පාන් ගෙඩියේ සිට ආයෝජකයා දක්වා

පාන් ගෙඩියේ සිට ආයෝජකයා දක්වා

කිසියම් රටක ආර්ථිකය හා දේශපාලනය සුදු පාන් ගෙඩියකට, පිටි කිලෝවකට තීන්දු වේ නම්; ඒ රට මෝඩයන්ගෙන් ගහන දේශයෙකි. අන්ත දුප්පතුන් පාන් නැති ව කාර් ඉල්ලන්නදැ’යි තර්කයක් නැඟෙන්නට පුළුවන.

එබඳු තර්කයකින් ආර්ථිකයේ යථාර්ථය තේරුම් ගත හැකි නො වේ. දුප්පතුන් ගේ අභිප‍්‍රාය තමන් ගේ ආදායම වැඩිවන ආර්ථිකයක් ළඟාකර ගැනීම ය. එවිට හැම දා ම අඩු මිලට පාන් කෑමට පුළුවන.

තමිල්නාඩු මැතිවරණවල පොරොන්දු පත‍්‍රයට හාල් පිටි පමණක් නො ව වර්ණ රූපවාහිනී ද ඇතුළත් කර තිබිණි. එබඳු පොරොන්දු මගින් රටක ආර්ථිකය ශක්තිමත් කළ හැකි නො වේ. 2005 වනතුරු ම ශ‍්‍රී ලංකාවේ තත්ත්වය ද එය ම වූ බව අප ගේ විශ්වාසය වේ.

වත්මන් ආණ්ඩුව ජනතාව ගේ චින්තනය හා දැක් ම පෙරැළිකාර තැනකට ගෙනැවිත් තිබේ. ශ‍්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් බහුතරය අදට වඩා හෙට ගැන සිතයි. බඩට වඩා රට ගැන කල්පනා කරයි.

දියුණුවක් ගැන කල්පනා කරන හැම පුද්ගලයාට ම නිදහස් රටක් තිබිය යුතුය. නිදහස් රටක් නැති කල පුද්ගල සංවර්ධනයක් සිදු නො වේ. සමාජ සංවර්ධනයක් ද සිදු නො වේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ‘පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් මව්බිම’ යැයි කියන්නේ ඒ හේතුව නිසා ය. ආණ්ඩුව දෙවන නිදහස් අරගලය ජය ගත්තා සේ ම ආර්ථික යුද්ධයත් ජය ගනු ඇතැ’යි විශ්වාසයක් ජනතාව ළඟ තිබේ.

2008 වර්ෂයේ ශ‍්‍රී ලංකාවේ ආර්ථික වෘද්ධිය 6%ට මඳක් වැඩි ය. යුද්ධයක් පැවැති රටක ආර්ථික වර්ධනය 6%ක් යනු ඉතා යහපත් තත්ත්වයෙකි. මහ බැංකුවේ පර්යේෂණ අංශය පැහැදිලි කරන ලෙස 2009 අපෙ‍්‍ර්ල් මාසයේ ආර්ථික වෘද්ධිය 3%කට ආසන්න තත්ත්වයේ පැවැතිණි. ඒ වනා හී අපේක්ෂිත ඉලක්කමට වැඩි තත්ත්වයෙකි.

දැනට පවත්නා ආර්ථික සාධක හා වෘද්ධි අනුපාතය අනුව මේ වසර ආර්ථික අංශයෙන් සැලකිය යුතු ප‍්‍රගතියක් ලබාගන්නා කාලයෙකි. කොටස් වෙළෙඳ පොළෙහි ගනු දෙනු ද ඉහළ ගොස් තිබේ. ගිය සතියේ දී කොළඹ කොටස් වෙළෙඳ පොළ ශීඝ‍්‍රා’කාරයෙන් ඉහළ ගියේ ය. එය ලොව හොඳ ම කොටස් වෙළෙඳ පොළ බවට ද පත්විය.

යුද්ධයෙන් පසු ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයට ඉතා සුබ කාලයක් ලබමින් පවතී. විදේශීය අයෝජකයන් ගේ අවධානය ශ‍්‍රී ලංකාව කෙරෙහි යොමු ව තිබේ. විදේශ රටවල් හා ශ‍්‍රී ලංකාව අතර වෙළෙඳ ගිවිසුම් සකස් වෙමින් තිබේ. එක්සත් එමීර් රාජ්‍යය, ඉන්දියාව, චීනය, මියන්මාරය, ඉරානය යන රටවල් ඉන් කිහිපයක් පමණි.

නැඟෙනහිර සංචාරක ව්‍යාපාරය කෙරෙහි බොහෝ දෙනා ගේ අවධානය යොමු වී ඇත. ධීවර කර්මාන්තය, ඉදිකිරීම්, යටිතල පහසුකම් සංවර්ධනය, බලශක්ති, වී වගාව යන ක්ෂේත‍්‍රවල විශාල පිබිදීමක් දක්නට ලැබේ. මේ හැරෙන්නට වරාය සංවර්ධනය වැනි මහා පරිමාණ යෝජනා ක‍්‍රම ද කි‍්‍රයාත්මක වේ.

ආණ්ඩුව මුල සිට ම කි‍්‍රයාත්මක වූයේ පාන් ගෙඩියට පිටි කිලෝවට යට වූ ආර්ථිකයක් නිර්මාණය කිරීමට නො වේ. මහින්ද චින්තනයේ දැක් ම වන්නේ ශක්තිමත් දේශීය ආර්ථිකයක් ගොඩනැඟීම ය.

මේ රටේ ප‍්‍රධාන විපක්ෂය ජාතික ආර්ථිකය යන්න බෙහෙවින් ලඝු කොට පාන් ගෙඩියට හා සැමන් ටින් එකට එය බාර දී තිබිණි. ලෝක වෙළෙඳ පොළෙහි බොර තෙල් මිල ඉහළ යන විට විපක්ෂය පාරට බහින්නට ත්, ජනතාව කුලප්පු කරන්නටත් පටන් ගනී.

එහෙත් යුද්ධයේ විජයග‍්‍රහණයත් සමඟ එබඳු උද්ඝෝෂණත් අහෝසි වී ගොසිනි. අප ගේ කල්පනාවට අනුව ඉදිරි මාස කිහිපය තුළ දී දේශීය ආර්ථිකය තවදුරටත් ශක්තිමත් වනු ඇත.

ඉතාලියේ පැවැති ජී – අට සමුළුවේ මුදල් අමාත්‍යවරුන් ගේ සැසියේ දී ලෝක ආර්ථිකය ගැන ශුභදායී වාර්තාවක් ඉදිරිපත් ව තිබේ. ඊට අනුව ලෝක ආර්ථිකය අවදානම් තත්ත්වයක නැත.

පසුගිය මාස කිහිපය තුළ ලෝක ආර්ථිකය කෙමෙන් වර්ධනය වීමට පටන්ගෙන තිබේ. වැසුණු සමාගම් යළි පණ ගසන්නට පටන්ගෙන තිබේ. ගෝලීය වෙළෙඳ්‍රමෙහි වර්ධනයක් දක්නට ලැබෙන බව ද ජී – අට මුදල් ඇමැතිවරු පෙන්වා දෙති.

තත්ත්වය තවදුරටත් යහපත් වුවහොත් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන අපනයනවලට යළිදු හොඳ කාලයක් උදා වනු ඇත. විදේශ රැකියා වෙළෙඳ පොළ ද යළි ශුභදායී තත්ත්වයකට පත්වනු ඇත.

මේ මොහොතේ අතිශයින් ම වැදගත් කරුණු කිහිපයක් පෙන්වාදීමට කැමැත්තෙමු. පළමුවැන්න ආයෝජන සම්බන්ධයෙන් ය. රටේ පවත්නා ආර්ථික තත්ත්වයට අනුව ආයෝජකයන්ගෙන් තොරව සංවර්ධනය ඉදිරියට ගෙන යෑම දුෂ්කර ය.

වත්මන් ආණ්ඩුවේ විදේශ ප‍්‍රතිපත්තියට අනුව රටවල් විශාල ප‍්‍රමාණයක සහයෝගය අප ට ලැබේ. ඉන්දියාව, චීනය, රුසියාව, ජපානය වැනි ප‍්‍රධාන රටවලට අමතර ව අරාබි රටවල් ද ලතින් ඇමෙරිකානු හා අප‍්‍රිකානු රටවල් ද අපට සහාය දක්වති.

එය ඉතා යහපත් තත්ත්වයෙකි. ඒ සමඟ ම අපෙන් ගිලිහී ගිය යුරෝපා රටවල් ද දිනා ගැනීමේ වැඩපිළිවෙළක් තිබිය යුතු ය. හේතුව නම්; අප ගේ අපනයන සම්බන්ධයෙන් යුරෝපා රටවල් අතිශයින් ම වැදගත්වීම ය.

ඊළඟට වැදගත් කරුණවන්නේ රටේ සෑම ක්ෂේත‍්‍රයක් තුළ ම අප‍්‍රමාද ව වැඩකිරීමේ ක‍්‍රමවේදයක් සකස්කිරීම ය. රට ගොඩනැගීමේ දී දේශපාලන භේද අතහැර එක මතවාදයකට පැමිණීමට අප ට පුළුවන.

 හොරකම හා වංචාව තිබුණොත් මේ කිසිවකින් වැඩක් නො වේ. ලැබී ඇති ස්වර්ණමය අවස්ථාවෙන් ප‍්‍රයෝජනය ගැනීමට නම් සියලු රටවැසියන් එකා මෙන් වැඩකළ යුතුය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා