මුද්‍රණය සඳහා

 
නාගොඩ කුඹුරු ඉඩම් ගොඩ කිරීම් වැඩිවෙලා

නාගොඩ කුඹුරු ඉඩම් ගොඩ කිරීම් වැඩිවෙලා

නාගොඩ ගොවිජන සේවා බල ප‍්‍රදේශය ඇතුළත අනවසරයෙන් කුඹුරු ඉඩම් ගොඩකිරීම මෑත කාලයේ වර්ධනය වී තිබේ.

විශේෂයෙන්ම බලවතුන්ගෙන් ලැබෙන අනුග‍්‍රහය මේ තත්ත්වය වර්ධනය වීමට බලපා ඇති අතර මින් අපහසුතාවට පත්වන්නේ එම කොට්ඨාසවල රාජකාරි කරන කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරින්ය.

අල්විස්වත්ත කොට්ඨාසයේ බෝගහ හන්දිය අසල කුඹුරු ඉඩමේ පුලර්ටන් කොට්ඨාසයේ නාගොඩ – පලාතොට මාර්ගයේ නාගොඩ හන්දියට ආසන්න කුඹුරු ඉඩමේ හා උස්වත්ත කොට්ඨාසයේ කළුතර – මතුගම මාර්ගයට යාබදව පිහිටි කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යාතනය අසල කුඹුරු ඉඩමේ මේ අනවසර ගොඩකිරීම් සිදුවේ. උස්වත්ත කොට්ඨාසයේ කුඹුරු ඉඩමේ කොටසක් ගොඩකර තාවකාලික ගොඩනැගිල්ලක්ද ඉදිකර තිබේ.

මේ සම්බන්ධව අදාළ කොට්ඨාසවල නිලධාරින් පොලිසියට පැමිණිලි කැර අවශ්‍ය කටයුතු කැර තිබේ. මුත් මෙය දිගින් දිගටම සිදුකර ගෙන යන්නේ ඔවුන්ට ඉහළින් ලැබෙන සහයෝගය නිසාය.

එම කොට්ඨාසවල කෘ.ප.නි.ස. නිලධාරින්, කුඹුරු යායේ ගොවීන් මෙන්ම ප‍්‍රදේශවාසීන් සඳහන් කරන්නේ මේ සඳහා දේශපාලන අධිකාරිය, පොලිසිය, ගොවීන්, ගොවි සංවිධාන හා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සාමුහිකව ඉදිරිපත් වී මේ තත්ත්වය නැති කිරීමට කටයුතු කළ යුතු බවයි.

මේ තත්ත්වය දිගින් දිගටම පැවතියහොත් වගා කිරීමට තිබෙන කුඹුරු ඉඩම් ප‍්‍රමාණය අඩුවීමත්, ගංවතුර තර්ජනයට නිරන්තර ගොදුරුවීම හා වෙනත් පාරිසරික ප‍්‍රශ්න මතුවීමත් වළක්වා ලිය නොහැකි බවද ගොවීහු පවසති.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2008 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]