න්‍යෂ්ටික අවි වැළැක්වීමට අමෙරිකාව හා රුසියාව මුල්විය යුතුයි

න්‍යෂ්ටික අවි වැළැක්වීමට අමෙරිකාව හා රුසියාව මුල්විය යුතුයි

බැරැක් ඔබාමා කියයි

පරමාණු අවි අඩුකිරීම පිළිබඳ සාකච්ඡා යළි ආරම්භ කිරීමෙන් න්‍යෂ්ටික ආයුධ පැතිරීම වැළැක්වීම සම්බන්ධයෙන් අමෙරිකාව සහ රුසියාව නායකත්වය ගත යුතුයයි අමෙරිකන් ජනාධිපති බැරැක් ඔබාමා ඉකුත් සඳුදා පැවැති සිය මුල්ම පුවත්පත් සාකච්ඡාවේ දී පැවැසීය.

අමෙරිකාව සහ රුසියාව මෙවැනි ආරම්භයක් දුනහොත්, වසර කිහිපයක දී දුර්වල වී ඇති න්‍යෂ්ටික ආයුද පැතිරීයාමට එරෙහි ගිවිසුම් යළි පණගැන්විය හැකි බවට ඔබාමා විශ්වාසය පළ කරයි.

දෙසැම්බර් 31 දින අහෝසිවීමට නියමිත ‘ක‍්‍රමෝපාය ආයුධ අඩුකිරීමේ ගිවිසුම (START)  පිළිබඳව නව පරිපාලනයට යළි සාකච්ඡා ආරම්භ කළ හැකි බව රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් කීවාය. ජෝර්ජ් බුෂ්ගේ පාලන සමයේ දී මේ සම්බන්ධයෙන් ලබාගත හැකි වූයේ ඉතා මද ප‍්‍රගතියක් නිසා මේ ගැන ඇපකැපවී කටයුතු කරන බව ඔබාමා අවධාරණය කෙළේය.

විකල්ප ගිවිසුමක්

(START)  - 1 ගිවිසුම වෙනුවට ඇතිකර ගත හැකි විකල්ප ගිවිසුමක් ඇති කරගැනීම පිළිබඳ ඉකුත් දෙසැම්බරයේ මොස්කව්හි පැවැති සාකච්ඡාවල දී ප‍්‍රගතියක් අත්කරගත නොහැකි වූ බව රාජ්‍ය දෙපාර්තමේන්තුව කියයි. බුෂ් පරිපාලනය ඉදිරියට ගෙනයාමට තැත් කළ දෝෂ දර්ශනයට භාජනය වී ඇති, න්‍යෂ්ටික බලය පතුරුවා හැරීමේ ගිවිසුම (NPT) අවලංගු කරන බවට හිලරි ප‍්‍රතිඥා දී තිබේ.

න්‍යෂ්ටික බලවතා

මැද පෙරදිග තිබෙන න්‍යෂ්ටික බලවත් රටක් පිළිබඳව දන්නේ ද යන පැනය නැගූ අවස්ථාවේ දී ඊට පිළිතුරු දීමෙන් ඔබාමා වැළැකී සිටියේ ය. ඊශ‍්‍රායලය, මැද පෙරදිග එකම න්‍යෂ්ටික බලවතා ලෙස විශ්වාස කෙරේ. කෙසේවෙතත්, ඊශ‍්‍රායලය මෙය පිළිගෙන හෝ ප‍්‍රතික්ෂේප කර නැත.

න්‍යෂ්ටික බලය පතුරුවා හැරීම වැළැක්වීමේ ගිවිසුමට අස්සන් කිරීමට ද යුදෙව් රජය ප‍්‍රතික්ෂේප කර තිබේ.

යුරේනියම් බලගැන්වීමේ ව්‍යාපෘතියක් යයි ව්‍යංගයෙන් පවසමින්, ඉරානය න්‍යෂ්ටික බෝම්බයක් නිපදවීමේ නිරත වී සිටින බවට අමෙරිකාව, ඊශ‍්‍රායලය සහ යුරෝපා හවුල සැක පහළ කරති.

කෙසේවෙතත්, ඉරානය මෙය ප‍්‍රතික්ෂේප කරයි. ඉරානය න්‍යෂ්ටික බෝම්බයක් නිපදවුවහොත් න්‍යෂ්ටික ආයුද තරගයක් ඇතිවිය හැකි බව විශ්ලේෂකයන්ගේ මතයයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා