කුඹුරු ඉඩම් අත්හැර දැමීම ජාතික අපරාධයක්

කුඹුරු ඉඩම් අත්හැර දැමීම ජාතික අපරාධයක්

ශාන්ත බණ්ඩාර වයඹ පළාත් සභාවේ,

කෘෂිකර්ම, වාරිමාර්ග සහ සත්ත්ව පාලන ඇමැති, දඹදෙනිය ශී‍්‍ර. ල. නි. ප. සංවිධායක

වයඹ පළාතේ කෘෂිකර්ම සහ වාරිමාර්ග සංවර්ධනයට අදාළව පළාත් සභාව මගින් සිදුකිරීමට නියමිත සැලැසුම් මොනවාද, මධ්‍යම රජයෙන් ග‍්‍රාමීය ප‍්‍රදේශ සංවර්ධනයට ලබාදෙන ආධාර ප‍්‍රමාණවත් ද, පළාත් සභා බලතල තවදුරටත් වැඩි කළ යුතු ද යන කරුණු පිළිබඳව වයඹ පළාත් සභා ඇමැති ශාන්ත බණ්ඩාර මහතා සමඟ ‘දිනමිණ’ පැවැත් වු සංවාදයකි මේ.

වයඹ පළාත කෘෂිකර්මාන්තය මූලික කරගත් පදනමක් සහිත ප‍්‍රදේශයක්. එම ප‍්‍රදේශයේ කෘෂිකාර්මික සංවර්ධනයට විෂය භාර ඇමැතිවරයා ලෙස ඔබ අරගෙන ඇති පියවර මොනවාද?

වයඹ පළාත කියන්නෙ ශී‍්‍ර ලංකාවට බත සපයන ප‍්‍රදේශයක් විදිහට කීමේ වරදක් නැහැ. ඒත් පහුගිය කාලේ වයඹ වී ගොවිතැනට කණ කොකා හැඬුවා. ඒත්, ජනාධිපතිතුමාගේ ආණ්ඩුව යටතේ ඒ තත්ත්වය වෙනස් කරන්න පුලුවන් වෙලා තියෙනව. මහින්ද චින්තන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය තුළත් ගොවිතැනට කෘෂිකර්මාන්තයට ඉතාමත් ඉහළ ස්ථානයක් ලබාදි තිබෙනව.

වයඹ පළාතේ ගොවිකම පිළිබඳ වගකීම ජනාධිපතිතුමා විසින් මට පවරල තියෙන්නෙ මා ගැන ඇති විශේෂ විශ්වාසයක් හින්ද විය යුතුයි. ඒ හින්ද මම මට පැවරිල තියෙන සියලු වගකීම් හැකි උපරිමයෙන් ඉෂ්ට කිරීමට කටයුතු කරල තියෙන්නේ.

ඒ හින්ද වී ගොවිතැන ඇතුලු වයඹ පළාතේ සියලු ගොවිතැන් ඉහළ නැංවීමට අවශ්‍ය රාජ්‍ය අනුග‍්‍රහය ලබාදීමට කටයුතු කරල තියෙන්නෙ. ඒ සඳහා මධ්‍යම ආණ්ඩුවේ සහයෝගයත් මේ වෙද්දි ඉතාමත් ඉහළින් ලැබිල තියෙනව.

වයඹ පළාතේ කුඹුරුවලින් සියයට හතළිහක් පුරන් වෙලා තිබුණෙ. මේ විදිහට කුඹුරු ඉඩම් අතහැර දැමීම ජාතික අපරාධයක් විදිහට සඳහන් කිරීමේ වැරැද්දක් නැහැ. මේ තත්ත්වය ඇති වෙන්න විශේෂයෙන් ම බලපාල තියෙන්නෙ ජලසම්පාදන ක‍්‍රමවල තියෙන දුර්වලකම්, සහ තරුණ පරම්පරාව ගොවිතැනෙන් දුරස්ත වීම යන කාරණා.

මේ තත්ත්වය නිවැරැදි කරන්න අපිට පළාත් සභා මට්ටමෙන් ලොකු වැඩ කොටසක් ඉෂ්ට කරන්න පුලුවන්කම තිබෙනව. අපි මුලින් ම ගොවිතැනට අලුත් වටිනාකමක් දෙන්න ඕනෑ. එහෙම කලාම තමයි තරුණ පරම්පරාව තුළ ගොවිතැන ගැන රුචිකත්වයක් ඇති වෙන්නෙ. අද තරුණයෙක් කල්පනා කරන්නෙ රුපියල් දහදහක දොළොස් දහසක පඩියකට කොළඹ කන්තෝරුවක හරි කර්මාන්තශාලාවක හරි වැඩ කරන්න. කෑම වියදම් බෝඩිම් වියදම් ගිහාම මේ තරුණයට ලොකු ඉතිරියක් නැහැ.

ඒත් තමන්ගේ ගමේ ඉඳන් ගෙදර ඉඳන් ගොවිතැනකින් මීට වැඩිය ආදායමක් වගේ ම ආර්ථික හයියකුත් ගන්න පුළුවන්. ඒ නිසා මගේ අමාත්‍යාංශයේ මූලික අරමුණ හා ඉලක්කය වෙලා තියෙන්නෙ තරුණයා කෘෂිකර්මාන්තයට ආකර්ශණය කර ගැනීම යි. මට තරුණයකු විදිහට ඒ වැඩේ කරන්න පුලුවන්ය කියල ලොකු විශ්වාසයක් තියෙනවා. තරුණ පිරිස් ගොවිතැනට ආකර්ෂණය කර ගත්තනම් සම්ප‍්‍රදායිකත්වය තුළ එල්ලිලා ඉදල වැඩක් නැහැ. අලුත් සම්ප‍්‍රදායවල් වගේම නූතන තාක්‍ෂණ විධික‍්‍රමත් උපයෝගී කර ගන්න ඕනෑ. ඒ විදිහට වැඩ කරගෙන ගියොත් විතරයි වයඹ පළාතෙ විතරක් නෙමෙයි මුලු රටේම ගොවිතැන ඉහළින් ඔසවා තියන්න පුළුවන් වෙන්නෙ.

ඊට අමතරව අවිධිමත් පරිපාලනය හා නිලධාරි මහත්වරුන්ගේ මන්දගාමීත්වයත් දේශපාලන අධිකාරියේ සොයා නොබැලීමත් හින්ද ගොවිතැනට අත්‍යවශ්‍ය කරන වාරිමාර්ග පද්ධතිය බිඳවැටිලා තියෙනව. අපි උත්සාහ කරන්නෙ මේ වාරිපද්ධති අලුත්වැඩියා කරල දියුණු කිරීම යි. මං පළාත් සභා මට්ටමින් ගන්න පුළුවන් උපරිම කි‍්‍රයාමාර්ග මේ සඳහා අරගෙන තියෙනවා.

වයඹ පළාතේ වාරිමාර්ග ඇමැතිවරයාත් ඔබ යි. ඔබම සඳහන් කළා වයඹ ගොවිතැන බිඳවැටීමට මූලික හේතුව වුණේ වාරිමාර්ග පද්ධතිය විනාශ වීම කියල මේ බිඳවැටුණ වාරි පද්ධතිය පැරැණි තත්ත්වයට පත් කරන්න ඔබේ අමාත්‍යාංශය මොන විදිහෙ වැඩපිළිවෙළක් ද යොදල තියෙන්නෙ?

වයඹ පළාතේ ග‍්‍රාමීය මට්ටමේ වැව් දහසකට වැඩි ප‍්‍රමාණයක් තියෙනවා. ඒත් අද වෙද්දි මේ වැව් බොහොමයක් වල්වැදිල ගිහින් නැතිනම් ප‍්‍රයෝජනයට ගන්නෙ අර්ධ වශයෙන්. මේකට හේතු වෙලා තියෙන්නෙ නිසි නඩත්තුවක් නැතිකම. පසුගිය කාලයේදී සමහරු දේශපාලන වාසියට දේශපාලනිකව ලකුණු ගන්න සෝබනේට වැව් ප‍්‍රතිසංස්කරණය කළා. ඒත් මේ ව්‍යාපෘති සාර්ථක නැහැ කියල මේ වෙද්දි තහවුරු වෙලා තියෙනව.

පළාත් සභාවට මේ හැම වැවක්ම කොන්ත‍්‍රාත් ලබාදීල ප‍්‍රතිසංස්කරණය කරන්න බැරිවෙලා තියෙනවා. අපිට මෙච්චර ලොකු මුදලක් වියදම් කරන්න අමාරු යි. ඒ නිසා මේ වැව් පද්ධතිය ප‍්‍රතිසංස්කරණය කරන්න වෙලා තියෙන්නෙ මහජන සහයෝගයත් එක්ක දැනටමත් ගොවි සමිති සමෘද්ධි සමිති ග‍්‍රාම සංවර්ධන සමිති හා පූජ්‍ය ස්ථාන හරහා අපට මේ මහජන සහයෝගය ලබා ගැනීමට පුළුවන් වෙලා තියෙනව. පළාත් සභාවට මූලික වියදම් දරාගෙන මහජන ශ‍්‍රමදායකත්වයෙන් මේ වැඩේ කරගන්න පුළුවන්වීම ලොකු ජයග‍්‍රහණයක් විදිහට සඳහන් කරන්න පුළුවන්.

මධ්‍යම ආණ්ඩුව නිතර ම කියන දෙයක් තමයි ග‍්‍රාමීය ප‍්‍රදේශවල සංවර්ධනය මූලික කර ගත්තු වැඩපිළිවෙළක් ආණ්ඩුව අනුගමනය කරන බව. ප‍්‍රාදේශීය නායකයෙකු විදිහට වර්තමාන රජයේ වැඩපිළිවෙළ ඔබ දකින්නේ මොන විදිහටද?

මම මුලින් ම දේශපාලනයට ආවෙ 1997 දී දඹදෙණිය ප‍්‍රාදේශීය නියෝජනය කරමිනුයි. ඊට පස්සෙ වයඹ පළාත් සභාවේ මන්තී‍්‍ර කෙනෙක් වුණා. ඒත්, අපිට ඒ කාලෙ වැඩ කරද්දි මධ්‍යම ආණ්ඩුවත් එක්ක ලොකු පරතරයක් තිබුණේ. ජනතාව අපෙන් ලොකු සේවයක් බලාපොරොත්තු වුණා. ඒත් අපිට මිනිස්සු බලාපොරොත්තු වූ සේවය සිද්ධ කරන්න විදිහක් තිබුණෙ නැහැ.

ඒත්, අද එහෙම නෙමෙයි ප‍්‍රාදේශීය මට්ටමටත් ලොකු සේවයක් සිද්ධ කරන්න පුලුවන්කම තිබෙනව ඉස්සර අපිට පොඩි දෙයක් කරන්නවත් බලතල මූල්‍ය ශක්තිය තිබුණෙ නැහැ. අද එහෙම නැහැ. ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රටත්, ගමට ලොකු සේවයක් ඉෂ්ට කරන්න පුලුවන්. වෙනත් විදිහකට කියනව නම් අද ගමේ මහජන නියෝජිතයන්ටත් ඇඳුම් ඇඳගෙන ගෞරවාන්විතව වැඩ කරගෙන යන්න පුලුවන්. එදා ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරයෙක්ව, පළාත් සභා මන්තී‍්‍රවරයෙක්ව මහ ආණ්ඩුවේ කට්ටිය සත පහකට ගණන් ගත්තෙ නැහැ.

ජනාධිපතිතුමා එම ධූරයට එද්දිම සඳහන් කළා ගමට සේවය කරනව.

ඒ සඳහා සේවය කිරීමට අවශ්‍ය කරන ප‍්‍රාදේශීය නායකයො ගොඩනගනව කියලා. අද වෙද්දි එම ප‍්‍රතිපත්ති යථාර්ථයක් බවට පත් කරන්න රජය කටයුතු කරල තියෙනවා. ග‍්‍රාමීය මට්ටමෙන් ඉහළට ආපු තරුණයකු විදිහට මට මේ තත්ත්වය ලැබුණෙ ඇමැතිවරයෙකු විදිහට වයඹ පළාතට සේවය කරන්න ලැබුණෙ මේ ප‍්‍රතිපත්තිය නිසයි.

ඉස්සර ගමක පාරක් කිව්වහම මතක් වෙන්නෙ තාර ගැලවෙච්චි මඩ ගොඩක්, නැතිනම් මහා මාර්ගයක් කියල හඳුන්වන “වාරිමාර්ගයක්.” ඒත් පහුගිය අවුරුදු තුනේදී ඒ තත්ත්වය කණපිට හරවන්න ජනාධිපතිතුමාගේ රජයට පුලුවන් කම ලැබිල තියෙනව. ගමේ තරුණයකු විදිහට පළාත් ඇමැතිධූරයකට පත්වූ මට අපේ ගම්වල සිදුවන සංවර්ධනය දැක්කහම හදවතින්ම සංතෝසයක් ඇති වෙනව. මෙහිදී ග‍්‍රාමීය තරුණයො විදිහට ජනාධිපතිතුමා ගෙනයන සංවර්ධන සංග‍්‍රාමයක් පූර්ණ වශයෙන් ඇපකැප වෙන්න සූදානමින් ඉන්නෙ.

කාටවත් ඉවර කරන්න බැහැ කියල හඳුන්වා දීපු ප‍්‍රභාකරන්ගේ ත‍්‍රස්තවාදය පූර්ණ වශයෙන් පරද්දන්න ජනපති ඇතුලු රණවිරුවන්ට පුලුවන් වුණා. එම සංග‍්‍රාමයේදී ජනාධිපතිතුමාගේ ඉඳල සාමාන්‍ය සෙබළ දක්වා හැමෝම වැඩ කළේ එක අරමුණකින්. ඒ අය රට දැය වෙනුවෙන් අධිෂ්ඨාන පූර්වකව ඇප කැප වුණා.

ඒ හින්ද තමයි අපිට ත‍්‍රස්තවාදය පරද්දල ප‍්‍රභාකරන්ව වෙල්ලමුල්ල වෛක්කාලෙදි ආදාහනය කරන්න පුලුවන්කම ලැබුණෙ.

දැන් ආරම්භ කරල තියෙන්නෙ රට ගොඩනැගීමේ සංග‍්‍රාමය. ඒ සංග‍්‍රාමය ත‍්‍රස්තවාදය පරාජය කළාටත් වැඩියි.

ලොකු අභියෝගයක්. සංවර්ධන සංග‍්‍රාමයේදී යුද හමුදාව කළ කාර්යභාරය ඉෂ්ට කළ යුත්තෙ රටේ දේශපාලන අධිකාරිය හා රට වැසියන් එක්වයි. මෙතැනදි එජාප, ශී‍්‍රලනිප, ජවිපෙ කියල බේදවෙලා බැහැ. සියලු දෙනා එක අරමුණකට එන්න ඕනෑ. එහෙම එකතු වෙලා වැඩ කරන්න පුළුවන්නම් රට ඉස්සරහට අරගෙන යන්න ජනාධිපතිතුමාට පුළුවන්කම තියෙනව.

තරුණ පරපුර නියෝජනය කරන දේශපාලන නායකයෙකු විදිහට ඊට ආර්ථික, සමාජීය හා දේශපාලන වශයෙන් දියුණු කරන්න පුළුවන්කම ලැබෙන්නෙ මොන විදිහෙ වැඩපිළිවෙළකින් කියලද ඔබ හිතන්නෙ.

අපිට දැන් දැන් හෙළිවෙනව අප අතරම ඉඳල රටට ද්‍රෝහිකම් කරපු මිනිස්සු ගැන. මේ ද්‍රෝහි කි‍්‍රයාකාරකම්වලට හමුදාවේ ඉහළ නිළතලවල ඉඳන් වෙනත් ක්‍ෂේත‍්‍ර දක්වා පැතිරිලා තියෙනව. රට දියුණු වෙන්න ඕනෑනම් ආකල්පමය වෙනසක් ඇති වෙන්න ඕනෑ “අපිට බැහැ” “අපේ ඒව හොඳ නැහැ” වගේ පටු අදහස් අත ඇරල හිතන්න පටන් ගන්න ඕනෑ. එහෙම වුණොත් තමයි රටට ඉස්සරහට යන්න පුලුවන්කම ලැබෙන්නෙ.

අද සමහරු තමන්ගේ සේවය ඉෂ්ට කරන්නෙ නැහැ. ඒත් වරප‍්‍රසාද ඉල්ලීම් ගන්නනම් මහ ඉහළින් කතා කරනව. අපිට නම් ඒක පිළිගන්න බැහැ. රණවිරුවො සටන් කරද්දි වරප‍්‍රසාද ඉල්ලුවෙත් නැහැ. වැටුප් වැඩි කරන්න කියල ස්ට‍්‍රයික් කළෙත් නැහැ. අපි මුලින්ම ඉලක්කයට යන්න ඕනෑ. එතැනට ගියාට පස්සෙ පුළුවන් තමන්ගෙ අරමුණු ඉෂ්ට කරගන්න. මගේ පුද්ගලික අදහස වෙන්නෙ සමාජය හමුදා විනයක් ඇතිව ගොඩනගන්න ඕනෑ. එහෙම වුණොත් ශී‍්‍ර ලංකා සමාජයට සංවර්ධනය දියුණුව කියන එක හුදු සිහිනයක් වෙන්නෙ නැහැ.

යුද්ධය අවසානයේදී පළාත් සභා ක‍්‍රමය සවි ගැන්වීම 13 වැනි සංශෝධනය බලවත් කිරීම වගේ කරුණු ගැන සමාජ කතාබහක් ඇතිවෙලා තියෙනවා. පළාත් සභාවක ඇමැතිවරයෙක් විදිහට මේ ගැන ඔබට ඇත්තෙ මොන විදිහෙ අදහසක් ද?

මගේ මතය නම් 13 වැනි සංශෝධනයෙන් දීල තියෙන බලතල ඇති වැඩක් කරනවනම් පළාත් සභා සංකල්පය හරහා විශාල වැඩ කොටසක් කරන්න පුලුවන්. අපි මේ වෙලාවෙ කරන්න ඕනෑ කතා කර කර කාලෙ කන එක නෙමෙයි. පළාත් සභාවලට ලැබිල තියෙන බලතල ප‍්‍රයෝජනයට අරගෙන වැඩ කරන එක.

මං නියෝජනය කරන්නෙ බලතල මදිය කියල කෑගසමින් වැඩක් නොකරන කොටසට නෙමෙයි. තියෙන බලතල ප‍්‍රමාණයෙන් ප‍්‍රදේශයට උපරිම සේවයක් සලසන කණ්ඩායමට යි. මගේ අදහසේ හැටියට ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරයෙකුට වුණත් ලොකු වැඩ කොටසක් ඉෂ්ට කරන්න පුළුවන්. එහෙම නම් පළාත් සභාවකින් වැඩක් කරන්න බැහැ කියනවනම් ඒක බොරුවක්.

සමහරු කියනව පළාත් සභා කියන්නෙ සුදු අලියෙක් කියලා. පළාත් සභා අහෝසි කළ යුතුයි කියල මම නම් ඒ මතය කිසි ලෙසකින්වත් පිළිගන්නෙ නැහැ. ජනතාවට ලැබෙන්න පුළුවන් ජනතාවට බලය දෙන්න පුළුවන් හොඳම ආයතනය විදිහටයි. පළාත් සභා ක‍්‍රමය හඳුන්වා දෙන්න පුළුවන්, හැබැයි පළාත් සභාවල ඉන්න අය තමන්ගෙ යුතුකම් හරියට ඉෂ්ට කරන්න ඕනෑ එහෙම නොවුණොත් වෙන්නෙ ජනතාවට පළාත් සභා ක‍්‍රමය එපා වීම යි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා