදා මා සිටියේ පුරෝහිත බමුණාගේ පුතාගේ බිරිය සමඟ. ඉතින් මේ රූමතියට ළංවන එක මට ලොකු දෙයක් නොවේ. එහෙත් ඇය පාර දෙස බලන්නේවත් නැහැ. ඇයට වුවමනා මල් නෙළන්නට පමණයි. ඉතින් මාත් කදිම මලක්. නෙළාගන්න එකයි ඇත්තේ.

ඔහු අස්රිය නතර කැරගෙන ඒ ගෙවුයන දෙස බලා සිටියේය.

ඇය පැස පුරා මල් නෙළා මැදුරට ඇතුළු වූවාය.

උඩඟු හැතිරිය. එක බැල්මකින්වත් මට සංග‍්‍රහ කරන්නට නොසිතූ දුෂ්ට ස්ති‍්‍රය, අද ගියත් කවදා හරි නුඹ මා සමඟ එනවා. සිතමින් සිටු කුමරු මැද වීදියේ සල්පිලට ගියේය. රන්කම් කළ කවුළු තිර රෙදි ඔහුගේ සිත් ගති. මගේ කුටියේ තිර රෙදිවලට වඩා මේවා වටිනවා. ඔහුට සිතිණි. ඔහු තිර රෙදි කීපයක් මිලට ගත්තේය. සල්පිලේ කැටපතෙක ඔහුගේ මුහුණ පෙනිණ. දෙපැයෙන් දෙපැයට ඔප ගන්වන මුහුණ. ඔහු සිනාසුණේය. කැටපත ද සිනාසුණේය. ලලනාවන් ඇද බැඳගන්නා සිනාව නොවේද මේ.

වීදියේ ඝෝෂාවක් ඇසිණි. මහ පිරිසක් රැස්ව සිටියහ. සිටු කුමාරයා ද ඒ අසලට ගියේය.

රතු හිස් වැසුම් පැළඳගත් වධකයෝ දෙදෙනකි. රතු මල් දමක් පැළඳ ගත් තරුණයෙකි. සිටු කුමාරයා තිගැස්සිණි.

මේ නාලක සිටුතුමාගේ පුතාය. එකම පුතාය. වධකයන්ගේ කස පහරින් සිටු පුතාගේ පිට පැලේ. ලේ විදී.

”ඇයි මේ?” සිටු කුමාරයා අසල සිටි අයකුගෙන් ඇසීය.

”දන්නේ නැද්ද? සල්ලාලකමේ යන අයට වෙන දේ තමයි ඔය. ඊයේ රාතී‍්‍ර අභය බමුණුතුමාගේ දේවියගේ අතින් අල්ලලා එතුමිය අස්හලට ගෙන යන්න හදලා. මුර භටයකුට අහුවෙලා. උදේම නඩු ඇසුවා. මහ නුග ගස මුලදී ගෙල සිඳ දමන්නට නියම කළා.”

සිටු කුමරා වහා අස්රියට නැඟුණේය.

මහලු අභය බමුණාගේ තරුණ බිරිය. ගිය සතියේ ඇය මා සමඟ හිටියා. ඒ ඇගේ කැමැත්තෙන්. මේ සිටු පුතා සමඟ ඈ එන්නට ඇත්තේත් කැමැත්තෙන්. එහෙත් මුර භටයාට අසුවූ පසු ඇය බලයෙන් ගෙනයන්නට ඔහු ආ බව කියනවා. හරිම බිහිසුණුයි. මටත් කවදා හෝ සිටු පුතාට සිදුවූ දේ විය හැකිය.

ඔහු රන්කම් කළ තිර රෙදි අස්රියේම තිබෙන්නට හැර සිය කුටියට ගියේය. සිටු පුතුගේ පිටේ කස පිපිරෙන හඬ ඔහුට ඇසෙන්නට විය. ඔහු සවන් වසා ගත්තේය. එහෙත් ඒ ඇසෙන්නේ සිතේ ඇති සවන්වලටය.

අර සිටු පුතා තව පැය කීපයකින් මළවුන් අතර. මට වඩා ඔහු අවුරුද්දක් දෙකක් බාල ඇති. තව ටිකකින් ඔහු මළ කඳක්. ඔහු මුහුණ වසා ගත්තේය. තුරුණු මෙහෙකාරිය පලතුරු යුෂ බඳුනක් ගෙන ඔහුගේ කුටියට ආවාය. වෙනදා ඔහු ඒ බඳුන පිළිගන්නේ ඇගේ නිතඹ කොනිත්තමිනි. එහෙත් ඔහු හිස එසවූයේ වත් නැත.

”ඕකත් අරන් යනවා එළියට” ඔහු කෑ ගැසුවේය. ඇය තැති ගත්තාය..

මගේ ජීවිතය ගතවූයේ සල්ලාලකමට. අර සිටු පුතාට වඩා සිය ගුණයකින් මා සල්ලාල කම් කරන්නට ඇති. ඒ ජීවිතයේ අවසානය දුක්මුසුයි. තව ටික වෙලාවකින් ඔහු මළසිරුරක්... ඔහු සිතුවේය.

ඔහු නැඟී සිටියේය. තුරුණු මෙහෙකාරිය ඉකිබිඳීණු ඔහුට ඇසිණ.

ඈත වීදිය ඔහුට කවුළුවෙන් පෙනිණ. භික්ෂූන් වහන්සේ නමක් වීදිය දිගේ වඩිනු පෙනිණි. ඔහු කවුළුව ළඟට ගියේය. ඒ මුහුණ ඔහුට හොඳින් පෙනේ. ඔහු උඩු මහලෙන් බිමට බැස්සේය. අංගනය හරහා දිව ගියේය.

”කොහෙද පුතා දුවන්නේ?” මෑණියෝ කෑ ගැසූහ. ඔහු නොනැවතුණේ ය.

මගේ ගිනි ඇවිලුණු සිතට, සිහිල් දිය දහරක් විය හැකියි මේ භික්ෂුව. ඔහු ඒ වීදිය මැද භික්ෂුවගේ පාමුල ඇදවැටුණේය. වැඳ වැටුණේය.

”ස්වාමීනි, මගේ සිත ගිනි ජාලාවක්. මෙය නිවා දමන්නට ඔබ වහන්සේට පුළුවනි.” ඔහු කීවේය.

”මට පුළුවනි. අපගේ ධර්මයට එය කළ හැකියි. මා කැටුව වේළුවනාරාමයට එන්න” හිමියෝ වදාළහ.

ඒ කාරුණික ස්වරයම ඔහුගේ සිතට සිහිලක් විය.

වේළුවනාරාමයේ දී හිමියෝ ඔහුට දහම් දෙසූහ. සිටු කුමරා පැවිදි විය. බවුන් වඩන භික්ෂූන් වහන්සේ හැම තුරු සෙවණකම ඒ අලුත් භික්ෂුවට පෙනිණ. හුදෙකලාව තුරු සෙවණක දෑස පියාගෙන ලබන රසය කුමක්ද? ගිහි ජීවිතයේ මිහිර මෙහි නැත. ඒ භික්ෂුවට සිතිණ. උන්වහන්සේගේ කුටියේ විසිතුරු බඩු පිරිණි. විකාල භෝජන පිළිවෙත ද ඔහුට නොගැළපිණ.

දිනක් පිඬු සිඟා වඩිනා අවස්ථාවක රූමතියකගෙන් දන් ලැබිණි. මේ හිමියෝ ඇගේ අත පිරිමැද්දහ. එය වෙනත් භික්ෂුවකට පෙනිණි.

”ඔබ කළේ විනය විරෝධී වැඩක්. “ඒ භික්ෂුව ආරාමයේ දී කීවේය.

”මා ඒක පිළිගන්නවා. මට සිත පාලනය කර ගන්න බැරි වුණා.”

මහත් කලකිරීමකින් උන්වහන්සේගේ සිත පිරිණි. සිවුරු හැර යාමේ වුවමනාව ඇතිවිය. මම නිවසට ගොස් සිවුරු හරිමි. සිතමින් උන්වහන්සේ මඟට බැස්සහ.

ගැල්කරුවකු ගොනකු සහ බඩු පිරවූ කරත්තයක් උන්වහන්සේට පෙනිණ. විඩාපත් ගොනා සිටියේ බිම වැතිරය. ගැල්කරුවා ගොනාට සාත්තු කොට ඌ යළි පණගන්වා කරත්තයේ බැඳ ගමන ඇරැඹුවේය.

විඩාපත් ගොනා යළි නැගිටුවා ගත් හැටි:

මාත් විඩාපත්ව වැටුණු ගොනෙක් වගෙයි. නැගිටීමට මට බැරි නැහැ. හිත හදාගෙන මා සැබෑ භික්ෂුවක් වී යා යුතු ගමන යනවා. අනෙක් භික්ෂූන් මෙන් මාත් වීර්යවන්තව භාවනාවේ යෙදෙනවා. මට ගිහි ජීවිතය එපා. මා යළි ආරාමයට යනවා.

රමණීය විහාර හිමි නමින් ප‍්‍රකටව සිටි ඒ හිමියෝ යළි ආරාමයට වැඩියහ. රහතන් වහන්සේ නමකගෙන් කමටහන් ලබා ගත්හ. තුරු සෙවණකට වැඩම කොට විදසුන් වඩන්නට වූහ. වැඩි කලක් ගත නොවිණ. රමණීය විහාර හිමියෝ රහත් බවට පත් වූහ.

පසු කලෙක රමණීය විහාර රහතන් වහන්සේ සිය උදානය පළකෙළේ මෙසේය.

පා පැකිළී ඒ සොඳුරු ගොනා
බිම ඇද වැටුණා මා දුටුවා
වහා නැගිට අලසව නොරැඳී
පමා නොවී ඒ ගමන ගියා.
උතුම් මුනිඳුගේ සව්වකු වූ
මාත් වහා නිවනට යනවා.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා