යුද මුක්ත කලාපයේ කඳුළු කතාව


 

යුද මුක්ත කලාපයේ කඳුළු කතාව

රණ බිමට ජය ගොස කැන්දු රණ විරුවන්ගේ එඩි බලය පිළිබඳ තතු සැණින් අප වෙත සමීප කරනු ලැබුවේ ඔවුන් ය. යුද පෙරමුණේ සිටිමින් රුදුරු යුද්ධයේ බිහිසුණු බවත්, සතුරා පරාජය වී පලා ගිය ආකාරයත් සොයා ගත් අවි ආයුධ පිළිබඳත් නිරන්තරයෙන් අප දැනුම්වත් කළ ඔවුහු ශ‍්‍රී ලාංකේය විද්‍යුත් මාධ්‍ය භූමිකාවට නොමැකෙන මතක සටහන් එක් කළහ. ජීවිතය හා මරණය අතර ද්වන්ධ සටනක නිරත වෙමින් පෙළහර පෑ ඔවුන් අත් විඳි අමතක නොවන සටහන් මෙපමණකැයි කිව නොහැකිය. කැමරා කාචයට හසු නොවුණ තමා ලද අත්දැකීම් සමුදායෙන් බිඳක් ස්වාධීන රූපවාහිනී සේවයේ සුජිත් විතානපතිරණ මෙසේ හෙළි කරයි.

57 වැනි සේනාංකයෙ මේජර් ජෙනරාල් ජගත් ඩයස් ගෙ කාර්ය භාරය වන්නි මෙහෙයුමේ ජයග‍්‍රහණයට සෑහෙන හේතුවක් වුණා. කිලිනොච්චියෙ ඉඳන් අවසන් ජයග‍්‍රහණය දක්වාම කොටින්ව මානසිකව වැට්ටුවෙ මේ අය.

කිලිනොච්චි වැටිල්ලත් එක්ක එල්.ටී.ටී.ඊ ය අරමුණක් නැති සංවිධානයක් බවට පත් කරන්න මේ අය කටයුතු කළා. එල්. ටී. ටී. ඊ යට අග නගරයක් නෑ, ඊළාම් රාජ්‍යයක් කරගෙන යන්න බෑ කියන එක ලෝකය හමුවට ගෙන යන්න මේ නිසා හැකි වුණා.

අපි මෙතෙක් කාලයක් කළේ මෙහෙයුම්වල සුවිශේෂී ප‍්‍රවෘත්තියක් අරගෙන ඒක රටට ම දුන්න එක. ඒත් මේ පැත්තට ආවට පස්සෙ වසර ගණනාවක් පුරා රාජ්‍ය නොවන සංවිධාන කළේ මොනව ද කියලා අපි දැක්කා.

රජයේ පාසල් හැරුණහම මේ අය ගිය හැම තැනක ම තිබුණෙ පොල් අතු වහල ගහපු පාසල්. මේ ප‍්‍රදේශයේ ජීවත් වුණු මිනිස්සු අති බහුතරය දුප්පත්. වසර 30 ක් රාජ්‍ය නොවන සංවිධාන මේ මිනිස්සු වෙනුවෙන් කළ කිසිම සංවර්ධන ව්‍යාපෘතියක් දැකගන්න ලැබුණෙ නෑ.

ඒ පැත්තට ගියහම දැක්කෙ විශාල මැෂින්වලින් පිරුණු බෝම්බ කම්හල්. මැෂින් කරේ තියාගෙන ඕමන්තෙ ඉඳන් කොටි ආවෙ නැහැනෙ. එහෙනම් මේ වැඩවලට උදවු කළේ කවුද කියලා තේරුම් ගන්න පුළුවන්.

මේවා දැක්ක මගේ මුඛ්‍ය අරමුණ වුණේ රාජ්‍ය නොවන සංවිධානවලට ගහනවා කියන එකයි. ඒ විදිහට මාධ්‍ය ආවරණ කටයුතු කළ එක ම මාධ්‍යවේදියා වුණේ මං. වෙන කිසිම මාධ්‍ය ආයතනයක් රාජ්‍ය නොවන සංවිධානවලට ගැහුවෙ නෑ.

මේ සියල්ලම වාර්තාකරණය කරගෙන ආවට පස්සෙ යුද මුක්ත කලාපෙදි අපට අමුතුම මාධ්‍ය භූමිකාවක් අනුගමනය කරන්න සිද්ධ වුණා. මෙතෙක් කාලයක් අපි කතා කළේ ‘බීබීසී’, ‘සීඑන්එන්, ‘අල්ජසීරා’ වගේ විදෙස් මාධ්‍ය යුද්ධය ආවරණය කරන විදිහ ගැනයි.

 අපි ඒවා බලලා හරි පුදුමයෙන් කතා කළා. ඉරාක යුද්ධය ආවරණය කරද්දි අපි විදෙස් මාධ්‍යයේ හැකියාව ගැන බලාගෙන හිටියා. ඒත් අපි, අපට අවශ්‍ය මාධ්‍ය රටාවක් ගොඩ නගා ගත්තෙ නෑ.

මේ අවස්ථාවෙදි අපි යුද්ධය ආවරණය කරන්න ගියා. ඒ අයට වගේ ම අපටත් දෙයක් ඊට වඩා හොඳට කරන්න පුළුවන් කියලා පෙන්නුවා. විදෙස් මාධ්‍යවලට උපරිම තාක්ෂණයක් තියෙනවා.

කැමරා තාක්ෂණය ප‍්‍රබලයි. ඒත් මේ පුංචි දුප්පත් රටේ තියෙන මාධ්‍ය ආයතන හරි දුප්පත්. අපට තියෙන්නෙ මීටර් 600 ක් වගේ දුර හසුකරගත හැකි කැමරා. ඒත් ඒ අයට කි. මී. 3 ක් විතර දුරට රූපගත හැකි කැමරා තියෙන්නෙ.

අපි ඒගොල්ලො වගේ දුර ඉඳන් නෙමෙයි රූගත කළේ. එල්.ටී.ටී.ඊ එක ගහන්නෙ මෙහෙමයි කියලා ලයින් එකට ගිහින් සජීවීව ඒවා පෙන්නුවා. අපි අපේ මාධ්‍ය කලාවට ඒ විදිහට අලුත් ගැම්මක් එක් කළා. අපි අලුත් දෙයක් කළා කියලා අපට සතුටක් තිබෙනවා.

අපි ලැබුවෙ අමුතු, අලුත්, දරුණු අත්දැකීමක්. යුද හමුදාව මාස ගණනක් පුහුණුවෙලා යුද්දෙට යන්නෙ. ඒත් අපට පුහුණුවීම් නෑ. හැබැයි අපිත් අවසාන වශයෙන් ගිහින් වැටුණෙ යුද හමුදාවට.

එහෙ ගිහින් මාස දෙකක් විතර ගියාට පස්සෙ අපිත් යුද හමුදාව වගේ වුණා. බූට් දාලා, ‘ලයින්’ එකට යනවා. හැමදේම කන්නෙ බොන්නෙ ලයින් එකේ ඉඳන්.

ඒත් අපි මානසිකව වැටුණ වාර අනන්තයි. ඒ මැරෙන්න බයට නෙමෙයි. එල්ටීටීඊ සිරුරක් දැක්කත් අපි මානසිකව වැටුණා. මේ ඉන්නෙත් මිනිස්සුනෙ කියලා හිතුණා.

අපි අපේ මාධ්‍ය ආවරණ කටයුතු කළේ අපේ ම කැමරාකරුවෙක් සමඟ ම ලයින් එකට ගිහිනුයි. සමහර අයට නම් හමුදාවෙනුයි, කමාන්ඩෝ එකෙනුයි කැමරාකරුවන් දෙදෙනෙක් දීලා හිටියා.

හමුදාවට කොහොමත් ‘ලයින්’ එකට යන්න පුළුවන්. හමුදාව ගන්න දර්ශන, කොහේ හරි තියෙන රූපවාහිනී නාළිකාවකින් විකාශය කරන එක මහ ලොකු දෙයක් නෙමෙයි. මහ ලොකුවට කතා කළ යුතු ජයග‍්‍රහණයක් නෙමෙයි. එහෙම කරන්න ඕන නම් අපට වික‍්‍රමසිංහපුරයේ ඉඳන්ම කරන්න තිබුණා. වන්නියට යන්න ඕනෙ නෑ. ඒත් අපට ඕන දේ අපට ඕන විදිහට ගන්න ඕන නිසා අපි යුද පෙරමුණට ගියා. මං හිතන්නෙ එහෙම ලයින් එකට ගිය මාධ්‍ය කණ්ඩායම කළේ ජයග‍්‍රාහී කටයුත්තක් කියලයි.

යුද පෙරමුණේ දී මේ පැත්තෙන් එල්.ටී.ටී.ඊ යටත්, ඒ පැත්තෙන් හමුදාවටත් මාරු වුණ හැම උණ්ඩයක් අතර ම තිබුණෙ වෛරය. හැබැයි අපේ හමුදාව කවදාවක්වත් සාමාන්‍ය ජනතාවට හිරිහැර කළේ නෑ. ඒ අයට කුමන අයුරකින්වත් ප‍්‍රහාර එල්ල කළේ නෑ.

ටෙරා සහ අපේ හමුදාව අතර වෙනස පැහැදිලිව දකින්න පුළුවන් වුණේ ඒ විදිහටයි. අපේ සොල්දාදුවො ළඟ මනුස්සකම තිබුණා. ඒ බව ඒ ප‍්‍රදේශයේ මිනිස්සුත් තේරුම් ගත්තා.

“අනේ දෙවියනේ, බුදු මහත්තයෝ අපිව බේර ගන්න”

අසරණ මිනිසුන්ගේ විලාප හඬ ඕනෑම යකඩ හිතක් කම්පිත කරවීමට සමත්ය. අතොරක් නැතිව ගලා එන ජන ගඟ දුටුවිට, කළපු මැදින් දරු පැටවුන් එල්ලාගෙන එන මිනිසුන්ගේ දුක්බර මුහුණු දකින විට, රූපවාහිනී තිරය ඉදිරියේ සිටි බොහෝ මිනිසුන් දුකට පත් විය. ඒ දසුන් අප වෙත ගෙන ආ සුජිත්, යුද මුක්ත කලාපයේ දී මේ සියල්ල සියැසින් දැකගත් අයෙකි. මේ ඔහු කියන කතාවයි.

“යුද මුක්ත කලාපයේ සිද්ධ වුණේ වෙනම ම සිදුවීමක්. යුද හමුදාව යුද මුක්ත කලාපෙට ගහනවා කියලා අන්තර්ජාතික වශයෙන් විශාල ප‍්‍රචාරණයක් ගෙන ගියා. එතන්දී අන්තර්ජාතික වශයෙන් පීඩනයක් ආවා.

ඒක යුද්ධය අවසානයක් කරා ගෙන යාමට නොහැකි වන ආකාරයෙන් බලපෑමක්. මේ අසත්‍ය ප‍්‍රචාරවලට විරුද්ධව උත්තරයක් දෙන්න පුළුවන් සාක්කිකරුවන් විදිහට හිටියේ මේ ප‍්‍රදේශයට ගිය මාධ්‍යවේදීන් පිරිස විතරයි. මම හිතන විදිහට අන්තර්ජාතික පීඩනය සියයට 90 ක් විතර නැති කරන්න අපේ රටේ මාධ්‍යයන්ට හැකිවුණා.

අපි යුද මුක්ත කලාපයෙන් ගත්ත පින්තූර පෙන්නුවා. මේ මිනිස්සු හමුදාවට වැන්දා. වැඳලා කිව්වා. ‘අපිව බේර ගන්න’ කියලා. අවසාන මොහොතේ මේ ප‍්‍රදේශයේ මිනිස්සු දැන ගත්තා තමන්ව බේර ගන්න ඉන්න එක ම දෙවියා යුද හමුදාව බව.

ඒ හරහා අපට ජාත්‍යන්තරයට කියන්න පුළුවන් වුණා යුද මුක්ත කලාපෙ ඉන්නෙ එල්ටීටීඊය එපා වුණු මිනිස්සු ටිකක්. ඒ අයව බේර ගන්න ඕනෑ කියලා. මේ මිනිස්සු ටික ගත්තේ නැත්නම් මේ යුද්ධය මීට වඩා හාත්පසින්ම වෙනස් වෙන්න තිබුණා. ප‍්‍රභාකරන්ගේ ජීවිතයට උපරිම ආරක්ෂාව ලබා ගන්නත් ඉඩ තිබුණා.

සරණාගත පිරිස ආවෙ කරුවලේ. එතන්දී ලොකු අභියෝගයක් තිබුණා මේ එන්නේ ටෙරා කණ්ඩායමක්ද? සිවිල් පිරිසක්ද කියලා. එන පිරිස තුවාල ලබලා තිබුණෙ ඉස්සරහින් නෙමෙයි පිටි පස්සෙන්. එක වයසක මනුෂ්‍යයෙක්ගේ පිටිපස්සට මෝටාර් එකක් වැදිලා කෑල්ලක් ගැලවිලා ගිහින් තිබුණා. අපි දුටු ඒ ඇත්ත සාක්ෂි සහිතව රටට ම පෙන්නුවා.

යුද මුක්ත කලාපෙට එන අවසාන මිනිස්සු ටිකත් අරගෙන, එල්ටීටීඊය ඒ අයට ගහන බව මේ මිනිස්සුන්ගේ කටින් ම කියෙව්වා. මෙතන්දී තමයි සටන් පෙරමුණේ සාර්ථකත්වය මාධ්‍යයේ අවශ්‍යතාව කොයි තරම් ද කියන එක හොඳින් ම පැහැදිලි වුණේ. මෙහිදී රාජ්‍ය සහ පෞද්ගලික නාලිකා සියල්ල උපරිම වගකීමෙන් යුතුව කටයුතු කළ නිසා පැන නැගුණු ප‍්‍රශ්නවලට සාධාරණය ඉෂ්ට කරන්න පුළුවන් වුණා.

ප‍්‍රභාකරන්ගේ මළ සිරුර දුටු පළමු සිවිල් වැසියා- හෙට ‘දිනමිණ’ කියවන්න

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා