ඉරාන ජනපතිවරණයෙන් වත්මන් ජනපතිට විශිෂ්ට ජයක්

ඉරාන ජනපතිවරණයෙන් වත්මන් ජනපතිට විශිෂ්ට ජයක්

ප‍්‍රධාන ප‍්‍රතිවාදියාගේ ආධාරකරුවෝ විරෝධතාවල

ඉරාන ජනාධිපතිවරණයෙන් වත්මන් ජනාධිපති මොහමඩ් අහමදීන්ජාඩ් විශිෂ්ට ජයග‍්‍රහණයක් අත්පත් කැරගෙන ඇති අතර ඔහුගේ පරාජිත ප‍්‍රතිවාදීන් ඡන්ද වංචා චෝදනා නගද්දී ප‍්‍රධාන ප‍්‍රතිවාදී බීර් හුසේන් මෝසාවි ගේ වියරු වැටුණු ආධාරකරුවන් අගනුවර වීදි අරා ප‍්‍රචණ්ඩකාරි අරගලවල නියැලෙන බව වාර්තා වී තිබේ.

ඉකුත් සිකුරාදා පැවැති ඉරාන ජනාධිපතිවරණයේ දී මිලියන 46.2 ක ඡන්ද දායකයන්ගෙන් මිලියන 39 ක පමණ හෙවත් 85% ක ජනතාවක් ඡන්දය ප‍්‍රකාශ කැර තිබිණි. මෙය වාර්තාගත ප‍්‍රකාශිත ඡන්ද ප‍්‍රතිශතයක් සේ සැලකේ.

මෙහිදී අහමදීන්ජාඩ්ට 62.63% ක ඡන්ද වරමක් ලැබුණු අතර ඔහුගේ ප‍්‍රතිවාදියා වන සංශෝධනවාදී අපේක්ෂක හුසේන් මෝසාවිට හිමිව ඇත්තේ 33.75% ක ඡන්ද ප‍්‍රමාණයකි. මේ අනුව ප‍්‍රකාශිත ඡන්දයෙන් මිලියන 24 ක්ම හිමිව විශිෂ්ට ජයග‍්‍රහණයක් ලත් අහමදීන් ජාඩ්ට තවත් සිවු වසරක පාලන බලය හිමිවේ.

ඉරානයේ 10 වැනි ජනාධිපතිවරණයේ දී මේ ලත් ජනවරම විශිෂ්ට ජයග‍්‍රහණයක් බව 52 හැවිරිදි අහමදීන්ජාඩ් ප‍්‍රකාශ කරද්දී, දස වසරකට පෙර පැවැති ශිෂ්‍ය අරගලවලින් පසු දක්නට ලැබුණු ප‍්‍රචණ්ඩකාරිත්වයක් පිළිබිඹු කරමින් අගනගරයේ වීදිවල ප‍්‍රතිවාදීන්ගේ අරගල මැඩලීමට පොලිසියට සිදුව තිබිණි.

මෝසාවිගේ ආධාරකරුවන් ‘ඒකාධිපතියා ගෙදර යනු!’ යයි හඬ තලමින් වීදි සරද්දී මැතිවරණය වංචා සහගත වූවක් බවත්, අක‍්‍රමිකතා බෙහෙවින් සිදුවූ බවත් පවසන මෝසාවි, මෙම ඡන්ද ප‍්‍රතිඵලය කෘර පාලනයකට මගපාදනු ඇති බව ප‍්‍රකාශ කළද සාමකාමී විරෝධයක නියැලෙන ලෙස අනුගාමිකයන්ගෙන් ඉල්ලා තිබිණි.

මේ අතර ඉරාන උත්තරීතර නායක අයටොල්ලා අලි කාමේනි ජයග‍්‍රාහි හා පරාජිත දෙපක්ෂයම කුපිතකාරි කි‍්‍රයාවලින් වැලකී සිටිය යුතු බව ප‍්‍රකාශ කැර තිබේ.

අහමදින්ජාඩ්ගේ පරාජය අපේක්ෂාවෙන් කටයුතු කළ අමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් ඔහුගේ විශිෂ්ට ජයග‍්‍රහණයෙන් වික්ෂිප්තව, මැතිවරණය ප‍්‍රයෝගකාරි වීම පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් දැඩි සැලකිල්ල යොමුකරන බව ප‍්‍රකාශ කැර තිබේ.

කෙසේ වෙතත් ටෙහෙරාන අගනුවර අරගලකාරිත්වය මැඩලීමට පොලිසිය පියවර ගෙන ඇත.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා