ඩෙංගු රෝගය පිටු දකින්න ගම්පහ සෞඛ්‍ය ආරක්ෂිත සැලැසුම්

ඩෙංගු රෝගය පිටු දකින්න ගම්පහ සෞඛ්‍ය ආරක්ෂිත සැලැසුම්

බියගම-කැලණිය-මීරිගම-අත්තනගල්ලේ ඩෙංගු ශීඝ‍්‍රයෙන් පැතිරේ

ඩෙංගු රෝගය පිටුදැකීමත්, රෝගය ගැන ජනතාව දැනුම්වත් කිරීමත් පිළිබඳ ගම්පහ දිස්ති‍්‍රක්කයේ සිවිල් ආරක්ෂක කමිටුවල සහයෝගය ඇතිව සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවෙළක් ගම්පහ දිස්ති‍්‍රක්කයේ මේ වන විට කි‍්‍රයාත්මක කැර ඇතැයි ගම්පහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ලින්ටන් පද්මසිරි මහතා පැවැසීය.

මේ වන විට ඩෙංගු රෝගයෙන් ගම්පහ දිසාවේ මරණ 22ක් සිදුව ඇති අතර රෝගීන් 964 දෙනකු හමුවී ඇත. ප‍්‍රතිකාර ලබන අතර ආසන්න තත්ත්වයේ දහසකට වැඩි පිරිසක් ඩෙංගු අවදානමේ සිටිති.

සෞඛ්‍ය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් වේයන්ගොඩ ‘සියනෑ’ විද්‍යා පීඨයට පැමිණ සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයන් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, පවුල් සෞඛ්‍ය නිලධාරිනියන්, පොලිස් හා ග‍්‍රාම නිලධාරීන් දැනුම්වත් කිරීමේ විශේෂ වැඩසටහනක්ද පවත්වනු ලැබීය.

මේ අනුව සිවිල් ආරක්ෂක කමිටු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂක පවුල් සෞඛ්‍ය නිලධාරිනියන්, ග‍්‍රාම නිලධාරීන්, පොලිසිය ඇතුළු සිවිල් කටයුතු භාර නිලධාරීන් ඒකාබද්ධව ගෙන් ගෙට ගොස් ජනතාව දැනුම්වත් කිරීමේ සෞඛ්‍ය වැඩසටහනක් මේ වන විට කි‍්‍රයාත්මක කැර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ලින්ටන් පද්මසිරි මහතා කීවේය.

බියගම, කැලණිය, මීරිගම, අත්තනගල්ල යන කොට්ඨාසවල වැඩිවශයෙන් ඩෙංගු රෝගය පැතිර ඇති අතර ප‍්‍රාදේශීය වශයෙන් මීරිගම, ජා–ඇළ, දළුගම, අත්තනගල්ල, වේයන්ගොඩ, කටාන, ඒකල, කොච්චිකඩේ, ඊරියවැටිය ප‍්‍රදේශ ඇතුළු ප‍්‍රදේශ රැසකම ඩෙංගු රෝගය ව්‍යාප්තව ඇති බවද ප‍්‍රාදේශීය සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා