ඩෙංගු ළං කර ගන්න එපා මාරාන්තිකයි

ඩෙංගු ළං කර ගන්න එපා මාරාන්තිකයි

ඩෙංගු මාරාන්තිකයි. රෝග වාහකයා මදුරුවෙකි. ශරීර ප‍්‍රමාණයෙන් ඉතාම කුඩා සතෙකු වුවද දෂ්ට කළහොත් ජීවිත හානි සිදුවේ. ශී‍්‍ර ලංකාවේ මේ දිනවල පැතිරී යන මෙම වසංගත රෝගය පිළිබඳ රටම විමසිල්ලෙන් පසුවන කාල පරිච්ඡේදයකි මේ. රෝගයෙන් වැළැකී සිටීමට නම් කළයුත්තේ කුමක්ද ? කොපමණ සංඛ්‍යාවක් ඩෙංගු උවදුර හේතුවෙන් මේ වන විට මරු වැළඳගෙන ඇද්ද ? මෙවර අපේ විමසුම ඒ පිළිබඳවයි.

වසංගත රෝග විද්‍යා අංශයේ වෛද්‍ය නිලධාරිනී මනෝරි මලවරආරච්චි

ශීඝ‍්‍ර ලෙස පැතිර යන ඩෙංගු වසංගතය පිළිබඳ මේ දිනවල පවතින්නේ දැඩි උනන්දුවක්. ඒ සඳහා හේතු වී ඇත්තේ ඩෙංගු රෝගය

 වැළඳීම නිසා සිදුවන මරණ සංඛ්‍යාව පෙරට වඩා ඉහළ අගයක් ගැනීමයි. මේ තත්ත්වය අවම කර ගැනීමට නම් ජනතාව දැනුවත්වීම අනිවාර්යය

ෙන් ම සිදුවිය යුතුය. එම දැනුවත් කිරීම සඳහා අප සමඟ සාකච්ඡාවට එක්වූයේ වසංගත රෝග විද්‍යා අංශයේ වෛද්‍ය නිලධාරිනී මනෝරි මලවරආරච්චි මහත්මියයි. ඩෙංගු වෛරසය හා ඒ ආශ‍්‍රිතව මතුවන ගැටලු පිළිබඳව ඇය අදහස් දැක්වූයේ මේ ආකාරයටයි.

ඩෙංගු වෛරසය සිරුරට ඇතුල් වන්නේ ඊඩ්ස් ඊජිප්ටයි හෝ ඊඩ්ස් ඇල්බොපික්ටස් වර්ගයේ මදුරුවෙකු දෂ්ට කිරීමෙන් පමණයි.

ඩෙංගු මදුරුවා හඳුනා ගැනීම

මේ මදුරු විශේෂය හඳුනා ගැනීම සඳහා ඌගේ පාද හොඳින් නිරීක්ෂණය කළ හැකියි. එහිදී පාදවල මාරුවෙන් මාරුවට සුදු, කළු, ලෙස තීරු දැකිය හැකි නම් ඒ ඩෙංගු මදුරු විශේෂයකි. තවද ඊඩ්ස් ඇල්බොපික්ටස් වර්ගයේ මදුරුවාගේ උරහිසේ සුදු පාට ඉරක් දැකිය හැකි අතර ඊඩ්ස් ඊජිප්ටයි වර්ගයේ මදුරුවගේ උරහිසේ දෑ කැති හැඩයේ සුදුපාට ලප දෙකක් ද දැකිය හැකිය. ඩෙංගු මදුරුවා පහසුවෙන් ම හඳුනා ගත හැක්කේ පාදවලින්.

ඩෙංගු මදුරුවාගේ ස්වාභාවය

මේ සුහුඹුල් මදුරුවෙකු වරකට බිත්තර 100 ක් 200 ක් පමණ පිරිසිදු ජලය මත දමනු ලබයි. මේ බිත්තර ඇලෙන සුළුයි. බිත්තර දැමූ ස්ථානයෙන් ඉවත් නොකළේ නම් වියළි ස්වභාවයෙන් මාස 6-12 ක් පමණ කාලයක් බිත්තර නොනැසී පැවසිය හැකිය. ඩෙංගු මදුරුවා දිවා කාලයේ දෂ්ට කරන අතර එයිනුත් උදෑසන 8-10 අතර කාලයක් සවස 3-6 අතර කාලයක් විශේෂයි. (බිත්තරයකින් සුහුඹුල් මදුරුවෙකු ඇතිවීමට සතියක පමණ කාලයක් ගතවේ.)

ඩෙංගු මදුරුවාගේ බෝවීම

ඩෙංගු මදුරුවා බිත්තර දමන්නේ පැහැදිලි නිශ්චල ජලය එකතු වන බඳුන් තුළ යි. මෙසේ පැහැදිලි නිශ්චල ජලය එකතු වන තැන් ලෙස ටයර්, ටින්, බෝතල්, කිරිහට්ටි, ප්ලාස්ටික් කෝප්ප, ෂොපින් බෑග්, ප්ලාස්ටික් දවටන, ඉටිරෙදි, පොලිතින් සීට්, සෙල්ලම්බඩු කොටස්, ලී පෙට්ටි, රෙජිෆෝම්, ජලය රැඳෙන පිඟන් කැබිලි, ජලය රැඳී පොකුණු, වතුර ටැංකි හා ජලය එකතුª කරන භාජන හඳුන්වා දිය හැකියි.විශේෂයෙන් නිවස තුළ මල් බඳුන්, ජලය රැස්කරන බඳුන්, ටැංකි, කුහුඹු උගුල්, ශීතකරණයේ ජලය එකතුවන තැටි ආදිය ගැනද සැලකිලිමත් විය යුතුය.

ඩෙංගු වැළැඳුණු බව හඳුනා ගැනීම

රුධිරය පුරවා ගත් ඩෙංගු මදුරුවා

මෙහිදී ඩෙංගු උණ, ඩෙංගු රක්තපාත උණ, සහ ඩෙංගු කම්පන තත්ත්වය ලෙස කොටස් තුනක් හඳුන්වා දිය හැකිය.

ඩෙංගු උණ වැළඳුණු සමහර රෝගීන්ගේ කිසිදු රෝග ලක්ෂණයක් මතු නොවේ. සිදු වන්නේ දින පහක් පමණ උණ ශරීරයේ තිබී අඩු වී යාමයි. නමුත් ඩෙංගු රෝග ලක්ෂණ ලෙස තද උණ, හිසරදය, ඇස් යට වේදනාව, පේෂී හා සන්ධි කැක්කුම, ආහාර අරුචිය, වමනය සහ සමේ රතු පැහැ ලප ආදිය පෙන්වා දිය හැකිය.

මේ ආකාරයට ඇති වන ඩෙංගු උණ සුව නොවුණහොත් ඊළඟට ඇතිවන්නේ ඩෙංගු රක්තපාත උණ යි. එහි රෝග ලක්ෂණ ලෙස දින 2 සිට 7 දක්වා පවතින අධික උණ, සම යට කුඩා රතු පැල්ලම් ඇතිවීම, විදුරුමස් වලින් නාසයෙන් ලේ ගැලීම, අභ්‍යන්තර වශයෙන් ලේ ආමාශයට ගැලුවහොත් ඒවා වමනය ලෙස කළු පැහැයට පිටවීම. එමෙන්ම අන්ත‍්‍රයට ලේ ගැලුවහොත් මළ පහ ලෙස කළු පාටට පිටවීම ද දැකිය හැකිය.

මේ ලෙස පවතින උණ උග‍්‍ර අතට ම පත්වුවහොත් ඩෙංගු කම්පන තත්ත්වය ඇතිවේ. එහිදී උණ එකවර පහව ගියද රෝගියා අසනීප තත්ත්වයෙන් පසුවීම ඇග සුදුමැලි වීම, නිදිමත ස්වභාවය, කලබලකාරී ස්වභාවය, නාඩි වැටීම වේගවත් වීම, රුධිර පීඩනය අඩුවීම, හුස්ම ගැනීමේ අපහසුව ආදී රෝග ලක්ෂණ ඇතිවිය හැකිය.

එනිසා ඩෙංගු රෝගය වැඳුණු රෝගියෙකු හැකි ඉක්මනින් රජයේ වෛද්‍යවරයෙකු වෙත යොමු වීම අනිවාර්යය වේ.

ප‍්‍රතිකාර

මේ උණ වැළැඳුණු රෝගියෙකු ඇඳ විවේකය ගත යුතුම ය. ඊට අමතරව පාන වර්ග වැඩිපුර පාවිච්චි කළ යුතු අතර පැරසිටමෝල්ට් නියමිත මාත‍්‍රාවට ගත යුතුය. (මෙම මාත‍්‍රාව කුඩා ළමයෙකුට නම් බර අනුව නියම කරන අතර වැඩිහිටියෙකුට නම් පැය හයෙන් හයට නියම කෙරේ) එසේ නියමිත මාත‍්‍රාවට නොගෙන පැරසිටමෝල්ට් පාවිච්චි කළ හොත් අක්මාවට ද හානි සිදු විය හැකිය. විශේෂයෙන් මෙහිදී ඇස්ප‍්‍රීන් අඩංගු ඖෂධ නොගත යුතුය. තවද දහවල් වේවා රාතී‍්‍ර වේවා රෝගියා නිදන ඕනෑම වෙලාවක මදුරු දැලක් පාවිච්චි කළ යුතුය. (එසේ කිරීමෙන් අන් අයට බෝවීම වලක්වා ගත හැකිය)

රෝගී පුද්ගලයෙකුගෙන් නිරෝගී පුද්ගලයෙකුට බෝවන අයුරු

ඩෙංගු රෝගය වැළදී දින 2 ත් 5 අතර කාලයේදී එම රෝගියාට දෂ්ට කරන මදුරුවාට මේ වෛරසය ඇතුලු විය හැකියි. නමුත් මේ වෛරසය මදුරුවාට ඇතුළු වූ දවසේම නිරෝගී පුද්ගලයෙකුට එම මදුරුවා දෂ්ට කිරීමෙන් රෝගය නොවැළඳේ. ඒ සඳහා හේතුව එම මදුරුවාගේ ශරීරයේ ඩෙංගු වෛරසය වර්ධනය වීමට ටික දිනක් ගතවීම යි.

එසේ එම මදුරුවාගේ ශරීරයේ ඩෙංගු වෛරසය වර්ධනය වී සති දෙකක් පමණ කාලයක් ගිය පසු නිරෝගී පුද්ගලයෙකුට දෂ්ට කිරීමෙන් ඩෙංගු උණ වැළඳෙ. එමෙන් ම ඩෙංගු මදුරුවා දමන බිත්තර සියල්ලට ද එම වෛරසය ඇතුලු විය හැකිය. තවද ඩෙංගු මදුරුවා මීටර් 500 ක පමණ දුරක් සැරිසරයි.

ඩෙංගු උවදුර වළක්වා ගැනීමට නම්.

* ඉවතලන ටයර් - වැලි පුරවන්න. සිදුරු කරන්න නැතහොත් ජලය නොරැඳෙන සේ ආවරණය කර ගබඩා කරන්න.

* ප්ලාස්ටික් බඳුන්, ටින්, බෝතල්, පොල් කටු වැනි දේ ජලය නොරැඳෙන සේ ගබඩා කරන්න.

* පොල් කටු, යෝගට් කෝප්ප, කිරි හට්ටි වැනි දේ ජලය නොරැඳෙන සේ කැබලි වලට කඩා දමන්න.

* වැහි පිහිල්ල, ජලය රැඳී ඇති කොන්කී‍්‍රට් වහල සිරවී ඇති කොළරොඩු ඉවත් කරන්න. ජලය බැසයාමට ක‍්‍රමයක් සකසන්න.

* ජල ටැංකි, බැරල්, පීප්ප, ආදී හොඳින් වසා තබා සතියකට වරක් අතුල්ලා පිරිසිදු කරන්න.

* පක්ෂි නාන තටාක, මල් බඳුන් උද්‍යාන අලංකරණ භාණ්ඩ සතියකට වරක් හොඳින් පිරිසිදු කරන්න.

* පත‍්‍ර අතර ජලය රැඳෙන විසිතුරු මල් පැළ, ගස් බෙන, උණ පුරුක්, වගා කිරීමෙන් වලකින්න. ජලය එකතු නොවන සේ පවත්වා ගැනීමට වගබලා ගන්න.

මේ වන විට ඩෙංගු මර්දන ඒකකය සහ වසංගත රෝග විද්‍යා අංශය එක්ව ඩෙංගු මර්දනය කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබේ. නමුත් මදුරුවන් විනාශ කිරීමට කුමක් කළත් අනිවාර්යයෙන් ම කළ යුතු වන්නේ මදුරුවන් බෝවන ස්ථාන හඳුනා ගෙන එම ස්ථාන පිරිසිදු කිරිමයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා