|
||
බටපොත සමුපකාර ගම්මානයක් ලෙසින් වැඩි දියුණු කැරේ
බත්තරමුල්ල විවිධ සේවා සමූපකාර සංගමය මගින් එම සමූපකාර බල ප‍්‍රදේශයට අයත් බටපොත ගම්මානය, සමූපකාර ගම්මානයක් ලෙස සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කැර ඇත. මේ වැඩපිළිවෙළ යටතේ බටපොත ගම්මානයේ සමෘද්ධිලාභි පවුල් අතරින් තෝරාගත් පවුල් ආර්ථික අතින්, සංවර්ධනය කිරීමටත්, ඔවුන්ගේ නිවාසවල තත්ත්වය දියුණු කිරීමටත්, පියවරගෙන ඇත. දැනට ලාභ ලබන තත්ත්වයේ පවතින සමූපකාරයක් වශයෙන් ජන ප‍්‍රසාදයට පත්වී තිබෙන, බත්තරමුල්ල විවිධ සේවා සමූපකාර සමිතිය ඉතාමත් දිළිඳු පවුල් සඳහා සහන රැසක් මේ වනවිට ලබාදී ඇත. සමූපකාර ගම්මානවල සිටින නිවාස ඉදිකැර ගැනීමට අපහසු කිහිපදෙනෙකුටම ඉදිකිරීම් ද්‍රව්‍ය ලබාදී ඇත. බටපොත ගම්මානයේ පදිංචි ආර්. එච්. ඒ. ගුණපාල මහතා දරුවන් දෙදෙනෙකුගෙන් යුත් පවුලක සමෘද්ධි ආධාර මත ආරම්භ කළ නිවසේ වහළය සම්පූර්ණ කර ගැනීමට නොහැකිව සිටියදී සමූපකාර සංගමය මගින් රුපියල් 39,000 ක පමණ මුදලක් වැයකර සෙවිළි තහඩු ලබාදීම පසුගියදා සිදුකැරිණි. සමූපකාර ගම්මානයේ සිටින පාසල් දරුවන්ට අවශ්‍ය පොත්පත් ලබාදීම, ඉතිරි කිරීමේ ගිණුම් විවෘත කැර දීම, ළමා සමාජ ඇති කිරීම, පවුල් අතර පවතින විවිධ ප‍්‍රශ්න විසඳ්‍ර දී ඔවුන් සමගි කිරීම වැනි සමාජ කාර්යයන් මේ වනවිට සිදුකර ඇත. බටපොත සමූපකාර ප‍්‍රාදේශිකය මගින් ගම්මානයේ වෙසෙන ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය පහසු මිලට ලබාදෙන අතර, මේ සමූපකාර ප‍්‍රාදේශිකය, ‘මිනී කෝප් සිටි” තත්ත්වයට පරිවර්තනය කිරීමට කටයුතු කරන බව, සමූපකාර සංගමයේ සභාපති ලීලාරත්න සූරියආරච්චි මහතා පැවැසීය. ජනතාව අතර එදිනෙදා පරිභෝජනයට ගනු ලබන එළවුළු තම ගෙවත්තේම වගාකැර ගැනීමට අවශ්‍ය පහසුකම් ලබාදී ඇති අතර, පොල් පැළ හා අනෙකුත් පැළ වර්ගද ලබාදී ඇත. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2008 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |