අපේ සාහිත්‍ය විනිශ්චය මණ්ඩලයට වඩා


 

අපේ සාහිත්‍ය විනිශ්චය මණ්ඩලයට වඩා

පාඨකයා බුද්ධිමත්

ප‍්‍රවීණ ලේඛිකා කැත්ලීන් ජයවර්ධන

කැත්ලීන් ජයවර්ධන... ස්වතන්ත‍්‍ර නිර්මාණකරණයට වැඩි නැඹුරුවක් දක්වමින් සාහිත්‍ය ක්‍ෂෙත‍්‍රයේ විවිධ ඉසව්වල නියැළෙන කෘතහස්ත ලේඛිකාවකි. කිසිවෙකුගේ ලේඛන ශෛලියක් ගුරු නොකොට.... ආභාසයට නොගෙන ස්වාධීන ලේඛිකාවක ලෙස ගොඩනැගීමේ පළමු පියවර ඇයට ලැබුණේ නිවෙසිනි. අම්මා අප්පච්චි පොතපත කියවීමට ඇයට තහංචි දැමුවේ නැත. මේ නිසාම කැත්ලීන් විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය රටාවෙන් ඔබ්බට ගොස් කියවීම හරහා බොහෝ දේ ජීවිතයට සමීප කර ගත්තා ය. අද වනවිට කැත්ලීන් ජයවර්ධන ලේඛිකාවක ලෙස නවකතා, කෙටිකතා, ළමා කතා, නාට්‍ය, තිර රචනා මෙන්ම පරිවර්තන කෘති ඇතුළුව කෘති දහඅටක් රචනා කොට ඇත. කැත්ලීන් ලියූ නවතම ස්වතන්ත‍්‍ර කෘතිය ‘සත්‍යකාම’ මේ දිනවල පාඨකයාගේ දැඩි අවධානයට ලක්ව තිබේ.

‘බලන් කඩතුරා හැර දෑසේ’ සිට ‘සත්‍යකාම’ දක්වා මේ පැමිණි ගමනේ ඔබගේ නිර්මාණ දිවියේ සුබවාදී සුවිශේෂි වෙනසක් දකින්නට තියෙනවා. ‘සත්‍යකාම’ පිළිබඳ ඔබගේ විනිශ්චය කෙබඳු ද?

සැබැවින්ම ‘සත්‍යකාම’ වූ කලී මගේ නවකතාකරණයේ සුවිශේෂි සංදිස්ථානයක් සලකුණු කරන කෘතියක්. මෙහි කළල බීජය මා සිතෙහි පිළිසිඳුණේ බොහෝ කලකට ඉහතදීයි.

මෙය මුලින්ම එළිදුටුවේ ගුවන් විදුලි නාට්‍යයන් ලෙසින්. එහිදී මම කතා කරන ‘පේ‍්‍රමය’ වූ කලී පාරිශුද්ධ වූ ආධ්‍යාත්මික තත්ත්වයක් ද? නැතහොත් හුදු කායතිºශි‍්‍රත සරාගි ස්වභාවයක් ද? නොඑසේ නම් මේ දෙකෙහිම සම්මිශ‍්‍රණයක් ද යන ප‍්‍රශ්න පැන නැඟුණා.

නමුත් මෙම සංකීර්ණ ප‍්‍රශ්නාවලියට ගුවන් විදුලි නාට්‍යයක් හරහා පිළිතුරු සැපයීම අසීරු කටයුත්තක් වුණා. මේ කතා තේමාව වඩා පුළුල් පරාසයක් කරා ගෙන යෑමේ අරමුණින් තමා ‘සත්‍යකාම’ නවකතාව බිහිවුණේ. මගේ නිර්මාණ දිවියේ දී වැඩිම ප‍්‍රයත්නයකින් සහ උපරිම උද්යෝගයක් ඇතිව මා අතින් ලියැවුණු සාහිත්‍ය කෘතිය ලෙස මා දකින්නේ ‘සත්‍යකාම’ යි.

‘සත්‍ය පේ‍්‍රමය’ සොයා යන්නෙකුගේ චරිතය විකාශය කෙරෙන මෙම නවකතාව සඳහා කි‍්‍ර. පූ. 6 වන ශතවර්ෂ තරම් ඈත කාලවකවානුවක් මා මේ සඳහා පාදක කර ගත්තේ ඉන්දියාවේ සත්‍ය නොහොත් ඓතිහාසික මූලාශ‍්‍ර සොයා ගනු ලැබූ කාලවකවානුව ලෙස පිළි ගැනෙන්නේ එම යුගය වන නිසයි.

 එහෙත් මෙය ඓතිහාසික නවකතාවක් ද? මනෝ විද්‍යාත්මක නවකතාවක් ද? අධි යථාර්ථවාදී නවකතාවක් ද යන්න මම දන්නේ නැහැ. කොහොම නමුත් ‘සත්‍යකාම’ ලියැවුණේ ඓතිහාසික නවකතාවට පුනර්ජීවයක් ලබා දීමේ අරමුණින් නම් නොවෙයි.

විවිධ ක්‍ෂෙත‍්‍ර අරඹයා කෘති රැසක් ඔබ ලියා ඇතිමුත් මේ වනතුරු ඒ එකම කෘතියක් හෝ සාහිත්‍ය සම්මානයන්ට පාත‍්‍ර වී නැහැ. ‘සත්‍යකාම’ පිළිබඳ එවැනි බලාපොරොත්තුවක් තැබිය හැකි ද?

සාහිත්‍ය කෘතියක සාධනීය බව කිරා මැන බලන නිර්ණායකය වන්නේ ‘සාහිත්‍ය සම්මානය’ නොවන බව මේ වනවිට ඔප්පු වෙලා ඉරවයි. හොඳ සාහිත්‍ය කෘතියක් කියන්නේ ඕනෑම දේශයකට, ඕනෑම කාලයකට යෝග්‍ය වන විෂයය වන නිර්මාණයකට යි.

එවැනි නිර්මාණ දශක ගණනාවක්ම එය බිහි වූ දේශයේත් විවිධ භාෂාවන්ට පරිවර්තනය වුවහොත් ලෝකයේත් ජනතාවගේ සිත් සතන් තුළ අමරණීයව පවතිනවා. සාහිත්‍ය කෘතියක දීර්ඝකාලීන පැවැත්ම එහි සාධනීය බව නිර්ණය කරන එක් නිර්ණයකයක්.

මේ අර්ථයෙන් ගත්තම සම්මාන දිනා ඇති හා සම්මාන දිනා ගත් කෘතීන් පිළිබඳ සාමාන්‍ය විනිශ්චයකට එන්න ඕනෑම පාඨකයෙකුට පුළුවන්. විශේෂයෙන් මෑත යුගයේ ඉකුත් වසර ගණනාව තුළ විවිධ සාහිත්‍ය සම්මාන දිනාගත් බොහෝ කෘති පාඨකයා විසින් වැළඳගෙන තිබේ ද? යන්න ගැටළුවක්.

එවැනි කෘති සඳහා මාධ්‍ය හරහා මොනතරම් ප‍්‍රසිද්ධියක් ලබා දුන්නත්, සාකච්ඡා සම්මන්ත‍්‍රණ පැවැත්වුවත් එම නිර්මාණය සමාජයගත නොවෙනවා නම් සාර්ථක යැයි කියන්නේ කොහොම ද?

මෙවැනි සම්මාන ලබාදීමේ ව්‍යුහයක් තුළ අනාගතය ගැන බලාපොරොත්තු තබා ගැනීම භයානකයි. මා හිතන හැටියට හොඳ පොතකට හොඳ ඉල්ලුමක් තිබෙන්නේ වාචික සන්නිවේදනයෙන්.

අපේ රටේ ඉතා දියුණු පාඨක පිරිසක් සිටිනවා. ඔවුන් සංඛ්‍යාත්මකව වැඩි නොවන්නට පුළුවනි. නමුත් සිංහල සාහිත්‍යයේ පැවැත්ම තීරණය වෙන්නේ මේ පිරිස මතයි.

සම්මාන උළෙලවල වේදකාවේ උඩ ඉන්නේ විවිධ කුලකවල අය. සැබෑ සාහිත්‍ය රසය තියෙන අය ඉන්නේ වේදිකාවෙන් බිම. මේ අය හරහා තමා සාහිත්‍යයේ ප‍්‍රවර්ධනය සිද්ධ වන්නේ. මේ අයගේ අදහස් අවංකයි. එහෙම ප‍්‍රබුද්ධ පාඨක පිරිස් අපගේ කෘති බොහෝ ම ආදරයෙන් පිළි ගන්නවා.

මෙරට පැවැත්වෙන සාහිත්‍ය සම්මාන, විනිශ්චය මණ්ඩල සහ විචාරයන් පිළිබඳ ඔබ තුළ ඇත්තේ දැඩි නොපැහැදීමක්?

සාහිත්‍ය විනිශ්චය මණ්ඩල නියෝජනය කරන්නන්ගේ බහුතරය නූතන සාහිත්‍ය පරිශීලනය කරන්නන් ද? කියන ප‍්‍රශ්නය නැඟුවහොත් ලැබෙන්නේ ඉතා කණගාටුදායක පිළිතුරක්. සාහිත්‍ය විමර්ශකයන් විය යුත්තේ රසඥතාවය අතින් පොහොසත් පුද්ගලයින්. නමුත් අපේ රටේ මේ කාර්යයේදී බොහෝ විට තෝරා පත්කර ගැනෙන්නේ විවිධ විෂයන් යටතේ නිළ තානාන්තර දරන්නන් පමණයි.

මේ බහුතරයක් අනුන්ගේ පොතපත පරිශීලනය කරමින් විභාග සඳහා ශාස්තී‍්‍රය නිබන්ධන කිරීම හැරුණු විට රසවින්දනයට තුඩුදෙන යමක් කර නැති අයයි. එහෙම පිරිස් කොහොමද සාධාරණ සාහිත්‍ය විනිශ්චයකට එළඹෙන්නේ.

වෙනත් ක්‍ෂේත‍්‍ර පිළිබඳ විද්වතකු වීම හෝ වෙනත් විෂයයන් පිළිබඳ ශාස්තී‍්‍රය මට්ටමින් පර්යේෂණ නිබන්ධන කර තිබීම පමණක් මේ සඳහා ප‍්‍රමාණවත් ද? රසඥතාවය අතින් ඔවුන් කොතරම් පොහොසත් ද? නූතන සාහිත්‍ය සමඟ ඔවුන්ගේ ගනුදෙනුව කවරාකාර ද? මේ කාරණාවලින් සන්නද්ධ වන්නේ කීයෙන් කී දෙනා ද?

මම දීර්ඝකාලීනව දැකපු දෙයක් නම් මෙම විනිශ්චය මණ්ඩලවල සිටින්නේ අවුරුදු 50, 60 ඉක්ම වූ එකම විශ්ව විද්‍යාලයේ එකම යුගයේ අධ්‍යාපනය ලැබූ 60,, 70 දශක වල පමණක් ලියැ වූ පොතපත පරිශීලනය කළ අයයි.

ඒ අය නූතන සාහිත්‍ය කියවන්නත් කම්මැලියි. ‘මළවුනගේ අවුරුදා දා’ , ‘මළගිය ඇත්තෝ’, ‘ගම්පෙරළිය’, ‘කළියුගය’, ‘යුගාන්තය’, ‘ විරාගය’, කෘති හොඳයි. නමුත් අපි එතැනින් නවතිනවා ද? මේ පොත් 20 වන සියවසේ හතරවැනි පස්වැනි දශකයේ බිහි වූ ශ්‍රේෂ්ඨ නවකතා බව ඇත්තයි. නමුත් අපි මේ ඉන්නේ 21 වැනි සියවසේ පළමු දශකය ඉක්මවමින්.

ඒත් අපි තවමත් අගය කරන්නේ..... පරිශීලනය කරන්නේ 20 වැනි සියවසේ පොත්. මේ විදියට බලන විට ඒකාකාරී පිරිසක් එකතු වී ඒකාකාරී තීන්දු දෙන සාහිත්‍ය සම්මාන පාඨකයා පිළිගන්නේ නැහැ.

එවගේම ‘විචාරය’ පිළිබඳවත් මා යමක් කිව යුතුයි. නිර්මාණකරුවන්ගේ පැවැත්මට විචාර අත්‍යාවශ්‍ය යි. හැබැයි මේ විචාරකයා මධ්‍යස්ථ පුද්ගලයකු විය යුතුයි. ඒත් මධ්‍යස්ථ, තුලනාත්මක විචාර කලාවක් අපට තියෙනවා ද? ඔබම විමසා බලන්න.

අත්දැකීම්බහුල ලේඛිකාවක් ලෙස ඔබ සිතන විදියට සාහිත්‍ය විනිශ්චය මණ්ඩලයක් කෙසේ සකස් විය යුතු ද?

ඇත්දැකීම්බහුල බහුශ‍්‍රැතයන් සමඟ තරුණ පරපුරත් මෙම අනුමණ්ඩල නියෝජනය විය යුතුයි. අඩුම තරමින් අවුරුදු හතළිහට අඩු දෙතුන් දෙනෙක්වත් අවශ්‍යය යි. මා එහෙම කියන්නේ ආකල්පමය වෙනසක් සැහිත්‍යයට වැදගත් නිසයි. නිවැරදි විනිශ්චයකට මඟ එළිපෙහෙළි වන්නේ මත ගැටුම් අතරිනුයි. සාහිත්‍ය විනිශ්චයකරුවන් සහ ප‍්‍රබුද්ධයින් පවසන්නේ විනිශ්චය කරන්න තරම් තරුණ පරපුරක් අපට නැති බවයි.

ඒ අදහස අනුව නම් තව අවුරුදු 20 කින් අපට අපේ සිංහල සාහිත්‍යයක් නැති වෙනවා.

මේ තත්ත්වය ජයග‍්‍රහණය කරන්නට නම් අපට සිවිල් බලයක් අවශ්‍යය වෙනවා. මම විශ්වාස කරනවා; ‘ මේ රටේ සැබෑ සාහිත්‍ය කෘතියක තෝරා ගන්න අවශ්‍ය නම් ලේඛකයාගේ නම නැති අත්පිටපිතක් විනිශ්චය මණ්ඩලයට දියයුතු කියා.

එවිට සැබෑ විනිශ්චයක් ලැබේවි. ඒ තරමටම කුලවලට මිත‍්‍ර සමාගමට සාහිත්‍ය විචාරය බෙදිලා. එනිසා ලේඛකයාගේ නම නොමැති අත් පිටපත හරහා සැබෑ දක්ෂයා හඳුනා ගන්න පුළුවනි.

ඒ වගේම නිළ සාහිත්‍යකරුවන්ගෙන් පරිබාහිර සැබෑ සාහිත්‍යවේදීන් හඳුනා ගැනීමට කිසියම් විදියේ මෙහෙයුමක් අවශ්‍ය ය යි. සාහිත්‍ය සංගායනාවක් අවශ්‍ය බව පවසන්නේ එනිසා යි.

රසඥතාවයෙන් හෙබි පුද්ගලයින් සාහිත්‍ය වේදිකාවෙන් පිට සිටින අවස්ථා එමටයි. මේ අයට සාහිත්‍ය ක්‍ෂේත‍්‍රය තුළ නිළ අධිකාරි බලයක් නොතිබෙන්නට පුළුවනි. නමුත් ඔවුන් හොඳ නිර්මාපකයින් වගේම ඉතා හොඳ සහෘදයින්.

ලේඛිකාවකට මෙම ක්‍ෂේත‍්‍රය තුළ රැඳී සිටින්නට ඇති අවකාශය කෙබඳු ද?

මෙය ඉතාම සූක්ෂමව විග‍්‍රහ කළ යුතු තත්ත්වයක්. ලේඛිකාවකට සාහිත්‍ය සමාජයේ කරළිය හිමි වෙලාව නැහැයි කියන්න බැහැ. ඒත් ලෝකයේ මහා පුරුෂයන් , යුග පුරුෂයන් මිස ‘මහාස්තී‍්‍ර’ ‘යුගස්තී‍්‍ර’ කවදාවත් බිහි වී නැහැ. අපේ භාෂාවේත් එහෙම වචන නැහැ. නමුත් මෙහෙම වෙලා තියෙන්නේ බුද්ධිමය ප‍්‍රශ්නයක් නිසා නොවෙයි. ‘මහස්තී‍්‍රය’ ‘යුගස්ති‍්‍රය’ බිහි නොවීමේ පසුබිම හදා තියෙන්නෙත් පුරුෂයා විසින්ම නිසයි.

ලේඛිකාවකට තියෙන අභියෝග විවෘතව දකින්න නැහැ. ලේඛිකාවකට පේන්න සම්මාන දෙනවා. නමුත් එසැනින්ම සූක්ෂම විදියට පුරුෂාධිපත්‍ය සියුම් ලෙස කි‍්‍රයාත්මක වෙනවා.

හොඳ (සියලු) අවස්ථා වැඩි වශයෙන් ලැබෙන්නේ පුරුෂයාට යි. මම මෙහෙම කියන්නේ කාන්තාවාදී හැඟීමකින් නොවෙයි. මෙය වූ කලී ශතවර්ෂ ගණනාවක් තිස්සේ කි‍්‍රයාත්මක වන දෙයක්.

සංඛ්‍යාත්මකව බලනවිට නියැළෙන පිරිමි ප‍්‍රමාණය මේ ක්‍ෂේත‍්‍රය තුළ වැඩියි. නමුත් මේ රටේ පාඨකයා වඩාත් ග‍්‍රහණය කර ගෙන තියෙන්නේ ලේඛකයන් ද ලේඛිකාවන් ද කියලා අපට කියන්න බැහැ. මගේ ‘සත්‍යකාම’ නවකතාව කියවා එක්තරා සිරකරුවකු මෙසේ ලියා එවා තිබුණා.

‘සිංහල නවකතාකරණයට ලේඛිකාව මහඟු සම්පතකි. ඇගේ සුපසන් භාෂා භාවිතය විශිෂ්ට ය. එනිසා ඇය විද්වත් විචාරකයන්ගේ අවධානයට ලක්විය යුතුම ය.

පුරුෂාධිපත්‍ය වසා පැතිරෙන සිංහල සාහිත්‍යය තුළ ඇය හුදකලා වීමට ඇති ඉඩකඩ බොහෝ ය... නොසලකා හැරීමට ලක්වීම අනිවාර්ය ය. ඉන් පසුනොබා තම කාර්යය ‘සත්‍යකාම’ මෙන් සත්‍යයම සොයා යමින් ඒ ගිරිදුර්ග මඟ නොනැවතී යා යුතුම ය.’

මා සම්බන්ධයෙන් පමණක් නොවෙයි අපේ ඇතැම් ලේඛිකාවන් සම්බන්ධයෙනුත් මේ ප‍්‍රකාශය වලංගුයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා