මුද්‍රණය සඳහා

 
මධ්‍යම විදුලි පණිවුඩ කාර්යාලයේ කාල බෝම්බයක්


 

මධ්‍යම විදුලි පණිවුඩ කාර්යාලයේ කාල බෝම්බයක්

14 දෙනෙක් මරුමුවට

144 කට තුවාල

දිනය 1986 මැයි 07 වෙනිදා ය.
ස්ථානය : කොළඹ මධ්‍යම විදුලි පණිවිඩ කාර්යාලයයි.

වෙනදා මෙන්ම එදිනද මධ්‍යම විදුලි පණිවිඩ කාර්යාලය බොහෝ කලබලකාරී ස්වරූපයක් ගෙන තිබුණි. දිනයේ දහවෙනි පැය ගතවෙමින් තිබුණු නිසා මේ තත්ත්වය තවත් වැඩිවී තිබුණි.

බෝම්බය පුපුරා ගිය සී. ටී. ඕ. ගොඩනැගිල්ල අසලට එක්වූ ජනකාය

පැය 24ම විවෘතව පවතින මේ ස්ථානයට බොහෝ අවශ්‍යතා ඉටුකැරගැනීම දෛනිකව විශාල ප‍්‍රමාණයක් ජනතාව පැමිණෙති. ගුවන් විදුලි බලපත‍්‍ර, රූපවාහිනී බලපත‍්‍ර, විදේශ දුරකථන ඇමැතුම්, ටෙලිෆෝන් ගාස්තුª ගෙවීම් හා බිල්පත් ගෙවීම් ආදිය මේ ස්ථානයට පැමිණෙන ජනතාවගේ ප‍්‍රධාන කාර්යයන් විය.

ජනතාවගේ මෙකී අවශ්‍යතාවන් ඉටුකරලීම සඳහා 150ක පමණ සේවක සේවිකාවන් පිරිසක් කඩිමුඩියේ සේවයේ යෙදමින් සිටියහ.

මධ්‍යම විදුලි පණිවිඩ කාර්යාලීය ගොඩනැගිල්ල මහල් දෙකකින් සමන්විත ය. පළමුවෙනි මහලේ බිම සකසා තිබුණේ බාල්ක මත ලෑලි ගැසීමෙනි.

මේ අතර කාර්යාලයේ විදුලියෙන් කි‍්‍රයාත්මක වන ඔරලෝසුවේ වේලාව 9.23 වූවා පමණි.

“ඩෝං...” යනුවෙන් කන් බිහිරි කරවන හඬක් නැඟෙමින් ගොඩනැගිල්ල දෙදරා ගියේය. ක්ෂණිකව සියල්ල ම නිහඬවිය. සිදුවූයේ කුමක්ද? සිදුවන්නේ කුමක්දැයි කිසිවක් සිතාගත නොහැකිය.

ගොඩනැගිල්ලේ වීදුරුත් පළමු මහලේ කොන්කී‍්‍රට් කැබලිත් ලෑලිවලින් සැදි සොල්දරය මතට කඩා හැලිණි. ඒ සමඟම සොල්දරයද බිම් මහලට කඩා වැටුණි. ගිණිදැල් සහ දුමාරය ගොඩනැගිල්ලෙන් මතුවෙද්දී ගොඩනැගිල්ලේ විදුලිබලය අකී‍්‍රය විය.

ඇග මතට ලෑලි සහ කොන්කී‍්‍රට් කඩා වැටුණු කිහිප දෙනෙකු එයින් නැගිටීමට වෙරදරති. රතු ලෙයින් නැහැවුණු ඇතමෙකු ලෑලි අතරින් නැගිටිද්දී තවත් පිරිසක් මරලතෝනි දෙමින් සිටියහ.

සී.ටී.ඕ. ගොඩනැගිල්ලේ ඔරලෝසුවේ වේලාව 9.23ට නතර වී තිබූ අයුරු

මේ එල්. ටී. ටී. ඊ. ත‍්‍රස්තවාදීන් විසින් කොළඹ මධ්‍යම විදුලි පණිවිඩ කාර්යාලයේ තබා තිබූ කාලබෝම්බයක් පිපිරී යාමෙන් සිදුවූ විපත යි.

කිලෝ පහක පමණ බෝම්බයක් යැයි විශ්වාස කළ මෙය පිපිරීයාමෙන් 14ක් මරුමුවට පත්විය. තවත් 144කට තුවාල සිදුවිය. ඉන් බොහෝ පිරිසක් බරපතල පිලිස්සුම් තුවාල ලැබූවන් ය.

තට්ටු දෙකකින් සමන්විත වූ මධ්‍යම විදුලි පණිවිඩ කාර්යාලීය ගොඩනැගිල්ලේ බෝම්බය තබා තිබුණේ පළමු මහලේ ය. එදින ගුවන්විදුලි සහ රූපවාහිනී බිලිපත් ගෙවීමට සහ වෙනත් දෛනික කරුණුවලට මේ ගොඩනැගිල්ලට ඇතුළුවූ බොහෝ දෙනෙකු මරුමුවට පත්වන විට තවත් පිරිසකට සිදුවූයේ ජාතික රෝහලට ඇතුළුව ප‍්‍රතිකාර ගැනීමට ය.

කොළඹ බෝම්බ 4ක්

මේ බෝම්බ ප‍්‍රහාරය කොළඹ නගරයේ දින හතරක් ඇතුළත පුපුරාගිය දෙවෙනි ප‍්‍රබල බෝම්බය විය. ඊට දින හතරකට පෙර එනම් මැයි මස 03 වෙනිදා කොළඹ කටුනායක ගුවන් තොටුපළේදී “සිටි ඔෆ් කලම්බු” ගුවන්යානය පුපුරවා හැරිණි.

මැයි මාසය අවසන්වූයේද තවත් ප‍්‍රබල බෝම්බ ප‍්‍රහාර දෙකකිනි. මැයි 30 වෙනිදා කොළඹ “එලිෆන්ට් හවුස්” ආයතනය අසලදී පුපුරාගිය බෝම්බයකින් සිවිල් වැසියන් 11ක් මරුමුවට පත්විය.

ඒ සමඟම මැයි 31 වෙනි දින කොළඹ නගරයේ සිට කිලෝමීටර් 50ක පමණ දුරින් පිහිටි වේයන්ගොඩ දුම්රිය ස්ථානයේදී බෝම්බයක් පුපුරා ගියේය. මේ බෝම්බය යාල්දේවි දුම්රිය වේයන්ගොඩට ළඟාවත්ම දුම්රිය තුළදී පුපුරා ගොස් තිබුණි.

කොළඹ නගරය කේන්ද්‍ර කොට බෝම්බ ප‍්‍රහාර හතරක් එල්ල කිරීමට කොටි ත‍්‍රස්තයෝ කටයුතු කෙළේය. මින් කොළඹ නගරයම භීතියෙන් ඇළැලී ගිය අතර ජනතාවට කොළඹ නගරය යනු මරු සිටින භූමියක් වැනි විය.

මෙලෙස දකුණේ බෝම්බ පුපුරායද්දී උතුරේ සටන්කාමී කණ්ඩායම් එකිනෙක උග‍්‍ර ලෙස මරාගනිමින් සිටියේය. ටෙලෝ කණ්ඩායම් එල්. ටී. ටී. ඊ. ය විසින් විනාශ කරන ලද අතර ටෙලෝ නායකයාව කෘර ලෙස ඝාතනය කෙරිණි. එමෙන්ම එල්. ටී. ටී. ඊ. ය විසින් ඊ. පී. ආර්. එල්. එෆ්. සංවිධානයට ද චෝදනා එල්ල කරමින් සිටියේය.

ඒ පලායන ටෙලෝ සාමාජිකයන්ට ඊ. පී. ආර්. එල්. එෆ්. සාමාජිකයන් උදව් කරන බැව් කියමිණි. මෙවැනි දුරස්වීමක් දෙමළ ත‍්‍රස්තවාදී පිරිස් අතර තිබුණි.

සී. ටී. ඕ. බෝම්බයෙන් තුවාල වූවකු රෝහලට ගෙන යමින්...

මේ සිදුවීම් අතර තවත් මිලේච්ඡ කි‍්‍රයා ගණනාවක් එල්. ටී. ටී. ඊ. ය 1986 මැයි මාසයේ සිදුකරමින් තිබුණි. ඔවුන් උතුරු, නැඟෙනහිර පළාත්වල ගම්මානවලට කඩාවැදී අහිංසක සිවිල් වැසියන් වෙඩිතබා කපා කොටා මරාදැමීම සිදු කෙළේය.

මැයි 04 වෙනිදා ති‍්‍රකුණාමලයේ ආනන්ද කුලම් ප‍්‍රදේශයේ ගමකට කඩාවැදුණු ත‍්‍රස්තවාදීන් සාමාන්‍ය වැසියන් 17ක් ඝාතනය කළහ. ඊට පසුදින ති‍්‍රකුණාමලයේ කින්නියා ප‍්‍රදේශයේ ගමක සිටි ගම්වාසීන් 4ක් මරා දැමූහ.

මැයි 11 වෙනි දින බස් රථයක් තුළ පුපුරවා හරින ලද කාල බෝම්බයකින් 22ක් මරුමුවට පත්ව තවත් 75ක් තුවාල ලබා තිබුණි. 21 වෙනිදා ති‍්‍රකුණාමලයේ තවත් ගමක් වූ විල්ගම්වෙහෙරට කඩා වැදුණු ත‍්‍රස්තයෝ ගම්වැසියන් 9 දෙනෙකු මරා දැමූහ.

 මැයි 25 වෙනි දින \2කුණාමලයේ මහදිවුල්වැව ප‍්‍රදේශයේදී ගම්වැසියන් 20ක් මරාදැමූ අතර එදිනම කන්තලේ නගරයේ දී බෝම්බයක් පුපුරුවාහරිමින් තවත් සාමාන්‍යවැසියන් 16ක් මරා දැමූහ.

මෙලෙස එක් අතකින් රටේ අගනුවර කේන්ද්‍ර කරගනිමින් බෝම්බ කිහිපයක් පුපුරා නිරායුධ ජනතාව සිය ගණනින් මිය ගියේය. තවත් අතෙකින් උතුරේ සහ නැඟෙනහිර සිංහල ජනතාව පදිංචිව සිටි හුදෙකලා ගම්මාන වටලා අහිංසක පිරිමි, ගැහැනු මෙන්ම ළදරුවන් ද සමූල වශයෙන් ඝාතනය විය. මේ අනුව ආරක්ෂක හමුදා මැයි 17 වෙනිදා යාපනය අර්ධද්වීපය කොටින්ගෙන් මුදවා ගැනීම සඳහා මෙහෙයුමක් කි‍්‍රයාත්මක කෙළේය.

මේ වන විට ප‍්‍රභාකරන් සිටියේ ඉන්දියාවේය. මෙකල ඉන්දියාවේ සිටි දේශපාලඥයකු වූ නෙදුමරන් එල්. ටී. ටී. ඊ. යට ගුවන් නාශක අවි ලබාදීමට ද එකඟ වී තිබුණි.

1983 සිට තමිල්නාඩුව තුළ ලංකාවේ දෙමළ සටන්කරුවන්ව පෝෂණය කිරීමට හොඳ පසුබිමක් දමා තිබුණි. එහෙත් 1984 දී මදුරාසියේ මීනම්බක්කම් ගුවන් තොටුපොළේදී සිදුවූ ගුවන් ප‍්‍රහාරයත් සමඟින් එය තරමක දුරස්ථ වන බවක් පෙනෙන්නට තිබුණි.

ඒ සමඟම 1986 නොවැම්බර් පලමුවෙනි දින මදුරාසියේ කලහයක් හටගත්තේය. තී‍්‍රවීල් රථයක කුලියක් සම්බන්ධයෙන් මතුවූ ගැටුමක් වූ මේ ගැටුමට ඩග්ලස් දේවානන්ද ඇතුළු ඊ. පී. ආර්. එල්. එෆ්. සාමාජිකයන් කිහිපදෙනෙකු සම්බන්ධවී තිබුණි.

එහිදී ඊ. පී. ආර්. එල්. එෆ්. සාමාජිකයන් තැබූ වෙඩි පහරකින් ඉන්දියානුවෙකු මරුමුවට පත්විය. තවත් පිරිසක් තුවාල ලැබූහ. මීට පෙරද අවස්ථා ගණනකදී තමිල්නාඩුවේදී ශී‍්‍ර ලංකාවේ දෙමළ සන්නද්ධ පිරිස් විසින් වෙඩි තබා ගැනීම් සිදුකර තිබුණි.

මේ නිසා ඉන්දියාව තුළ මොවුන්ට එරෙහිව අප‍්‍රසාදය ගොඩනැගෙමින් තිබුණි. එවක හින්දු පුවත්පත කතුවැකියකින් මේ පිළිබඳව දැඩි ලෙස විවේචනය කර තිබුණි.

මේ අතර තමිල්නාඩු මහ ඇමැති එම්. ජී. ආර්. සියලුම සටන්කාමී නායකයන් හමුවීමට තීරණය කෙළේය. එහිදී කෝපයෙන් යුතුව කතා කළ එම්. ජී. ආර්;

“පසුගිය අවුරුදු ගණනාව පුරාම අපි තමුසෙලට රැකවරණය දුන්නා. ඒත් තමුසෙලා ඒ නිදහස අයුතු ලෙස පාවිච්චි කරලා තියෙනවා. තමුසෙලා අහිංසක ඉන්දියානුවන්ට පහරදෙන්න පටන් අරගෙන තියෙනවා. මේ තත්ත්වය සදහටම අවසාන කරන්න දැන් කාලය ඇවිල්ලයි තියෙන්නේ. තමිල්නාඩුව තමුසේලාගෙන් බේරාගන්න වුවමනායැයි” කීවේය.

එහෙත් මෙහි දක්නට තිබුණේ වෙනත් කතාවක් බව එවක තමිල්නාඩුවේ පොලිස්පතිවරයා වූ කේ. මෝහන්දාස්ගේ ප‍්‍රකාශයකින් පෙනී යයි.

වේයන්ගොඩ දී පුපුරා ගිය යාල්දේවී දුම්රිය

මේ වන විට සාක් සමුළුව නොවැම්බර් මස 15, 16, 17 දිනයන්හි බැංගලෝරයේදී පැවැත්වීමට නියමිත විය. ශී‍්‍ර ලංකාවේ ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා සාක් සමුළුවට සහභාගී වීමට නියමිතවිය.

එහිදී කලාපයේ ආරක්ෂාව තර කිරීමට ඉන්දියානු මධ්‍යම රජය තමිල්නාඩු ආරක්ෂක අංශවලට දන්වා තිබුණි.

එම පණිවිඩයට අනුව ජයවර්ධන ජනාධිපතිවරයාගේ ආරක්ෂාව තර කිරීම සඳහා බැංගලෝරයට කිසිම දෙමළ සන්නද්ධ සටන්කාමියකුට ඇතුළු නොවීමට පොලිසියට නියෝග කෙරිණි.

මේ අනුව තමිල්නාඩුවේ එවක පොලිස්පතිව සිටි කේ. මෝහන්දාස් කැදවන එම්. ජී. ආර්. දෙමළ සාමාජිකයන් නිරායුධ කිරීමට කටයුතු කරන මෙන් කීවේය.

මේ අනුව ‘කොටි දඩයම” නමින් මෙහෙයුම කි‍්‍රයාත්මක කරන්නට යෙදුණි.

ප‍්‍රභාකරන් අත්අඩංගුවට

මේ සමඟම නොවැම්බර් මස 8 වෙනිදා තමිල්නාඩු පොලිසිය සිය මෙහෙයුම ආරම්භ කළේය. එහිදී සටන්කාමීන් සතුව තිබූ අවි ආයුධ රැසක් අල්ලාගනු ලැබුණි.

ප‍්‍රභාකරන් ද අත්අඩංගුවට පත්විය. ප‍්‍රභාකරන්ගෙන් ප‍්‍රශ්න කරන ලද අතර එහිදී තමිල්නාඩු පොලීසිය ප‍්‍රභාකරන්ගේ ඡායාරූප සහ ඇගිලි සලකුණු ද ලබා ගත්තේය.

ඒ සමඟම ප‍්‍රභාකරන් සහ බාලසිංහම්ව නිවාස අඩස්සියේ තබන ලදී. මෙහිදී ප‍්‍රභාකරන් සතු සන්නිවේදන උපකරණ රැසක් ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණි. මෙයින් ප‍්‍රභාකරන් කෝපයට පත්විය. තම සන්නිවේදන උපකරණ ආපසු ලබාදෙන තෙක් තමා මාරාන්තික උපවාසයක් කරන බව ප‍්‍රභාකරන් ප‍්‍රකාශ කෙළේය.

පසුව ඇන්ටන් බාලසිංහම් සිටි මදුරාසියේ නිවසට විත් ඔහු මාරාන්තික උපවාසය ඇරඹීය. මෙහිදී ප‍්‍රභාකරන්ගේ සහයට සිටි තමිල්නාඩු ප‍්‍රාදේශීය දේශපාලනඥයෝ ජනතාව උසිගැන්වූහ.

ඒ අනුව ප‍්‍රභාකරන්ට සහය දක්වමින් තමිල්නාඩුවේ ජනතාව එම ස්ථානයට රැස්විය. මින් පසුව අත්අඩංගුවට ගත් සන්නිවේදන උපකරණ සහ ආයුධ ද ආපසු ලබාදෙන මෙන් එම්. ජී. ආර්. තමිල්නාඩු පොලිසියට දැන්වීය. ඒ අනුව ප‍්‍රභාකරන්ගේ උපවාසය පැය 24ක් යන්නටත් මත්තෙන් අවසන් විය.

පසුව එලැඹි තත්ත්වය අනුව ප‍්‍රභාකරන් ලංකාව බලා යාමට තීරණය කළේය. ඒ අනුව 1987 ජනවාරි මස 4 වෙනිදා ප‍්‍රභාකරන් නැවතත් ලංකාවට පැමිණියේය.

තමිල්නාඩුවේ පැවැති අනාරක්ෂිත තත්ත්වය මත තමා තමිල්නාඩුව හැරයන බව ප‍්‍රභාකරන් විසින් නැදුමරන්ට ප‍්‍රකාශ කර තිබුණි. එහෙත් එහි සැගවුණු තවත් කතාවක් තිබුණි.

ඒ ප‍්‍රභාකරන්ගේ නායකත්වයට යාපනයේ විකල්පයක් මතුවෙමින් තිබීම ය. 1986 මැයි මාසයේ ආරක්ෂක හමුදා අරඹා තිබූ ප‍්‍රබල සටන නිසා ඔක්තෝම්බර් මාසයේදී එල්. ටී. ටී. ඊ. මන්නාරම් ප‍්‍රදේශයේ නායක වික්ටර් මරුමුවට පත්විය. වික්ටර් ප‍්‍රභාකරන්ගේ මෙන්ම කිට්ටුගේ ද හිතවතෙක් විය.

වික්ටර්ගේ සිරුර ජනතාවගේ ගෞරවය සඳහා ස්ථාන කිහිපයකම තැබීමට කටයුතු කෙරිණි. වික්ටර්ට අවසන් ගෞරවය දැක්වීම සඳහා ජනතාව රැස්වූ විට කිට්ටු කතා පැවැත්වීය. මේ කතා පැවැත්වීම නිසා ජනතාව කිට්ටු කෙරේ වැඩිවැඩියෙන් ආකර්ශනය වනු දක්නට ලැබුණි. එක් අවස්ථාවකදී වෙනත් එල්. ටී. ටී. ඊ. නායකයන් මෙන් වික්ටර් ද සෙබලුන් සමඟ සටන් පෙරමුණේ සිටි නායකයකු බව කිට්ටු ප‍්‍රකාශ කෙළේය.

මෙය ප‍්‍රභාකරන්ට කළ ඇනුම්පදයක් මෙන් විය. ඒ වන විට ප‍්‍රභාකරන් ඉන්දියාවට වී අවුරුදු කිහිපයක් ගතවී තිබුණු හෙයිණි. මේ අනුව එල්. ටී. ටී. ඊ. ය තුළ කිට්ටුගේ වර්ධනය වලක්වාලීමේ අදහසින් ප‍්‍රභාකරන් ලංකාවට නැවත පැමිණි බව විශ්වාස කෙරේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2008 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]