ශ‍්‍රී ලංකා - බ. ඉ. කොදෙව් අවසන් පූර්ව තරගය හෙට

ශ‍්‍රී ලංකා - බ. ඉ. කොදෙව් අවසන් පූර්ව තරගය හෙට

ශ‍්‍රී ලංකාව හෙට (19) ලන්ඩනයේ කෙනිංටන් ඕවල් හිදී බටහිර ඉන්දීය කොදෙව් දූපත් පිලට එරෙහිව 2වැනි ලෝක කුසලාන විස්සයි/20 තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග වදී.

මේ තරගාවලියේ ශී‍්‍ර ලංකාව මීට පෙර මූලික වටයේදී කොදෙව්වන් හා ගැටුනු අතර එහිදී ශ‍්‍රී ලංකාව ලකුණු 15ක ජයක් අත්කර ගත්තේය.

එම තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකාව කඩුලු 5ක් දැවී ලකුණු 192ක් රැස්කළ අතර කොදෙව්වන් කඩුලු 5ක් දැවී ලකුණු 177ක් රැස්කළහ. එම තරගයට කොදෙව් නායක කි‍්‍රස්ගේල් සහභාගි වූයේ නැත.

ශ‍්‍රී ලංකාව මේ තරගාවලියේ මෙතෙක් අපරාජිතව සිටීමට සමත්ව සිටී. මූලික වටයේදී ඕස්ටේ‍්‍රලියාව හා කොදෙව් දූපත් පරාජය කළ ශ‍්‍රී ලංකාව අනතුරුව 'සුපිරි අට' වටයේදී පාකිස්තානය, අයර්ලන්තය හා නවසීලන්තය පැරදවීය.

කොදෙව්වන් අවසන් පූර්ව වටයට පිවිසියේ ඉන්දියාව හා සත්කාරක එංගලන්තය පරදවමිනි.

මේ අතර තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය දකුණු අප‍්‍රිකාව හා පාකිස්තානය අතර අද (18) නොටිංහැම් හි ටෙ‍්‍රන්ට් බි‍්‍රජ් කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

අජන්ත විශාල වාසියක්

නවසීලන්ත පිල පරාජයට පත් කිරීමෙන් අනතුරුව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් නායක කුමාර් සංගක්කාර පැවැසුවේ නවසීලන්ත පිල ආරම්භයේ ලබා තිබූ ස්ථාවරය අජන්ත මෙන්ඩිස් හැරවූ බවයි.

“අජන්ත දක්ෂ ලෙස පන්දු යැව්වා. නවසීලන්ත පිතිකරුවන්ට අජන්තගේ පන්දු යැවීම තේරුම් ගැනීමට නොහැකි වූවා. අජන්ත ශ‍්‍රී ලංකා පිලට විශාල වාසියක්” සංගක්කාර පැවැසීය.

අජන්ත මෙන්ඩිස්ගේ පාදඟ පන්දුව හොඳින් හසුරුවමින් පිතිකරුවන්ට එල්ල කිරීම සාර්ථකත්වයට හේතුව බව සංගක්කාරගේ අදහස විය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා