යුද ටැංකි නාශක බෝම්බ උඩින් පාලම්පාසියට ...

යුද ටැංකි නාශක බෝම්බ උඩින් පාලම්පාසියට ...

රණ බිමට ජය ගොස කැන්දු රණ විරුවන්ගේ එඩි බලය පිළිබඳ තතු සැණින් අප වෙත සමීප කරනු ලැබුවේ ඔවුන් ය. යුද පෙරමුණේ සිටිමින් රුදුරු යුද්ධයේ බිහිසුණු බවත්, සතුරා පරාජය වී පලා ගිය ආකාරයත් සොයා ගත් අවි ආයුධ පිළිබඳත් නිරන්තරයෙන් අප දැනුම්වත් කළ ඔවුහු ශ‍්‍රී ලාංකේය විද්‍යුත් මාධ්‍ය භූමිකාවට නොමැකෙන මතක සටහන් එක් කළහ. ජීවිතය හා මරණය අතර ද්වන්ධ සටනක නිරත වෙමින් පෙළහර පෑ ඔවුන් අත් විඳි අමතක නොවන සටහන් මෙපමණකැයි කිව නොහැකිය. කැමරා කාචයට හසු නොවුණ තමා ලද අත්දැකීම් සමුදායෙන් බිඳක් ස්වාධීන රූපවාහිනී සේවයේ සුජිත් විතානපතිරණ මෙසේ හෙළි කරයි.

වන්නි මෙහෙයුමේදී මං ආවරණය කෙළේ 59 වැනි සේනාංකය විතරක් නෙමෙයි. 57 වැනි සේනාංකය, 58 වැනි සේනාංකය, 62 වැනි සේනාංකය වගේ සේනාංකවලටත් ගියා. එක දවසක් අපි ගියා නයාරු කළපුව ළඟට. එදා පැවැති තත්ත්වය අනුව දරුණු සටන් ඇති වන බව අපට ඉවෙන් වගේ දැනුණා. කළපුවෙන් එහා පැත්තෙ එල්ටීටීඊ ය. මෙහා පැත්තේ අපේ හමුදාව.

හමුදාව දැන් එල්ටීටීඊ ලයින් එකට ගහන්න යමින් ඉන්නෙ. අපි ‘ආමා ටෑන්ක්’ එක පේන දුරට. රූප රාමු ගනිමින් ප‍්‍රවෘත්තිය ආවරණය කරන්න පටන් ගත්තා. අපි හිතුවා ‘ආමා’ ගහන කොට ආමට විතරයි ගහන්නෙ කියලා. ඒ නිසා අපි හිතුවෙ ආර්. පී. ජී. වගේ ගහයි කියලයි. ඒත් වුණේ එහෙම දෙයක් නෙමෙයි. ‘ආමා’ ගහලා පිටිපස්සට එනවත් එක්කම දිගින් දිගටම මෝටාර් වැදුනා. අපට කර කියා ගන්න දෙයක් නැති වුණා. ඒ අවදානමට මුහුණ දෙනකොටත් හිතුනෙ මැරුණම තමා කියලයි.

ඔටියාමලේ අල්ලා ගැනීමේදීත් විශේෂ සිදුවීම් කිහිපයක්ම වුණා. එල්ටීටීඊ යෙ පළමු වැනි ආරක්ෂක බැම්ම පිහිටලා තිබුණෙ ඔටියාමලේ, නයාරු, වැලිඔයෙන් උඩ කෑල්ලෙ. එල්ටීටීඊ ය හිතාගෙන හිටියෙ අපේ හමුදාවට ඔය බැම්මෙන් එහාට අඩියක්වත් තියන්න බැරිවෙයි කියලයි. වන්නි මෙහෙයුමේදී හමුවුණ විශාලම සහ ශක්තිමත්ම ආරක්ෂක බැම්ම වුණේ ඒක. 57 සහ 58 කියන සේනාංක දෙකටම මේ බැම්ම මුණ ගැහුණා.

ඒක කඩනකොට දිගින් දිගටම දරුණු සටන් ඇති වුණා. බැම්ම කඩන්න දවස් හතක්, අටක් විතර ගියා. එක දිගට ගහ ගත්තා. ඔය අතරෙදි තමයි පාලම්පාසි කියන ගම අල්ලා ගත්තා කියලා අපට දැනුම් දුන්නේ. අපි එහෙ යන්න සූදානම් වුණා.

ඒ හරියෙ යන්න පුළුවන් රෝද හතරෙ ට‍්‍රැක්ටර්වලට විතරයි. 59 – සේනාංකය යටතේ 592 බළ සේනාවේ අණ දෙන නිලධාරී මලික් සිල්වා, 12 වැනි පාබල බළඇණියේ අණ දෙන නිලධාරී ලුතිනන් කර්නල් වසන්ත හේරත් කියන පිරිසත් එක්ක අපිත් ට‍්‍රැක්ටර්වල නැගලා ගියා. මේ පිරිසත් එක්ක ගමට ගිහින් සිද්ධිය ආවරණය කරගෙන ආපහු එනකොට අප පහු කරගෙන ගිය පාලමක් උඩ ඉංජිනේරුවන් පිරිසක් ඉන්නවා දැක්කා.

පස්සෙ බලන කොට ඒ අය මොකක්ද දන්නවද කරමින් හිටියෙ ? යුද ටැංකි නාශක බෝම්බයක් ගලව ගලවා හිටියෙ. අපි මොහොතකට කලින් ගිහින් තිබුණෙ ඒක උඩින්. අපේ වෙලාවට ඒක පිපිරුවෙ නෑ. ඒ වෙන කොට එතනින් තව ට‍්‍රැක්ටර් ගිහින් තිබුණා. ඒත් අපි හැමෝගෙම වාසනාවකට ද කොහෙද හැමෝම බේරුණා. ඒකට අහු වුණා නම් අපේ කෑල්ලක්වත් දකින්න වෙන්නෙ නෑ.

මේ වගේ විවිධ සිදුවීම් නිසා අපේ ජීවිත ආරක්ෂාව පිළිබඳ බියක් ඇතිවෙලා දෝ මන්දා හමුදාවෙ සමහර උසස් නිලධාරීන් මාධ්‍ය ප‍්‍රතික්ෂේප කළ අවස්ථා තිබුණා. මාධ්‍ය කියන්නෙ මහා වදයක්, හිසරදයක් ගානට ගත්ත අවස්ථා තිබුණා. ඔවුන් අපව ප‍්‍රතික්ෂේප කරන සීමාවත් එක්ක පහළ නිලධාරීන් අපත් එක්ක වැඩවලට යන්න ඒමේදී පුදුමාකාර විදිහට අසරණ වුණා. සමහර අවස්ථාවලදී අපට අවශ්‍ය රූපගත කිරීම් කරන්න අවස්ථාව ලැබුණේ නෑ. ඒ අවස්ථාවලට යන්න දුන්නෙ නෑ. කැමරාගත කළ රූප රාමු අන්තර්ගත කැසට් පට පෙන්වන්න වුණා. අපට ලයින් එකට යන්න දෙන්නෙ නෑ.

අපේ සහෝදර මාධ්‍යවේදී අනුර දොරකුඹුරගෙ තුවාලවීමත් එක්ක තමයි මේ අයට බයක් ඇතිවෙලා තිබුණෙ.

අපට ගත්ත ගමන් ප‍්‍රවෘත්ති දෙන්න විදිහක් නැති වුණා. සමහර ප‍්‍රවෘත්ති ගත්තත් ඒවා දෙන්න විදිහක් නැතිව පැය 04, 05 අපේ වාහනේට වෙලා හිටිය අවස්ථා තිබුණා. එක්තරා කාල වකවානුවකදී මේ වගේ ප‍්‍රශ්න රාශියකට මුහුණ දෙන්න සිදු වුණා.

යුද්ධයේ ජයග‍්‍රහණය සඳහා ති‍්‍රවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ විශාල කැප කිරීමක් කළා. ඒ අතරෙ අපේ රටේ මාධ්‍ය සහ මාධ්‍යවේදීන් කැප කිරීම් කළා. ජනතාව අතරට තොරතුරු ගෙන ගිහින් ඔවුන්ට යුද්ධයේ සැබෑ ස්වරූපය දකින්න ඉඩ කඩ ලබා දීමත් ජාත්‍යන්තර ප‍්‍රජාව විවිධ ප‍්‍රශ්න ඇති කරමින් යුද්ධය නැවත්වීමට මං පෙත් පාදද්දී ඔවුන්ගේ බොරුවලට නිසි පිළිතුරු දෙන්නත් මාධ්‍යයට හැකි වුණා.

කොහොම හරි මාධ්‍ය ආවරණය අපේම වුවමනාවට කරන දෙයක් මට්ටමට හිතලා සමහර ආරක්ෂක නිලධාරීන් කටයුතු කරද්දී අපට කර්නල් චන්ද්‍රා ජයවීර මුණ ගැහුණා.

‘සුජිත්, මෙහෙ වෙන දේ මිනිස්සු දැන ගන්න ඕනෑ. අපි ඔයාට උදවු කරන්නම්’

කර්නල් ජයවීර අපව දිරිමත් කළා. එයා කැපවීමෙන් යුතුව අපේ අවශ්‍යතාවට පිහිට වුණා. මේ හේතුව නිසාම ඔහු බි‍්‍රගේඩියර්වරුන්ගෙන් බැණුම් ඇහුව වාර අනන්තයි. අප‍්‍රමාණයි.

‘මේ මිනිස්සු මෙහෙ ඇවිදින් මේ තරම් දුක් විඳින්නෙ මොනවා හරි දෙයක් කිරීමේ වුවමනාව නිසයි. අපි ඒ ගොල්ලන්ට උදව් කිරීම මේ වෙලාවෙ කළ යුතුම දෙයක්’ කර්නල් ජයවීර නිතරම පැවසුවා. එහෙම කියලා මාධ්‍ය ප‍්‍රතික්ෂේප කළ අයට මාධ්‍යයේ අවශ්‍යතාවය නිරන්තරයෙන්ම තේරුම් කර දුන්නා. මං වන්නි මෙහෙයුම සාර්ථකව කළා නම් එහි සම්පූර්ණ ගෞරවය හිමි වෙන්න ඕනෙ කර්නල් ජයවීරටයි. ආව විවිධ ප‍්‍රශ්නත් එක්ක මං වන්නි මෙහෙයුම දාලා එන මට්ටමක හිටියේ. මට මේ දේ හරියට කරන්න ඉඩ දෙන්නෙ නෑ.

මං ආපහු කොළඹ එන්නම් කියලා ස්වාධීන රූපවාහිනී කාර්යාලයට දන්වපු අවස්ථා අනන්තයි. එහෙත් අපට අවශ්‍ය විදිහට වැඩ කටයුතු කරන්න ඉඩ ලැබුණහම ඇත්ත තත්ත්වය මිනිස්සුන්ට බලන්න ඉඩ දෙනකං තිබුණෙ නොඉවසිල්ලක්. ඒ නොඉවසිල්ල නිසාම හමුදාවෙ අණ නොතකා යන්න එපා කියන අනාරක්ෂිත තැන්වලට ගිහින් රූගත කිරීම් කළා.

කොහොම කොහොම හරි නයාරු කළපුව පහු කරගෙන යන කොට එල්ටීටීඊ ය යුද හමුදාවේ ගමනට පුදුමාකාර විදිහට බාධා කළා. යුද හමුදාවෙ ගමන බාල වෙන කොට ඒ අය උපක‍්‍රමශීලීව කටයුතු කළා. මේ වෙලාවෙදි කළේ කුමළමුණේ කියන ගමට ගිහින් ඒක අල්ලගෙන එතනින් අලම්පීල්වලට ගිහින් කැලේ පැත්තෙන් ඇවිත් නයාරු කළපුව සහ චෙම්මලේ ගම්මානය අල්ලා ගන්න එකයි.

ඒ සීමාවට එනකොට 59 වැනි සේනාංකය සම්පූර්ණයෙන්ම මුලතිව් කැලේ පහු කළා. ඊට පස්සෙ තමයි මුලතිව් සටන පටන්ගත්තෙ. අලම්පිල් ගැනීමත් එක්කම එල්ටීටීඊ මුලතිව් බලකොටුව පෙනෙන දුරට යුද හමුදාවට එන්න පුළුවන් වුණා.

මේ කාල වකවානුව කියන්නෙ ජීවිතේට පුදුමාකාර අත්දැකීම් ලබා දුන්න කාලයක්. ඒ කාලය තුළ හැම මොහොතක්ම ගෙවුණෙ අඛණ්ඩ සටන්් මැද. සමහර වෙලාවට පැය විසි හතරම ගෙවුණෙ අඛණ්ඩ සටන්වලින්. මේ කාලෙදි හැම දෙයක්ම ආවරණය කෙළේ අවදානම සියයට සියයක්ම තියාගෙනයි. මුලතිව් කැලේදී බයක් අවදානමක් තිබුණත් එතනින් පොඩ්ඩක් උඩහට ගියහම අලම්පිල්වලදී අවදානම සියයට සීයම වුණා.

මේ තත්ත්වයේ බරපතළකම නිසාම යුද හමුදාව අපට සමහර තැන්වලට යන්න එපා කිව්වා. මං බොහෝ වෙලාවට හිටියෙ සාමාන්‍ය සෙබළුත් එක්ක. ඒ අයත් එක්ක ළඟින් හිටියහම අපට බොහෝ තොරතුරු ලැබෙනවා. මේ වගේ අවස්ථාවලදී මං කළේ අඳුරන කාව හරි අඩ ගහගෙන හමුදා නිලධාරීන්ට හොරෙන් ගිහින් තොරතුරු ලබා ගැනීමයි.

එක දවසක් මට මුණ ගැසුණා 59 සේනාංකයේ 593 බළ සේනාවේ කර්නල් ජයන්ත ගුණරත්නව. එයා දවසක් මට කතා කරලා ‘සුජිත් අපි මුලතිව්වල තියෙන එල්ටීටීඊ එකේ ගුවන් පථයක් අල්ල ගන්න යනවා. ඔයාලටත් එන්න පුළුවන්’ කියලා කිව්වා. ක්ෂණයකින් අපි එතැනට ගියා. හමුදාව ඒක අත්පත් කර ගෙන විනාඩි 10 ක් ඇතුළත අප ප‍්‍රවෘත්තිය කළා. පැයක් ඇතුළත විශේෂ ප‍්‍රවෘත්තියක් විදිහට ඒක දෙන්න පුළුවන් වුණා. අවදානම සහ අවශ්‍යතාව හඳුනාගත් හමුදා නිලධාරීන් සිටි නිසා අපට ඒ දේ ක්‍ෂණයකින් කරන්න හැකි වුණා.

59 සේනාංකයේ 593 බළ සේනාව ගුවන් පථය අල්ල ගන්න යනවා කියන කොටත් අප ඒ ස්ථානයට ගිහින් හිටියෙ. ඒ අවස්ථාව මගේ ජීවිතයට එක් කළේ නැවුම් අත්දැකීමක්.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා