මුලු ගැන්නිලා ඉන්න මං කැමැති නෑ

මුලු ගැන්නිලා ඉන්න මං කැමැති නෑ

රත්නාවලී කැකුණවෙල

“අනේ මගෙන් ලුණු ඇඹුල් ඇතිව හොඳවයින් දෙකක් අහගන්නේ නැතුව කට පියාගෙන ඉන්නව.”

මැණිකෙ එහෙම කිව්වම කෝරළේ මහත්තයා ගත් කටටම කියන්නේ “ ඔව්, ඔව්, හරි හරි, මැණිකෙ කියන එක හරියටම හරි.” කියලයි.

කවුරු කොහොම කිව්වත් මැණිකෙගෙ කට වහන එක නම් එතරම් ලේසි පහසු වැඩක් නොවේ. “මුවන්පැලැස්සේ” කෝරළේ මහත්තයා තියා මොන ජගතෙක් ආවත් ඇගේ කට නැවැත්විය නොහැකිය. ඉන් හැඟවෙන්නේ ඇගේ මුඛරි බවම නොවේ. ඇය කිසිවෙකුටත් යටත් නොවන, එඩිතර ගති ඇති බව යැයි කීවොත් බොහෝදුරට නිවැරැදි යි.

ප‍්‍රවීණ ගුවන්විදුලි ශිල්පිනියක්, වේදිකා, නිළියක්, සිනමා හා රූපවාහිනී නිළියක් ලෙස විවිධ මාධ්‍යයන්හි කුසලතා දක්වන ඇගේ කලා ජීවිතයට දැන් පනස්අට වසරක් පිරී ඇත.

ලොකු කුඩා බොහෝ දෙනෙකු ඇය හඳුනන්නේ “මුවන්පැලැස්සේ” මැණිකේ විදිහටයි. යටගියා වූ සුන්දර අසුන්දර මතක අවදි කරමින්, අද අප හා කතාබහට එක්වන, කලා ලොවේ රසික හදවත් දිනූ ඇය, නමින් රත්නාවලී කැකුණවෙල ය. ඇගේ මතකයන් අප හා පැවසුවේ මෙලෙසිනි.

පාසල් නාට්‍ය

“මං ඉපදුණේ 1931 ජනවාරි 21 වැනිදා, අවිස්සාවේල්ල දැරණියගල නුරියවත්තේ දී. මට සහෝදර සහෝදරියන් හතරදෙනෙක් සිටිනවා. අයියයි, අක්කලා දෙන්නයි, මල්ලියි. පවුලේ හතරවැනියා මං. මගේ පියා සයිමන් මිගෙල්. මව සැලීනා ප‍්‍රනාන්දු.

මගේ පියා වතු රැකියාව කෙළේ සුදු ජාතිකයන් ළඟ. එහෙත් ඔහු අපට හොඳට හෙළ බස ඉගැන්නුවා. කවියට, කතාවට, රඟපෑමට ඔහු අපව යොමු කළා. ඒ අනුව මමත්, වික්ටර් මිගෙල් වන මගේ අයියත් කලා ලෝකය ජය ගත්තා.

මං පාසල් හතරකින් ඉගෙන ගත්තා. එහෙම කරන්න සිදුවූයේ මගේ පියාගේ රැකියාව නිසා. ඔහු යන යන තැනට අපවත් එක්කගෙන ගියා. මං ඉස්සර වෙලාම පාසල් ගියේ බේරුවල මධ්‍ය මහා විද්‍යාලයට.

ඊට පස්සෙ පිළිවෙළින් කඩුගන්නාව මධ්‍ය මහා විද්‍යාලයටත්, පොල්ගහවෙල රත්මල්ගොඩ මහා විද්‍යාලයටත්, කොළඹ පෞද්ගලික විද්‍යාලයකටත් අධ්‍යාපන හැදෑරීමට ගියා.

කාලයත් සමඟ බොහෝ දේ වෙනස් වුණා. මගේ මව මට වයස අවුරුදු හයේදී මගේ පියාත්, අප පස්දෙනාත් තනිකර දමා වෙන ලෝකයකට ගියා. ඊට වසර දහයකට පමණ පසුව අපව තනිකර දමා පියාත් මිය පරලොව ගියා. ඉන්පසු අපව බලාගත්තේ ආච්චියි, මාමායි, පුංචි අම්මායි. මවුපියන් නැති අඩුව ඔවුන් අපට දැනෙන්න ඉඩ තිබ්බේ නෑ. ඒ තරම්ම හොඳට ඔවුන් අපව රැකබලා ගත්තා.

රත්නාවලී කැකුණවෙල උපහාර උළෙල දා

මං පාසල් යන කාලයේ සාර්ථකව ඉගෙනීම් කටයුතු කළා. පුංචි කාලයේදී වුණත් පාසලේ නාට්‍යයක් රඟපාන්න තිබුණොත් මං ඒකට පැනලා ඉදිරිපත් වෙනවා.

ඉස්සර ඉඳලාම ඉස්සරහට යන ගතිය මට පිහිටා තිබුණා. ඒ නිසා තමයි අද මේ වාගේ කලා ලෝකයේ ඉදිරියට ඒමට හැකියාව ලැබී තිබෙන්නේ කියා මං හිතනවා.

පුංචි කාලේ ඉඳන්ම මුළු ගැන්නිලා හිටියා නම්, අද මේ රටේ කිසිකෙනෙකු මං ගැන දැනගන්නේ නැහැ. මට අවුරුදු දහසය වන විට අප කොළඹ පදිංචියට පැමිණියා.

මගේ අයියා වික්ටර් මිගෙල්. ඔහු 1951 අපෙ‍්‍ර්ල් 23 වැනිදා “ යෞවන සමාජය” නමින් ගුවන්විදුලි වැඩසටහනක් ආරම්භ කළා. ලොකු අයියා දිගටම ගුවන්විදුලියේ වැඩසටහන් කළා. දවසක් ධර්මා අක්කා අයියාට මෙහෙම කිව්වා,

“ලොකු අයියේ, පුංචි නංගිවත් ඔය ගුවන්විදුලියේ වැඩසටහන්වලට ගෙනියන්නකෝ” කියලා.

එහි ප‍්‍රතිඵලයක් විදියට ලොකු අයියා මාව ගුවන්විදුලියට එක්කගෙන ගියා. ඒ 1951 නොවැම්බර් 29 වැනිදා. එතකොට මට වයස අවුරුදු විස්සයි.

එදා මං ප‍්‍රථම වතාවට ගුවන්විදුලියට ගියත්, මට කිසිම චකිතයක් දැනුණේ නැහැ. මට හොඳට මතකයි මං මුලින්ම රඟපෑවේ වයස අවුරුදු 63ක චරිතයක්.

නාට්‍යය තමයි “මහ රෑ හමුවූ ස්ති‍්‍රය” එහි පිටපත ලිව්වේ මගේ මස්සිනා ටී. ජී. ඩබ්ලිව්. සිල්වායි. අයියා තමයි ගුවන්විදුලි වැඩසටහනක් ලෙස එය සකස් කෙළේ. මගේ ප‍්‍රථම රඟපෑම බොහොම සාර්ථක වුණා. මං එදා ගෙදර ගියේ හරිම සතුටින්.

ප‍්‍රථම රංගනය

මගේ ප‍්‍රථම රංගනයට එදා ගුවන් විදුලියෙන් මට රුපියල් පහළොවක ගෙවීමක් සිදු කළා. මං ඒ මුදලෙන් ජෝර්ජට් සාරියක් ගත්තා. මං පවුලේ බාලයා නිසා අනෙක් අයට වියදම් කරන්න වුණේ නැහැ. මං සැහැල්ලුවෙන් ජීවිතය ගත කළා. දිගින් දිගටම මට ලැබුණු මුදල්වලින් බොහෝවිට මං කෙළේ සාරි ගත්ත එක.

කළ මෙහෙයට ලද පැසසුම්

“මහ රෑ හමුවූ ස්ති‍්‍රය” ගෙන් අරැඹූ ගුවන්විදුලි රංගන ජීවිතයට , මහාචාර්ය සරච්චන්ද්‍ර මහත්මයයි, පී. වැලිකල මහත්මයයි දෙන්නා මට බොහෝ සේ උදව් කළා. ඒවාගේම අයිලීන් සරච්චන්ද්‍ර මහත්මියත් මට බොහෝ ලෙස උදවු කළා.

එදා තරුණියක්ව සිටි මට කටහඬ වෙනස් කරලා මහලු චරිතයකට පිවිසෙන ආකාරය කියාදුන්නේ එතුමියයි. “මහ රෑ හමුවූ ස්ති‍්‍රය” ගුවන්විදුලි නාට්‍යයේ “ මැංචු කුඩම්මාගේ ‘ (63) චරිතයට මං පණ දුන්නා.

ගුවන්විදුලියේ සුළු සුළු චරිත රඟපාමින් සිටි මේ කාලයේදී මහාචාර්ය සරච්චන්ද්‍ර සහ පී. වැලිකල යන මහත්වරුන් “ ගුවන්විදුලි රඟමඩළට” සම්බන්ධ වෙන්න කියා මට ආරාධනා කළා. එතකොට මට වයස අවුරුදු 21 යි. මං අයියාගෙන් අහලා ඒවාට සම්බන්ධ වුණා.

කුරුලු බැද්ද නාට්‍යයටත්, ළමා පිටියටත්, කාන්තා සංග‍්‍රහය සහ ග‍්‍රාමීය සේවයේ වැඩසටහන්වලටත් මං පසුකාලීනව දිගින් දිගටම සම්බන්ධ වුණා.

මගේ රඟපෑමේ සාර්ථකත්වය මත වෙළෙඳ වැඩසටහන් හැරුණාම හැම මාසෙකම නාට්‍ය අටකට, දහයකට පමණ සම්බන්ධවීමට අවස්ථාව ලැබුණා.

“මුවන්පැලැස්සත්” සමඟ ගුවන්විදුලි ජීවිතයේ මගේ ප‍්‍රධාන භූමිකාව ඇරැඹෙනවා. මුවන්පැලැස්ස ගුවන් විදුලියේ මැව්වේ මුදලිනායක සෝමරත්න, ඇග්නස් සිරිසේන, ආනන්ද සිරිසේන, ඒ. පී. ගුණරත්න, වික්ටර් මිගෙල් ඇතුළු මේ සියලු දෙනාගේම එකතුවෙන්.

මෙය ප‍්‍රථමවතාවට විකාශය වුණේ 1964 මාර්තු 03 වැනිදා. මං මුවන්පැලැස්සේ පදිංචියට ගියේ 1964 නොවැම්බර් 09 වැනිදා. එදා ඉඳන් ම මං “මුවන්පැලැස්සේ” දිගටම රඟපානවා.

“මුවන්පැලැස්සේ” මැණිකේ විදියට මං මිනිසුන් අතර ජනපි‍්‍රයව සිටිනවා. එහෙත් මුවන්පැලැස්සේ මගේ මුල් චරිතය “එතනහාමි”. ඒ චරිතය පසුකාලීනව මැණිකෙ වුණා. එය සිදුවුණේ මෙහෙමයි.

1964 ඉඳන් 1971 අපෙ‍්‍ර්ල් 05 වැනිදා දක්වාම මුවන්පැලැස්ස රචනා කෙළේ මුදලිනායක සෝමරත්න. දවසක් අප හැමෝම මුවන්පැලැස්ස පටිගත කරන්න සූදානම් වී සිටින විට , හදිසියෙන්ම ගුවන් හමුදාවෙන් එතැනට කඩාපැන්නා. ඒ අපෙ‍්‍ර්ල් කැරැල්ල කාලේ. කොහොම හරි මාස දෙකක් පමණ නාට්‍ය විකාශය වුණේ නැහැ. මුදලිනායක පිටරට පදිංචියට ගියා. එහේ සිට පිටපත් රචනා කළා. නාට්‍යය පටිගත කරන වේලාවට රචකයා ළඟ හිඳීම අවශ්‍යයි.

මුවන්පැලැස්සේ මැණිකේ

මේ අපහසුතාව නිසා තේවිස් ගුරුගේ මහත්මයා ‘මුවන්පැලැස්ස’ කරන්න කියා මගේ අයියාට ( වික්ටර් මිගෙල් ) ආරාධනා කළා. ඒ අභියෝගය අයියා සතුටින් බාර ගත්තා. එහෙත් නඩු දැමීමේ ප‍්‍රශ්න මතු වූ නිසා චරිත සියල්ලෙම නම් වෙනස් කළා. ඒ හේතුව නිසා වෙද මාමා, ඩිංගි ගුරුන්නාන්සේ වුණා. එතනහාමි මැණිකේ වුණා. ආරච්චිල. කෝරළේ මහත්තයා වුණා.

මුවන්පැලැස්සේ මැණිකේ චරිතය රඟපාන විට මට කදිම ඇබැද්දියකට මුහුණදෙන්න සිදුවුණා. මේ ඇබැද්දියට අදාළ සිද්ධිය රූගත කෙළේ ඇඹිලිපිටියේදී.

ඒ දිනවල මුවන්පැලැස්සේ “කදිරා” ගේ චරිතය රඟපෑවේ රෙක්ස් කොඩිප්පිලි. කතාවට අනුව ඒ වෙලාවේ රූගත කරන්න තිබුණේ මං වලව්වේ සිටින විට කදිරා වලව්වට ඇවිත් කෑගහලා අහනවා.

“කෝ යකෝ කෝරළයා ?’ කියලා

මං වලව්වේ ඇතුළේ ඉඳලා ඇවිත්

‘උඹ කාටද කතා කෙරුවේ ?’ කියා සැරෙන් අහනවා.

මේ රූපගත කිරීම් අතරතුරදී මං නොදන්න දේකුත් සිදුවෙලා. ඒ තමයි මේ දර්ශනයේදී රෙක්ස් මාව තල්ලු කරගෙන එන්න ඕන අවස්ථාවක්. මුවන්පැලැස්ස අධ්‍යක්ෂණය කළ ධර්ම ශී‍්‍ර කල්දේරා මහතා ඇතුළු පිරිස රෙක්ස්ට උපදෙස් දීල, මාව තල්ලු කරන දර්ශනයේ දී මට කම්මුල් පහරක් ගහන්න කියලා. මං මේ කිසිදෙයක් දන්නෙ නැතුව සාමාන්‍ය විදියට රඟපානවා.

මේ රඟපෑමේදී රෙක්ස් (කදිරා) එක පාරමට මගේ කම්මුලට ගැහුවා. මං ඒ දවස්වල රඟපාන්න ඇවිත් සිටියෙත් අසනීප වෙලා. ඒ නිසා කදිරා ගැහුව පාරට මට කලන්තයක් හැදුණා.

ඒ වෙලාවේ මං ‘ අයියෝ මට බෑ “ කියා කෑගැහුවා. ධර්ම ශී‍්‍ර කල්දේරා ‘ කෑවා කෑවා කෑවා ‘ කියලා කෑගහගෙන මං ළඟට ආවා. එයා එහෙම කෑගැහුවේ එයාලා බලාපොරොත්තු වූ දර්ශනය ගන්න බැරි වූ නිසයි.

ඔහු එහෙම කෑගහගෙන මගේ ළඟට එනවිට මට තිබුණ කේන්තිය තවත් වැඩිවුණා. එතකොට වේලාව පාන්දර දෙකට විතර ඇති. රූගත කිරීම් බලන්න දෙසීයක් විතර දෙනා ඇවිත් හිටියා.

ධර්ම ශී‍්‍ර කල්දේරා කෑගහනකොට මට ලැජ්ජා හිතුණා. මං හරියට රූගත කිරීම් නොකළ බවනේ ඔහු එහෙම කෑගහනවිට අදහස් වෙන්නේ.

එතැනදී සිදුවුණේ මං නොදන්න දෙයක්. ඒ රූගත කිරීම්වලට ඇතුළත් කර තිබීමයි. අර ලජ්ජාවයි, කේන්තියයි නිසා අධ්‍යක්ෂකට වඩා හයියෙන් මං කෑගැහුවා. මං එයාලාට කිව්වා. මට දිව්‍ය ඥානය නෑ කියලා. එම අවස්ථාව රඟපෑ යුත්තේ මෙහෙමයි කියා කිව්වාට පසුව, මං ඒ චරිතය සාර්ථකව රඟපෑවා.

ඉතිරිය ලබන සතියට ......

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා