සයනයිඩ් කරල මිනිස් බෝම්බය සහ ළමා සොල්දාදුවා

සයනයිඩ් කරල මිනිස් බෝම්බය සහ ළමා සොල්දාදුවා

රුම්පිරායිහි උපත ලැබූ තරුණයකු 1970 දශකය ආරම්භයේ යාපනයේ ජනප‍්‍රිය වී සිටියේය. ඔහු නමින් සිවකුමාරන් විය. යාපනය නගරාධිපති ඇල්ප‍්‍රඩ් දොරෙයි අප්පා මහතා ඝාතනය කිරීමට යෙදුණු අසාර්ථක ප‍්‍රයත්නය මොහු ප‍්‍රසිද්ධියට බලපෑ හේතුවක් විය. එ මෙන්ම තමාටම රිවෝල්වරයක් තිබූ අයකු නිසා ඔහු එකල තරුණයන් අතර වීරයෙක් වීමටද බලපෑවේය.

ඇඩ්ලේ බාලසිංහම්

දොරෙයි අප්පා මහතා ඝාතනය කිරීමට දරන ලද ප‍්‍රයත්නය නිසා දෙමළ සන්නද්ධ ව්‍යාපාරය ප‍්‍රචණ්ඩ ස්වරූපයට ගෙන ඒමට මූලික වූ තැනැත්තා ලෙසටද සිව කුමාරන් සැලකේ. ප‍්‍රභාකරන්ටද මොහු වීරයෙක් වී සිටියේය. මෙකල ප‍්‍රදේශයේ මංකොල්ලකෑම් ගණනාවකට සම්බන්ධ වූ මොහු බැංකුවක් මංකොල්ල කෑමට උත්සාහ කරමින් සිටියදී පොලිසිය විසින් වට කරන ලදී.

වංචා ගණනාවකටම වරදකරුව සිට සිවකුමාරන් පොලිස් අත්අඩංගුවට පත්වීමට බිය විය. ඒ අනුව පොලිසිය තමා වෙත ළංවත්ම සයනයිඩ් කරලක් හපා මරණයට පත්විය. මෙරට දෙමළ සන්නද්ධ අරගලය තුළ සයනයිඩ් කා දිවි නසා ගත් මුල්ම සාමාජිකයා සිවකුමාරන් ය.

ප‍්‍රභාකරන් ද සයනයිඩ් කරල සාමාජිකයන්ට හඳුන්වා දුන්නේ සිවකුමාරන් අනුව යමිනි. සටන්බිමේ දී හමුදාවට හසුවී මිය යනවාට වඩා සිය දිවි හානිකර ගැනීම සඳහා ප‍්‍රභාකරන් එල්.ටී.ටී.ඊ. යුද මෙවලම් අතර 1984 දී සයනයිඩ් කරල හඳුන්වා දුන්නේ ය.

1982 ජූලි මස 2 දින කොටින් විසින් පොලිසියේ සිවුදෙනෙකු ඝාතනය කරන ලදී. ඝාතනය මෙහෙය වූයේ ශංකර් නම් කොටි නායකයාය. මේ වනවිට ප‍්‍රභාකරන් සිටියේ තමිල්නාඩුවේය. පසුකලෙක පොලිසිය ශංකර් සොයා මෙහෙයුමක් කි‍්‍රයාත්මක කළ අතර පොලිස් ප‍්‍රහාරයකින් ශංකර්ගේ බඩට වෙඩි වැදිණි. තත්ත්වය අසාධ්‍ය වූ අතර ඔහු වහාම තමිල්නාඩුවට ගෙන ගියේය.

මෙහිදී තමිල්නාඩුවේ සිටි ප‍්‍රභාකරන් සහ නැදුමරන් ද රෝහලට ගොස් ශංකර්ගේ තත්ත්වය සොයා බැලූහ. අසාධ්‍ය තත්ත්වයෙන් සිටි ශංකර් 1982 නොවැම්බර් 27 දින මිය ගියේ ය. සටනකින් මියගිය පළමු එල්.ටී.ටී.ඊ. සාමාජිකයා ශංකර්ය. ශංකර්ගේ මරණ සංවත්සරය යෙදෙන නොවැම්බර් මාසයේ සතියක් “මහා වීර සතිය” ලෙස එල්.ටී.ටී.ඊ.ය නම් කෙළේය.

ශංකර් මියගිය දිනය වන නොවැම්බර් 27 වෙනි දින මහා වීර කතාව ප‍්‍රභාකරන් විසින් පවත්වනු ලැබේ. එය ඇරැඹුණේ 1989 නොවැම්බර් මාසයේ සිට ය. එහිදී ප‍්‍රභාකරන් සිය අතීත කි‍්‍රයාකාරකම් සහ අනාගත ඉලක්කයන්ද ප‍්‍රකාශයට පත් කරයි. කොටි හඬ ගුවන් විදුලියෙන් ප‍්‍රචාරය කරන මේ කතාව පසුකාලීනව අන්තර් ජාතික මධ්‍යයන්හි වඩා අවධානයට ලක්වී තිබුණි.

එල්.ටී.ටී.ඊ. ලෝකයාගේ අවධානය දිනාගත් එමෙන්ම බහුලවම භාවිතා කළ ප‍්‍රහාර ක‍්‍රමයක් වූයේ මිනිස් බෝම්බයි. මෙය එල්.ටී.ටී.ඊ.යේම නිෂ්පාදනයක් නොවුනද එය ඔවුන් මුල් කාලයේ ලොවට හඳුන්වා දුන් ත‍්‍රස්තවාදී සංවිධානවලට වඩා පර්යේෂණ කර දියුණු කර යොදා ගත්තේය.

එමෙන්ම සංඛ්‍යාත්මකව ලෝකයේ විශාල ප‍්‍රමාණයක් මරාගෙන මැරෙන බෝම්බ පුපුරවා හැරි සංවිධානයද එල්.ටී.ටී.ඊ.යයි. කොටි ත‍්‍රස්තයන්ගේ මරාගෙන මැරෙන ප‍්‍රහාර හමුවේ රාජ්‍ය නායකයන් දෙදෙනෙක්, ජනාධිපති අපේක්ෂකයෙක් නාවික හමුදාපතිවරයෙක්. රජයේ උසස් තනතුරු දැරූ අමාත්‍යවරුන් ගණනාවක් එල්.ටී.ටී.ඊ. මිනිස් බෝම්බවලට ගොදුරුවූහ.

වෙනත් කිසිදු රටක මෙවැනි ප‍්‍රභූ ඝාතන ප‍්‍රමාණයක් ත‍්‍රස්තවාදී සංවිධාන සිදුකර නොමැත. එල්.ටී.ටී.ඊ.ය සිය මිනිස් බෝම්බයන්හි පිපිරුම් ශක්තිය මැන බැලීම සඳහා පර්යේෂණ අංශයක්ද ඔවුන් සතුව තිබුණි. එහිදී බල්ලන්, එළුවන් වැනි සතුන්ගේ සිරුරුවල බෝම්බ බැඳ අත්හදා බැලිණි.

එල්.ටී.ටී.ඊ.ය සිය පළමු මරාගෙන මැරෙන ප‍්‍රහාරය එල්ල කෙළේ 1987 ජූලි මස 05 දිනය. “මිලර්” නම් කොටි සාමාජිකයා විසින් යාපනයේ නෙල්ලිඅඩි ස්ථානයේ දී හමුදාව ඉලක්ක කර පුපුරවා ගන්නා ලදී.

එල්.ටී.ටී.ඊ. පුපුරුවා හැරි මිනිස් බෝම්බවලින් 30% ක් පමණ කාන්තාවන් යොදාගෙන පුපුරවාගෙන තිබුණි. එල්.ටී.ටී.ඊ.යේ අවිගත් පළමු කාන්තාව වූයේ ඇඩ්ලේ බාලසිංහම් නැමැති ඕස්ටේ‍්‍රලියානු ජාතික කාන්තාව ය. තමිල්නාඩුවේ පුහුණුව ලැබූ මුල්ම එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් 625 න් 75ක්ම කාන්තාවන් වූහ.


සටනකින් මියගිය
පළමු එල්.ටී.ටී.ඊ. සාමාජිකයා ශංකර්

1984 දී “Suthantrirap Paravaikal” (Freedom Birds) ලෙස පළමු කාන්තා බළකාය එල්.ටී.ටී.ඊ.ය පිහිටුවන ලදී. සටනකදී මියගිය පළමු එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදී සාමාජිකාව වූයේ 1987 ඔක්තෝම්බර් මාසයේ මියගිය මාලතී නැමැත්තියයි.

සන්නද්ධ කණ්ඩායම් අතර අභ්‍යන්තර සටන් බහුලවීම්ද, හමුදා ප‍්‍රහාරද හේතුකොට එල්.ටී.ටී.ඊ.යේ පිරිස් බලය හීන විය. ඒ අනුව කොටි ත‍්‍රස්තයන්ගේ වයස අවුරුදු 10 – 16 අතර ප‍්‍රමාණයට වැටිණි.

පාසල් සිසුන් එල්.ටී.ටී.ඊ. පුහුණුව ලබන දුටු මවුවරු එල්.ටී.ටී.ඊ. කඳවුරුවල කඳුළු සලමින් සිටින අයුරු මුල්කාලීනව දක්නට ලැබිණි. එමෙන්ම සමහර ශිෂ්‍ය ශිෂ්‍යාවන් මවුපියන්ගේ හැඬු කඳුළුවල බලයෙන් අපහසුවෙන් ගෙදරට ගෙනයාමට මවුපියෝ සමත්වූහ.

කෙසේ වූවත් පසුකාලීනව එල්.ටී.ටී.ඊ.යේ ත‍්‍රස්ත කි‍්‍රයා දරුණු වෙත්ම දරුවන් ආපසුගෙන යාමට උත්සාහ දැරීම මරණයට හේතුවන දඬුවමක් විය. ළමා සොල්දාදුවන් යොදවා ගැනීම සම්බන්ධයෙන් එල්.ටී.ටී.ඊ.ය අන්තර්ජාතික සංවිධානයන්හි දෝෂාරෝපණයට ලක්වී තිබුණි.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්