පිරිබාහරන් සහ වැල්වැටිතුරෙයි

පිරිබාහරන් සහ වැල්වැටිතුරෙයි

පනය අර්ධද්වීපයේ පිහිටි වෙරළබඩ ගම්මානයකි. කුඩා ගම්මානයක් වූව ද ජනගහනය එහි කුඩා බවට සාපේක්‍ෂව ඉහළ අගයක් ගත්තේය. බි‍්‍රතාන්‍ය යුගයේ ඉදිවූ පල්ලියක් ද, කෝවිල් ති‍්‍රත්වයක් ද මෙහි අනන්‍යතාව රැක දුන්නේය. රාජ්‍ය සේවය, වෙළෙඳ්‍රම මෙන් ම ධීවර කර්මාන්තය වැල්වැටිතුරෙයි ජනතාවගේ ප‍්‍රධාන ජීවනෝපායන් විය. එමෙන්ම ඉන්දියාව සමඟ පැවැති සමීපත්වයද ගම්මානයේ සෑම නිවසකින්ම දකින්නට ලැබිණි. විශේෂයෙන් ම තමිල්නාඩුවට සමීප වීම නිසාම හොර බඩු ජාවාරමටද මේ ප‍්‍රදේශය නම් දැරූ ප‍්‍රදේශයක් විය.

වැල්වැටිතුරෙයි ගම්මානයේ රජයේ ලිපිකරුවෙකු වූ තිරුවෙන්කාදම් වේලුපිල්ලේට දාව වල්ලිපුරම් පාර්වතී 1954 නොවැම්බර් 26 වෙනි දින සිය සිවුවෙනි දරුවා බිහිකළා ය. ඒ යාපනයේ වැල්වැටිතුරෙයි හි පිහිටි කුඩා ආරෝග්‍යශාලාවකදීය.

වේලුපිල්ලේ ප‍්‍රභාකරන් ලෙස නම් තැබූ ඔහු පවුලේ සිවුවෙනි දරුවා මෙන් ම බාලයා ද වූයේය.

නිවසේ බාලයා වූ නිසාම කුඩා කළ සිටම ප‍්‍රභාකරන්ට වැඩිහිටියන්ගේ රැකවල් මැද සිටින්නට විය. මේ බව  “INSIDE AN ELUSIVE MIND” කෘතියේදී ප‍්‍රභාකරන් පෙන්වා දෙයි.

”දරුවෙකු හැටියට, පවුලේ සුරතලා සහ පි‍්‍රයතමයා වූයේ මාය. ඒ නිසා නිවසේදී මා සීමා පවුරු බොහොමයකින් කොටු කර තිබිණි. මා සමඟ එකට සෙල්ලම් කිරීමට පැමිණියේ අසල්වැසි නිවෙස්වල ළමෝය. මගේ ලෝකය මගේ නිවසට හා අසල්වැසි නිවෙස්වලට සීමා විය. මගේ ළමා කාලය ගෙවී ගියේ හුදෙකලා නිස්කලංක නිවෙසක කුඩා කවයක් තුළ ය.”

ප‍්‍රභාකරන්ව පවුලේ සාමාජිකයන් විසින් “දුරෙයි” යනුවෙන් හඳුන්වා ඇත්තේ ද මේ නිසා වන්නට ඇත. “දුරෙයි” යනු “රජු” යන තේරුම දෙන වදනකි.

අධ්‍යාපනය සඳහා වැල්වැටිතුරෙයි චිදම්පරම් විද්‍යාලයට ඇතුළුවන ප‍්‍රභාකරන් දක්‍ෂ සිසුවෙකු නොවීය. ඔහුගේ සිත විවිධ හිංසාකාරී කි‍්‍රයාවන් සඳහා යොමු වී තිබුණි. මෙකල ඔහුගේ ආයුධය වී තිබුණේ කැටපෝලයකි. පක්‍ෂීන්, කටුස්සන්, ලේනුන් ඔහුගේ ඉලක්කයන් බවට පත් විය. සරුංගල් ඇරීමට ද පි‍්‍රය කළ ප‍්‍රභාකරන් සරුංගලයක් නොමැති විට බත් කූරකු අල්ලාගෙන නූලකින් ගැටගසා පියාඹන අයුරු බලා සිටින්නට පි‍්‍රය කෙළේය.

මේ අතරතුර තවත් ඔහුට සුවිශේෂී දේ තිබුණි. විටෙක ඔහුම ගෝනියක් තුළට බැස එහි කට බැඳ දවස පුරාම අව්වේ සිටියේය. ඒ අතර මිරිස් ගෙන ඒමට භාවිත කළ ගෝනි ද සිරුරේ දවටාගෙන සිටීමට උත්සාහ කෙළේය. කෘමීන් වැනි සතුන්ට ඉදිකටුවලින් ඇණ මරාදැමීම ඔහුගේ තවත් ආශාවක් විය. නිවසේ කුකුළු කූඩුවේ සිටි කිකිළියන් බිත්තර දමන තෙක් බලා සිටි ඔහු එම බිත්තර අමු අමුවේම කඩා බීමට පුරුදු වී සිටියේය.

මෙලෙස ගතවන ප‍්‍රභාකරන්ගේ පාසල් කාලයේ දී ඔහු ඉතා දුර්වල ශිෂ්‍යයෙක් වී සිටියේය. මේ දුර්වලතා අවබෝධ කර ගත් පියා ප‍්‍රභාකරන්ට පාඩම් කියාදීමට ගුරුවරයකු කැඳවා ගත්තේය. ගුරුවරයා දැඩි ජාතිවාදී ස්ථාවරයක් දැරූ දෙමළ ජාතිකයෙක් විය. ආයුධ සන්නද්ධ අරගලයේ අවශ්‍යතාව සහ ඒ පිළිබඳ විශ්වාසය ප‍්‍රභාකරන්ගේ සිතට කාවැද්දුවේ මේ ගුරුවරයා බව ප‍්‍රභාකරන් ම ප‍්‍රකාශ කර තිබේ.

මේ අතරතුර පාසලේදී ඔහු මිතුරන් සමඟ විවිධ පිපිරවීම් අත්හදා බැලීම් සිදුකෙළේය. රතිඤ්ඤාවල සිට රසායනාගාරයෙන් හොරා ගන්නා ලද විවිධ රසායන ද්‍රව්‍ය මගින් මේ පිපිරීම්වලට උපයෝගී විය.

10 ශ්‍රේණියෙන් පාසල හැර යන ප‍්‍රභාකරන් ටී. වයි. එෆ්. නම් දෙමළ ශිෂ්‍ය සංගමයකට සම්බන්ධ වේ. මේ කණ්ඩායමේ සිටි ලාබාලතම සාමාජිකයා වූයේ ප‍්‍රභාකරන්ය. එහෙයින් සෙසු සාමාජිකයන් ඔහු “තම්බි” යනුවෙන් හැඳින්විය. මේ වන විට 1970 දශකය ආරම්භ වෙමින් තිබුණි.

1970 දී රජය කි‍්‍රයාත්මක කළ විශ්වවිද්‍යාල “ප‍්‍රමිතිකරණ” කි‍්‍රයාවලිය නිසා යාපනයේ ශිෂ්‍ය උද්ඝෝෂණ ඉහළ යමින් තිබුණි. ජනතා විමුක්ති පෙරමුණ ද සිය පළමු අරගලයට පසුබිම දමා තිබිණි. විදේශීය වශයෙන් බංග්ලාදේශය වෙනම රාජ්‍යයක් ලෙස වෙන්ව ගියේය. මේ සියලු පසුබිම් දෙමළ ශිෂ්‍ය ව්‍යාපාරයට දැඩි ලෙස බලපෑවේය. ශිෂ්‍යයෝ රජයේ දේපොළවලට පහර දුන්හ. ප‍්‍රභාකරන් ද සිය පළමු ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවට මුලපිරුවේ මේ අවස්ථාවේදීය. ඒ වැල්වැටිතුරෙයි නගරයේදී බස් රථයකට ගිනි තබමිනි.

ප‍්‍රචණ්ඩත්වය මුදාලීමට යාපනය අර්ධද්වීපය හොඳ පසුබිමක් මේ වන විට තිබුණි. ප‍්‍රභාකරන් 1972 දී බෝම්බ නිෂ්පාදනය කිරීමට උත්සාහ කරන්නේ මේ අතරතුරය. සිදුවූ අත්වැරැදීමකින් පිපිරීමක් සිදුවූ අතර සාමාජිකයන් තිදෙනෙක් තුවාල ලැබූහ. ප‍්‍රභාකරන්ගේ ද දකුණු කකුල පිළිස්සිණි. මේ නිසා ඔහුගේ කකුල කළු පැහැ ගත් අතර එතැන් පටන් ඔහු “කළුපාට පාද ඇත්තා” යන තේරුමින් “කරිකාලන්” ලෙස ද හැඳින්විය.

යාපනයේ තත්ත්වය එන්න එන්නම උණුසුම් විය. පොලිසිය දෙමළ කල්ලි පිළිබඳ අවධානයෙන් සිටියේය. උදා වී ඇති තත්ත්වය හොඳ නැති බව තේරුම් ගත් ප‍්‍රභාකරන් මදුරාසියට පැන ගත්තේය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්