වඩමාරච්චි වීරයා බෝම්බයකට බිලි

වඩමාරච්චි වීරයා බෝම්බයකට බිලි

“මේකඅපේ ජීවිතේ අවසාන මෙහෙයුමයි"

ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව

බි‍්‍රගේඩියර් විමලරත්න දෙස හැරුණු ජෙනරාල් කොබ්බෑකඩුව මහතා කීවේය. ඉදිරියට එන්නට තිබෙන මෙහෙයුම පිළිබඳව 1992 අගෝස්තු 8 වෙනිදා කොබ්බෑකඩුව මහතා කීවේ එසේය. "ෆයිනල් කවුන්ට් ඩවුන්" ලෙස නම්කර තිබූ මේ මෙහෙයුම ඇරඹීමට සියල්ල සූදානම් වී පැවැතිණි.

හෙට අනිද්දා ම දියත් වන මේ සටන මාතෘභූමිය කොටි ත‍්‍රස්තයන්ගෙන් මුදාගෙන ම අවසන් වන බවට මේ නිලධාරියාට විශ්වාසයක් තිබුණි.

"අපි දැන් යමු නේද මට මීටින් එකකුත් තියෙනවා යැයි" ඊළඟට කී ජෙනරාල් වරයා, ඩිපෙන්ඩර් රථයට නැගිණි. රියදුරු අසුනට නැගී බි‍්‍රගේඩියර් විමලරත්න මහතා වාහනය ධාවනය කරන්නට විය. සිය ජ්‍යෙෂ්ඨ නිලධාරියා කී රැස්වීමට යාමට වෙලාව ළඟාවෙමින් තිබූ බැවින් විමලරත්න මහතා වාහනය අතුරු පාරකට දැම්මේ "මේ පාර ළඟයි. මේකෙන් යමුයි" කියමිණි.

දූවිලි වලාවන් නංවමින් ඩිපෙන්ඩර් රථය වේගයෙන් ඉදිරියට ඇදෙන්නට විය. ගතවූයේ මොහොතකි. දූවිලි වලාවන් මැදින් පෙනී නොපෙනී ආ රථය ගිනි ජාලාවක් බවට පත්වී පුපුරා ගියේය.

ඒ වන විටත් ජෙනරාල් වරයාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් තවත් වාහන දෙකක සෙබළුන් පිරිසක් සිටියේය. පිපුරුම දෙසට වහාම ගිය ඔවුනට දැක ගතහැකිවූයේ විනාශ වී ගිය වාහනය අසල වැටී සිටි මේජර් ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ සිරුරයි.

ද ෆයිනල් කවුන්ට් ඩවුන්

"ජනරාල් ගේ හුස්ම වැටෙනවා යැයි" සෙබලෙක් කෑගසා ප‍්‍රකාශ කෙළේය.

බි‍්‍රගේඩියර් විජය විමලරත්න

වහාම ළං වූ අන් සෙබලුන් මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාවත් තවමත් ජීවතුන් අතර සිටි රියර් අද්මිරාල් මොහාන් ජයමහවත් කෝප‍්‍රල් උපාලිවත් පලාලි රෝහලට ගෙන යන ලදී.

පසුව ජෙනරාල්වරයා කොළඹට ගෙන ආ අතර එහිදී වෛද්‍යවරුන් විස්සක් පමණ දෙනා පැය එකහමාරකට වැඩි කාලයක් තිස්සේ ගෙන ගිය සටන පරාජය කරමින් කොබ්බෑකඩුව මහතා දැයෙන් සමුගත්තේය.

මොහාන් ජයමහ මහතා ද රෝහලට ඇතුළත් කිරීමේදී මියගිය අතර, කෝප‍්‍රල් උපාලි පමණක් ජීවිතය බේරාගත්තේය. එහෙත් ඔහුගේ දෙපා අහිමි වී තිබුණි.

මෙලෙස 1992 අගෝස්තු මස 8 වෙනි සෙනසුරාදා යාපනයේ කයිට්ස් හි අරියාලේ හන්දියේදී පුපුරා ගිය අධි බලැති පීඩන බෝම්බයෙන් මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව, බි‍්‍රගේඩියර් විජය විමලරත්න, නාවික හමුදා කොමදෝරු මොහාන් ජයමහ, කර්නල් ජී. එච්. ආරියරත්න, කර්නල් එම්. ආර්. ස්ටීවන්, කර්නල් වයි. එන්. පලිපාන, මේජර් නලීන් අල්විස්, ලුතිනන් අසංග ලංකාතිලක, ලුතිනන් චන්දිම විජයපුර, සෙබල ඩබ්ලිව්. ජී. වික‍්‍රමරත්න යන පිරිස මියගියහ.

කොබ්බෑකඩුව මහතා ඇතුළු පිරිස මේ වන විට කොටි ත‍්‍රස්තවාදීන් පරාජය කිරීම සඳහා අවසන් මෙහෙයුම ලෙස "ෆයිනල් කවුන්ට් ඩවුන්" මෙහෙයුමට සැලසුම් කරමින් තිබුණි. එල්. ටී. ටී. ඊ. ත‍්‍රස්තවාදින්ට එරෙහිව එවක ගෙනගිය සාර්ථක යුද මෙහෙයුම් රැසකටම නායකත්වය ලබාදී තිබුණේ ද ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා ය.

1987 වර්ෂයේදී එල්. ටී. ටී. ඊ. ත‍්‍රස්තවාදී ස්ථාන ගණනාවක බෝම්බ පුපුරවා හරින ලදී. විශේෂයෙන්ම අපි‍්‍රයෙල් මාසයේදී හබරණ, පිටකොටුව වැනි ප‍්‍රදේශවල කොටි කරන ලද පහරදීම් සහ බෝම්බ ප‍්‍රහාර නිසා නිරායුධ වැසියන් සිය ගණනින් මරුමුවට පත්වූහ.

ද විමුක්ති මෙහෙයුම

මේ සමඟම රජය විසින් යාපන අර්ධද්වීපය කොටින්ගෙන් මුදවා ගැනීම සඳහා "විමුක්ති මෙහෙයුම" (ර්‍ණනපඥබඪධද ඹ්ඪඡඥපචබඪධද) ආරම්භ කෙළේය. වඩමාරච්චි මෙහෙයුම නමින් වඩාත් ජනපි‍්‍රයව තිබූ මෙහෙයුමේ ක්‍ෂේත‍්‍ර සටන් මෙහෙයවීම බාරව සිටියේ එකල බි‍්‍රගේඩියර් වරයකු වූ ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ කර්නල් විජය විමලරත්න යන මහත්වරුන් ය.

මේජර් නලීන් අල්විස්

මෙහෙයුමේදී කොබ්බෑකඩුව මහතාගේ නායකත්වයෙන් යුද භට පිරිස තොන්ඩ මනාර් ආරක්ෂක කඳවුරෙන් ගමන් ආරම්භ කර නැඟෙනහිර දෙසට ගමන් කළහ. විමලරත්න මහතාගේ නායකත්වයෙන් යුත් අනෙක් කණ්ඩායම වැල්වැටිතුරෙයි කඳවුරෙන් පිටත්වී නැඟෙනහිර දෙසට ගමන් කරමින් බලය තහවුරු කර ගනිමින් සිටියේය. මේ මෙහෙයුම සඳහා ගුවන් හමුදාවේ ද සහය ලබා ගැනුණි. මෙහෙයුම ආරම්භවූයේ මැයි 25 වෙනිදින ය.

ඉන් දින තුනක් එනම් 28 වෙනිදා අරක්ෂක හමුදාව උඩුප්පිටිය, වැල්වැටිතුරෙයි අල්ලා ගන්නා ලදී. ජූනි මස පලමුවෙනි දින වඩමාරච්චිය ද සියතට ගැනීමට ආරක්ෂක හමුදාව සමත්විය. තවත් හමුදා භට කණ්ඩයක් මේ අතර පේදුරුතුඩුව බලා ගමන් කළහ.

කොටින්ට ප‍්‍රබල ලෙස ප‍්‍රහාර දෙනු ලැබූ අතර ඔවුන්ට යළි ශක්තිමත් වීමට හෝ බිම් බෝම්බයක් වැළලීමටත් කාලයක් උදා නොවිණි. ඒතරමට දරුණු වූ මේ ප‍්‍රහාර හමුවේ කොටි අවිආයුධ, රථවාහන සියල්ල දමා පසුබැස්සහ.

නොසිතූ මොහොතක ක්ෂණික ප‍්‍රහාර දීමේ හැකියාව සහ සටන්වලට මුල පිරීමේ හැකියාව හමුදාව සතුව පැවැතිණි. කන්කසන්තුරේ සිට නැඟෙනහිර උතුරු වෙරළ සිය පාලනයට ගත් ආරක්ෂක හමුදාව ඉන්පසු වෙරළ දිගේ බටහිරට ගොස් ටෙලිප්පලි දකුණු ප‍්‍රදේශයට ගමන් කළේය. අච්චුවේලි ප‍්‍රදේශය ද හමුදාව අතට පත්විය. මෙය එල්. ටී. ටී. ඊ. යේ ශක්තිය අන්තයට ම පිරිහී තිබූ අවස්ථාවක් ද වුණි.

කොමදෝරු මොහාන් ජයමහ

තවත් පැය 48ක් ඇතුළත ආරක්ෂක හමුදාව යාපනය අල්ලා ගනු ඇතැයි යන වාර්තාව බී. බී. සී. වාර්තාකරුවකු පවා ප‍්‍රකාශ කර තිබුණි. ඒතරම්ම මේ මෙහෙයුම අති සූක්ෂම වුවක් විය. දින තුනක් යත් ම එල්. ටී. ටී. ඊ. ය දරුණු ලෙස පසු බැසීමට ලක් වී තිබුණි. ඔත්තු සපයා ගැනීම ඒවා විග‍්‍රහ කිරීම, විදේශ සහය ලැබීම මැනවින් සිදුවී තිබුණි. මෙලෙස ලබා තිබූ සාර්ථකත්වය නිසා ප‍්‍රභාකරන් සැඟව සිටි ප‍්‍රදේශයට ද පහරදීමට හමුදාව සමත්විය. එහිදී ඔහුට පලායාම සඳහා ආරක්ෂාව ලබාදුන් එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් විශාල පිරිසක්ද මරුමුවට පත්වූහ. මෙලෙස ඉතාමත් සාර්ථකව වඩමාරච්චි මෙහෙයුම ගෙනයාමට සමත්වූයේ එයට ලැබී තිබූ නායකත්වයයි.

එහිදී කොබ්බෑකඩුව මහතාත්, විමලරත්න මහතාත් සටන් පෙරමුණට වී සිය කාර්යන් මැනවින් ඉටුකර තිබුණි. පසුව ඉන්දියාවේ මැදිහත්වීම මත මේ සටන නතරවූ අතර ඉන්දු ලංකා ගිවිසුම ජූලි මාසයේ අස්සන් කෙරිණි. ඉන්දු – ලංකා ගිවිසුම අස්සන් කිරීමෙන් පසුව කර්නල් විජය විමලරත්න මහතා කියා සිටියේ ප‍්‍රභාකරන් සිටි තැනද ආරක්ෂක අංශ දැන සිටි බවයි.

එපමණට ම ශක්තිමත් මෙහෙයුමක් වූයේ නායකත්වය දුන් නිලධාරීන්ගේ සහ සෙබලුන්ගේ කැපවීම නිසා ය.

කොටි නැවතත් දෙවන ඊළාම් යුද්ධය ආරම්භ කරන ලද්දේ 1990 ජූනි මාසයේදී ය. ජූනි මස 11 වෙනිදා හිමිදිරිය වන විට නැඟෙනහිර පලාතේ පොලිස් ස්ථාන සහ නගර සියල්ල කොටින් අතට පත්විය. පොලිස් නිලධාරීන් සිය ගණනින් මරාදැමිණි. නැ‍ෙඟනහිර ජනතාව අනාථයන් බවට පත්විය. පසුව ජූනි 12 වෙනිදා සවස් වරුවේ වැඩ බාරගන්නා කොබ්බෑකඩුව මහතා 13 වෙනිදා සිටම නැඟෙනහිරින් ත‍්‍රස්තයන් පන්නා දැමීමට කටයුතු ආරම්භ කෙළේය.

එහිදී නැඟෙනහිර පළාත කොටස් හතරකට බෙදා මෙහෙයවීමට නිලධාරීන් හතර දෙනෙකු පත් කළ ඔහු නගරවල සිටි කොටි විනාශ කරන්නට කටයුතු කෙළේය. ඉන්පසු කොටි කැලෑ වැඳුනහ. පසුව ආරක්ෂක අංශ කැලෑ පීරමින් කොටි කඳවුරු විනාශ කරන ලදී. මෙලෙස මෙහෙයුම් වේගවත්ව ඉදිරියට කි‍්‍රයාත්මක වත්ම කොටි ත‍්‍රස්තයන් නැෙඟනහිරින් පලා ගියහ.

ද ක්ලීන් ස්විප් මෙහෙයුම

කොබ්බෑකඩුව මහතා නැඟෙනහිර ප‍්‍රදේශය බාරව කටයුතු කළ කාලයේ ජනාවාස සහ ගම්මානවල ආරක්ෂාව තහවුරු කිරීමටද කටයුතු කෙළේය.

1940 ජූලි 27 වෙනිදා උපන් කොබ්බෑකඩුව මහතා මහනුවර ති‍්‍රත්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවේය. වැවිලිකරුවකු වීමේ සිහිනය දකිමින් සිටි ඒ මහතා යුද හමුදාවට බැදුණේ අහම්බෙන් බව පසුකාලීනව ප‍්‍රකාශ කර තිබුණි. දෙවන ලුතිනන් වරයකු වශයෙන් යුද හමුදාවට බැදෙන ඔහු මිය යන විට මේජර් ජෙනරාල් තත්ත්වයට පත්ව සිටියේය. වසර තිහකට වැඩි කාලයක් හමුදා සේවයේ සුවිශේෂී දක්ෂතා දැක්වූ නිලධාරියෙක් විය. මෙහෙයුම් ගණනාවකදීම නායකත්වය දී කටයුතු කළ ඔහු ත‍්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට වෙහෙසී කටයුතු කළ රණවිරුවෙකි.

1961 දී යුද හමුදා සේවයට එක්වූ විජය විමලරත්න මහතාද මෙහෙයුම් ගණනාවකට නායකත්වය ලබාදී තිබුණි. වඩමාරච්චි මෙහෙයුමට අමතරව 1987 වර්ෂයේදී පලාලි පේදුරු තුඩුවෙහි ක්ලීන් ස්විප් මෙහෙයුම 1991 බලවේගය මෙහෙයුම ආදී කි‍්‍රයාන්විතයේදී නායකත්වය දී කටයුතු කළේය.


සර්ලගේ ආශිර්වාදය අදත් අපට තියෙනවා

කෝප‍්‍රල් ඩබ්ලිව්. ඒ. උපාලි (විජය විමලරත්න මහතාගේ සහායක)

අරාලි තුඩුවේ බෝම්බය පිපිරිලා ඩෙන්සිල් කොබ්බෑකඩුව සර් ඇතුළු පිරිසක් මිය යන කොට මම හිටියේ විජය විමලරත්න සර්ගේ පෞද්ගලික ආරක්ෂක නිධාරියා හැටියට යි. මේ හින්දා විජය සර් වගේම සර් හම්බවෙන්න එන උසස් නිලධාරීනුත් ඉන්න තැන්වලට යන්න මට අවස්ථාව ලැබුණා. මොකද ඒ අය අපේ සර්ව හම්බවෙන්න ආවාහම ඒ සර්ලටත් ආරක්ෂාව සැපැයීම අපේ වගකීමක් වෙලා තිබුණේ. ඒ හැම අවස්ථාවකදීම මම දැක්ක දෙයක් තමයි සර්ලා කටයුතු කෙළේ යුද්ධයේ අවසානය ඉතා ඉක්මනින්ම දකින්නයි.

කොබ්බෑකඩුව සර් වගේ කෙනෙක් බොහොම කැපවීමෙන් ඒ අධිෂ්ඨානයේ හිටියා. මේ සටන්වලට නායකත්වය දුන්නේ කොබ්බෑකඩුව සර්, විජය සර් ඒ සටන්වල ඉදිරි පෙරමුණට ගිහිල්ලා කටයුතු කළා. ‘ප‍්‍රභාකරන්’ ඉවරයක් කරල දානකම් මේ ප‍්‍රශ්නයේ විසඳුමක් නැහැ කියන මතයේ සර්ලා හිටියා කියලයි මට අවබෝධ වෙලා තිබුණේ. කොබ්බෑකඩුව සර්, විජය සර් ඒ සඳහා හැම පියවරක්ම ගත්තා. සටන් මෙහෙව්වා. ඒත් දකුණේ තිබුණේ විවිධ අවස්ථාවල වෙනස් තීරණ ගන්න නායකත්වයක්.

එහෙම තියාගෙන යුද්ධය අවසානයක් කරා ගෙනියන්න දරපු උත්සාහයන්ට බාධා වුණා. එවැනි බාධා කිරීමුත් තියාගෙනයි අන්තිම දවස්වල ‘පයිනල් කවුන්ට්ඩවුන්’ මෙහෙයුමට ලෑස්ති වුණේ. බෝම්බයට අහුවෙලා සර්ලා නැතිවෙන දවසෙත් ඒ අවසාන මෙහෙයුම සැලසුම් කරලා අවසරය ලැබෙනකම් හිටියේ. කොබ්බෑකඩුව සර්, විජය සර් වගේ අය විශ්වාස කරලා තිබුණේ පළමුවෙන්ම යුද්ධයෙන් ගන්න ඕනේ පියවර අරගන්න ඕනේ කියලයි. ඒත් ඒ අවසානය දකින්න සර්ලට අවස්ථාව ලැබුණේ නැහැ.

සර්ලා නැතිවෙලා කාලයක් ගියාට පස්සේ සර්ලගේ ඉලක්කයන් කරා ගෙන යන පිරිස් නැති වුණා වගේ හැගීමක් මට ඇති වුණා. මොකද සටන් විරාම ආවා.

ඊළඟට අවබෝධතා ගිවිසුම ආවා. මේ අවස්ථාවල අපි යුද බිමේ හිටපු සෙබළු වශයෙන් විශාල කලකිරීමකට ලක් වෙලා හිටියේ. ඒත් 2006 දී මෙහෙයුම් පටන් අරගෙන ඉදිරියට යද්දි නැවතත් අපේ බලාපොරොත්තු වැඩි වුණා.

යුද බිමෙන් අයින් වෙලා හිටියට ප‍්‍රශ්නය විසඳන්න මග පෑදෙනවා කියන එක පෙනෙන්න තිබුණා. ඒකාලේ විජය සර්ගේ දෙවැනියා හැටියට හිටියේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයයි. එතුමාට සර්ලගේ අදහස් ගැන හොඳ අවබෝධයක් තිබුණා. ඒ හින්දයි මෙවර ප‍්‍රභාකරන් නැති කරලා දාන්න අපිට පුළුවන් වුණේ.

මං හිතන්නේ කොබ්බෑකඩුව සර්, විජය සර්වගේ අය කොහේ් හරි ඉදගෙන අපි දිහා බලාගෙන ඉන්නවා කියලා. ඒවගේ ආශිර්වාදය අද අපේ ගමනේ සාර්ථකත්වයට හේතුවෙලා තියෙනවා කියලා මම හිතනවා.

‘මැදිරිගිරියට’ කොටි පහර දෙති හෙට ‘දිනමිණ’ කියවන්න

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා