කොටින් රැවටූ බැරල් සෙල්ලම

කොටින් රැවටූ බැරල් සෙල්ලම

රණ බිමට ජය ගොස කැන්දු රණ විරුවන්ගේ එඩි බලය පිළිබඳ තතු සැණින් අප වෙත සමීප කරනු ලැබුවේ ඔවුන් ය. යුද පෙරමුණේ සිටිමින් රුදුරු යුද්ධයේ බිහිසුණු බවත්, සතුරා පරාජය වී පලා ගිය ආකාරයත් සොයා ගත් අවි ආයුධ පිළිබඳත් නිරන්තරයෙන් අප දැනුම්වත් කළ ඔවුහු ශ‍්‍රී ලාංකේය විද්‍යුත් මාධ්‍ය භූමිකාවට නොමැකෙන මතක සටහන් එක් කළහ. ජීවිතය හා මරණය අතර ද්වන්ධ සටනක නිරත වෙමින් පෙළහර පෑ ඔවුන් අත් විඳි අමතක නොවන සටහන් මෙපමණකැයි කිව නොහැකිය. කැමරා කාචයට හසු නොවුණ තමා ලද අත්දැකීම් සමුදායෙන් බිඳක් ස්වාධීන රූපවාහිනී සේවයේ සුජිත් විතානපතිරණ මෙසේ හෙළි කරයි.

එක දවසක් අපිත් එක්ක අවු. 18 – 19 ක වගේ සෙබළෙක් කතාබහ කර කර හිටියා. ඊට පස්සෙ එයා ලයින් එකට ගියා. අපි මාධ්‍ය ආවරණ කටයුතු කළා. අපි ආවරණ කටයුතු අවසන් කරලා එනකොට හමුදා වෛද්‍ය මධ්‍යස්ථානයක් ළඟ දී අපේ වාහනේට කෙනෙක් අත දැම්මා. සාමාන්‍යයෙන් ඒ විදිහට කරන්නෙ තුවාල වුණ කෙනෙක්ව ගෙනියන්න ඕන වුණාහමයි. ඒ අයව ගෙනියන්න කවුරුත් ම නැති වුණහ ම මේ විදිහට කරනවා. අපට ඒක සාමාන්‍ය දෙයක්. අපි බොහෝ වෙලාවට අසනීප වුණ සොල්දාදුවන්ව අපේ වාහනේ දාගෙන ගෙන ගියා. පස්සෙ මා වාහනෙන් බැහැලා කිව්වා ‘දාගනිං දාගනිං ගෙනියන්න’ කියලා.

මට හදිස්සියක් තිබුණත් නැතත් අවශ්‍ය වුණේ මානුෂ්‍යයෙක් ගෙ ජීවිතයක් බේරා ගන්න. ඊට පස්සෙ මං දැක්කා මාත් එක්ක උදේ කතා කරපු ළමයව ඇතුළෙ දාලා ඉන්නවා. මං දැක්කෙ ඒ ළමයා පුටුවක එහාට මෙහාට වැනි වැනී ඉන්නවා වගේ. මං කිව්වා ‘අල්ලන්න, අල්ලන්න ඉක්මනට ගෙනියන්න කියලා. මං කකුලෙනුත් ඇල්ලුවා. එතන හිටිය කෙනෙක් කිව්වා ‘අල්ලන්න දෙයක් නෑ සර් ඕක ඩෙත්’ කියලා. මාත් එක්ක උදේ කතා කර කර හිටිය ළමයා පැය දෙකකට විතර පස්සෙ මං දැක්කෙ මේ ජීවිතයෙන් සමු අරගෙන ඉන්න අවස්ථාවකුයි.

මේ වගේ සිද්ධිවලින් මං හොඳට ම කම්පා වුණා. ‘මට මේ වැඩේ දිගට ම කරගෙන යන්න බෑ. මං කොළඹ යනවා.’ කියලා මං චමිල්ට කිව්වා. ඒ ළමයා මාත් එක්ක කතා කරලා ලයින් එකට යද්දි කිව්වේ ‘දැන් ඉඳලා දැන් මැරෙයි ද දන්නෙ නෑ’ කියලයි. එහෙම කිව්ව ළමයා නැතිවෙලා ඉන්නවා දැක්කහම මගෙ හද කම්පා වුණා.

දැන් දැක්ක මිනිහෙක්ව දැන් මැරිලා ඉන්නවා දකින එක සාමාන්‍ය මනුෂ්‍යයෙක් විදිහට මට නම් දරාගන්න බැහැ. අපිත් එක්ක කතා කර කර ඉඳලා ලයින් එකට ගිහින් මැරෙන හමුදා භටයො දැක්කම මං මානසිකව වැටුණා. කන්න බොන්න බැරි වුණා. ගොඩක් ම කම්පා වුණේ අවුරුදු 18, 19 ළමයි මැරිලා ඉන්නවා දැක්කමයි.

දැන් ඉඳලා දැන් නැතිවෙයිද දන්නෙ නෑනෙ අයියෙ. අපි ලයින් එකට යනවා කියලා ගිහින් නැති වුණාම ඒ වචන සිහිවෙලා අපි හරියට කම්පා වුණා.

ඔය අතරෙම සටන් පෙරමුණේ බිහිසුණු අත්දැකීම් දුක්බර අත්දැකීම් අතරට විනෝදකාමී අවස්ථාත් එක් වුණේ නැතිවාම නෙමෙයි. සමහර වෙලාවට ත‍්‍රස්තයන්ව පරාජය කරන්න පාවිච්චි කළ යුද උපක‍්‍රමත් සතුට, විනෝදය ළඟා කළ ඒවා වුණා. ඒ උපක‍්‍රම සෙබළු අතරින්ම ආව උපක‍්‍රම වීමත් සුවිශේෂයි. තන්නිමුරුප්පු වැව අල්ල ගන්න ගිය ගමනත් මේ වගේ විනෝදජනක අත්දැකීමක් එක් කළ අවස්ථාවක්.

සටන ඉදිරියටම...

අපේ හමුදාව එල්ටීටීඊ එකට ගැහුවෙ යුද පොතෙන් බලලා නෙමෙයි. කැලේ ඉන්න එල්ටීටීඊ කාරයා අපේ හමුදාවට එල්ල කරන්නෙ මොන වගේ ප‍්‍රහාරයක්ද ? අන්න ඒකට හරියන එකක් තමයි අපේ අය පාවිච්චි කළේ. හැබැයි එහෙම යොදා ගත්ත උපක‍්‍රම වලට එල්ටීටීඊ ය රැවටුණා. ඒ නිසා ඒ අයට පරාජය ලැබුණා. ඒ අතින් බලනකොට අපේ හමුදාවෙ හිටිය සෙබළු හරිම උපක‍්‍රමශීලීයි.

මට මතක විදිහට තන්නිමුරුප්පු වැව ළඟ ලයින් එක තිබුණා මාසයක් විතර. තන්නිමුරුප්පු වැව් බැම්මේ බැම්ම කපලා ඒකෙ බැහැලා හමුදාව ක‍්‍රම ක‍්‍රමයෙන් ඉදිරියට ආවා. එල්ටීටීඊ යත් නොනනවත්වාම ගහනවා. කොහොම කොහොම හරි හමුදාවට වැව් බැම්මෙ පැත්තක් අල්ල ගන්න පුළුවන් වුණා. ඒත් වැව් බැම්ම දිගේ යන්න පුළුවන්කමක් තිබුණෙ නෑ.

මේ වැව කි. මී. 3 1 / 2 ක් විතර දිගයි. විශාලවැවක්. මේ ප‍්‍රදේශය අල්ල ගන්න නම් මොන වගේ උපක‍්‍රමයක් ද පාවිච්චි කරන්නෙ කියලා හමුදාවෙ හැමෝම හිතන්න ගත්තා. කොටින්ගෙ ප‍්‍රහාරවලින් බේරිලා ඒ අයව පරාජය කරන්න පුළුවන් උපක‍්‍රමයක් හැමෝම හිතුවා. අවසානයේදී සොල්දාදුවො හරි අපූරු යෝජනාවක් ගෙනාවා. ඒක හරිම විනෝදජනක සිද්ධියක්. හරියට සෙල්ලමක් වගේ.

එතන හිටිය හමුදා සෙබළු ටික එකතු වෙලා බැරල්වලට වැලි පිරෙව්වා. වැලි පුරවලා එක බැරල් එකක් සෙබළු දෙන්නෙක් විතර එකතු වෙලා බඩ ගගා ඉදිරියට තල්ලු කරනවා. ඉස්සරහා ඉදන් බලන කෙනෙක්ට පේන්නෙ බැරල් Qකක් ඉස්සරහට එනවා විතරයි. ඊට පස්සෙ කළේ බැරල්වලින් ඔලුව හංගාගෙන බැරල් එකට උඩින් උන්ට වෙඩි තියපු එකයි. ඒක බලන් ඉන්න කෙනෙකුට හරි අපූරු අත්දැකීමක් වුණා. අන්තිමට කොහොම හරි දවස් දෙකක් විතර මේ ක‍්‍රමය පාවිච්චි කරලා එල්ටීටීඊ යට ගැහුවා. තන්නිමුරුප්පු වැව දාලා යනකන්ම ගැහුවා. බැරල් ක‍්‍රමය නිසා අවසානයේ කොටි පැරදුනා.

මේ බැරල් ප‍්‍රහාර එල්ල කළේ දවාලට නෙමෙයි. රාති‍්‍රයේදී. බැරල් උඩින් දාලා තුවක්කු ප‍්‍රහාර එල්ල කළේ ලේසර් උණ්ඩ භාවිත කරමිනුයි. ටී 56 අවිය භාවිත කරලා මේ උණ්ඩ එල්ල කරන්නෙ. ඒවා තුවක්කුවෙන් පිට වෙන්නෙ එළියක් එක්කයි. එල්ටීටීඊ යට මේ අත්දැකීම තිබුණෙ හරි අඩුවෙන්. රාති‍්‍රයේදී ඔලුව ළඟින් මේ එළිය යන කොට කොටින්ට එතන ඉන්න බැරි වුණා.

ඒ අයට දැනුනා මෙතන ඉන්න බෑ කියලා. අන්තිමට එල්ටීටීඊ යට ඒ ප‍්‍රදේශය අත් ඇරලා යන්න සිදු වුණා. බැරල් සෙල්ලම නිසා අපේ හමුදාව ආරක්ෂා වෙමින් ප‍්‍රහාර එල්ල කළේ. මේ නිසා කොටින්ට පරාජය අත් වුණා. මං කියන්න හැදුවෙ අපේ හමුදාව කොයි තරම් උපක‍්‍රමශීලීද ? කොයිතරම් කැපකිරීම් කළාද ? කියන දේ පිළිබඳවයි. බිම් මට්ටමේ ඉන්න සොල්දාදුවන්ට ඇතිවුණ සිතිවිලි ඔස්සේ යමින් මේ ජයග‍්‍රහණය ලැබීම ඉතාමත් ම සුවිශේෂ කරුණක්.

මේ අවස්ථාවේදී විතරක් නෙමෙයි එල්ටීටීඊ ය තවත් බොහෝ අවස්ථාවලදී අපේ යුද හමුදාවන්ගෙ උපක‍්‍රමවලට රැවටුණා. මං දකින විදිහට එල්ටීටීඊ ය වැඩියෙන්ම රැවටුණේ මුලතිව් නගරයේ පැවැති සටන්වලදී.

මුලතිව් නගරයට ගියෙ නන්දිකඩාල් කළපුව පහු කරගෙන. මේ කළපුව මග ඇරලා මුලතිව් වලට යන්න බැහැ. ඒක පිහිටලා තිබුණෙ මුලතිව් නගරයට බටහිරට වෙන්නයි. මේ යන ගමන හරි ගියොත් මුලතිව් නගරය අල්ලා ගන්න පුළුවන්.

වැරැදුනොත් යන හැමෝටම කොටින්ගෙ ප‍්‍රහාරවලට ලක් වෙලා අභාග්‍ය සම්පන්න ඉරණමකට මුහුණ දෙන්න වෙනවා. මේ ගමන බටහිර පැත්තෙන් යන්න පිටත් වුණා. මේ ගමන ඉතාමත්ම අවදානම්. හේතුව කළපුව මැද්දෙදි අපේ හමුදාවට ඒ අය ගැහුවොත් ඉවරෙටම ඉවරයි. මේ යුද උපක‍්‍රමයෙන් දෙපැත්තටම පනහට පනහෙ වාසියක් තිබුණෙ.

කොහොම කොහොම හරි 591 බළ සේනාංකය මේ බැම්ම ළඟට ගිහින් ඉස්සරහින් හිටියා. අනෙක් පැත්තෙන් දැම්මා 593 බළ සේනාංකයෙ ඒකක තුනක්. මේ ඒකක තුනේ පිරිසට කළපුවෙන් බැහැගෙන බැහැගෙන එන්න කිව්වා. මේ අය කළපුව මැද්දෙන් බැහැලා මුලතිව් නගරයට යන්න ගියා.

මුලතිව් කැලේ මර උගුල් හෙට ‘දිනමිණ’ කියවන්න

 

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා