ශී‍්‍ර ලංකාව තියුණු සටනකින් අයර්ලන්තය පරදවයි

ශී‍්‍ර ලංකාව තියුණු සටනකින් අයර්ලන්තය පරදවයි

හිටපු ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නායක මහේල ජයවර්ධනගේ විශිෂ්ඨ පිති හරඹයෙන් පසුව ලසිත් මාලිංග පැයට සැතපුම් 87 ක වේගයෙන් පන්දු යවමින් ශී‍්‍ර ලංකාව ඊයේ ලෝඩ්ස් කී‍්‍රඩාංගණයේ දී අයර්ලන්තයට එරෙහිව ලකුණු 9 ක තියුණු ජයග‍්‍රහණයක් කරා ගෙන ගියේය.

මාලිංග ලකුණු 19 කට කඩුලු 2 ක් බිඳ හෙලූ අතර අජන්ත මෙන්ඩිස් ලකුණු 22 කට කඩුලු 2 ක් ලබා ගත්තේය. තරගයේ වීරයා වූ ජයවර්ධන අගනා ලකුණු 78 ක් රැස් කෙළේය.

අයර්ලන්ත මේ තරගය පරාජය වුවද තරගයේ බොහෝ අවස්ථාවල පෙරමුණ ගෙන සිටියේ ඔවුන්ය. ශී‍්‍ර ලංකා පිල ලකුණු 144 කට සීමා කළ අයර්ලන්තය පන්දුවට පහරදීම ආරම්භ කෙළේ ඉතාමත් ආක‍්‍රමණශීලීවය.

නායක විලියම් පෝටර්ෆීල්ඩ් හා නියාල් එබ‍්‍රයන් යන ආරම්භක පිතිකරු යුගලය ඕවර 9 ක් තුළ දර්ශනීය පිති හරඹයක නියැළෙමින් ශී‍්‍ර ලංකාවට වඩා වැඩි ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගනිමින් ලකුණු 59 ක් රැස් කළහ. පෝටර්ෆීල්ඩ් ලකුණු 31 ක් ලබා මුරලිදරන්ගේ පන්දුවකට එරෙහිව දැවී යන විට හතරේ පහර 5 ක් එල්ල කොට සිටියේය.

ඇන්ඩෘ වයිට් හා එබ‍්‍රයන් එක්ව දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 28 ක් එක් කළත් වයිට් ලකුණු 22 කට දැවී යාමෙන් පසුව අයර්ලන්තයේ බලය බිදෙන්නට විය.

කෙවින් එබ‍්‍රයන් අංක 4 පිතිකරු ලෙස පිටියට පිවිස සිය සොහොයුරු නියාල් සමඟ එක්වූවද ඔහුට මුහුණදීමට හැකි වූයේ පන්දු දෙකකට පමණි.

නියාල් දැවී යාමත් සමඟ අයර්ලන්ත ඉනිම කඩා වැටෙන්නට විය. පන්දු 37 කට මුහුණ දුන් ඔහු හතරේ පහර 4 ක් සමග ලකුණු 31 ක් වාර්තා කෙළේය.

ලසිත් මාලිංග 18 වැනි ඕවරයේ පිට පිට පන්දු දෙකකදී අයර්ලන්ත හිටපු නායක ටෙ‍්‍රන්ට් ජොන්ස්ටන් හා ඇන්ඩි‍්‍ර බොතාගේ කඩුලු බිඳ හෙළීය. අයර්ලන්තය කඩුලු 9 ක් දැවී ලකුණු 135 ක් ලබා ගත්තේය.

ප‍්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශී‍්‍ර ලංකා පිලේ පළමු කඩුල්ල තරගයේ දෙවැනි පන්දුවේදීම අනපේක්ෂිත අයුරින් බිඳ වැටිණි. තරගාවලියේ මෙතෙක් ඉතා හොඳින් දසක්ම් පෑ තිලකරත්න ඩිල්ෂාන් ඊයේ පළමු වතාවට අසාර්ථක විය. බොයිඩ් රැන්කින්ගේ පන්දුවකට ඔහු ඉතා ඉහළට එල්ල කළ පන්දුව කඩුලු රකින නියාල් ඕබ‍්‍රයන් දිවගොස් රැක ගත්තේය.

නායක කුමාර් සංගක්කාර (3) ඊයේ මුහුණ දුන්නේ පන්දු 10 කට පමණි. ඔහුගේ පිත්තේ අග වැදුණු ටෙ‍්‍රන්ට් ජොන්ස්ටන්ගේ පන්දුවද රැක ගත්තේ නියාල් එබ‍්‍රයන්ය. ඒ අනුව ශී‍්‍ර ලංකාවේ 2 වැනි කඩුල්ල 4 වැනි ඕවරයේදී මුළු ලකුණු 14 දී බිඳ වැටිණි.

සනත් ජයසූරිය හා මහේල ජයවර්ධන එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 67 ක සබඳතාවක් ගොඩනගමින් ශී‍්‍ර ලංකා ඉනිම ලකුණු 81 දක්වා ඉහළ නංවමින් සිටියදී ජයසූරිය කයිල් මැක්කලන්ගේ පන්දුවකට කඩුල්ල මුවා කරමින් දැවී ගියේය. පන්දු 27 කට මුහුණ දුන් ජයසූරිය හතරේ පහර 5 ක් සමග ලකුණු 27 ක් රැස් කෙළේය.

මහේල ජයවර්ධන ඊයේ විශිෂ්ඨ පිතිහරඹයක නියැලුණේය.

පන්දු 53 කදී ලකුණු 78 ක් ඔහු ලබාගත් අතර ඊට හතරේ පහර 9 ක් හා ඇලෙක්ස් කුසැක්ට එරෙහිව එල්ල කළ ශී‍්‍ර ලංකා ඉනිමේ එකම හයේ පහරද ඇතුළත් විය.

ජයවර්ධන අවසානයේ 18 වැනි ඕවරයේදී 6 වැනි කඩුල්ල ලෙසින් මුළු ලකුණු 128 දී දැවී ගියේද කුසැක්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්ය. විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ වේගපන්දු යවන කුසැක් ඕවර 3 ක් පමණක් යවමින් ලකුණු 18 කට කඩුලු 4 ක් බිඳ හෙළීමට සමත් විය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා