ශ‍්‍රී ලංකාවේ යහ පාලනය ගැන විදෙස් රටවල් හරි උනන්දුයි

ශ‍්‍රී ලංකාවේ යහ පාලනය ගැන විදෙස් රටවල් හරි උනන්දුයි

රෝහිත බෝගොල්ලාගම - විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය

ශ‍්‍රී ලංකාව එල්. ටී. ටී. ඊ. ත‍්‍රස්තවාදය පරාජය කිරීම පිළිබඳ ජාත්‍යන්තරයේ ප‍්‍රතිචාරය කෙසේ ද යන්නත්, රටට එරෙහි මානව හිමිකම් හා යුද අපරාධ චෝදනා සහ ජිනීවා, මානව හිමිකම් කවුන්සිලයේ දී ලැබූ ජයග‍්‍රහණය ගැනත්, එල්. ටී. ටී. ඊ. හිතවාදී ජාත්‍යන්තර බලවේගවල ප‍්‍රයත්න සහ ඒවාට මුහුණදීම ගැනත් විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා ‘දිනමිණ’ ට මෙලෙස අදහස් දක්වයි.

දේශීය හා විදේශීය වශයෙන් නොයෙක් මතවාද හා බලපෑම් ඇතිවුණත් ඒ සියල්ල හමුවේ නොසැළී හිඳිමින් එල්. ටී. ටී. ඊ. ත‍්‍රස්තවාදය යුදමය වශයෙන් මෙන් ම දේශපාලනමය වශයෙන් ද පරාජය කරන්නට ශ‍්‍රී ලංකාව සමත් වුණා. එමඟින් ලෝකයට ලබා දී ඇති ආදර්ශය දෙස ජාත්‍යන්තරය බලන්නේ මොන විධියට ද?

අද අපි ජාත්‍යන්තරය හමුවේ නැඟී සිටින්නේ ත‍්‍රස්තවාදය පරාජය කළ පළමු කාණ්ඩයේ රටක් හැටියට. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය ත‍්‍රස්තවාදය එයාකාරයෙන් හඳුනාගනිමින් පැහැදිලි ස්ථාවරයක පිහිටා කි‍්‍රයා කළා.

ඒ ස්ථාවරය ඔස්සේ පෙරට යාමේ ප‍්‍රතිඵලය අද ලෝකයට ම දකින්න තියෙනවා. ත‍්‍රස්තවාදයට එරෙහි ව ශ‍්‍රී ලංකාව අනුගමනය කළ කි‍්‍රයා පිළිවෙත ගැන අද ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමක් ඇති වෙලා.

ලෝකයේ රටවල් අප දිහා ප‍්‍රසාදයෙන් බලනවා. පසුගියදා මම බි‍්‍රතාන්‍යයේ සංචාරය කළ අවස්ථාවේ විදේශ ලේකම් ඩේවිඩ් මිලිබෑන්ඩ් මහතා පවා මට කිව්වේ ශ‍්‍රී ලංකාව ත‍්‍රස්තවාදයට මුහුණ දී එය නිසි විධියට පරාජය කිරීම ගැන සතුටු වන බව යි.

ඒ වගේ ම සිංගප්පූරුවේ දී පැවැත්වුණු ෂන්ග‍්‍රිලා සමුළුවේ දී ආසියානු රටවල ආරක්ෂක ප‍්‍රධානීන් ද, ත‍්‍රස්තවාදය පරාජය කරමින් ශ‍්‍රී ලංකාව ලබා දී ඇති ජාත්‍යන්තර ආදර්ශය ගැන ඉහළින් කතා කළා. ඒ සමඟ ම ශ‍්‍රී ලංකාව මානව හිමිකම් ගරුකරන ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාවතක ගමන් කරන රටක් හැටියට මේ ලබාගත් ජයග‍්‍රහණය ගැන ලෝකයේ රටවල් තුළ ප‍්‍රසාදයක් තිබෙනවා.

ජිනීවාහි දී පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසියේදීත් ත‍්‍රස්තවාදය පරාජය කිරීම හා ඔවුන් පළිහක් ලෙස රඳවාගෙන සිටි සිවිල් ජනතාව ලක්ෂ ගණනක් මුදාගැනීම ඇගැයීමට ලක්වුණා. එහි දී රටවල් බහුතරය අපිත් එක්ක හිටියා.

එ. ජා. මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ සැසිවාරයක් කැඳවා ශ‍්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් සම්මත කරන්න දරපු අසාර්ථක ප‍්‍රයත්නය පිටුපස බි‍්‍රතාන්‍ය හා ප‍්‍රංශය ප‍්‍රධාන භූමිකාවක් රඟ දැක්වූවා. නමුත්, ශ‍්‍රී ලංකාවේ සැබෑ මිතුරු රටවල් අපේ රටත් එක්ක සිටගත්තා. දැන් මේ බෙදීම පැහැදිලිව පෙනෙනවා. ඔබ එය දකින්නෙ කොහොමද?

