වැලි කුණාටුවකට හසු වුනෙමි

 
 

වැලි කුණාටුවකට හසු වුනෙමි

ප්‍රේක්ෂක ඔබ රාතී‍්‍ර 8.00 වන විට දෙරණ රූපවාහිනී නාළිකාව ඉදිරිපිට සිට පුල පුලා බලාසිටින්නේ උතුර-නැෙඟනහිර මානුෂීය මෙහෙයුමේ සැබෑ තත්ත්වය දෑසින් දැක බලා ගැනීම සඳහායි. යුධ භූමියක යථාර්ථය, සොල්දාදුවන්ගේ වීරත්වය, සතුරාගේ පරාජය, උතුර-නැෙඟනහිර සහෝදර ජනතාව විඳී දුක් ගැහැට.... මේ සියලු දෑ ඔබට නැවුම් අත්දැකීමක් වූවාට සැක නැත. යුධ භූමියේ සැබෑව ටෙලි විෂන් මාධ්‍යයෙන් පෙ‍්‍ර්ක්ෂක ඔබට රැගෙන ආ දෙරණ නාළිකාවේ අශෝක වීරසිංහත්, සම්පත් සේරසිංහත් විඳී අත්දැකීම් හි සැබෑව ඔබ දුටුවේ නැත. අශෝක වීරසිංහ දෙරණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රවෘත්ති සංස්කාරකවරයායි. ඉදින් පුවත්පත් පිටුවක මේ පෙළ ගැසෙන්නේ අශෝක වීරසිංහ ඔබ හමුවේ හෙළි කරන ඔහු විඳී අත්දැකීමක සටහනයි.

කෆීර් යානා වියළි සුළං කපා කඩොලාන පරිසරයට ඉහළින් ඇදී ගියේ ය. හඬ සවන්පත් බිහිරි කරවන සුළු ය. වීඩියෝ කැමරා ශිල්පී සම්පත් සේරසිංහ සියල්ල වීඩියෝ ගත කරමින් සිටියේ ය.

කෆීර් යානාවල ඉලක්ක නිවැරැදි ය. ප‍්‍රහාර එල්.ටී.ටී.ඊ.ය ස්ථානගතව සිටි තැනට පතිත විය. කළපුවට ඉහළ අහස දිග කිරලුන් ඇවිස්සී ගෙන ය.

ස්වල්ප වේලාවකට පසු අළු පැහැ දුම්රොටු තඹ පාට අහස සිප ගනිමින් තිබුණි. කිරලුන් ඒ දුම් රොටු අතර සැඟව ගත්තේ ය. අහස පැහැදිලි වීමට තව බොහෝ වේලා ගතවනු ඇත.

සම්පත් සේරසිංහත්, මාත් සිටි සීමාව එල්.ටී.ටී.ඊ.යේ කොටි ඇසට හසුව තිබූ ස්ථානයකි. එම ස්ථානය ඔවුන්ට හොඳින් දර්ශනය වූ තැනෙකි. අප සිටි බංකරය සෑදීමට ගියේ පැය කාලක් තරම් සුළු වේලාවකි. සිල්පර කොට තුනක් හරස් අතට දා හමුදා සෙබළුන් අප සඳහා බංකරය තනා දුනි. එහෙත් එය ආරක්ෂාකාරී එකක් නොවුණි. ඒ බව අපට හැඟී ගියේ පසුව ය.

සටන දිගට ම පැවැතෙමින් තිබුණි. වීඩියෝ කැමරා ශිල්පියාගෙත් මගෙත් අවධානය යොමුව තිබුණේ ඒ දෙසට ය. හමුදාව මීටර් සියය තීරුව දිග ගමන් කරමින් සිටියහ. ඉන් එහා මනරම් කළපුව පිහිටියේ ය. කඩොලාන වැටිය අන්ධකාරයට වැසෙමින් තිබුණි. කළපු දිය නිසොල්මන්ය. කිසිදු ශබ්දයක් නැත. එහිදිය කැලැත්තෙන හඬ පවා නොඇසෙයි. ඒ උස් හඩින් පැවැතෙන සටන් නිසා ය.

කළපු දිය කැළැතිනි. කිරළකු දෙන්නෙකු ගේ ඇඟ කිළිපොලා යන හඬ ඇසෙයි. හමුදාවන් ගේ බූට් සපත්තුවලින් කළපු ජලයේ දිය වළලූ සෑදී ඒවා කඩොලාන පිරි ඉවුරු දක්වා ගොස් අතුරුදන් විය.

එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් එල්ල කරන ලද මෝටාර් ප‍්‍රහාරයක්. අප සිටි සීමාවෙන් ඔබ්බට පතිත වූයේ මේ අතර ය. එය වැටුනේ අප සිටි තැනට මීටර් සියයක් දුරිනි. ඉන් අපි මහත්සේ බියට පත් වුනෙමු. යුද්ධ භූමියක පවතින අවදානම පිළිබඳව වඩ වඩාත් අපට දැනෙන්නට පටන්ගෙන තිබිණි.

සුදු පැහැති වැලි පොළොවේ පතිත වූයේ මිලිමීටර් 81 වර්ගයේ මෝටාර් එකකි. වහා ආරක්ෂිත ස්ථානයකට යා යුතු බව අපට හැඟුණි. ඒ සඳහා අපි වටපිට බැලුවෙමු. අපේ නෙත්වලට හසු වූයේ වැලි කඳු ප‍්‍රදේශයකි.

අපි වහා වැලි කඳු අතර සැඟව ගතිමු. මිලිමීටර් 81 වර්ගයේ පිපිරීගත් මෝටාර් කැබැලි අපේ හිසට ඉහළින් විසිර යමින් තිබුණි.සටන් පවතින භූමියක යථාර්ථය පේ‍්‍රක්ෂක ඔබට සමීප කරන්නට අප ගත් තීරණය සරල වුව අප දැන් අත්විඳින්නේ එහි අවදානමයි. වැලි කඳු අතර අපි පහත්ව සිටියෙමු. මෙහි සිටීම ද අවදානාත්මක ය.

ඒ වැලි කඳු සහිත භූමිය විවෘත ප‍්‍රදේශයක් බැවිනි. වේලාව පස්වරු 6.00 ට පමණ හෝ ඊට ආසන්නව ඇත. අප වහා වෙනත් ස්ථානයක් කරා යා යුතුව ඇත. ඒ විවෘත ප‍්‍රදේශවල සිටීම භයානක බැවිනි.

මාත්, වීඩියෝ කැමරා ශිල්පී මා මිත‍්‍රයාත් කැලෑවට පැන ගතිමු. එය කුඩා කැලෑවකි. වැඩි වශයෙන් එහි ඇත්තේ කටු පඳුරු සහිත ශාකයන් ය.

අපි ඒ ප‍්‍රදේශයේ සිට කළපුව සීමාව වීඩියෝගත කළෙමු. අපි ඉදිරිපසින් සිටියේ 55 වැනි සේනාංකයේ සෙබළ පිරිස ය. ඔවුහු 12.7 බර අවිවලින් සහ ආර්.සී.එල්. බර අවිවලින් ප‍්‍රහාර නිකුත් කරමින් සිටියහ. මම කුඩා බංකුවක හිදගතිමි.

මා ඉදිරිපසින් සිටි හමුදා සෙබළාගේ අත වූයේ ආර්.සී.එල්. වර්ගයේ අවියකි.

අන්ධකාරය, සුන්දර වෙරළ තීරයත් කළපුවත් වේගයෙන් ගිල ගනිමින් පවතියි. විටින් විට එළි පිපෙයි. ඒ එළි මල්වෙඩි මෙනි. එහෙත් ඒ සුන්දරත්වයෙහි ඇත්තේ මරණයේ සෙවනැලි ය. මරණයේ ඉඟි බිඟි ය.

එක්වර ම මගේ දකුණුපස කන ළඟින් විශාල වැලි පදාසයක් ඉඟිල ගියේ ය. මම වහා හිටි තැන පහත් වුනෙමි. කිසිවක් සිතා ගන්නට නොහැකි විය. එය වැලි කුණාටුවක් හෝ මෝටාර් එකක් හෝ විය හැකි ය. ඉඟිල ගිය වැලි පදාසය මට පිටුපසින් පොළොවේ පතිත විය.

සටන පවතියි. එහෙත් සියල්ල නිහඬතාවයක ගිලී ඇති බවක් මට හැඟිනි. මම වහා නැගිට සිදුවූයේ කුමක්දැයි යන්න පිළිබඳව මෙනෙහි කරන්නට පටන් ගතිමි.

සිදුවූයේ කුමක්දැයි යන්න ගැන තේරුම් යෑමට ප‍්‍රථමත් මාගේ ප‍්‍රකෘතිය නැවැතත් පැමිණීමට ප‍්‍රථමත් සිද්ධ වූ දෙය අනාවරණය විය. ඒ සමඟ ම මා වටා සිටි පිරිස වෙතින් ආ සිනහව දැනුදු මට මතක් වේ. ඒ සිනහව මා වෙත පැවැති කම්පනය පළවා හැරියේ ය.

කුඩා තණ පඳුරක් , වැලි සහිත පස් පදාසයක් ගැල වී ගියේ මට ඉදිරිපසින් සිටි හමුදා සෙබළා ගේ ආර්.සී.එල්. නම් අවි වර්ගයෙන් පිටවූ බැක් ෆයර් එක නිසා ය. එයට හසු වුවහොත් අසු වූ ස්ථානය විනාශයට පත්වන බවත්, පිච්චි යන බවත් හමුදා සෙබළකු ප‍්‍රකාශ කර සිටියේ ය.

එල්.ටී.ටී.ඊ. සංවිධානය බංකර් සාදා ඇත්තේ ඉතා ආරක්ෂාකාරී වූත්, සූක්ෂම වූත් ආකාරයකටය. බංකරයේ පහළින් ම ඇත්තේ බෝට්ටුවකි.

එයට ඉහළින් සිමෙන්ති කොන්කී‍්‍රට් කණු හෝ තල් කොට හෝ දමා ආවරණය කොට ඇත. ඊටත් ඉහළින් ඇති පස් බැමි අඩි 12 ක් පමණ උස ය. එල්.ටී.ටී.ඊ.කරුවන් ඇත්තේ පහළම ඇති බෝට්ටුවේ ය.

මේ ක‍්‍රමය නිසා ඔවුනට දැඩි ආරක්ෂාවක් ලැබේ. තුවාලයක් හෝ වන්නේ කලාතුරකිනි. අප එවන් වූ බංකර චලෙයි ප‍්‍රදේශයේ දී දුටුවෙමු. ඒ සෑම අත්දැකීමක් ම මම මගේ නෝට් බුක් එකේ සටහන් කරගත්තේ සටන ජයගත් සෙබළකු ගේ විලාසයෙනි.

අප සිටි දිශාවට පැමිණි සන්නාහ සන්නද්ධ රථ හෙට ‘දිනමිණ’ කියවන්න

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා