එල්.ටී.ටී.ඊ සංවිධානය බිහිවූ හැටි

එල්.ටී.ටී.ඊ සංවිධානය බිහිවූ හැටි

1972 මැයි මස 22 ශී‍්‍ර ලංකාවේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්මත කරගන්නට දින යෙදී තිබුණේ ය. එදිනට දින අටකට පෙර එනම් 1972 මැයි මස 14 වෙනි දින ති‍්‍රකුණාමලයේ දී රැස්වූ ෆෙඩරල් පක්ෂය, ද්‍රවිඩ කොංග‍්‍රසය, ලංකා කම්කරු සංගමය, සමස්ත ලංකා ද්‍රවිඩ සම්මේලනය සහ එලතමිලා ඔට්ටුවෙයි මුනානි සංවිධානය ඒකාබද්ධ වී ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ [TULF] පිහිටුවා ගත්හ.

ඊටම අනුබද්ධව දෙමළ ශිෂ්‍ය සංවිධානයක් ද පිහිටුවා ගත්තේ ය. එහි නායකයා වූයේ එස්. ජේ. වී. චෙල්වනායගම් මහතා ගේ පුත‍්‍රයකු වූ චන්ද්‍ර හසන් ය. මේ ශිෂ්‍ය සංවිධානයේ ප‍්‍රභාකරන්, ශී‍්‍ර සබාරත්නම්, උමා මහේෂ්වරන් වැනි අයද සාමාජිකයෝ වී සිටියහ.

ඒ වන විට ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ දෙමළ ජනයාගේ අයිතිය වෙනුවෙන් කරුණු හතක් නව ව්‍යවස්ථාවට ඇතුළත් කරන මෙන් ඉල්ලා සිට තිබුණේය.

නමුදු මේ ඉල්ලීම් සම්මත වූ නව ආණ්ඩුක‍්‍රම යෝජනාවලියේ දක්නට නොලැබිණි. ඒ අනුව ආණ්ඩුවට එරෙහිව විරෝධතා මාලාවක් කි‍්‍රයාත්මක කිරීමට ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ඇතුළු සෙසු දෙමළ පක්‍ෂ තීරණය කර තිබුණි.

සම්මත වී තිබූ නව ජනරජ ව්‍යවස්ථාව ට දෙමළ මන්තී‍්‍රන් කිහිප දෙනෙකුගේ ද සහය ලැබී තිබුණි. මෙයට උරණ වූ ද්‍රවිඩ එක්සත් පෙරමුණ එම මන්තී‍්‍රන් ද්‍රෝහීන් ලෙස හඳුන්වා දුනි. 1972 මැයි 24 වෙනිදා ද්‍රවිඩ එක්සත් පෙරමුණේ සාමාජිකයකු වූ කාසි ආනන්දන් මෙසේ දෙමළ ජනතාව පාවා දෙන ලද සාමාජිකයන් හය දෙනාට ස්වභාවික මරණයක් පවා නොලැබිය යුතු බවට ප‍්‍රසිද්ධ වේදිකාවක ප‍්‍රකාශ කෙළේ ය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඔවුන් මෙලෙස දෙමළ ජාතියට ද්‍රෝහී වූවන් මිය යා යුත්තේ කෙසේදැයි දෙමළ තරුණයන් තීරණය කළ යුත්තේ යැ”යි ද ප‍්‍රකාශ කෙළේ ය.

ආනන්ද් ගේ මේ ප‍්‍රකාශය සන්නද්ධ කි‍්‍රයාවලට කළ ආරාධනයක් බඳු විය. සති දෙකක් ඇතුළත බෝම්බ ප‍්‍රහාර, වෙඩි තැබීම් ගණනාවකට මුහුණ දීමට දෙමළ මන්තී‍්‍රන් ගණනාවකට සිදු විය.

ජනරජ ව්‍යවස්ථාවට විරෝධය පෑ පෙඩරල් පක්ෂයේ නායක එස්. ජේ. වී. චෙල්වනායගම් මහතා 1972 ඔක්තෝබර් මස 2 දින පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධුරයෙන් ඉල්ලා අස්විය. ඒ නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් දෙමළ ජනතාවගේ ජනමතය ලබාගැනීමට අතුරු මැතිවරණයකට මාර්ගය විවෘත කරමිනි. පැවැති මැතිවරණයෙන් ජයගත් චෙල්වනායගම් මහතා එම ජය දෙමළ ඊළමක් වෙනුවෙන් ලද ජයග‍්‍රහණයක් බව ප‍්‍රකාශ කෙළේ ය.

මේ අතරතුර 1974 ජනවාරි 3 සිට 9 වෙනිදා දක්වා අන්තර් ජාතික දෙමළ පර්යේෂණ සමුළුව යාපනයේ පැවැත්විණි. එය අවසාන දින පොලිසිය සහ සහභාගීවූවන් අතර ගැටුමක් ඇති විය. පොලිසිය විසින් එල්ල කළ වෙඩි පහරකින් විදුලි කම්බියක් කඩා වැටී දෙමළ ජාතිකයන් නව දෙනෙකු මරුමුවට පත් වූහ.

නිරනුකම්පිත මිනිසකු වූ කිට්ටු, බෝම්බ ප‍්‍රහාරයකින් කකුලක් අහිමිවූවෙකි. පසුව හමුදා ප‍්‍රහාරයකට මැදිව දිවි නසා ගත්තේය.

මෙසේ උතුරු නැෙඟනහිර ඇතිවෙමින් පැවැති උණුසුම් තත්ත්වය ආයුධ සන්නද්ධ තරුණ පිරිස් හට තම ඊළාම් අරමුණට යොමු වීමට ආයුධ අතට ගැනීමට මඟ පාදන ලදී. මේ වන විට ප‍්‍රභාකරන් දෙමළ නව කොටි  [TNT] නමින් සංවිධානයක් පිහිටුවා ගෙන තිබුණි.

හැත්තෑව දශකයේ මුල සිටම වෙනත් සන්නද්ධ කණ්ඩායම් දේශපාලනඥයන් ඝාතනය කිරීමට අසාර්ථක උත්සාහයන් දරන ලදී. ප‍්‍රභාකරන් ද සිය සංවිධානයේ පළමු වෙඩිල්ල පත්තු කරන්නට ද තෝරා ගත්තේ දේශපාලනඥයෙකි. ඒ, ඇල්ෆ‍්‍රඩ් දොරෙයි අප්පා මහතාය. එවක යාපනය නගරාධිපති වරයා වූ දොරෙය් අප්පා මහතා සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ සමීපතමයකු වී සිටියේ ය.

දෙමළ ඊළාම් අරමුණට විරෝධය පෑ අයකු ලෙසට ද ඔහු ප‍්‍රකට වී තිබුණි. 1973 මැයි මස 20 වැනිදා පවත්වන්න ට යෙදුණු දෙමළ තරුණ පෙරමුණ සංවිධානය කළ ආණ්ඩු විරෝධී පෙළපාළිය නවතා දැමීමට ද විශාල උත්සාහයක් දරා තිබුණි. මේ සියලු සාධක දොරෙයි අප්පා මහතා ප‍්‍රභාකරන්ගේ පළමු ගොදුර බවට පත්වීමට හේතුව වී තිබුණි.

1975 ජුලි 27 වෙනිදා කුරිරු ලෙස යාපනය නගරාධිපතිවරයා මරා දමන විට දෙමළ නව කොටි සංවිධානය සැලකිය යුතු ශක්තිමත් තත්ත්වයක නොතිබිණි. ඝාතකයන් පිළිබඳ පර්යේෂණ ආරම්භවත්ම තම ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිලිමත් වීමට කොටින් පටන් ගත්හ.

තුවක්කුවක් සොයාගත නොහැකි නම් මන්නයක් නැතිනම් මිරිස් කුඩු ටිකක් හෝ ළඟ තබා ගන්නා මෙන් ප‍්‍රභාකරන් සාමාජිකයන් ට අණ දුන්නේ ය. ආර්ථික අතින් පැවැති දුර්වලතාව සංවිධානයේ ඉදිරි ගමනට බාධාවක් බව තේරුම් ගත් ඒ සඳහා මුල්‍ය සම්පත් තර කර ගන්නා මාර්ගයක් සොයමින් සිටියේ ය. 1976 මාර්තු 5 දින යාපනය පුතූර් හි මහජන බැංකුව කොල්ලකා මුදලින් ලක්‍ෂ 5 ක් ද, ලක්ෂ 2 ක රත්තරන් ද සොරා ගත්තේ මේ ආර්ථික හිඩැස වසමිනි. ප‍්‍රමාණවත් ආයුධ ශක්තියක් ද ඔවුනට ලබාගත හැකි විය.

ඒ සමඟම 1976 මැයි 5 වෙනි දින සිට දෙමළ නව කොටි, ඊළාම් රාජ්‍ය සඳහා වූ විමුක්ති කොටි සංවිධානය [LTTE]  ලෙසින් සිය අනුප‍්‍රාතික සංවිධානය පිහිටුවා ගත්තේ ය. තම සංවිධානය “ඊළම” නම්වූ ස්වාධීන රාජ්‍යයක් ලබා ගැනීමේ අරමුණින් පිහිටවූ බව ප‍්‍රකාශ කළ ප‍්‍රභාකරන් එය යථාර්ථයක් වූ විට සංවිධානය විසුරවා හරින බව ප‍්‍රකාශ කෙළේ ය.

සාමාජිකයන් 5 දෙනෙකුගෙන් සමන්විත වූ මධ්‍යම කාරක සභාවක් පත් කරගත් ප‍්‍රභාකරන් එහි නායකත්වයට තමාම පත්කර ගත්තේ ය. ව්‍යවස්ථාව අනුව දෙමළ ඊළාම් අරමුණට පක්ෂපාතීත්වය තබා ගැනීම සාමාජිකයන්ට අනිවාර්ය විය. සංවිධානයේ ත‍්‍රස්තවාදීන්ට තරයේම පිළිගත යුතු නීති රැසක් ද ප‍්‍රභාකරන් පැනවීය. දුම්පානය, මත්පැන් පානය සහ පෙ‍්‍ර්ම සම්බන්ධතා සහ ලිංගික සම්බන්ධතා සාමාජිකයන්ට තහනම් විය.

සිය පවුල සමඟ සම්බන්ධතා පවත්වා ගෙන යාමද තහනම් විය. සාමාජිකයන්ට ගෙදරින් ලිපි ලබාගැනීමට ඉඩ තිබුණි. එහෙත් ලිපි යැවීම වාරණයට ලක්වී තිබුණි. ඉඳහිට පවුල් සාමාජිකයන් හමුවීමට අවසර ගතහැකි ය. සිවිල් වැසියන් සමඟම සීමිත සම්බන්ධතා පමණක් පැවැත්විය යුතු විය.

එල්ටීටීඊයේ නියෝජ්‍ය නායකයා වූ මහත්තයා, ප‍්‍රභාකරන් ගේ නායකත්ව උන්මාදය හේතුවෙන් මරා දමන ලදි.

එල්.ටී.ටී.ඊ විරුද්ධ මතවාදයන්ට අවසර නොමැති අතර කණ්ඩායමෙන් පලා යන්නන්ට සහ ප‍්‍රතිවාදී කණ්ඩායම් පිහිටවාලන අයට මරණ දඩුවම හිමිවේ. කිසියම් හේතුවක් මත සාමාජිකයකු කණ්ඩායමෙන් ඉවත් කළහොත් ඔහුට කිසිම දේශපාලන පෙරමුණකට ඇතුළුවීම තහනම් විය.

දැඩි නීති මෙලෙස පනවා තිබූ එල්.ටී.ටී.ඊ ය එය කැඩූ විට ලබාදෙන දඩුවම ද මරණය හෝ වෙනත් කුරිරු ආකාරයක් ගත්තේ ය.

වරෙක ප‍්‍රභාකරන්ගේ දෙවෙනි ආරක්‍ෂක ස්ථරයේ තරුණියකගේ උදරය අසාමාන්‍ය ලෙස ඉදිරියට නෙරා තිබෙනු දැක ඇයව පර්යේෂණයකට භාජනය කෙළේ ය.

එහිදී ඇය ගැබ්ගෙන ඇති බව ප‍්‍රභාකරන්ට දැන ගන්නට ලැබුණි. සියලු විස්තර සොයා ගත් ප‍්‍රභාකරන් ඇය ගැබ් ගැනීමට වගකිව යුතු සිය පළමු ආරක්ෂක ස්ථරයේ ගරිල්ලා සාමාජිකයා කැඳවා දෙදෙනාම මරා දැමීය. එහෙත් ප‍්‍රභාකරන් මේ නීති කෙතරම් දුරට පිළිගත්තාදැයි දැන් ගැටලු සහගතය.

එල්.ටී.ටී.ඊ යේ කොටියා ලාංඡනය ද ප‍්‍රභාකරන්ගේම තේරීමක් විය. මහජනතාව රැස්කිරීම සඳහා එම සංකේතය උපයෝගී කර ගැනීම වඩාත් පළ ප‍්‍රයෝජන වෙතැයි ප‍්‍රභාකරන් තුළ විශ්වාසයක් පැවැතිණි.

කෙසේ වුවද ප‍්‍රභාකරන් කණ්ඩායමට සාමාජිකයන් බඳවා ගැනීමේ දී දැඩි සැලකිල්ලක් දැක්වීය. “සංඛ්‍යාවෙන් පිම්බුණු නමුත් පලක් නැති මිනිසුන් 500 ක් සිටිනවා වෙනුවට දක්ෂ මිනිසුන් 50 ක් සමඟ මට සාර්ථක කාර්යයක් කළ හැකි යැ”යි ප‍්‍රභාකරන් වරෙක ප‍්‍රකාශ කෙළේ ය.

එමෙන්ම කණ්ඩායමේ සාමාජිකත්වය ලැබීමට එන සියලු දෙනා පළමුව පරිවාස කාලයකට යටත් වන්නට සිදුව තිබුණි. ඒ කාලය ඇතුළත ඔත්තු බැලීම, පණිවිඩ ගෙනයාම, පක්ෂ සාහිත්‍යය සහ අවි ආයුධ හොරෙන් ගෙන යාම බඳු මූලික කාර්යයන් පැවැරිණි. මේ පර්යේෂණ සාර්ථක වූ කල්හි ඔහුට එල්. ටී. ටී. ඊ යේ සාමාජිකත්වය ලැබිණි.


 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්