මුද්‍රණය සඳහා

 
අන් මත නොඉවසූ ප‍්‍රභාකරන්

අන් මත නොඉවසූ ප‍්‍රභාකරන්

ත්තෑව දශකයේ අගබාගය වනවිට උතුරේ දෙමළ සන්නද්ධ කණ්ඩායම් වර්ධනය වෙමින් පැවැතිණි. ද්‍රවිඩ ඊළාම් විමුක්ති සංවිධානය (TELO) ඊළාම් ජනතා විප්ලවීය විමුක්ති පෙරමුණ (EPRLF) දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) ඊළාම් විප්ලවවාදී ශිෂ්‍ය සංගමය (EROS) මේ කණ්ඩායම් විය.

උමා මහේෂ්වරන්

1979 වර්ෂයේ දී උමා මහේෂ්වරන් එල්.ටී.ටී.ඊ.යෙන් නෙරපා දැමීමත් සමඟ ප‍්‍රභාකරන් සහ උමා අතර ගැටුම උග‍්‍ර විය. උමා ප්ලොට් සංවිධානය ආරම්භ කෙළේ ය. එල්.ටී.ටී.ඊ.යේ අභ්‍යන්තරය යම් ඉරිතැලීම්ද මෙකල ඇතිවිය. මේ අතරතුර ටෙලෝ නායක තංගතුරෙයි හමුවන ප‍්‍රභාකරන් ඔවුන් සමඟ සමීප ව කටයුතු කරන්නට පටන් ගත්තේ ය.

මේ සියල්ල අතරේ 1980 මාර්තු මස 25 වෙනි දිනය උදාවිය. යාපනය බලා යමින් තිබූ මහජන බැංකුවට අයත් වෑන් රථයකට පේදුරුතුඩුව ආසන්නයේදී ටෙලෝ සංවිධානය පහර දුනි. ආරක්ෂාවට සිටි පොලිස් භටයන් දෙදෙනා මරා දැමූ සන්නද්ධ පිරිස රුපියල් මිලියන 708 ක මුදලක් පැහැරගෙන පලා ගියහ. මුදල් සොරාගත් ටෙලෝ සාමාජිකයෝ අප‍්‍රියෙල් මස 5 වෙනි දින තමිල්නාඩුවට පැනයාමට සැලැසුම් සැකැසුවේය. සැලැස්මේ අවසාන අදියර කි‍්‍රයාත්මක වෙමින් තිබියදී කඩා වැදුණු පොලිසිය ටෙලෝ පිරිස අත්අඩංගුවට ගත්තේය. මේ පිරිස අතර තංගදුරෙයි, කුට්ටමනී ද විය. මොවුන් අත්අඩංගුවට ගැනීමෙන් පසුව ටෙලෝ නායකත්වය ශ‍්‍රී සබාරත්නම් හට හිමිවිණි. නායකයකු වශයෙන් සබාරත්නම් දක්ෂයකු නොවිණි. ඕනෑම අයකුගේ කට වචනය විශ්වාස කරන සුළු අයකුවීම ඔහුගේ දුර්වලකමක් විය.

සබාරත්නම් සිය නායකයන් දෙදෙනා වැලිකඩ හිර ගෙදරින් එළියට ගැනීමට අවස්ථාවක් සොයමින් සිටියේය. කණ්ඩායම් නායකත්වය තමා සතුව පවතිද්දී සිරගෙයි සිටින ප‍්‍රධානීන් එළියට ගැනීම තමා සතු නායකත්වයට අභියෝගයක් බව දැන දැනම ඔහු ඒ සඳහා කටයුතු කෙළේය. මේ අනුව සබාරත්නම් සිය නායකයන් බේරාගැනීම සඳහා මීගමුවේ සිට කි‍්‍රයාත්මක කළ හැකි සැලැස්මක් සූදානම් කෙළේය. ප‍්‍රහාරයට පෙර ප‍්‍රභාකරන් හමුවන සබාරත්නම් කිසිම කඩාකප්පල්කාරී කි‍්‍රයාවකට නොගොස් සිටින්නැයි ප‍්‍රභාකරන්ගෙන් ඉල්ලා සිටියේය. තම ප‍්‍රධානීන් දෙදෙනා එළියට ගැනීමෙන් පසු අවශ්‍ය ප‍්‍රහාරවලට යොමුවිය හැකි බවත් ඔහු ප‍්‍රභාකරන්ට පෙන්වා දුන්නේය.

ශී‍්‍ර සබාරත්නම්

එහෙත් ප‍්‍රභාකරන්ට ටෙලෝ කණ්ඩායම ප‍්‍රබල අභියෝගයක් වී තිබුණි. අවි ශක්තිය, පුහුණුව අතින් මෙන්ම පිරිස් බලය සහ ඉන්දියාවෙන් ලැබෙන උපකාර අතින් ටෙලෝ සංවිධානය එල්.ටී.ටී.ඊ.යට වඩා ඉදිරියෙන් සිිටියේය. මේ අතරතුර ප‍්‍රභාකරන්ගේ දෙවෙනියා වූ සීලන් හමුදා වැටලීමකට මැදිවී දිවි නසා ගත්තේය. මේ වෙනුවෙන් හමුදාවෙන් පළිගැනීමේ වුවමනාව ප‍්‍රභාකරන්ට විය. මේ අනුව බෝම්බයක් අටවා හමුදාවේ 13 ක් ඝාතනය කිරීමට එල්.ටී.ටී.ඊ.ය කටයුතු කරයි. මේ ප‍්‍රහාරය නිසා රටේ විවිධ ප‍්‍රදේශයන්හි කැළඹිලිකාරී ස්වරූපයක් හට ගත්තේය. අගනුවර ආශ‍්‍රිතව දෙමළ ජනතාව විශාල ලෙස පීඩාවට ලක්වූහ. මේ තත්ත්වය වැලිකඩ බන්ධනාගාරයටද බලපෑවේය. එහි සිටි දෙමළ ජාතික සිරකරුවන් 53 ක් ඝාතනය වූහ. තංගදුරෙයි හා කුට්ටමනීද අමානුෂික ලෙස ඝාතනය විය. මෙයින් සබාරත්නම් ගේ සැලැස්ම අසාර්ථක විය.

කළු ජූලියත් සමඟම ඉන්දියානු අනුග‍්‍රහය මත ශ‍්‍රී ලංකාවේ දෙමළ සන්නද්ධ කණ්ඩායම්වලට පුහුණුව ලැබිණි. එහෙත් 1984 දී ඉන්දිරා ගාන්ධි මැතිනියගේ ඝාතනයත් සමඟම ඉන්දියාව සටන්කාමී පිරිස් වෙත දැක්වූ ප‍්‍රතිපත්තීන්හි යම් වෙනස්කම් දකින්නට ලැබිණි. ඒ අනුව සටන්කාමී කණ්ඩායම්වලට යම් බාධක, අවහිර ඉන්දියාව ඇතුළත ගොඩනැගිණි.

කේ. පද්මනාභ

1985 අප‍්‍රියෙල් මස ඊළාම් ජාතික විමුක්ති සංවිධානය (ENLF) නම් සංවිධානයක් බිහිවිය. ඒ සඳහා ඊරෝස්, ඊ.පී.ආර්.එල්.එෆ්. ටෙලෝ, එල්.ටී.ටී.ඊ. වැනි සංවිධාන ඇතුළත් විය. සන්නද්ධ කණ්ඩායම් නායකයන් මදුරාසියේ දී මීට අදාළ “එකමුතුවීමේ ප‍්‍රකාශයක්”ද අස්සන් කළහ. ප‍්‍රකාශනයට අනුව ලංකා ආණ්ඩුව සමඟ යම්කිසි එකඟතාවට පැමිණියද ස්වාධීන ඊළාම් රාජ්‍ය හැර වෙනත් කිසිවක් බාර නොගන්නා බවට නායකයෝ එකඟ වූහ. ඊරෝස් නායක බාලකුමාර්, ටෙලෝ නායක ශ‍්‍රී සබාරත්නම්, ඊ.පී.ආර්.එල්.එෆ් නායක පද්මනාභ සහ එල්.ටී.ටී.ඊ. නායක ප‍්‍රභාකරන් මදුරාසියේ හෝටලයක සමූහ ඡායාරූපයකටද පෙනී සිටියහ.

මෙම සන්ධානය මතුපිටින් එකමුතු බවක් පෙන්නුම් කළද එහි සැබෑ තත්ත්වය ඊට වඩා වෙනස් විය. විශේෂයෙන්ම එල්.ටී.ටී.ඊ. නායක ප‍්‍රභාකරන් නිතරම බියෙන් හා සැකයෙන් ඊ.එන්.එල්.එෆ්. සාමාජිකයන් දෙස බලන්නට විය. ඒ තම නායකත්වයට තර්ජනයක් වේ යැයි බියෙනි.

මේ වනවිට ඉන්දියාවේ වැඩි සහයක් ලැබී තිබුණේ ටෙලෝ කණ්ඩායමටය. මේ නිසා උපක‍්‍රමශීලිවන ප‍්‍රභාකරන් තමිල්නාඩු මහ ඇමැති එම්. ජී. රාමචන්ද්‍ර (එම්. ජී. ආර්.) සමඟ සමීප වීමට පටන් ගත්තේය. ටෙලෝ නායක ශ‍්‍රී සබාරත්නම් එම්. ජී. ආර්. ගේ දේශපාලන හතුරා වූ කරුණානිධි සමඟ සම්බන්ධතා පැවැත්විය. කරුණානිධි හා සමීප වූ පිරිස් ලංකර ගැනීමට එම්. ජී. ආර්. මැලිකමක් දැක්විය. එය දැන සිටි ප‍්‍රභාකරන් කිසිම විටක කරුණානිධි සමඟ ගනුදෙනු නොකෙළේය. මේ නිසාවෙන් බහුතරයක් දෙමළ ජනතාව වාසය කරන තමිල්නාඩුවේ වඩාත් වාසිදායක තත්ත්වයක් නිර්මාණය කර ගැනීමට ප‍්‍රභාකරන්ට හැකිවිය. සබාරත්නම්ට ඉන්දීය මධ්‍යම ආණ්ඩුවේ සහ බුද්ධි අංශ සමඟ සම්බන්ධකම් තිබිණි. මේ නිසා ප‍්‍රභාකරන් සහ සභාරත්නම් අතර සැඟවුණු වෙරයක් තිබුණි.

මේ අතරතුර 1985 සැප්තැම්බර් 2 දින යාපනයේ විසූ අලාල සුන්දරම් සහ ධර්මලිංගම් යන දෙමළ ජාතික මන්තී‍්‍රවරුන් දෙදෙනා ඝාතනය කිරීමට සබාරත්නම් අණ දුන්නේය. ජනතාවගේ ගෞරවයට පාත‍්‍ර වී සිටි මේ දේශපාලනඥයන් දෙදෙනා ඝාතනය දෙමළ සමාජය තුළ තිගැස්මක් ඇති කෙළේ ය. එහෙත් කිසිවක් නොදත් අයකු ලෙස සබාරත්නම් මේ ඝාතන ද්විත්වය හෙළා දුටුවේය. ප‍්‍රභාකරන් මේ වනවිට ටී. යූ. එල්. එෆ්. මන්තී‍්‍රවරුන්ට තර්ජනයද කර තිබිණි. එමෙන්ම මොවුන් දෙදෙනා ඝාතනය වීමට පෙර එල්.ටී.ටී.ඊ.ය විසින් අලාල සුන්දරම්ට වෙඩි තබා තිබුණි.

කුට්ටිමනී හා ජෙගන්

ධර්මලිංගම් ගේ පුතා ප්ලොට් සාමාජිකයෙක් වී සිටියේය. මේ අනුව ටෙලෝ නායකයා ඝාතකයන් හෙළා දැකීමත් සමඟම ඝාතන දෙක එල්.ටී.ටී.ඊ.ය කර මතට වැටුණි. සැබෑ තත්ත්වය ප‍්‍රභාකරන්ට අවබෝධ වන්නට වැඩි කලක් ගතවූයේ නැත. මේ අනුව ඔහුගේ නායකත්ව උන්මාදයට වෙරයද මුසුවෙමින් තිබුණි.

මේ අතරතුර 1986 මාර්තු මාසයේ දී ටෙලෝ අභ්‍යන්තර ගැටුමක් හට ගත්තේය. ‘දාස්’ හා ‘බොබී’ අතර ඇතිවූ මෙම ගැටුමෙන් ‘බොබි’ විසින් ‘දාස්’ මරා දැමීය. මෙය ටෙලෝ සංවිධානයේ බෙදීමකට මඟ පෑදුණි. පිරිසක් ඉන් ඉවත්විය. පසුව එළැඹි අප‍්‍රියෙල් මාසයේ දිනෙක පෝස්ටර් ඇලවීමේ සිදුවීමක් මත ටෙලෝ සාමාජිකයන් විසින් එල්.ටී.ටී.ඊ. පිරිසකට පහරදෙන ලදී.

ආරවුල සමථයකට පත්කර ගැනීමට ගිය එල්.ටී.ටී.ඊ. සාමාජික “ලිංගම්” ටෙලෝ පිරිස් විසින් ඝාතනය කෙළේය. මේ සිදුවීම් මාලාවත් සමඟම ප‍්‍රභාකරන්ට ප‍්‍රතිවාදීන් මෙල්ල කිරීමට අවශ්‍ය පසුබිම සැකැසිණි.

ඒ අනුව ඔහු 1986 අප‍්‍රියෙල් 29 වෙනි දින පෙ.ව. 11.00 ට උතුරේ ටෙලෝ කඳවුරුවලට පහරදීමට නියෝග කෙළේය. එහිදී කඳවුරු 24 කට ප‍්‍රහාර එල්ලවුණු අතර ටෙලෝ සංභාරයක් සිදුවුණි. ටෙලෝ පිරිස් කපා කොටා මරා දමනු ලැබිණි. ඔවුනට සහය දුන් පිරිස්වලටද දරුණු ප‍්‍රතිවිපාකවලට ලක්වන්නට සිදුවිය. උදාවූ තත්ත්වය අනුව ටෙලෝ සාමාජිකයන්ට සිදුවූයේ පැනයාම හෝ යටත්වීම ය. නමුදු යටත් වූ පිරිස්ද එල්.ටී.ටී.ඊ.ය විසින් වදදී මරා දමන ලදී. ටෙලෝ සංහාරයේ අවසාන ඉලක්කය නායක ශ‍්‍රී සබාරත්නම් දෙසට යොමුවිය. ඇතිවී පැවැති තත්ත්වය අනුව බියවූ සබාරත්නම් ඊ.පී.ආර්.එල්.එෆ්. නායක පද්මනාභගෙන් සිය ජීවිතය බේරාදෙන මෙන් ඉල්ලා සිටියේය. පද්මනාභ සබාරත්නම්ව තමිල්නාඩුවට ගෙනයාමට කටයුතු සූදානම් කෙළේය. ඒ අනුව දුම්කොළ පැටවු ලොරියක දුම්කොළ මිටි අතරේ සබාරත්නම් ව සඟවා වෙරළට ගෙන ගොස් තමිල්නාඩුවට යැවීමට සැලැසුම් කෙරිණි. සැලැසුම කි‍්‍රයාත්මක වනවිට එල්.ටී.ටී.ඊ.ය ටෙලෝ නායකයා සොයා ගම් පීරමින් සිටියේය. ඔහු පලායමින් සිටි දුම්කොළ ලොරිය කිට්ටු ඇතුළු එල්.ටී.ටී.ඊ. පිරිසට හමුවූයේ මේ අතරය. දුම්කොළ මිටි අතරේ සැඟව සිටි සබාරත්නම් කිට්ටුගේ නෙත ගැටිණි. ජීවිත දානය ඉල්ලා ටෙලෝ නායකයා බැගෑපත් වෙද්දී කිට්ටුගේ එම්. 16 රයිෆලය සබාරත්නම්ට පිළිතුරු දුන්නේය. ඒ උණ්ඩ 28 කිනි. මෙලෙස 1986 මැයි 7 දින ටෙලෝ නායකයා ඝාතනය කළ එල්.ටී.ටී.ඊ.ය ඔහුගේ මළසිරුර බස්නැවතුම්පොළක ප‍්‍රදර්ශනය කෙළේ ය.

ප‍්‍රභාකරන්ට මීළඟ තර්ජනය වී තිබුණේ ඊ.පී.ආර්.එල්.එෆ්. සහ ප්ලොට් සංවිධානයන්ය. ඒ අනුව 1986 දෙසැම්බර් 14 වෙනි දින මේ සංවිධාන දෙකද එල්.ටී.ටී.ඊ.ය විසින් තහනම් කරන ලදී. දෙමළ ජනතාව නියෝජනය කරන කණ්ඩායම් ලෙස හඳුනාගෙන සිටි මේ සන්නද්ධ කණ්ඩායම් එකිනෙකා මරා ගැනීම දෙමළ ජනතාවට මහත් පීඩාවක් විය. මේ අනුව එල්.ටී.ටී.ඊ. පිරිස් ඊ.පී.ආර්.එල්.එෆ්. සාමාජිකයන්ට පහර දුන් අවස්ථාවක කිරීමලෙයි, මල්ලකම් වැනි ගම්මානවල කාන්තාවන් එල්.ටී.ටී.ඊ.යට කැති, මන්නා, මිරිස්කුඩු ආදියෙන් පහරදීමට පවා පෙළඹිණි.

1987 ජූලි මස 29 දින ඉන්දුලංකා ගිවිසුම අස්සන් කෙරිණි. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස උතුරේ සන්නද්ධ කණ්ඩායම්වලට අවි ආයුධ බාරදීමට නියමවිණි. ඊ.පී.ආර්.එල්.එෆ්., ප්ලොට්, ඊරෝස් වැනි සංවිධාන මෙහිදී ත‍්‍රස්තවාදය අතහැර ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යුහයට එක්වීමට එකඟවූහ. ඔවුන් ඇතැමෙක් පළාත් සභාවටද තරග කළහ. එල්.ටී.ටී.ඊ.ය ඉන්දු ලංකා ගිවිසුමට නිසි අයුරින් ප‍්‍රතිචාර නොදැක්වීය. මේ නිසා එල්.ටී.ටී.ඊ.යට එරෙහිව ඉන්දීය සාමසාධක හමුදාව මෙහෙයුම් පටන් ගත්තේය. එල්.ටී.ටී.ඊ.ය කැලෑ වැදිණි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවාහයට එක්වූ ප්ලොට් නායක උමා මහේෂ්වරන් 1989 ජූලි 16 දින රාති‍්‍රයේදී බම්බලපිටියේදී ඝාතනය වූයේ මේ අතරය. ඔහු දීර්ඝ කාලයක් ප‍්‍රභාකරන්ගේ වෙරයට පාත‍්‍රවී සිටි අයෙකි.

ඉන්දීය හමුදාව යටතේ යාපනය පවතින විට ඊ.පී.ආර්.එල්.එෆ්. කණ්ඩායම උතුරු නැඟෙනහිර පළාත් සභාව පාලනය කෙළේය. ඉන්දීය හමුදාව පිටත් කිරීමත් සමඟම සෙසු කණ්ඩායම් නායකයන් අපහසුතාවට පත්වූහ. ඊ.පී.ආර්.එල්.එෆ්. නායක පද්මනාභ මහ ඇමැති වර්ධරාජා පෙරුමාල් ඉන්දියාවට පැන ගත්තේය. ඊරෝස් කණ්ඩායම එල්.ටී.ටී.ඊ.ය සමඟ එක්වී සිටියේය.

ප‍්‍රභාකරන් ප‍්‍රතිවාදී කණ්ඩායම් විනාශ කිරීමේ ඊළඟ සැලැස්ම ඉන්දියාවේදී කි‍්‍රයාත්මක කෙළේය. 1990 ජූනි මස 19 දින මදුරාසියේ දී ඊ.පී.ආර්.එල්.එෆ්. නායක පද්මනාභ පළාත් සභා අමාත්‍ය තිරුබාකරන්, පාර්ලිමේන්තු මන්තී‍්‍ර යෝග සංගරී ඇතුළු පිරිසක් එල්.ටී.ටී.ඊ.ය ඝාතනය කෙළේ නිරායුධව සිටින විටකදීය.

මෙලෙස ප‍්‍රභාකරන්ගේ නායකත්ව උන්මාදය විසින් එල්.ටී.ටී.ඊ.ය සමඟම සමකාලීනව නැගී සිටි සියලු කණ්ඩායම් විනාශ කරන ලදී. බොහෝ ඝාතන කුරිරු තිරිසන් ඝාතන විය. එමෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරමින් පසුව කටයුතු කළ ප්ලොට්, ඊ.පී.ආර්.එල්.එෆ් නායකයන්ව ඝාතනය කෙළේය. එම කණ්ඩායම්වල අද ජීවත්වන සෙසු නායකයන්ටද එල්.ටී.ටී.ඊ.ය ප‍්‍රබල තර්ජනයක් උදාකර ඇත. මේ ඝාතන සියල්ල පසුපස කණ්ඩායම් අභිබවා ඉදිරියට ඒමේ ප‍්‍රභාකරන්ගේ නායකත්ව උන්මාදය විය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2009 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]