ඌවේ ජනතාව සංවර්ධනයේ අරුණලු ඔස්සේ අනාගතයට


 

ඌවේ ජනතාව සංවර්ධනයේ අරුණලු ඔස්සේ අනාගතයට

දශක තුනක් තිස්සේ මවුබිම වෙළාගත් එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදී ශාපය මුලිනුපුටා දැමීමෙන් පසු සමස්ත ශ‍්‍රී ලාංකීය ජනතාව නැවුම් හුස්මක් ගන්නා වකවානුවකි මේ.

රුදුරු ත‍්‍රස්තවාදයේ පීඩනයෙන් මිරිකී නිවටව නියාළුව ජීවත් වූ කාලය සහ ත‍්‍රස්තවාදය අතුගා දමමින් හමා ගිය නිදහසේ සුළඟේ ආශ්වාදය අතර ඇති වෙනස මෙතරම් දැයි සමීප ලෙස විඳගන්න අවදියයි මේ.

එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදය විසින් මේ රටේ ඉදිරි ගමන දශක ගණනාවකින් පසු පසට ඇද දමනු ලැබීමෙන් පසු රට අලුත් පරිවර්තනයක් සඳහා මුලපුරන අවදියක් ලෙසද මේ වකවානුව අතිශයින් වැදගත් වේ.

ඌවේ ප‍්‍රබෝධය

නිසි හා නිවැරැදි දේශපාලන මෙන්ම හමුදාමය නායකත්වයක මඟපෙන්වීම හා මෙහෙයවීම යටතේ වීරෝදාර ආරක්ෂක හමුදා දශක ගණනාවකට පසු එක්සේසත් කළ රටක පැවැත්වෙන පළමු මැතිවරණය ලෙස ඌව පළාත් සභා මැතිවරණය සඳහා ඌවේ ජනතාව පෙළ ගැසෙමින් සිටින්නේ ද මේ වකවානුවේ වීම විශේෂයකි.

අතීතයේ පටන් ජාතික නිදහස් අරගලය සඳහා පණ පෙවූ වීර කැප්පෙටිපොළ වැනි විරුවන් ගත් මඟ සිහිපත් කරමින් රට නඟන මහා සංග‍්‍රාමයට ඌවේ ජනතාව රොද බඳිනු ඇත්තේ උද්දාමයෙනි.

ඓතිහාසික, ආර්ථික, සමාජයීය, සංස්කෘතික ආදී කොයි අතින් බැලුවද මේ සෑම ක්‍ෂේත‍්‍රයක් ඔස්සේම ඌවේ අක් මුල් විහිදී යයි.

 බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශයෙන් පවිත‍්‍ර වූ ප‍්‍රදේශයක් ලෙස ඌව පිළිබඳ සමස්ත බෞද්ධ ජනතාව තුළ ඇත්තේ අප‍්‍රමාණ ගෞරවයකි. බෞද්ධ උරුමයේ මුදුන් මල්කඩක් ලෙස සළකා වන්දනාමාන කරන මහියංගන සෑ රදුන් ඌවේ වැඩ හිඳී.

සුදු අධිරාජ්‍යවාදීන්ගෙන් මවුබිම නිදහස් කර ගැනීම සඳහා නැඟී වෙල්ලස්ස කැරැල්ලේ දී මවුබිමේ උරුමය වෙනුවෙන් දිවිදුන් ඌවේ අතිජාත දූ පුතුන් පිළිබඳ වීර කතාන්දර අදටත් ඌවේ පැරැන්නෝ සිහිපත් කරන්නේ මහත් ගෞරවයෙනි.

රජ දවස පටන් රටට බත සපයන මහා මෙහෙවරට ඉහළින් දායක වෙමින් රටේ ජනතාවගේ කුසගිනි නිවන්නට මතු නොව ආර්ථිකය නඟන්නටද ඌව ගොවි ජනතාව දක්වා ඇති දායකත්වය සුළුපටු නොවේ. ආදිවාසීන්ගේ වාසභූමිය ලෙසද ඌවට තවත් සංස්කෘතික අනන්‍යතාවක් එකතු වී තිබේ.

මේ ආදී සියලු කරුණු කාරණා එසේ වූවද නිදහසින් පසු ගෙවී ගිය දශක හයක පමණ කාල වකවානුව තුළ පවා මෑතක් වනතුරුම ඌවේ ජනතාවට නිදහස පිළිබඳ හැඟීම එයාකාරයෙන් දැනුනේ ද යන්න බරපතල ගැටලුවකි.

මේ පළාත සැළකුණේ දුෂ්කර පළාතක් වශයෙනි. එකී හැඳින්වීම තුළ එහි ජීවත් වූ ජනතාවගේ ජීවිත ගෙවී ගියේ ඇතැම් විට අතිදුෂ්කර තත්ත්වයක් යටතේ බව සැබෑවකි. නගර කේන්ද්‍රීය සංවර්ධනය තුළ ඔවුන් තව තවත් පරිහානියට තල්ලු වී ගිය අතර අසමාන සංවර්ධනයේ අමිහිරි ප‍්‍රතිවිපාක විඳින්නට ඔවුනට සිදුව තිබිණි.

එහෙත්, 2005 දී රට තුළ ඇති වූ මහා දේශපාලන පරිවර්තනය විසින් ඌවේ ජනතාවගේ ‘ඉරණම’ ද වෙනස් කිරීමට මුල පුරනු ලැබිණි. ගැමි සුවඳ හමුවේ නාසය හකුලා නොගත් ගමෙන් මතුවූ රටේ නායකත්වය ජනතා වරමින් වර ගැන්වුණු මහින්ද චින්තන වැඩපිළිවෙළට රට යොමු කළේ මහා වෙනසකට පිය නගමිනි.

ගමේ කැකිරි කොළඹට යනවිට කොළඹට ඉතිරෙන කිරි ගමටද ගලා ආවේ ඉන්පසුවයි. මඟ නැගුම ඔස්සේ ඌවේ අතිදුෂ්කර මංමාවත් කොන්කී‍්‍රට් පාරවල් බවට හැරුණේ බාහිර ලෝකයත් සමඟ නව ප‍්‍රවේශයන් ඇති කරමිනි. නිසි මාර්ග පහසුකම් නැතිකම නිසා කඩාකප්පල් වූ දූ දරුවන්ගේ අධ්‍යාපන අයිතීන් යළි ඔවුන්ට ලැබෙන විට, ඔවුන්ගේ දෙමව්පියෝ දුක් මහන්සියෙන් වවා හදා ගත් එළවලු ටික නගරයට රැගෙන ආවේ සොම්නසිනි.

ගමේ බෙහෙත් ශාලාවේ පහසුකම් ඉහළ නැංවෙන විට මහ ඉස්පිරිතාලයම අසාධ්‍ය ලෙඩෙකු රැගෙන යාමට හැකි මාර්ග පහසුකම් ද දියුණු වී තිබිණි. ඌවේ ඈත ප‍්‍රදේශවල ජනතාවගේ ජීවිත ආලෝකවත් කරමින් ගමට විදුලි එළිය ලැබිණි. මේ ආදී භෞතික පහසුකම් ක‍්‍රමයෙන් සපිරෙමින් තිබියදී ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවුණේ ඔවුන්ට රටේ සංවර්ධන කි‍්‍රයාවලියේ හවුල්කරුවන් බව කියාපාමිනි.

වේගවත් කෘෂිකාර්මික නිෂ්පාදන කි‍්‍රයාවලියේ එක් පුරුකක් වෙමින් තම දායකත්වය රටේ ඉදිරි ගමන සඳහා යොමු කරන්නට ඌවේ ජනාතාවට ධෛර්යයක් වූයේ කෘෂිකාර්මික ක්‍ෂේත‍්‍රය සඳහා වන රජයේ සහන වැඩපිළිවෙළයි.

එය පොහොර සහනාධාරයට පමණක් සීමා නොවී සම්ප‍්‍රදායික කෘෂිකර්මයට නව දැනුම හා තාක්ෂණය යොමු කිරීම දක්වාම පුළුල් වී තිබේ. ඌව පළාත වෙත අවධානය යොමුකරන විට ආදිවාසී ජනතාවත්, ඔවුන්ගේ ගති පැවතුම් අනන්‍යතාත් මඟහැරිය නොහැකියි.

එහෙත්, යම් යම් කාලවල හුදු දේශපාලන ප‍්‍රතිලාභ පමණක් අරමුණු කරමින් එම ජනතාව වෙත යොමු වූ ප‍්‍රයත්නයන් හැරුණුවිට සැබෑ ලෙස ම ඔවුන් මුහුණ දුන් ගැටලු හඳුනාගත්, ඔවුන්ගේ සංස්කෘතික අවශ්‍යතාවෙන්ම ජීවන චර්යාව පිළිබඳ සංවේදී වූ නිසි වැඩපිළිවෙළක් නොතිබීමේ අඩුව දක්නට ලැබිණි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජය ආදිවාසී ජනතාවගේ මූලයන් සේම ඔවුන්ගේ වර්තමානිකයන්ගේ අවශ්‍යතාද කෙරෙහි සමීප ලෙස සංවේදී වෙමින් වැඩපිළිවෙළ රැසක් දියත් කර තිබේ. ඒ අතර එම දරුවන්ගේ අධ්‍යාපනය නැංවීම අරමුණු කරමින් දියත්කර ඇති කි‍්‍රයාමාර්ගද අගය කළ යුතු වෙයි.

මේ රටේ ජීවත්වන ජන සමූහයක් ලෙස සිය පැරැණි උරුමය පිළිබඳ කිසියම් අභිමානයක් ආදිවාසී ජනයාගේ සිත් සතන්හි ගොඩනැගීමට මේ වැඩපිළිවෙළට හැකිවී තිබේ. රාජ්‍ය නායකත්වය පවා ඔවුන්ගේ ප‍්‍රශ්න පිළිබඳ අවශ්‍ය අවස්ථාවේදී වහා අවධානය යොමුකරන තරමට ම ඔවුන් ගැන පිළිගැනීමක් ඇතිවී ඇත.

ඌව පළාත පිළිබඳ අවධානය යොමුකරන විට තවත් බැහැර කරලිය නොහැකි පිරිසක් වන්නේ වතුකම්කරු ජනතාවයි. කාලාන්තරයක් තිස්සේ රටේ ආර්ථික කි‍්‍රයාවලියේ සකී‍්‍රය හවුල්කරුවන් ලෙස ඔවුන් විශාල දායකත්වයක් දැක්වූවද එම ජන ජීවිත නගාසිටුවීම සඳහා වන වැඩපිළිවෙළ පැවතියේ අවම මට්ටමක බව පිළිගැනීමට සිදුවේ.

වැදි ජනයාට ප‍්‍රවාහන පහසුකම්

දේශපාලනමය වාසි උදෙසා ඔවුන් පාවිච්චි කිරීමෙන් ඔබ්බට යමින් වතුකම්කරුවාගේ සැබෑ සුබසාධනය පිළිබඳ අවංක හැඟීමකින් මහින්ද රාජපක්ෂ රජය කි‍්‍රයාකරන බව නොරහසකි. ඔවුන් සඳහා නිවාස පහසුකම්, පානීය ජල පහසුකම් වතු නිවාස ආශ‍්‍රිත මාර්ග පද්ධතිය නවීකරණය වැනි යටිතල පහසුකම් නැංවීමට අමතරව එම පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනය ඉහළ නැංවීම සඳහා ද විධිමත් කි‍්‍රයාමාර්ග ගෙන තිබේ.

ගැබිනි මවුවරුන්ගේ හා බිළිඳු දරුවන්ගේ පෝෂණය පිළිබඳ විශේෂ අවධානයක් යොමු වූ වැඩපිළිවෙළද කි‍්‍රයාත්මකයි. තමන් පිළිබඳ පිළිගැනීමකින් යුතුව වත්මන් රජය ගෙන ඇති කි‍්‍රයාමාර්ග ගැන වතුකම්කරු ජනතාව නිසි අවබෝධයකින් සිටින බව පැහැදිලියි.

වත්මන් රජයේ සංවර්ධන වැඩපිළිවෙළ හඳුනා ගැනීමේදී එය අතීත ආණ්ඩුවලින් වෙනස් මඟක ගමන් කරන බව එක්වරම පෙනී යයි. පෙර සිදුවූයේ නගර කේන්ද්‍රීය සංවර්ධන කි‍්‍රයාදාමයක් වුව දැන් සංවර්ධනය ග‍්‍රාම නිලධාරි වසම දක්වාම යොමුව තිබේ.

පෙර දී මධ්‍යම රජයෙන් මන්තී‍්‍රවරයෙකුට ලැබුණු වෙන් වෙන්ව යොමුව ඇති බව ඒවායේ ඇතිවී ඇති දියුණුවෙන් පෙනේ. එම සංවර්ධන කි‍්‍රයාවලියේ දී ගමේ පන්සල කෝවිල හෝ දේවස්ථානය පාසල ආදී සියල්ල නියෝජනය වන අයුරු දැකිය හැකිය. ඒවායේ ප‍්‍රධානීහූ මේ ව්‍යාපෘතින්වල පෙරමුණු ගනිමින් සැබෑ ප‍්‍රතිලාභ ජනතාවට ලබාදීම කෙරෙහි වගබලා ගනිති. ගම නැගුම හුදු සංකල්පයක් ම නොව සැබෑ ලෙසම ගම ගොඩනඟන ප‍්‍රයෝගික වැඩ සැලැස්මකි.

රටේ සෙසු පළාත්වල මෙන්ම ඌවේ ද කි‍්‍රයාත්මක මෙවැනි සංවර්ධන වැඩපිළිවෙළට අමතරව දැවැන්ත සංවර්ධන යෝජනා ක‍්‍රමයකටද ඌවේ මුලපිරීමක් ඇතිවී තිබේ.

ඒ උමා ඔය බහුකාර්ය යෝජනා ක‍්‍රමයයි. ඉරාන රජයේ ආධාරද සහිතව කි‍්‍රයාත්මක වන මෙම දැවැන්ත ව්‍යාපෘතිය විදේශීය ආධාර පවා විශාල වශයෙන් රටේ ප‍්‍රත්‍යන්ත ප‍්‍රදේශ කරා යොමුකෙරෙන බවට මනා නිදසුනකි. උමාඔය ව්‍යාපෘතියේ සාර්ථකත්වය විසින් ඌවේ ජනතාවටද අභිමානවත් අනාගතයක් උරුම කරදෙනු නිසැකය.

සාමකාමී රටක් පිළිබඳ සිහිනය සැබෑවීමත් සමඟ සංචාරක කර්මාන්තය ආශ‍්‍රිතව ද ඌව පළාත් දියුණු කිරීමේ විශාල විභවයක් තිබේ. ඌවේ උරුමයක් වන රමණීය දිය ඇළි, කඳු හෙල් ඈ ස්වභාවික පරිසරය සංචාරක ආකර්ෂනය එකවර ඌවට යොමු කිරීමෙහි සමත්ය. එහි දී දැනට ඇති මට්ටම වඩාත් ඉහළ තලයකට ගැනීමට ඉදිරි කාලයේ දී හැකිවනු ඇත.

ත‍්‍රස්තවාදයෙන් රට මුදාගනිමින් ඒකීය රටක් මතු පරපුරට දායාද කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජාතිය හමුවේ කියා සිටියේ සංවර්ධනයට යුද්ධය බාධාවක් යැයි කියන්නට කිසිදු අනාගත රජයකට දැන් නොහැකි බවයි.

ඊට තිබූ ඉඩ ප‍්‍රස්ථා මුළුමනින් අවසන් කළ බව එතුමා කීවේ ත‍්‍රස්තවාදය විනාශ කිරීමේ දැවැන්ත කි‍්‍රයාමාර්ගයක නියැලෙමින් වූව ද රට නඟන සංවර්ධන කි‍්‍රයාදාමය ද වේගවත්ව පෙරට ගෙනගිය රජයක නායකයා වශයෙනි.

ත‍්‍රස්තවාදයෙන් රට මුදාගන්නා ගමනට ශක්තියක් වන්නැයි රටේ නායකයා කළ ඉල්ලීම නැඟෙනහිර, වයඹ, උතුරුමැද, මධ්‍යම, සබරගමුව හා බස්නාහිර ජනතාවද අනුමත කළේ විශිෂ්ට අන්දමිනි. එකී සෑම පළාත් සභා මැතිවරණයකදී ම ජනතාව බුද්ධිමත් ලෙස සිය තීන්දුව ප‍්‍රකාශ කළේ රට සුරකින සටන ශක්තිමත් කරමිනි.

ලබාගත් විජයග‍්‍රහණයේ දී එම ජනතාවගෙන් රාජ්‍ය නායකයාටත් රජයටත් ලැබුණු ශක්තිය මහා දායාදයක් වූ බව නොරහසකි. ජනාධිපතිවරයා නිතර කීවේ තමන්ට ලැබුණු ජනවරමට ගරුකරන බවයි. සැමවිටම ජනතාව පිළිබඳ විශ්වාසය තබා කි‍්‍රයාකරන බවයි. ඔහු නිවැරැදි බව දැන් ප‍්‍රයෝගිකවම සනාථ වී තිබේ.

දැන්, රට ඉදිරිපිට ඇත්තේ වීරෝදාර ආරක්ෂක හමුදා ජීවිත පරිත්‍යාගයෙන් දිනාදුන් රට ගොඩනැගීමේ අභියෝගයයි. කිසිදා පරාජය කළ නොහැකි යැයි සිතූ එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදය සහමුලින් වනසා දමමින් මහා අභියෝගය ජයගත් මිනිසුන් සිටින රටකට සෙසු අභියෝග ජය ගැනීම අසීරු කාරණයක් නොවනු ඇත. එහිදී ලැබු ජයෙන් උද්දාමයට පත්වීමට සීමා නොවී සිත කය වෙහෙසිය යුතු කාලයක් එළැඹී ඇති බව අවබෝධ කරගත යුතු වෙයි.

අලුත් පරිවර්තනයක් ඔස්සේ අලුත් රටක් ගොඩනඟන දැවැන්ත කි‍්‍රයාදාමයේ හවුල්කරුවන් වෙමින් පෙරමුණ ගන්නට ඌවේ වීරෝදාර ජනතාවට ලැබී ඇති අවස්ථාව ඔවුන් මහ ඉහළින් යොදාගන්නවා ඇත. තමන්ගේ ජීවිතවලට වැටෙන අලුත් හිරු රැස් ඔස්සේ දේශය ජීවයෙන් පිබිදෙන හැටි දැකගන්නවා ඇත. අපි ඌවේ ජනතාවට ජයවේවා කියමු.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා