උමා-ප‍්‍රභා ගැ ටු ම

උමා-ප‍්‍රභා ගැ ටු ම

1978 වර්ෂයේදී එල්.ටී.ටී.ඊ.ය විදේශයක සිය පළමු කාර්යාලය විවෘත කෙළේය. ඒ බි‍්‍රතාන්‍යයේ ය. මෙලෙස අන්තර් ජාතිකව පවා තම ශක්තිය ප‍්‍රචලිත කිරීමට එල්.ටී.ටී.ඊ.ය කටයුතු කරද්දී එහි නායකත්වය සම්බන්ධයෙන් ප‍්‍රභාකරන් සහ උමා මහේෂ්වරන් අතර ගැටුම් හට ගත්හ.

උමා මහේෂ්වරන්

උමා මහේෂ්වරන් යනු මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සේවකයෙකි. ලංකාවේ ප‍්‍රදේශ ගණනාවකම සේවය කළ ඔහුට සිංහල භාෂාවද මනා ලෙස හැසිරවීමේ හැකියාවක් තිබිණි.

මුහුත්දන්, පෙරියර්, වේළු කදිර ගාමිණී නල්ලයියා නාදන්, අබ්දුල්ලා මොහොමඩ් නවාස් යන නම්වලින්ද මොහු හඳුන්වයි. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ සාමාජිකයකු ලෙස පළමුවෙන්ම කටයුතු කළ ඔහු 1976 දී එල්.ටී.ටී.ඊ.යට බැඳිණි.

කෙටි කලකින්ම සංවිධානයේ සභාපති ධූරයටද පත්විය. සභාපතිවරයා වශයෙන් උමා ලෙබනනයට ගොස් යසර් අරෆත් ගේ පලස්තීන විමුක්ති සංවිධානයට අයත් අල්ෆාටා සංවිධානයට බැඳී පුහුණුව ලැබීය. මෙලෙස උමා සංවිධානය තුළ ශක්තිමත් විය. එමෙන්ම ඔහු නායකත්වය සම්බන්ධයෙන් අයිතිවාසිකම් ප‍්‍රකාශ කරන්නට විය. මේ නිසා ප‍්‍රභාකරන් සහ උමා අතර සීතල ගැටුමක් ඇතිවී තිබුණි.

මේ කාලවකවානුවේ උමා මහේෂ්වරන් උර්මිලා කන්දයියා නැමැති කාන්තාව සමඟ පේ‍්‍රම සම්බන්ධයක් පවත්වන බව ප‍්‍රභාකරන්ට සැලවී තිබිණි. සංවිධානයේ නීතියට එරෙහි කි‍්‍රයාවක් වූ මෙය ප‍්‍රභාකරන්ට උමාව පන්නා දැමීමට අවස්ථාව උදා කෙළේය. මේ සමඟම උමා - ප‍්‍රභාකරන් ගැටුමට තවත් ද්විතික හේතූ ද විය.

මාක්ස්වාදය පිළිබඳ උනන්දුවක් තිබූ උමා සංවිධානයේ ප‍්‍රතිපත්ති මාක්ස්වාදී විය යුතු බව ප‍්‍රකාශ කෙළේය. එහෙත් ප‍්‍රභාකරන් සිටියේ වෙනත් මතයකය. මොවුන් අතර තවත් ගැටුමක් තිබුණි. එනම් කුල ප‍්‍රශ්නයයි. ප‍්‍රභාකරන්ට වඩා උමා ඉහළ කුලයකට අයත් අයෙක් විය.

මේ නිසා කණ්ඩායමේ නායකත්වය උමාට හිමිවිය යුතු බව උමාට පක්ෂපාතී පිරිස් ප‍්‍රකාශ කළහ. මේ අභියෝග සියල්ල ජය ගැනීමට උමා - උර්මිලා පේ‍්‍රමය ප‍්‍රභාකරන්ට කදිම අවස්ථාවක් විය. දිනෙක ප‍්‍රභාකරන් හිතවාදීන් උර්මිලාව ප‍්‍රභාකරන් මුණ ගැස්වීමට ගෙනාවේය. උර්මිලා දෙස බැලූ ප‍්‍රභාකරන් ඇගේ දෙපා මුලට කෙළ ගසා යන්නට ගියේය. කල්ගතවත්ම උර්මිලා අභිරහස් ලෙස මිය ගියාය.

ප‍්‍රභාකරන් විසින් 1979 වසරේදී එල්.ටී.ටී.ඊ. සභාපති ධූරයෙන් සහ මධ්‍යම කාරක සභාවෙන් උමා මහේෂ්වරන් ඉවත් කරන ලදී. එලෙස උමා කණ්ඩායමෙන් ඉවත් කරත්ම උමාගේ සමීපතමයකු වූ සුන්දරම් ඇතුළු කණ්ඩායමක් එල්.ටී.ටී.ඊ. ය සතු අවි ආයුධ රැසක්ද රැගෙන පලා ගියහ. ප‍්‍රභාකරන් විසින් උමාව සංවිධානයෙන් ඉවත් කළද තමා තවමත් එල්.ටී.ටී.ඊ. නායකයා බව උමා ප‍්‍රකාශ කරමින් හැසිරුණේය.

1980 දී උමා මහේෂ්වරන් විසින් ද්‍රවිඩ ඊළාම් ජනතා විමුක්ති සංවිධානය (PLOT) ආරම්භ කරන ලදි. මෙය කණවැකුණු ප‍්‍රභාකරන් මාරාවේෂ විය. එල්.ටී.ටී.ඊ.යේ ප‍්‍රතිපත්ති ගණනාවක්ම උමා උල්ලංඝනය කර තිබිණි. පේ‍්‍රම සබඳතා පැවත්වීය. සංවිධානයෙන් ඉවත්ව වෙනම සංවිධානයක්ද පිහිටවීය. මේ අනුව එල්.ටී.ටී.ඊ.යේ නීතිය අනුව උමාගේ නම ඉදිරියේ මරණය ලියැවී තිබුණි.

මේ වනවිට යාපනයේ තත්ත්වය පාලනය කිරීම හමුදාව අතට පත්ව තිබුණි. සන්නද්ධ කණ්ඩායම්වලට මෙම තත්ත්වය අයහපත් වන බව දැනගත් ප‍්‍රභාකරන් 1981 ජූනි මස 6 වෙනි දින තමිල්නාඩුවට පැන ගත්තේය.

උමාගේ ප්ලොට් සංවිධානය ශක්තිමත් ලෙස නැගී එමින් තිබුණි. ඔවුන් 1981 ඔක්තෝම්බර් 23 වෙනි දින නිලාවේලී මහජන බැංකුවට ප‍්‍රහාරයක් එල්ල කෙළේය. එහිදී රුපියල් දස ලක්ෂ 27 ක මුදලක් මංකොල්ල කෑහ. ඔවුන් අනින් කෝප‍්‍රල් විජේසිරි ද මිය ගියේය. මේ සම්බන්ධයෙන් ප්ලොට් සාමාජිකයන් කිහිපදෙනෙකු සිරගත කෙරිණි.

ප‍්‍රභාකරන් ඉන්දියාවේදී අත්අඩංගුවට පත්වී...

ප‍්‍රභාකරන් තමිල්නාඩුවේ සිටින අවධියේදී සංවිධානයේ කටයුතු චාල්ස් ඇන්තනී හෙවත් සීලන්ට පැවරී තිබුණි. ඔහු එල්.ටී.ටී.ඊ.යේ නියෝජ්‍ය නායකයා ලෙස කටයුතු කරමින් යාපනයේ සන්නද්ධ කි‍්‍රයා මෙහෙයවීය.

දෙමළ සන්නද්ධ පිරිස් අතර ප‍්‍රසිද්ධියට පත්වූ පළමු අභ්‍යන්තර ඝාතනය වාර්තා වනුයේ මේ අතරය. ඝාතකයා සීලන් විය. මරා දැමුවේ උමාගේ හිතවාදියකු වූ සුන්දරම්ය. “පුතිය පාතයි” (නව මඟ) නමින් සඟාවක් සංස්කරණය කළ ඔහු මරා දැමීම එල්.ටී.ටී.ඊ. සාධාරණය කෙළේ ඔහු එල්.ටී.ටී.ඊ.යෙන් ඉවත්ව වෙනත් කණ්ඩායමක් පිහිටුවාගෙන සිටි බව ප‍්‍රකාශ කරමිනි.

එහෙත් සැබෑ තත්ත්වය අනුව සුන්දරම් ප්ලොට් සංවිධානයේ සිටි දක්ෂ සංවිධායකයකු විය. යුද කටයුතු පිළිබඳ ප‍්‍රමාණිගත විය. ඔහු උමා සමඟ ඉදිරියට පැමිණීම එල්.ටී.ටී.ඊ.යට අභියෝගයක් වන්නට ඉඩ තිබිණි. මේ අනුව සුන්දරම් මරා දමනු ලැබේ.

සුන්දරම්ගේ මරණය උමාට එල්ල වූ බරපතළ පහරක් විය. ලෙයින්ම පළිය ගැනීමට සිතු උමා ප‍්‍රභාකරන් සොයා තමිල්නාඩුවට ගියේය. උමා තමිල්නාඩුවට පැමිණි බව දැනගත් ප‍්‍රභාකරන් ද විමසිලිමත් විය.

1982 මැයි 19 වෙනිදා උදාවූයේ මේ අතරය.

ප‍්‍රභාකරන්, රාඝවන් සහ තවත් අයකු සමඟ චිත‍්‍රපටයක් නැරැඹීම සඳහා මදුරාසියේ පොන්ඩිබසාර්හි සිනමා හලකට ගියේය. මේ බව දැනගත් උමා සිනමා ශාලාවෙන් ඉවතට එනතුරු මඟ රැක සිටියේය.

සිනමා දර්ශනය අවසන් විය. ප‍්‍රභාකරන් රාඝවන් සිනාමුසු මුහුණින් සිනමා ශාලාවෙන් එළියට එමින් සිටියහ. එළියට එන පිරිස් අතරේ උමාගේ ඇස් ප‍්‍රභාකරන් සොයමින් තිබුණි. ගතවූයේ මොහොතකි. උමා, ප‍්‍රභාකරන් දෙදෙනාගේම නෙත් එකට ගැටිණි.

ලද ඇසිල්ලෙන් දෙදෙනාගේ ම අත් තම රිවෝලරය වෙත ගියේය. ඉනෙන් ඇදගත් රිවෝලර මඟින් දෙදෙනාම වෙඩි තබා ගත්හ. පොන්ඩිබසාර් වීදියේ ජනතාවට මෙය සිනමා දර්ශනයක් මෙන් දිස්වන්නට විය. කුමකින් කුමක් සිදුවේදැයි ඔවුන් තුෂ්නිම්භූතව බලා සිටියහ. මේ අතර එල්ල වූ වෙඩි ප‍්‍රහාර මැද උමා පලා ගියේය. ඔහුගේ සඟයා තුවාල ලැබීය.

උණුසුම් වූ පොන්ඩිබසාර් වීදිය මිනිසුන් “අල්ලපියව්! අල්ලපියව්! කියමින් ප‍්‍රභාකරන් සහ රාඝවන් පසුපස දුවන්නට වූහ. කලබලය දුටු පොලිස් භටයෝ ප‍්‍රභාකරන් සහ රාඝවන් අත්අඩංගුවට ගත්හ.

ඒ වනවිට ප‍්‍රභාකරන් ලංකා රජයට අවශ්‍යව සිටි අයෙකි. ප‍්‍රභාකරන් ලංකාවට භාරදේවි යැයි ලංකා රජයද බලාපොරොත්තු වෙන් සිටියේය. එහෙත් නැදුමරන්, තමිල්නාඩු ප‍්‍රධාන අමාත්‍ය එම්. ජී. ආර්. ගේ පිහිටෙන් ප‍්‍රභාකරන්ට නිදහසේ කල්ගත කරන්නට ඉඩ ලැබුණි.

පසුකාලයකදී ප‍්‍රභාකරන් උග‍්‍ර දෙමළ ජාතිවාදය කරපින්නාගෙන සියලුම දෙමළ සටන්කාමී කණ්ඩායම් සමූල ඝාතනය කෙළේය. ටෙලෝ ඊ.පී.ආර්.එල්.එෆ්. ඒ සංවිධාන විය. ප්ලොට් ද ඒ ලේඛනයටම එක්විය.

ප‍්‍රභා සමඟ මුහුණට මුහුණ සටන් කළ, අභියෝග කළ උමා මහේෂ්වරන් වරෙක මාලදිවයින් රජය පෙරැලීමට කුමන්ත‍්‍රණයක්ද කි‍්‍රයාත්මක කෙළේය. කුමන්ත‍්‍රණය අසාර්ථක වූයේ ඉන්දියාවේ කොමාන්ඩෝ භටයන්ගේ ආරක්ෂාව මාලදිවයිනට වහාම ලැබුණු නිසාවෙනි.

අසූව දශකයේ අගභාගය වනවිට ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යුහය පිළිබඳව උමාගේ විශ්වාසය ඉහළ ගොස් තිබුණි. ආයුධ මගින් කිසිසේත් ජනවාර්ගික ප‍්‍රශ්නය විසඳිය නොහැකි බව 1988 අප‍්‍රියෙල් 19 වෙනි දින එවක අස්ගිරි පාර්ශවයේ මහනායක හිමියන් බැහැ දකිමින් කියා සිටියේය. උමා මහේෂ්වරන් දෙමළ සටන්කාමී ව්‍යාපෘතියේ කැපීපෙනෙන චරිතයක් විය.

එහෙත් ඔහු කිසිදිනෙක සිවිල් සිංහල ජනතාව ඉලක්ක කර ප‍්‍රහාර කි‍්‍රයාත්මක නොකෙළේය. එලෙස සිවිල් ජනතාව ඉලක්ක කර ගනිමින් ප‍්‍රහාර එල්ල කළ ප‍්‍රභාකරන් උමාගේ දැඩි විවේචනයට ලක්විය. කෙසේ වුව අවසාන කාලය වනවිට උමා තනිවී සිටියේය. ඊළාම් අරමුණ අතහැර දැමීම නිසා ඔහුගේ සාමාජිකයන්ද ඔහුට එරෙහිව පිල් බෙදුනහ. මේ සියල්ලටම උමාට මුහුණ දෙන්නට වූයේ තනිවම ය.

මේ අතර 1989 ජූලි මස 16 වෙනි දින රාතී‍්‍ර 7.30 ට පමණ අප්පා පිල්ලෙයි අමිර්තලිංගම් මහතාට අවසන් ගෞරව දැක්වීම පිණිස උමා නිවෙසින් පිටවිය. එය උමා මහේෂ්වරන්ගේද අවසාන ගමන විය.

පසු දින උමා මහේෂ්වරන්ගේ සීතල මළසිරුර බම්බලපිටියේ දී හමුවිය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්