මෙහෙමයි, අප මෙය බෙදා කොටස්කර බලන්න අවශ්‍ය නැහැ. සමහර රටවල් අපි රට තුළ යහපාලනය ගෙනයන්නේ කෙසේ ද කියන එක ගැන උනන්දුයි.

ත‍්‍රස්තවාදය පරාජය කිරීම ගැන හැම රටක් ම එකඟ යි. ඔය හැම රටක් ම එල්. ටී. ටී. ඊ. ය ට අවි බිම තබන්න කියල කිව්වා. නමුත්, මානුෂීය කි‍්‍රයාදාමයන් රට තුළ ඉටුකිරීමේ දී ඔවුන් යම් යම් බලපෑම් ඔස්සේ කි‍්‍රයා කරන බව පෙනෙනවා.

ඔවුන්ට ඒ විධියේ බලපෑම් වැඩියෙන් ම ඇති කරන කොටසක් ලෙස එල්. ටී. ටී. ඊ. යේ ජාත්‍යන්තර කොටස් අපි දකිනවා. ඒවා ඔවුන්ගේ ඩයස්පෝරාව හරහා ගොඬනඟාගත් යම් කඳවුරු. ලංකාවේ ත‍්‍රස්තවාදය පරාජය කළ පමණින් ම මේ කඳවුරුවල බල මෙහෙයුම නතර වෙලා නැති බව මම පිළිගන්නවා.

ඔවුන් තවමත් තම ඉලක්ක කරා හඹා යාමේ ස්වභාවයක් තියෙනවා. මේ අයගේ එක ඉලක්කයක් වෙන්නෙ රට අසීරුවට පත්කිරීම. අප මානුෂීය වගකීම් හරියාකාර ඉටුකරනවාද කියන කාරණය උපයෝගීකරගනිමින් සමහර රටවල් ඒ සඳහා යොමුකරවාගන්න මේ උදවිය උත්සාහ දරනවා.

සමහර රටවල් එල්. ටී. ටී. ඊ. යට තුන්වෙනි පාර්ශවයක් හරහා යටත් වෙන්න කියලත් කිව්වා. අපි කිව්ව එය අවශ්‍ය නැහැ කියලා. මොකද ඔවුන් ත‍්‍රස්තවාදීන්, ඔවුන් යටත්විය යුත්තේ ශ‍්‍රී ලංකා රජයට යි.

අප කි‍්‍රයා කරන්නේ ජාතික න්‍යාය පත‍්‍රයට එකඟව මිසක් කාගේවත් න්‍යායපත‍්‍රවලට අනුව නොවන බව අපි පැහැදිලිව කිව්වා. මේ රටේ තියෙන නීති රාමුවට එකඟව අපි කි‍්‍රයා කරනවා. හැමවිට ම මේ කියන පැහැදිලි ස්ථාවරයන්ට එකඟව අපි ජාත්‍යන්තර සම්බන්ධතා මෙහෙයවනවා.

එල්. ටී. ටී. ඊ. යේ ජාත්‍යන්තර අංශයේ නායකයා ලෙස හඳුන්වා දී තිබූ ඬ. න. හෙවත් කුමාරන් පද්මනාදන් නමැති ජාවාරම්කාර අපරාධකරුවා කොටු කරගැනීමේ දී විදේශ කටයුතු අමාත්‍යංශයටත් කාර්යභාරයක් පැවරෙනවා නේද?

ඬ. න. කියන්නේ ජාත්‍යන්තර පොලීසියට දැනටමත් අවශ්‍යව සිටින අයෙක්. ඒ නිසා ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ඔවුන් උනන්දුයි. එල්. ටී. ටී. ඊ. යේ ජාත්‍යන්තර නියෝජිතයා ලෙස කි‍්‍රයා කරන මේ පුද්ගලයා අල්ලාගැනීම සඳහා සහායවන හැටියට අපි රටවල් ගණනාවකින් ඉල්ලීම් කර තිබෙනවා.

එල්. ටී. ටී. ඊ. යේ විනාශය සටහන් වී හමාර වුණත් දෙමළ ඩයස්පෝරාව කොටි හිතවාදී කි‍්‍රයාකාරකම්වල දිගට ම යෙදෙමින් උතුරේ දෙමළ ජනයා ගැන කිඹුල් කඳුළු හෙලීමේ රහස හෙළිදරවු වී අවසන්. ඔබ එය තේරුම් කරන්නේ කොහොමද?

ඔය ඩයස්පෝරාව යැයි කියාගන්නා සමහර උදවිය තමන්ගේ ආර්ථික අවශ්‍යතා සඳහා විදේශගත වෙලා ඉන්න අය. ඔවුන් තමන්ගේ ජීවිකාව ගෙනයාම සඳහා එල්. ටී. ටී. ඊ. ය වාහකය කරගෙන. තවත් පිරිසක් එල්. ටී. ටී. ඊ. යේ මතවාදය වෙනුවෙන් පෙනී සිටින, එය වැපිරීම සඳහා කි‍්‍රයාකරන උදවිය.

 රජය මානුෂීය මෙහෙයුම ඔස්සේ එල්. ටී. ටී. ඊ. ග‍්‍රහණයෙන් මුදවාගත් තුන්ලක්ෂයක් පමණවන සිවිල්වැසියන් ගැනවත්, මෙහි සිටින දෙමළ ජනතාව ගැනවත් ඔවුන්ට විශේෂ අනුකම්පාවක් නැහැ.

ශ‍්‍රී ලංකාව එල්. ටී. ටී. ඊ. ය පරාජය කළායින් පසු ඔවුන් කලබල වෙලා ඉන්නෙ තමන්ට ලැබුණු වාසි – පහසුකම් නැතිවෙයි කියලා දේශපාලන රැකවරණ ඉල්ලා සිටීම තවදුරටත් වලංගු නොවන හින්දා.

සමහර රටවල් ද දඩමීමා කරගනිමින් එල්. ටී. ටී. ඊ. හිතවාදීන් ශ‍්‍රී ලංකාවට එරෙහි ව දියත් කරන කුමන්ත‍්‍රණ, අසත්‍ය ප‍්‍රචාර ආදියට මුහුණදීම සඳහා වන ජාත්‍යන්තර මෙහෙයුමක් අපට තියෙනවාද?

එල්. ටී. ටී. ඊ ය ඔය විදිහට කි‍්‍රයා කරන්නේ ලෝකයේ රටවල් 192 කින් 6 ක විතර. ඒ නිසා ඒ රටවල් අතළොස්ස එක්ක මේ කාරණය විසඳ්‍රගන්න ජාත්‍යන්තර මෙහෙයුමක් අවශ්‍යයි කියල මම නම් සිතන්නේ නැහැ. ඒක ද්විපාර්ශවිකව විසඳගන්න පුලුවන්.

ඔය කියන ඇතැම් බලවත් පිරිස් කි‍්‍රයාත්මක වෙද්දිත් අවුරුදු 30 ක් තිස්සේ පීඩා විඳී ත‍්‍රස්තවාදී ප‍්‍රශ්නයට විසැඳුමක් සොයාගන්න මේ රටට පුලුවන් වුණා.

මේ කාරණයෙදි තවදුරටත් අදාළ රටවල් දැනුවත් කිරීම පිණිස අපේ තානාපතිවරු ක‍්‍රියාකරමින් සිටිනවා. ඊට අවශ්‍ය මඟ පෙන්වීම අපි කරනවා. ඒකට රාජ්‍ය තාන්ති‍්‍රක මෙහෙයුමක් කියන්න පුලුවන්.

මේ කි‍්‍රයාමාර්ගවල සාර්ථකත්වය පෙනෙන්නත් තියෙනවා. මෙතෙක් සිදු නොවූ පරිදි එල්.ටී. ටී. ඊ යට අවි බිම තියන්න කියලා ඔය සෑම රටක්ම ඉල්ලුවෙත් , එල්. ටී. ටී. ඊ යට තිබූ ජාත්‍යන්තර සහය නැති වීගෙන යමින් ඇත්තෙත්්, එල් .ටී. ටී. ඊ යට සහය දක්වන දේශපාලන පක්ෂ කණ්ඩායම් ප‍්‍රතික්ෂේප වීගෙන යන්නෙත් ඇයි කියල සිතල බලන්න.

දැන් අලුත් පරිවර්තනයක් සිදු වෙමින් තියනවා. වැඩි ශබ්දයක් නැතත් රාජ්‍ය තාන්ති‍්‍රක මෙහෙයුම් ඉදිරියට යමින් තියෙනවා.

පදනම් විරහිතව ශ‍්‍රී ලංකාවට එරෙහිව චෝදනා ගොනුකරන්න සාක්ෂි සොයන අය පලස්තීනයේ, ඇෆ්ගනිස්තානයේ තමන්ම කරන දේවල් සහ තමන්ගේ හිත මිතුරන් කරන දේවල් ගැන නිහඬයි. මේ යුද අපරාධ කතාවට ප‍්‍රතිචාර දක්වන්නේ මොන විධියටද ?

මෙතැන ඒ අය කියන විධියේ යුද අපරාධ කතාවක් අදාළ වෙන්නෙම නැහැ. මොකද එහෙම දෙයක් මෙහෙ වෙලා නැහැ. ඔය කියන විධියේ මානව හිමිකම් උල්ලංඝනයකුත් මෙහෙ වෙලා නැහැ.

අපි ජාත්‍යන්තර නීති – රීති වලට එකඟව - සම්මුතීන්ට ගරු කරමින් මේ රටේ නීතිය යටතේ වැඩ කරල තියෙනව. අපේ හමුදාව වුණත් ඉතාම විනයානුකූලව කි‍්‍රයා කළා. මානුෂීයව හැසිරුණා.

කවුරු හරි කියනවා නම් කාගේ හරි මානව හිමිකම් උල්ලංඝනය වෙලා කියලා මේ රටේ නීතිය යටතේ ඔවුන්ට ඒ ගැන කි‍්‍රයා කරන්න පුලුවනි. මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූණා නම් අධිකරණයට යන්න පුලුවන්.

හබයාස්කෝපුස් ආඥාවක් අවශ්‍ය නම් ඒත් එහෙම පුලුවන්. මේ රටේ කි‍්‍රයාත්මක වෙන නීතියක් තියෙනවනෙ. ඒක තවමත් රෝම ලන්දේසි නීතිය. ඒ යටතේ කාටත් නීතියේ පිළිසරණ පතන්න පුලුවන් තමන්ට අසාධාරණයක් වෙලා තියෙනවා නම්, ඒ නිසා ඔය යුද අපරාධ කථා මෙතැනට වලංගු නැහැ. සිවිල් ජනතාව එල් .ටී. ටී. ඊ යෙන් මුදවාගන්න ඕන නිසයි හමුදාව මානුෂීය මෙහෙයුම කි‍්‍රයාත්මක කෙළේ.

ඔවුන් කිසි විටෙක සිවිල් ජනයාට හානි කෙළේ නැහැ. නමුත් එල්. ටී. ටී. ඊ ය තමන්ගේම ජනයාට වෙඩි තබා මරණ හැටි ලෝකයම දැක්කා. මේ ජනයා මුදාගත් පසු ඔවුන්ට සහන සැළසීම සඳහා රජය, ආරක්ෂක අංශ ගන්න කි‍්‍රයාමර්ග ජාත්‍යන්තරයේ පැසැසුමට ලක් වෙලා.

මේ රටේ ජනතාව අසරණව සිටින සහෝදර ජනතාවට මානුෂීයව සළකන හැටි ලෝකයට කියා පාන්නේ චිරාත් කාලයක් අප අතර වූ සහෝදර බැම්මේ තරමයි. ඒ නිසා මානව හිමිකම් ගැන , ජාත්‍යන්තර යුතුකම් ගැන, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කවුරුවත් අපට අමුතුවෙන් පාඩම් කියා දෙන්න ඕනෑ නැහැ.

එ. ජා. මානව හිමිකම් කොමසාරිස් නව නීදම් පිල්ලේ මහත්මියටත් අපි මේ ස්ථාවරයන් පැහැදිළි කළා. නමුත් ඇය නොයෙක් අගතිගාමී ප‍්‍රකාශ කරනවා. එහෙත් ඒවා එක්සත් ජාතීන්ගේ සංවිධානය නියෝජනය කරන මත ලෙස අප සළකන්නේ නැහැ.

ජාතික ප‍්‍රශ්නයට විසැඳුමක් හැටියට දැනට පිළිගන්නා 13 වෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය කි‍්‍රයාත්මක කිරීම පිළිබඳ විවිධ මතවාද තිබෙනවා. එහෙත්, රජය පළාත් සභා ක‍්‍රමය කි‍්‍රයාත්මක කරමින් සිටිනවා. මේ ප‍්‍රශ්නයට දේශපාලන විසැඳුමක් අවශ්‍ය බව නිතර කියන ජාත්‍යන්තරය මේ විසැඳුම ගැන දක්වන ප‍්‍රතිචාරය කුමක්ද ?

ඇත්තටම ඒ ගැන සොයන්න ජාත්‍යන්තර ප‍්‍රජාවක් අවශ්‍ය නැහැ. රජය පැහැදිලිව කියා තිබෙනවා අප කි‍්‍රයාත්මක කරන්නේ දේශීය විසැඳුමක් මිස කාගේවත් විසැඳුමක් නොවන බව. මේ පිළිබඳ ස්ථාවරය ජනාධිපතිතුමා පැහැදිලිවම එළි දක්වා තිබෙනවා.

අපේ විසැඳුමක් පිළිබඳ එකඟතාවකට පැමිණිය යුත්තේ අපේ දේශපාලන පක්ෂ මිසක් වෙනත් රටවල් නෙවෙයි. එහිදී අවශ්‍ය කරන ජාතික එකඟතාව ගොඩනැඟෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා