කොටි රටේ ආර්ථිකය වැනසූ හැටි...

කොටි රටේ ආර්ථිකය වැනසූ හැටි...

එල්. ටී. ටී. ඊ. යේ ත‍්‍රස්තවාදී කි‍්‍රයා නිසා ගෙවීගිය දශක තුනකටත් වැඩි කාලයකදී මෙරට ආර්ථිකයට එල්ල වූ බලපෑම සුළුපටු නොවේ. අතීතයේ සිටම විවිධ වානිජ අවශ්‍යතා වෙනුවෙන් විදේශිකයෝ ලංකාවට පැමිණියහ. මෑතකාලීනව රටෙහි ස්වභාවික සෞන්දර්ය, ඉපැරැණි උරමය අප රටට සංචාරකයන් පැමිණීමට ප‍්‍රධාන ලෙස බලපෑවේ ය.

මහ බැංකු බෝම්බ ප‍්‍රහාරයෙන් පසු

මේ නිසා සංචාරක කර්මාන්තය මෙරට ආර්ථිකයට විශාල ශක්තියක් ලබාදුනි. එහෙත් ත‍්‍රස්තවාදීන්ගේ ඉලක්කයක් බවට අගනුවර ප‍්‍රදේශය පත්වෙද්දී සංචාරක කර්මාන්තයේ බිඳවැටීමක් ඇතිවිය. විශේෂයෙන්ම විදේශිකයන් නවාතැන් ගත් අගනුවර ප‍්‍රධාන පෙළේ හෝටල් යාබදව කෙරුණු පිපිරීම් මෙහිදී ප‍්‍රබල ලෙස බලපෑවේ ය. මෙහි පළමු ඉලක්කය වූයේ කොළඹ ඔබරෝයි හෝටලයයි. 1984 ජනවාරි 24 වෙනිදින සිදුවූ බෝම්බ පිපිරීමෙන් ඔලම්ස් නම් කාන්තාවක් මියගියාය.

ඉන්පසුව 1986 මැයි තුන්වන දින “City of Colombo” නම් ට‍්‍රයිස්ටාර් යානය බෝම්බ ප‍්‍රහාරයකින් විනාශ විය. යානයේ මගීන් 128ක් සිටි අතර ඉන් 41ක් මිය ගියහ. 1986 මැයි මස 05 දින කොළඹ විදුලි සංදේශ ගොඩනැගිල්ල ද එම මාසයේම මැයි 30 වෙනි දින එලිෆන්ට් හවුස් ආයතනය ද එල්. ටී. ටී. ඊ. යේ බෝම්බ ප‍්‍රහාරයන්ට ලක්විය. මෙම ප‍්‍රහාර දෙකෙන්ම සිවිල් වැසියන් 35කට ආසන්න ප‍්‍රමාණයක් මිය ගියහ.

කොටින්ගේ මීළඟ ආර්ථික ඉලක්කය වූයේ කොලොන්නාව තෙල් ටැංකි සංකීර්ණය හා ඔරුගොඩවත්ත බොරතෙල් අංගණයයි මෙම ප‍්‍රහාරයෙන් තෙල් ටැංකි 13ක් විනාශ වූ අතර සිදුවූ ආර්ථික හානිය මිලියන 130 ඉක්මවීය.

ත‍්‍රස්තයන් විසින් මෙරටට එල්ල කළ ප‍්‍රබලතම ආර්ථික ප‍්‍රහාරය වූයේ 1996 ජනවාරි 31 දින මහබැංකුවට එල්ල කළ ප‍්‍රහාරයයි. බැංකුවල ලොකුම බැංකුව ලෙස සාමාන්‍ය ජනයා ව්‍යවහාර කරන මහබැංකුවට එල්ල කළ ප‍්‍රහාරයෙන් 86ක් මිය ගිය අතර 1338ක් තුවාල ලැබූහ. මෙම ප‍්‍රහාරයෙන් මහ බැංකුව පමණක් නොව මෙරට ආර්ථිකයට ප‍්‍රබල ලෙස බලපාන ලද ප‍්‍රධාන ආයතන ගණනාවකට හානි සිදුවිය.

ලංකා හෝටල් සංස්ථාව, එයාර් ලංකා අලෙවි සල, සුළු පරිමාණ නිෂ්පාදකයන්ගේ අලෙවිසල, ඒ. බී. එන්. අම්රෝ බැංකුව, ඉන්දු සූවස් බැංකුව මේ අතර ප‍්‍රධාන විය. එමෙන්ම කලක් මෙරට උසම ගොඩනැගිල්ල ලෙස නම්දරා සිටි සෙලින්කෝ ගොඩනැගිල්ලටද (ආකාස කඩේ) මින් විශාල හානියක් සිදුවිය.

එල්. ටී. ටී. ඊ. යේ මීළඟ ඉලක්කය වූ ආර්ථික මර්මස්ථානය වූයේ කටුනායක ගුවන්තොටුපොළය. 2001 ජූලි 24 වෙනිදා එල්ල කළ මේ මරාගෙන මැරෙන ප‍්‍රහාරයෙන් ගුවන් යානා 11ක් මුළුමනින්ම විනාශවූ අතර තවත් යානා තුනකට බරපතළ හානි සිදුවිය.

මේ හැරුණු කොට අවස්ථා ගණනාවකදීම ලංකාවේ වරායන්ට ද පහරදීමට එල්. ටී. ටී. ඊ. ය උත්සාහ කෙළේය. එහෙත් ආරක්ෂක අංශවල තිබූ කි‍්‍රයාකාරීත්වය නිසා එම අවස්ථා සාර්ථකව ව්‍යර්ථ කිරීමට හැකියාව ලැබිණි. මෙම සෑම ප‍්‍රහාරයකින්ම කොළඹ නගරය ඇතුළු ලංකාවේ අනාරක්‍ෂිත බව ලෝකයාට පෙන්වීමට එල්. ටී. ටී. ඊ. ය කටයුතු කෙළේය. මේ නිසා එක් අතකින් සංචාරක කර්මාන්තය බිඳවැටිණි. අනික් අතින් ආර්ථිකමය වශයෙන් ලබන සෘජු හානිය අතිවිශාලය.

විශේෂයෙන්ම මේ ප‍්‍රහාර සැමකින්ම පසුව අන්තර්ජාතික මාධ්‍ය මේවා සැනෙකින් ලොව පුරා ගෙනගියේය. මාධ්‍යන් මේ සිදුවීම් වාර්තා කිරීමේදී සෑම විටකම පාහේ විදේශිකයන්ට සිදුවී පවතින හානිය පිළිබඳව විමසිලිමත් විය.

මෙවැනි ප‍්‍රචාරයන් ඉහළයාම තුළ විදේශීයන් ලංකාව දෙසට යොමුවීම පහත වැටිණි. ඒ අනුව මිල කළ හැකිව තිබූ ඉපැරැණි උරුමය සහ ස්වභාවික සම්පත්වලින් අප රට බලාපොරොත්තු වූ ආර්ථික වර්ධනය ලබාගත නොහැකි විය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්