ළමා සාහිත්‍ය එක් වයසකට සීමා කරන්න බැහැ


 

ළමා සාහිත්‍ය එක් වයසකට සීමා කරන්න බැහැ

වීරකැප්පෙටිපොළ ලියූ සුසන්ත ජයනාල් පෙරේරා

ළමා කෘති හතළිහකට වැඩි ප‍්‍රමාණයක් සම්පාදනය කළ ළමා සාහිත්‍යකරුවෙකු වන සුසන්ත ජයනාල් පෙරේරා ගේ නවතම ළමා කෘතිය වන ‘කැප්පෙටිපොළ වීරයා’ ළමා කෘතිය මේ මස 26 වැනි දා එනම් හෙට හොරණ කුඩා ඔඩුව හාන්දුපැල්පොල විදුහල් ශාලාවේදී එලි දැක් වෙයි. මෙය වීර කැප්පෙටිපොල චරිතය අළලා ලියැ වූ කෘතියකි. වෘත්තියෙන් පාසල් ගුරුවරයෙකු වන සුසන්ත ජයනාල් පෙරේරා දස වසරක සිට ළමා සාහිත්‍ය කරණයේ නියැළෙයි. පහත දැක්වෙන්නේ සුසන්ත ජයනාල් පෙරේරා මෙරට ළමා සාහිත්‍ය පිළිබඳව දැක් වූ අදහස් ය.

වීර කැප්පෙටිපොල වගේ චරිතයක් මූලික කර ගනිමින් ළමා පොතක් සම්පාදනයට ඔබ කල්පනා කළේ ඇයි?

ළමා පරපුරට රටේ ඉතිහාසය අපේ ඉතිහාසය ගැන අවබෝධයක් ලබා දිය යුතුයි. මේ වෙද්දි අපේ ළමා ලෝකයේ වීරයන් වෙලා ඉන්නෙ පිටරටින් පැමිණි කාටුන් චරිත නැතිනම් චිත‍්‍රපට චරිත.

මම උත්සාහ කරන්නේ අපිටත් මේ සියළු දෙනාට වඩා උතුම් සැබෑ ජාතික වීරයෝ හිටිය කියලා අවබෝධයක් ලබාදීමටයි. මේ පොතෙන් මට ඒ අවබෝධය අපේ ළමා පරපුරට දෙන්න පුළුවන්කම ලැබිලා තියෙනවා.

මේ වෙද්දී රණවිරු සංකල්පය අපේ සමාජය තුළ තදින් කාවැදිලා තියෙනවා. ඒ නිසා කැප්පෙටිපොළ වගේ ජාතික වීරයන් ගැන පොත්පත් පළවීම ඉහළ ගිහිල්ල තියෙනවා. ඒත් මං මේ පොත සම්පාදනය කළේ එම ව්‍යාපාරික අරමුණ පෙරදැරිව නෙමෙයි.

ඔබ නිර්මාණකරණයට පිවිසීම ගැන හඳුන්වාදීමක් කළොත්..?

මං උසස් පෙළ හදාරන කාලයේ සිටම නිර්මාණකරණය පිළිබඳ ඇල්මක් උනන්දුවක් තිබුණා. මගේ නිර්මාණ ජීවිතයට ‘දිනමිණ’ කවි පිටුව විශාල පිටුබලයක් වුණා.

මට ගුරු පත්වීමක් ලැබිලා ඌව පළාතේ පස්සර ප‍්‍රදේශයේ ඉගැන්වීමට අවස්ථාව ලැබුණා. ඒ කාලයේදී තමයි මගේ මුල්ම ළමා කෘතිය ‘ රෝසමල් කුමාරි’ නමින් පළ වුණේ.

ඊට පස්සෙ මං ළමා පොත් හතලිහක් පමණ ප‍්‍රකාශයට පත් කරල තියෙනවා. මේ අතර ඉංගී‍්‍රසි භාෂාවෙන් ලියැවුණු පොත්පත් ද තියෙනවා. එයින් පොත් කිහිපයක් දෙමළ භාෂාවට ද පරිවර්තනය කරලා තියෙනවා.

වර්තමානයේ පළවෙන ළමා කෘතිවල අන්තර්ගතය හා භාෂා භාවිතය පිළිබඳව ඔබේ මතය කුමක් ද?

ළමා පරපුරට පොත්පත් ලියද්දී භාෂාව පිළිබඳ හොඳ අවබෝධයක් තිබිය යුතුයි. ඒ දේ සැලකිල්ලෙන් කළ යුතුයි. අන්තර්ගතය හුදෙක් කතන්දර ශෛලියෙන්ම තිබිය යුතු නැහැ. කතන්දර ශෛලිය තුළ පවා ආකල්පමය, චර්යාත්මක වෙනසක් ඇති කළ හැකියි.

ළමා සාහිත්‍යය ඉලක්ක කර ගත යුත්තේ සමාජයේ කුමන වයස් කාණ්ඩය ද?

මෙහිදී ළමා සාහිත්‍ය රස විදීම එක් වයස් සීමාවකට සීමා විය යුතු නැහැ. ළමා සාහිත්‍යය සමාජයේ සියලු කොටස්වලට රසවිඳීමට පුළුවන් දෙයක්. ළමා සාහිත්‍යය ළමයින් සඳහාමයි කියන අදහස මට පිළිගන්න බැහැ. ළමා සාහිත්‍යයේ සුන්දර මතකයන් ජීවිත කාලයටම අමතක කරන්න බැරි මතකයක්. ළමා සාහිත්‍යයේ වටිනාකම මේ තරම්ම ඉහළයි.

මට අවශ්‍ය කරලා තියෙන්නෙ ශිෂ්‍යත්වයට. සාමාන්‍ය පෙළට ජාතික වීරයෝ ගැන කටපාඩම් කරලා උත්තර ලියලා ඊට පස්සෙ ජාතික වීරයෝ අමතක කරන ක‍්‍රමයක් නෙමෙයි.

ළමා මනසට ජාතික වීරයෝ ගැන මතකය කා වැදිය යුතුයි. විදේශයන්ගෙන් එන කාඩ්බෝඩ් වීර චරිතවල හරයක් ගැඹුරක් නැහැ. තාවකාලික වින්දනයක් විතරයි ලබා ගන්න පුළුවන්කම තියෙන්නෙ. අපිට අනාගතයේදී ගෝඨාභය රාජපක්ෂලා, සරත් ෆොන්සේකා වගේ වීරයෝ ගැනත් කෘති ලියන්න වෙයි.

‘කැප්පෙටිපොල වීරයා’ එළිදැක්වීම සඳහා ඔබ තෝරාගෙන ඇත්තේ ගම්බද කුඩා පාසලක්. ඒ පිළිබඳව කතා කළොත්..?

හොරණ කුඩාඔඩුව හාන්දුපැල්පොල තමයි මං දැනට සේවය කරන පාසල. ඉතිං මම හිතුවා මෙවැනි ගම්බද පාසලක පොත එළිදැක්වීම මේ දරුවන් වෙනුවෙන් කරනු ලබන අධ්‍යාපන කාර්යභාරයක් කියලා.

 ඒ වගේම මේ අය බොහෝ ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දෙන දරුවෝ. බෑග් එකක්, සපත්තු දෙකක්, ඇඳුමක්, කෑම වේලක් නැතිවයි ඇතැම් ළමයි පාසලට එන්නේ.

ඉතිං මේ උත්සවයේදී ලැබෙන සියලු මුදල් යොදවා මේ අසරණ ළමයි වෙනුවෙන් සුබසාධන අරමුදලක් ආරම්භ කරන්න මං බලාපොරොත්තු වෙනවා.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා