කොටියට කඩේ නොගියා නම් යුද්ධය මෙලහටත් ඉවරයි

කොටියට කඩේ නොගියා නම් යුද්ධය මෙලහටත් ඉවරයි

වදාකඩ ජන රැලියේ දී විමල් වීරවංශ කියයි

ත‍්‍රස්තවාදය පරදවා රට නංවන රජයේ වැඩපිළිවෙළ වටා අලුත් ජනතා බලයක් නිර්මාණය වෙමින් තිබෙන බව ජාතික නිදහස් පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ මහතා පැවැසීය.

දිනෙන් දින විපක්ෂයේ පක්ෂ හැරදා රජය වටා එකතු වෙන ජනතාවගෙන් එය මනාව ඔප්පු වන බවද ඒ මහතා කීය.

වයඹ පළාත් සභාව සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කුරුණෑගල දිස්ති‍්‍රක්කයට තරඟ වදින ජාතික නිදහස් පෙරමුණේ අපේක්ෂකයන්ට සහය පිණිස පෙරේදා (9) වදාකඩ මංසන්ධියේ පැවැති ජනතා රැලියකදී මන්තී‍්‍රවරයා පැවැසීය.

දේශපෙ‍්‍ර්මිත්වය අගයන හා ගරු කරන පුද්ගලයන් 225 දෙනකු දේශපෙ‍්‍ර්මි පක්ෂයකින්ම පාර්ලිමේන්තුවට යැවීමට ජනතාව නිර්මාණය විය යුතු යැයි පවසන විමල් වීරවංශ මහතා එසේ සිදු කළහොත් රටේ අනාගතය සුබවාදීව දැකීමට ජනතාවට හැකිවනු ඇතැයිද සඳහන් කෙළේ ය.

ජාතික නිදහස් පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ මහතා මෙසේ ද කීවේය.

අද අපේ මාතෘභූමිය සුවිශේෂි ජයග‍්‍රහණ ලබමින් සිටින මේ මොහොතේ ඒ ජයග‍්‍රහණ විජයග‍්‍රහණය කරන්න සමස්ත ජනතාවටම හොඳ අවස්ථාවක් උදාවී තියෙනවා.

අගමැති මහින්ද රාජපක්ෂ ජනාධිපති කරන්න, ඊට අවශ්‍ය ජනවරම දෙන්න කියලා එදා අප කිව්වේ රටේ ජනතාවට මෙවැනි ජයග‍්‍රහණ ලබා දීමට තමයි එහෙම නැතුව සියලු ප‍්‍රශ්න අවුරුදු 5කින් නිම කරනවා කියලා නෙවෙයි. බෙදුම්වාදයට පාවා දෙමින් තිබුණු රට බේරාගෙන රට ඒකීය මඟකට අරගෙන වික‍්‍රමසිංහ මහතාගේ බෙදුම්වාදි පරගැති සිහිනය බිඳ දමන්න අද හැකිවී තියෙනවා.

ජනාධිපතිවරයා බලයට ඇවිත් වසර 4ක් යන්න පෙර සටන් විරාමය අහෝසි කරන්න, නෝර්වේජීන් එළවා දමන්න, රට විනාශ කරන්න හදපු පිරිස් පරදවන්න හැකි වී තිබෙනවා.

එම තත්ත්වය නිසා තමයි පාට , පක්ෂ වල කොඩි අතට අරගෙන දඟලපු හැමෝම ඒ කොඩි බිම තියා සිංහ ධජය පමණක් ඔසවන්න පටන්ගෙන තියෙන්නේ.

සමහරු කියනවා යුද්ධයත්, පළාත් සභා ඡන්දයත් අතර සම්බන්ධයක් නැහැ කියලා. ඒත් එක්කම කියනවා යුද්ධ ඉවර නම් සහන දෙන්න කියලා. එසේ කියන විපක්ෂ නායකතුමාට මොළේ කළඳක් නෑ. යුද්ධය ඉවර වීමම සහනයක් කියලා තේරුම් ගන්න. යුද්ධය නිම වීමත් සමඟ උතුරු නැඟෙනහිර බිම්වල වගාවන් වෙනවා. රටේ කෘෂි නිෂ්පාදන වැඩි වෙනවා. එවිට බඩු මිල පහළ යමින් උද්ධමනය අඩු වෙනවා. ලුණු ලේවායවල ලුණු නිපදවනවා.

රටින් ගෙනෙන දේ නතර වෙනවා. සංචාරකයන් ලංකාවට ඇදී එනවා. ඔවුන් ඩොලර්, පවුම් ගෙනත් අපේ රටේ වියදම් කරන විට ජනතාව අතර මුදල් වැඩි වී රට සංවර්ධනය වෙනවා. මෙන්න මේවා තමයි යුද්ධය නිම වුණාම ලැබෙන සහන කියලා වික‍්‍රමසිංහ මහත්තයට පෙන්නලා දෙන්න කැමැතියි.

තවත් පිරිසක් කියනවා පළාත් සභා තේරෙන අය යුද්ධ කරන්න යනවද කියලා. උතුරු මැද , සබරගමු ජනතාව රනිල්ගේ හො¾ඩ්ට ඡන්දය දුන්න නම් අන්තර් ජාතිකයට මතයක් යනවා අපේ ජනතාව යුද්ධ කරනවාට අකමැතියි කියලා.

එහෙම වුණානම් නෝර්වේකාරයන්, අන්තර් ජාතික බලවේග අපේ කරේ නගින්න ඒවි. නමුත් ජනතාව නිසි පිළිතුර ලබාදුන් නිසා එයත් මඟ හැරී ගියා. කොටියට කඩේ ගිය නඩේකුත් සිටිනවා.

ඔවුන් කඩේ නොගියා නම් යුද්ධය නිම කරන්න මේ තරම් කලක් යන්නේ නැහැ. අපේ රණවිරුවන්ගේ ජීවිත, ඇස්,අත්, පා නැති වෙන්නේ නැහැ.

තමන්ගේ පුතා සතුරා එක්ක සටන් කරලා ජයග‍්‍රහණය ලබාගෙන එනකොට අපේ ගම්වල ජනතාවට කියන්න පුළුවන් වෙන්න ඕන උඹ සතුරා ඉවර කළාම , අපි ඌට කඩේ ගිය අය ඉවර කළා කියලා. එතකොට අපේ රණවිරුවා කියයි අතිවිශිෂ්ටයි කියලා.

මේ සියල්ල නිසි ලෙස කරන්න පුළුවන්කම ලැබී තියෙන්නේ නිසි වේලාවට, නියමිත තැනට, නියම කෙනා වාඩි කළ නිසයි.

ඒ කෙනා රටේ ආරක්ෂක ලේකම්වරයා , හමුදාපති, නාවික , ගුවන් සේවා පොලිස් පුටු වලින් නිසි අය වාඩිකර තියෙනවා.

ඔවුනුත් ඊට පහළ පුටුවලට ගැළපෙන පිරිස් පත්කර තියෙනවා. එහෙම නැතුව කිසිඳු වැඩක් නැති රනිල් වික‍්‍රමසිංහ මහත්තයා වාඩි කළා නම් රට සතුරට බාරදීලා ඉවරයි.

තොප්පිගල කැලෑවක්, යුද්ධය ඕනම ගොනෙකුට කරන්න පුළුවන්, කිලිනොච්චියට මැදවච්චිය, අලිමංකඩට පාමංකඩ කියපු රනිල් වික‍්‍රමසිංහ මහත්තයගේ ගෝලයෝ පිරිසට හැම දේම පේන්නේ උඩු යටිකුරු වෙලා.

ඒකයි හිතෙන හිතෙන දේ කියවන්න පටන්ගෙන තියෙන්නේ.

දැන් ඔන්න බැරිම තැන කියනවා හමුදාව නියමයි කියලා. තව ඉස්සරහට එතුමාට කියන්න දේවල් නැතිව යනවා.

