මුද්‍රණය සඳහා

 
රන්ජන් විජේරත්න කොටින්ට බිලි

රන්ජන් විජේරත්න කොටින්ට බිලි

අත පැළැඳී මුදුවෙන් සිරුර හඳුනා ගනී

රන්ජන් විජේරත්න මහතා

හර්ෂ අබේවර්ධන මරලා’ යන ආරංචිය පැතිර යන්නට වැඩි වෙලාවක් ගත වූයේ නැත. අසූව දශකයේ අග අසන්නට ලැබුණු මේ ප‍්‍රවෘත්තිය සාමාන්‍ය ජනතාවට එතරම් පුදුම සහගත සිදුවීමක් නොවිණි. එහෙත් හර්ෂ අබේවර්ධන යනු එවකට එක්සත් ජාතික පක්ෂයේ සභාපති ය.

අබේවර්ධන මහතාගේ මරණය ආරංචි වුණු ජේ. ආර්. ජයවර්ධන මහතා මෙන්ම පක්ෂයේ සෙසු ප‍්‍රබලයන්ටත් මහත් වේදනාවක් දැනුණි. ඒ සමඟ ම තවත් ටික දිනක් යත්ම ජයවර්ධන ජනාධිපතිවරයා මහත් උභතෝකෝටිකයකට මුහුණ දුන්නේ ය.

‘හිස්වූ සභාපතිකම දෙන්නේ කාටද ? භාර ගන්නේ කවුද ?’ ජයවර්ධන මහතා අසරණ වී සිටියේය.

රටේ උතුර නොනවතින අරගලයකට මුහුණ පා සිටින විට ඔහු දකුණේ ද තවත් නොනිමෙන අර්බුදයකට මුහුණ පා සිටියේය. දකුණේ උද්ගතව තිබූ ජනතා විමුක්ති පෙරමුණේ භීෂණය නිසා පක්ෂයේ සභාපතිකම නොව ගමේ ශාඛා සමිතියක සභාපති කෙනෙකු පත්කර ගැනීමේ හැකියාවක් එජාපයට මෙකල තිබුණේ නැත. පක්ෂයේ කි‍්‍රයාකාරී සාමාජිකයකුට වුව මරණය නියම කොට තිබුණි.

මේ තත්ත්වය මත රංජන් විජේරත්න මහතා ඇමතූ ජේ. ආර්. ජයවර්ධන මහතා ‘පක්ෂෙ සභාපතිකම බාර ගන්නැ’යි ඉල්ලුවේය.

රංජන් විජේරත්න යනු භය නොහඳුනන සෘජු තීරණ ගන්නා මිනිසෙකි. ජේ. ආර්. ජයවර්ධන මහතාගේ ඉල්ලීමට ඔහු එකඟ විය.

1971 ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල වේලාවේ දී ද රන්ජන් විජේරත්න මහතා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුවට විශාල සහායක් ලබා දුන්නේ ය.

එකල ඔහු සිටියේ දෙමෝදර වතු යායේ ය. මේ කාලයේ අපනයන බෝග උඩරට සිට කොළඹට එවීමේ කටයුතු බොහෝ සෙයින් ඇණ හිට තිබුණි. මේ තත්ත්වය අනුව බණ්ඩාරනායක මැතිණිය රන්ජන් ව කොළඹට කැඳවීය. දෙදෙනා අතර සාකච්ඡාවක් පැවැති අතර අවසානයේදී ‘අපිට සහයෝගය දෙනවා නේදැයි’ බණ්ඩාරනායක මැතිණිය රංජන් විජේරත්න මහතාගෙන් ඇසුවාය.

ඉන්දියානු අගමැති රජීව් ගාන්ධි සමඟ...

‘මට ශ‍්‍රී ලංකා එකටවත් යූ. එන්. පී. එකටවත් පක්ෂයක් විදිහට පැත්තක් අරගෙන සහාය දෙන්න බැහැ. රට වෙනුවෙන් රජයට සහාය දෙන්නම්’ යැයි කී රංජන් අපනයන බෝග දිගට ම කොළඹ එවීමට කටයුතු කෙළේ ය. රංජන් විජේරත්න මහතාගේ අභියෝග බාර ගැනීමේ හැකියාව එදා තිබුණේ එසේ ය. පසුව ජේ. ආර්. ජයවර්ධන මහතාගේ ඉල්ලීම පිට රංජන් පක්ෂයේ සභාපති විය.

තවත් මාස කිහිපයක් ගත විය. නන්නාදුනන වෙඩික්කරුවෙකු පක්ෂයේ ලේකම් නන්දලාල් ප‍්‍රනාන්දු මහතා ද ඝාතනය කෙළේ ය. මේ සමඟ ම පක්ෂයේ සභාපතිකම මෙන් ම ලේකම් තනතුර ද බාර ගැනීමට රංජන් විජේරත්න මහතාට සිදු විය.

රංජන්ගේ මේ දේශපාලන ආගමනයට දඬුවම ලැබුණේ ඔහුගේ රියැදුරාට ය. රැකියාව නිම වී ගමේ කුඹුරු යායක් ඔස්සේ නිවස කරා යමින් සිටි ඔහු මඟ රැක සිටි පිරිසක් විසින් ඝාතනය කෙළේ ය.

‘නිරායුද මිනිස්සු මේ අකාරයට මැරුම් කනවා නම් රටකට ආණ්ඩුවක් අවශ්‍ය නැහැ’ යි රියදුරුගේ මරණය කන වැකුණු රංජන් විජේරත්න මහතා කීවේය.

ඉරාක ජනාධිපති සදාම් හුසේන් හමුවූ අවස්ථාවක්...

මේ 1988 ජනාධිපතිවරණය සඳහා රට සූදානම් වෙමින් තිබුණේ මේ අතර ය. රටේ දකුණේ ජ. වි. පෙ. ප‍්‍රශ්නයත් උතුරේ එල්. ටී. ටී. ඊ. ප‍්‍රශ්නයත් දරුණු ලෙස ඇවිලී තිබුණු මෙකල ජනාධිපතිවරණය මහත් අභියෝගයකි. 72 වන වියේදී මෙරට බලයට පැමිණි ජේ. ආර්. ජයවර්ධන මහතා තවත් වතාවක් ජනාධිපති වීමේ බලාපොරොත්තුවක සිටියේ ය.

එහෙත් පක්ෂය අභ්‍යන්තරයේ මීට එරෙහිව යම් මතවාද මතුª විය. ඒ අනුව බොහෝ දෙනෙකු වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වූහ. මේ සමඟ ම යථාර්ථය තේරුම් ගත් ජේ. ආර්. ජයවර්ධන මහතා දේශපාලනයෙන් විශ‍්‍රාම යෑමට තීරණය කෙළේ ය.

පසුකාලීනව වුව මෙරට බොහෝ දේශපාලනඥයන්ට ආදර්ශයක් වෙමින් ජයවර්ධන ජනාධිපතිවරයාගේ විශ‍්‍රාම යාමේ මේ ප‍්‍රකාශය 1988 සැප්තැම්බර් මස 10 වෙනි දින ‘ඉභදඤචර ර්‍ණඡඵඥපමඥප’ පුවත්පත වාර්තා කෙළේ ය.

පසු දිනක එක්සත් ජාතික පක්ෂයේ කි‍්‍රයාකාරී කමිටුව රණසිංහ පෙ‍්‍ර්මදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස තෝරා ගත්තේ ය. ඒ ගාමිණි දිසානායක මහතාගේ් යෝජනා කිරීමෙන් සහ ලලිත් ඇතුළත්මුදලි මහතාගේ ස්ථිර කිරීමෙනි.

තුන්මුල්ලේදී බෝම්බයට හසුවූ

ඇමැතිවරයාගේ රථය...

රණසිංහ පෙ‍්‍ර්මදාස මහතා ජනාධිපති අපේක්ෂකයා කිරීමේ ව්‍යාපාරය පිටුපස සිටියේ රංජන් විජේරත්න මහතා ය. එමෙන්ම පෙ‍්‍ර්මදාස මහතාගේ ජනාධිපති ව්‍යාපෘතිය පිටුපස සිටියේ ද රංජන් ය.

1987 – 89 කාලයේ එක්සත් ජාතික පක්ෂය මහත් අභියෝගයකට මුහුණ පා සිටි කාලයේ රංජන් විජේරත්න පක්ෂය ශක්තිමත් කෙළේ මෙසේ ය. ඔහුගේ මේ දක්ෂතා තේරුම් ගත් ජනාධිපති පෙ‍්‍ර්මදාස මහතා රංජන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගත්තේ ය. පසුව විදේශ කටයුතු අමාත්‍යංශයත් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයත් ඔහුට පැවරිණි.

ජනතා විමුක්ති පෙරමුණ කි‍්‍රයාත්මක කළ කැරැල්ල මැඩ පැවැත්වීමට ඔහු දක්ෂ ලෙස කි‍්‍රයා කෙළේය. විශේෂයෙන් ම ජනතා විමුක්ති පෙරමුණ සමඟ පස්සා දොරෙන් ගනු දෙනු නොකළ එක ම දේශපාලනඥයා ඔහු බව සමහර පිරිස් ප‍්‍රකාශ කෙළේ ය. ජනතාව තුළ මේ නිසා ඔහු පිළිබඳ විශාල ගෞරවයක් තිබුණි.

මේ අතර ම දකුණේ ඇතිවී තිබූ ප‍්‍රශ්නය විසඳු ආකාරයෙන් ම උතුරේ ප‍්‍රශ්නය ද විසඳීය හැකි බවට රන්ජන් විජේරත්න මහතා තුළ මහත් විශ්වාසයක් තිබුණි. ඒ අනුව ඔහු අවශ්‍ය පියවර ගනිමින් සිටියේ ය. ඒ සමඟ ම ප‍්‍රභාකරන්ගේ හිස ගෙනැවිත් දෙන අයකුට වටිනා ත්‍යාගයක් පිරිනමන බව ද ඔහු වරෙක ප‍්‍රකාශ කර තිබුණි.

මේ අතර 1991 පෙබරවාරි මාසය පමණ වන විට විජේරත්න මහතාගේ් බිරියත් ඇගේ මවත් බලවත් ලෙස රෝගාතුර විය. මේ නිසා විජේරත්න මහත්මිය සහ ඇගේ මව හැව්ලොක් පාරේ සිය නිවසේ කාලය ගත කළෝ ය. විජේරත්න මහතා හෝර්ටන් පෙදෙසේ සිය නිල නිවසේ පදිංචි වී සිටීම පුරුද්දක් කරගෙන තිබුණි. එහෙත් ඔහු සෑම උදෑසනක ම බිරිය සිටි හැව්ලොක් පාරේ නිවසට යාම සිදු කරයි. එලෙස පැමිණෙන ඔහු උදේ ආහාරය ගන්නේ ද එහි සිට ම ය.

1991 මාර්තු 4 ‘දිනමිණ’

මේ අතර 1992 මාර්තු 02 උදාවී තිබුණි. රන්ජන් විජේරත්න මහතා සුපුරුදු පරිදි හැව්ලොක් පාරේ නිවසට යාමට සූදානම් විය. ඊට පෙර දින නිල රථය අලුත් වැඩියා කිරීමට රියැදුරු විසින් වාහනය ගෙන ගොස් තිබුණි.

එදින ද වාහනය නොපැමිණෙන තත්ත්වයක් තිබෙන බව විජේරත්න මහතාට පෙනෙන්නට තිබුණි. මේ නිසා ඔහු වෙනත් වාහනයක නැගී සිය ආරක්ෂක නිලධාරීන් ද කැටුව පිටත් විය. ඇමැතිවරයා නිතර ම ගමන්ගන්නේ එක ම මාර්ගයේ ය.

මාර්ගය විටින් විට වෙනස් කරමින් ගමන් කරන්නැයි ආරක්ෂක අංශ උපදෙස් ලබා දුන්න ද විජේරත්න මහතා කිසි විටකත් ඒ සඳහා එකඟ නොවිණ. තමා තුළ තිබූ එඩිතර ගතියත් ආරක්ෂක නිලධාරීනුත් නිසා තමාට ළංවීමට කිසිවකුටත් නොහැකි වේ යැයි විශ්වාසයක් ඔහුට තිබුණි. මේ නිසා හැව්ලොක් මාවතේ පොලිස් කී‍්‍රඩාංගණය අසලින් ඔහු යනෙන බව එල්. ටී. ටී. ඊ. ය දැනගෙන තිබුණි.

මේ සියලු තොරතුරු ලබා ගත් ත‍්‍රස්තවාදීන් ආරක්ෂක අමාත්‍යවරයා ඉලක්ක කර ගැනීමට අවශ්‍ය සැලසුම කි‍්‍රයාත්මක කෙළේ ය. ඒ අනුව මඟ නවතා තිබූ වාහනයක බෝම්බයක් සවි කර ඇමැතිවරයාගේ වාහනය එය අසලට පැමිණෙන විට පුපුරා හැරියේ ය.

මොහොතකින් එක ම ගිනි ජාලාවක් බවට පත් වූ විජේරත්න මහතාගේ වාහනය දැවී අගුරු වී ගියේ ය. ඔහු සමග සිටි ආරක්ෂක නිලධාරී 7ක් ද තවත් 24 දෙනෙකු ද මරුමුවට පත් විය. රන්ජන් විජේරත්න මහතාගේ සිරුර දැඩි ලෙස පිලිස්සී ගොස් තිබුණි. ඥාාතීන් විසින් ඔහුව හඳුනාගනු ලැබුවේ ඔහු අත පැළඳ සිටි මුදුවෙනි.

කලකට ඉහතදී ප‍්‍රභාකරන්ගේ හිස ගෙන එන අයෙකුට වටිනා ත්‍යාගයක් පිරිනමන බව ප‍්‍රකාශ කර තිබූ ආරක්ෂක අමාත්‍යවරයා එල්. ටී. ටී. ඊ. ය විසින් ඝාතනය කර දැමුවේ එලෙසිනි.

රන්ජන් විජේරත්න යනු එල්. ටී. ටී. ඊ. ය විසින් ඝාතනය කළ ඉහළ බලතල සහිතව සිටි පළමු අමාත්‍යවරයා ය. එල්. ටී. ටී. ඊ. ය මෙලෙස කොළඹ නගරයෙහි තම ශක්තිය වර්ධනය කර ගෙන තිබුණි. එමෙන් ම මීට සමගාමී කාලයේ දී සංවිධානය අතින් සැලකූ කළ ද සුවිශේෂී වර්ධනයන් දක්නට ලැබුණි.

1991 මාර්තු 6 ‘දිනමිණ’

1987 දී සාම සාකච්ඡා පැවැති කාලයේදී 17 දෙනෙකුගෙන් සමන්විත එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් පිරිසක් ඉන්දියානු හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය. මොවුන් ළඟ අවි ආයුධ තිබූ බවට චෝදනාවක් තිබුණි.

පසුව ඔවුන් ලංකාවේ ආරක්ෂක අංශවලට බාරදුන් අතර ඔවුන්ව කොළඹට ගෙන ඒමට රජය කටයුතු කෙළේය. එහෙත් එල්. ටී. ටී. ඊ. ය මෙහිදී විරෝධය ප‍්‍රකාශ කෙළේය. කිසිවිටකත් ඔවුන්ව කොළඹට ගෙන නොයන ලෙස එල්. ටී. ටී. ඊ. ය ප‍්‍රකාශ කෙළේ ය.

එහෙත් රජය ඔවුන්ව කොළඹට ගෙන ඒම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර පැවැතිණි. මේ අවස්ථාවේ සිරකරුවන් බැලීම සඳහා අවසර ලබාගත් එල්. ටී. ටී. ඊ. යේ මහත්තයා සහ බාලසිංහම් ඇතුළු කිහිප දෙනෙකු ආහාර පාර්සල් සමඟ සයනයිඩ් සිරකරුවන්ට ලබාදීමට කටයුතු කෙළේ ය. මේ අනුව කොළඹ ගෙන යාමට සූදානම් වීමට පෙර කොටි සාමාජිකයන් 12 දෙනෙක් සයනයිඩ් ගිල මිය ගියහ.

1987 වර්ෂයේදී හබරණ කිතුල් උතුව ප‍්‍රදේශයේදී බස් රථ සහ ලොරි රථ කිහිපයක සිටි මඟීන් සිය ගණනක් මරා දැමීමට මුල් වූ පුලේන්ද්‍රන් ද මේ මිය ගිය කොටින් අතර විය.

1991 මාර්තු 5 ‘දිනමිණ’

මේ 12 දෙනා දිවි නසාගැනීමේ තුන්වෙනි සංවත්සරය යෙදී තිබුණේ 1990 ඔක්තෝම්බර් මස 6 වෙනිදාට ය. එදින ප‍්‍රකාශයක් කරන ප‍්‍රභාකරන් ස්වාධීන දෙමළ ඊළම රාජ්‍ය පිහිටුවන තුරු තමන් සටන් කරන බවට දිවුරමින් ප‍්‍රකාශ කෙළේය.

එමෙන් ම මේ වන විට ප‍්‍රභාකරන් ‘මහාවීර සතිය’ සමරන්නට පටන් ගෙන තිබුණි. මහාවීර සතිය සැමරීමට එල්. ටී. ටී. ඊ. නායකයා නිමිති කරගත්තේ 1982 වර්ෂයේ මරණයට පත්වූ ශංකර් ය.

1982 වර්ෂයේ දිනක ශංකර් විසින් මෙහෙයවන ලද කොටි ත‍්‍රස්තවාදීන් පිරිසක් පොලිස් සාමාජිකයන් සිව් දෙනෙකු මරා දමන ලදී.

මේ වන විට ප‍්‍රභාකරන් තමිල්නාඩුවටවී කල් ගත කරමින් සිටියේ ය. මේ අතර පොලිසිය විසින් ශංකර් ඉලක්ක කර ගනිමින් මෙහෙයුමක් කි‍්‍රයාත්මක කෙළේ ය.

මෙහෙයුමේ දී පොලිසිය එල්ල කළ වෙඩි ප‍්‍රහාරයක් ශංකර්ට වැදුණි. මේ වෙඩි ප‍්‍රහාරය නිසා ශංකර්ගේ උදරය ප‍්‍රදේශය බලවත් ලෙස තුවාල විය. කෙසේ හෝ සෙසු පිරිසගේ ද සහායෙන් පළා යාමට ශංකර් සමත් විය.

පසුව ශංකර්ගේ තත්ත්වය අසාධ්‍ය වූ අතර බෝට්ටු මගින් ඔහුව තමිල්නාඩුවේ රෝහලකට ගෙන යන ලදී. එහිදී ශංකර් මිය ගියේ ය. සටනකින් මිය ගිය පළමු එල්. ටී. ටී. ඊ. සාමාජිකයා වූයේ ශංකර් ය.

ශංකර්ගේ මරණ සංවත්සරය සමරමින් ප‍්‍රභාකරන් සෑම මසක ම නොවැම්බර් 20 – 27 දක්වා වූ සතිය මහාවීර සතිය ලෙස සැමරීම ආරම්භ කෙළේ ය.

උත්සවයක් ලෙස සංවිධානය කොට මහාවීර සතියේ එල්. ටී. ටී. ඊ. ය ආරම්භ කෙළේ 1989 වසරේ සිටය. ඒ සමඟ ම නොවැම්බර් 27 වෙනි දින එනම් ශංකර් මිය ගිය දින ප‍්‍රභාකරන් මහාවීර කතාව පවත්වයි.

මේ අනුව 1990 දී ප‍්‍රභාකරන් මහාවිරු දිනය වෙනුවෙන් ප‍්‍රතිඥාවක් ලබාදී තිබුණි. එදිනද ඔහු කිසි දිනක දෙමළ ඊළම අත් නොහරින බව ප‍්‍රකාශ කෙළේ ය.

1990 ජුනි මස දෙවන ඊළාම් යුද්ධය ඇරඹීමත් සමඟ ම එල්. ටී. ටී. ඊ. යෙහි මේ වර්ධනය කෙමෙන් දක්නට ලැබුණි.

රජීව් ගාන්ධි ඝාතනය කෙරහෙට ‘දිනමිණ’ කියවන්න


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2008 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]