රජීව් ඝාතනයට කොටි සැලැසුම් කළ හැට

රජීව් ඝාතනයට කොටි සැලැසුම් කළ හැට

ජීව් ගාන්ධි ඝාතනයට අවශ්‍ය සියලු කටයුතු සූදානම් ය.

එහෙත්; ඝාතකයන්ට ප‍්‍රභූ ආරක්ෂාව පිළිබඳව ගැටලුවක් තිබුණි. ආරක්ෂක භටයන් ගෙන් මිදී රජීව් ගාන්ධි සමීපයට යාහැකි දැයි යන්න ඒ වනතෙක් නොවිසඳී තිබුණි. සැකය දුරු කර ගැනීම සඳහා ත‍්‍රස්තවාදීන් පෙරහුරුවක් සූදානම් කෙළේ ය. මේ සඳහා තෝරා ගත්තේ එවක ඉන්දීය අගමැති වී. පී. සිං මහතා ගේ මැතිවරණ රැලියකි.

මැතිවරණ රැලිය පැවැත්වීමට තිබූ දින සිවරාසන්, ධනු සහ සුබා මෙන්ම ඡායාරූප ශිල්පියකු ද මදුරාසියේ සිට සැතැපුම් 25 ක් පමණ දුරින් පැවැති අගමැතිවරයාගේ ප‍්‍රචාරක රැලියට සහභාගී විය. රැස්වීම අවසානයේ අගමැතිවරයා පිටත්වන්නට සූදානම් විය. “ධනු” ඉදිරියට විත් හින්දු චාරිත‍්‍ර අනුව වැඩිහිටියන්ට ගරු කිරීම වස් අගමැතිවරයාගේ පාද ස්පර්ශ කළාය. මේ සියල්ල කැමරා ශිල්පියා සිය කැමරාවේ පියවරක් පියවරක් පාසා සටහන් කර ගත්තේය. පෙරහුරුව සාර්ථක ය. ප‍්‍රභූ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් නොමැත.

එවක ඉන්දියාවේ රාජ්‍ය නායකයා සමීපයට යාමට ම ඔවුන්ට හැකි විය. එහෙත් යම් හෝ අඩු පාඩුවක් වුණි ද? යන සැකයක් පැන නැගිණි. ඒ අනුව වාසස්ථානය වෙත ගිය ත‍්‍රස්තවාදීන් ලබාගත් ඡායාරූප මඟින් අඩුපාඩු නිරීක්ෂණය කරන්නට වුණි. සැලැස්ම නිවැරැදිය. දැන් ත‍්‍රස්තවාදීන් ගේ අවසාන සැකය ද දුරුවී ගොස් ය. ඉතා පහසුවෙන් තම ඉලක්කය කරා ළඟා වීමට අවශ්‍ය ආකාරය ඔවුහු දැනගත්හ.

මේ අතර 1991 මැයි මාසයේ රජීව් ගාන්ධි මහතාගේ මැතිවරණ ප‍්‍රචාරක රැලි පිළිබඳ විස්තරයක් පුවත්පත් හි පළ විය. ඉන් වඩාත් පහසු රැලිය ඔවුන් සිය ඉලක්කය සපුරා ගැනීමට සොයා ගත්තේය. ඒ; 1991 මැයි 21 වෙනි දින මදුරාසියේ ශී‍්‍ර පෙරුම්බුදූර් නම් නගරයේ පැවැත්වීමට නියමිත ජනතා රැලියයි.

ඝාතනයට නියමිත දිනට පෙර දිනයක නාලනී, ධනු, සුබා යන තිදෙනා “විල්ලි මාක්කම්” නම් ස්ථානයේ පිහිටි දේවාලයකට ගොස් සිය අභිමතාර්ථ ඉෂ්ට වේවා යැයි ප‍්‍රාර්ථනා ද කළ බව කියැවේ.

ගාන්ධි පැමිණෙන තෙක් බලා සිටින ධනු

එහෙත් මැයි මස විසිවන දින වනවිට ත‍්‍රස්තවාදීන් ට නොසිතූ අකර තැබ්බයකට මුහුණ පාන්නට සිදුවිය. බෝම්බය පැලඳ යාමට සිටි ධනු එදින බලවත් ලෙස රෝගාතුර වූවා ය. පසුදින කාර්යය කිරීමට ඉතා අපහසු තත්ත්වයට ඇය පත්ව සිටියා ය. මේ අනුව වසර ගණනාවක සැලැස්ම අවසානයේ විනාශ වී යන තත්ත්වයක් උදාවී තිබුණි. එහිදී වහා කි‍්‍රයාත්මක වූ ත‍්‍රස්තවාදීන් සමඟ සිටි හෙදියක් ධනුව තමා සේවය කළ හෙදි නිවාසය කරා ගෙන ගියා ය. එහිදී ඇයට පෙති වර්ග කිහිපයක් ලබා දුන්නා ය.

21 වෙනිදා වනවිට ධනු ප‍්‍රකෘතිමත් වී සිටියා ය. එදින සන්ධ්‍යා බාගය උදාවත්ම සුබා විසින් ඇයට ඝාතක කබාය ඇන්ද වූවාය. කිලෝ බාගයක් පමණ වූ සී ෆෝර්, ආර්. ඩී. එක්ස් නම් වූ අධි බලැති පුුපුරණ ද්‍රව්‍ය හා කුඩා ඊයම් බෝල දහස් ගණනක් පමණ එහි අන්තර්ගත වී තිබුණි. ඝාතක කබායට උඩින් රඹ පැහැගත් දීප්තිමත් සල්වාර් කමීශ් ඇඳුමකින් ඇය සැරසුණා ය.

සිවරාසන්, ධනු, සුබා, නාලනී සහ ඡායාරූප ශිල්පී හරිබාබු ශී‍්‍ර පෙරුම් බුදුර් ප‍්‍රදේශය කරා ළඟා වූයේ ඊළඟට ය. ඇය රජීව් ගාන්ධි පිළිගැනීමට මල් කළඹක් ද අතට ගත්තා ය. නාලනී සහ සුබා ජනතාව සඳහා වෙන්කර තිබූ ප‍්‍රදේශයේ අසුන් ගත්තා ය. ප‍්‍රභූ ආරක්ෂිත ප‍්‍රදේශයේ ධනු රැදී සිටින විට ඇයගෙන් පොලිස් කාන්තාවක් ප‍්‍රශ්න කිරීමට පෙළඹුණා ය. වහාම කි‍්‍රයාත්මක වූ හරිබාබු ඇය මල්මාලාවක් පලඳවන බවත් තමා ඒ අවස්ථාව ඡායාරූප ගත කිරීමට සිටින බවත් ප‍්‍රකාශ කෙළේ ය.

රාතී‍්‍ර 10.00 ලෙස වේලාව සටහන් වෙමින් තිබුණි. ජනතාව එක්වරම පී‍්‍රති ඝෝෂා නඟන්නට විය. ඒ ඉන්දියාවේ අනාගත අගමැතිවරයා වීමට නියමිතව සිටි රජීව් ගාන්ධිගේ පැමිණීමත් සමඟ ය. ගුණ වර්ණනා කවියක් ඉදිරිපත් කිරීම සඳහා කාන්තාවක් සිය දියණිය ගාන්ධි සමීපයට යැවුවා ය. ධනු ද ඇය පිටුපසින් ගොස් ගාන්ධි වෙත සමීප වූවාය.

හරිබාබු ගේ කැමරාව සෑම දෙයක්ම සටහන් කර ගනිමින් සිටියි. දැන් ධනුුගේ වාරයයි. පළමුව ඇය මල්මාලාව ගෙන ගාන්ධි ගේ ගෙල වටා දැමුවා ය. ඒ සමඟම ඇය හින්දු චාරිත‍්‍ර අනුව සිය නායකයාට ගරු කිරීම වස් පාද ස්පර්ශයට ඉදිරියට නැමුණාය. ගාන්ධි ද ඇය එසවීමට ඉදිරියට නැමුණි. ධනු නොනැගිටම තම ඉණෙහි පැලැදි ස්විචය කි‍්‍රයාත්මක කළාය. කන් බිහිරි කරවමින් නගරයම එකම හඬක් නංවා මොහොතකට නිහඬ විය. රැස්ව සිටි පිරිස ගාන්ධි පැලඳ සිටි පාවහන් යුගලින් ඔහුගේ සිරුර හඳුනා ගන්නට සමත් විය.

ඉන්දියාවේ හිටපු අගමැති රජීව් ගාන්ධි ඝාතනය ලෝකයාම මහත් කම්පාවට පත් කෙළේ ය. ඝාතනය එල්. ටී. ටී. ඊ ය මෙන්ම තවත් පාර්ශ්ව වෙත ද යොමුවන්නට විය. එහෙත් එල්. ටී. ටී. ඊ ය එය ප‍්‍රතික්ෂේප කෙළේ ය. මෙහි පර්යේෂණ බාරව සිටි ඉන්දීය විශේෂ විමර්ශන ඒකකයේ ප‍්‍රධානියා වූ ඩී. ආර්. කාර්තිකේසන් මහතා එල්. ටී. ටී. ඊ ය ඝාතනයට සම්බන්ධ බව මෙන්ම ඔවුන් ගේ සැලැසුම් සියලුම අංගද නිසි අයුරින් තහවුරු කෙළේ ය. පර්යේෂණ සඳහා හරිබාබුගේ කැමරාව සාක්ෂි ගණනාවක් සපයා තිබුණි. හරිබාබු සහ මොන්මුලි රාජරත්නම් හෙවත් ධනු ප‍්‍රහාරයෙන් මිය ගියද හරිබාබුගේ කැමරා පටලයේ ඝාතනයට සම්බන්ධ සිවරාසන් (එකැස් කොල්ලා) ධනු, නාලනී, සුබා ගේ ඡායාරූප නිරුපද්‍රිතව තිබිණි. පර්යේෂණ අවසානයේ එල්. ටී. ටී. ඊ යට ඝාතන වගකීම පිළිගන්නට විය.

ගාන්ධි ඝාතනයට මොහොතකට පෙර

රජිව් ගාන්ධි ඝාතන කුමන්ත‍්‍රණය එල්. ටී. ටී. ඊ ය 1987 වර්ෂයේ සිටම සැලැසුම් කර තිබූ බව පෙනී ගොස් ඇත. ප‍්‍රභාකරන්, පොට්ටු අම්මාන්, කොටි සංවිධානයේ කාන්තා අංශයේ උප නායිකා අකිලා අතර මේ ඝාතනයේ සැලැසුම් කි‍්‍රයාත්මක වී ඇත.

ඉන්දු – ලංකා ගිවිසුම අස්සන් කිරීම, ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව උපවාස කළ තිලීපන් උපවාසයෙන් මිය යද්දී ඒ පිළිබඳ අවධානය යොමු නොකිරීම සහ එල්. ටී. ටී. ඊ බෝට්ටුවක් අත්අඩංගුවට ගෙන එහි සිටි කොටි සාමාජිකයන් 17 ක් ශී‍්‍ර ලංකා හමුදාවට බාරදීමට කටයුතු කිරීම රජීව් ගාන්ධි ඝාතනය ප‍්‍රධාන වශයෙන්ම බලපා තිබෙන බව විශ්වාස කෙරේ. (17 දෙනාගෙන් 12 දෙනෙක් ප‍්‍රභාකරන් නියෝගය මත සයනයිඩ් කා මිය ගියහ.) රජීව් ගාන්ධි මහතා අගමැතිවරයා වශයෙන් සිටින විට මෙම අවස්ථා තුනටම කොටි ත‍්‍රස්තවාදීහු මුහුණ දුන්හ. ඒ සමඟම 1991 දී පැවැත්වීමට නියමිතව තිබූ මැතිවරණයෙන් රජීව් ගාන්ධි මහතා නැවත වරක් ඉන්දියාවේ අගමැති වන ලකුණු පෙනෙන්නට තිබුණි. එසේම ඉන්දු – ලංකා ගිවිසුම අවලංගු වී නැතැයි යනුවෙන් පුවත්වතකට ප‍්‍රකාශ කර තිබුණි. මෙනිසා එල්. ටී. ටී. ඊ යට ඉන්දියානු නායකයා ගේ කි‍්‍රයා කලාපය ගැන සැක මතුවිය. ඔහු අගමැතිවීම තමාට තර්ජනයක් බව ප‍්‍රභාකරන් කල්පනා කෙළේ ය. ඒ අනුව ඝාතන සැලැස්ම කි‍්‍රයාත්මක කර තිබුණි.

ඝාතන සැලැස්ම කි‍්‍රයාත්මක වන අතරතුර ප‍්‍රභාකරන් ඉන්දියාව සමඟ සුහදව සිටින බව ඇගැයීමට උත්සාහ කෙළේ ය. විශේෂයෙන් ම කාසි ආනන්දන් මඟින් ප‍්‍රභාකරන් රජීව් ගාන්ධි ට සුබ පැතුම් ද යවා තිබුණි. මේ අනුව ප‍්‍රභාකරන් පරණ ප‍්‍රශ්න සියල්ල අමතක කර අනාගත ඉන්දීය අගමැතිවරයා ට සමීප වීමට උත්සාහ කරන බවක් පෙන්වීය. එහෙත් ඒ වන විටත් පොට්ටු අම්මාන්ට රජීව් ඝාතනයට අවශ්‍ය සියලු කටයුතු කි‍්‍රයාත්මක කිරීමට උපදෙස් ලබා දී තිබුණි.

මේ අනුව ප‍්‍රභාකරන් සහ පොට්ටු අම්මාන් විසින් සිවරාසන්, නික්සන් කන්දන්, මුතුරාජා, මුරුගන්, නාලනී, සුබා, කණ්ඩායම් තුනක් ලෙස යොදා ගනිමින් අවශ්‍ය මිනිස් බෝම්බය සැකැසුවේ ය. සැලැස්ම අවසානයේ ඔහු විසින් රජීව් ගාන්ධි නම් ඉන්දීය ජනතාවගේ අසහාය නායකයා විනාශ කරන ලද්දේ සමස්ත භාරතයම මහත් කම්පාවට පත් කරමිනි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්