විපක්ෂ නායකතුමාට නැගෙනහිර, උතුරුමැද, සබරගමුව, වයඹ, මධ්‍යම තියන බෙහෙත් පෙතිටික කෑමට පෙර දීලා ඉවරයි.

ඊළඟට බස්නාහිර, ඌව, දකුණ යන බෙහෙත් පෙති දීලා උඩ යටිකුරු කරලා මහ මැතිවරණ, ජනාධිපතිවරණ පෙති දුන්න ගමන් අන්දුන් කුන්දුන් වෙලා යන්න වෙන්නේ පිටරටකටම තමයි.

එදත් අප කිව්වෙ අදත් අප කියන්නේ රට සතුරගෙන් බේරගෙන රට ගොඩ නංවන්න බලය දෙන්න කියලා.

අපි මෙහෙම මැතිවරණ ගේනකොට විපක්ෂය බයයි. සාමාන්‍යයෙන් වෙන්නේ විපක්ෂය තමයි ඡන්දයක් එනකොට සතුටු. එහෙත් අපේ විපක්ෂය බයයි. ඒ නිසා කියනවා යුද්දේ ගැන හිතන්න එපා බඩ, කට ගැන හිතන්න කියලා.

ඔය අවලාද වලට රැවටෙන්න එපා. වික‍්‍රමසිංහ මහත්තයට තමන් ගත්තු ණය ගෙවන්න ආත්ම ගණනක් මදියි.

ඒකට ගමේ ඉන්න එක්සත් ජාතික පාක්ෂිකයිනි ඔබ කර ගහන්න එපා.

මොකද අප වයඹ දිනනවා.

අප රැස්වීම් වලට ආවත් නැතත් දිනනවා. අපි එන්නේ තව තවත් දිනන ප‍්‍රතිශතය වැඩි කරන්න.

ජනතා විමුක්ති පෙරමුණ බිහිවුණේ දේශපෙ‍්‍ර්මි පක්ෂයක් ලෙස. අද එය වෙනස් වෙලා. සීනුව වෙනුවට ටකය ලකුණ වෙලා. රනිල් වික‍්‍රමසිංහ මහතා වවුලෝ එලවන්න ටකේ හොළවනකොට ජවිපෙ ටකේ හොළවනවා.

රනිල් වික‍්‍රමසිංහ මහතා උදේ කියන දේ ජනතා විමුක්ති පෙරමුණ හවසට කියනවා. රට රැකගන්න මහේශාක්‍ය කාර්ය කළ ජනතා විමුක්ති පෙරමුණට හැමදේම අමතක වෙලා.

වීරෝදාර රණවිරුවන් ගෙන යන සටන දිනවන්න, ජාතික පුනරුදයක් ඇතිකර සමෘද්ධිමත් ලංකාවක් හදන්න එක්වන්න කියලා මම ඔබ සැමගෙන් ඉල්ලනවා.

එහෙම වුනොත් පරද්දන්න බෑ කියපු එල්.ටී.ටී.ඊ.ත‍්‍රස්තවාදය පැරැදුවා වගේ හදන්න බෑ කියපු රට හදලා පෙන්වනවා. ඒ සඳහා සියලු දෙනාගේම සහයෝගය ලබා දෙන්න යයිද හෙතම කීය.

ටිකිරි අධිකාරි මහතාගේ ඉල්ලීමකට අනුව වදාකඩ සඳහා ගමනා ගමන මණ්ඩලයේ නව බස් රථයක් ලබාදීම ප‍්‍රවාහන ඇමැතිවරයා , විසින් එහිදී සිදු කළේ ය.

මේ අවස්ථාවට ප‍්‍රවාහන ඇමැති ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ති‍්‍ර දිලිප් විජේසේකර, වයඹ පළාත් සභා අපේක්ෂකයින් වන ටිකිරි අධිකාරි, පියුමාල් හේරත්, ආර්.ඒ.රත්නායක යන මහත්වරුන්ද සහභාගී වී සිටියහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා