තොටළඟ බෝම්බයෙන් එජාපයේ ප‍්‍රබලයෝ රැසක් ඝාතනය කෙරෙති


 

තොටළඟ බෝම්බයෙන් එජාපයේ ප‍්‍රබලයෝ රැසක් ඝාතනය කෙරෙති

ගාමිණී,ඔසී ඇතුළු 60ක් බිලි

පෙ‍්‍ර්මදාස මහතාගේ ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරය තුළ ගාමිණී දිසානායක මහතා විශාල සේවයක් කෙළේ ය. ජනාධිපතිවරණයෙන් පේ‍්‍රමදාස මහතා ජය ගත්තේ ය. එහෙත් දිසානායක මහතාට අගමැතිකම ලැබුණේ නැත.

පේ‍්‍රමදාස - ගාමිණී විරසකය තවත් ඔඩු දිවු අතර දිසානායක මහතාට අමාත්‍යංශයක් වශයෙන් හිමි වනුයේ ද වැවිලි කර්මාන්ත අමාත්‍යංශයයි.

මේ වන විට වැවිලි ක්ෂේත‍්‍රයේ යම් අර්බුද මතු වී පැවැතිණි. ලැබෙන ආදායම ද පහළ වැටිණි. මේ නිසා වතු කම්කරුවන් මෙන් ම සේවකයන් ද පීඩනයට ලක්ව සිටියේ ය. මෙලෙස පැවැති ගැටළු එකින් එක නිරාකරණය කිරීමට දිසානායක මහතා කටයුතු කරන්නට විය.

මේ අතර ආණ්ඩුව අමාත්‍ය මණ්ඩල සංශෝධනයකට සුදානම් විය. මෙලෙස අමාත්‍ය මණ්ඩල සංශෝධනය ළංවෙමින් පවතින විට අමාත්‍ය මණ්ඩල රැස්වීමක දී පේ‍්‍රමදාස ජනාධිපතිවරයා සහ දිසානායක මහතා අතර වාදයක් ඇති විය. ටයිම්ස් පුවත් පතේ පළ වූ වාර්තාවක් සම්බන්ධයෙන් ඇති වූ මේ වාදය උණුසුම් එකකි.

’’මම දන්නවා ටයිම්ස් එකට ඕවා දෙන්නේ කවුද කියලා’’

ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේය.

රජයක වගකීම

’’ඒ පත්තරේ කියා තිබුණු ඇමැතිවරයා මම යි. මං කොහොමටත් මනුෂ්‍ය ඝාතනවලට විරුද්ධයි. ජනතා විමුක්ති පෙරමුණ මිනී මැරුවා කියලා එකට එක කරන එක නොවෙයි රජයක වගකීම වන්නේ. ඒක මර්ධනය කළ යුතුයි. ඒත් එය කළ යුත්තේ මිනී මරා නොවෙයි. මිනී මැරුම් සංකල්පයට මං තරයේ විරුද්ධයි’’ යනුවෙන් දිසානායක මහතා කීවේ රැස්ව සිටි අමාත්‍යවරුන් බලා සිටිය දී ය.

1990 මාර්තු 30 වෙනිදා එලැඹි අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ දී ගාමිණී දිසානායක මහතාට අමාත්‍ය ධූරයක් හිමි වුයේ නැත. මේ අතර ගාමිණී දිසානායක මහතා කේම්බි‍්‍රජ් විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා පිටත් විය. විදේශගතව සිටින කාලය තුළ ගාමිණී දිසානායක මහතාට එරෙහිව ප‍්‍රධාන චෝදනා ගණනාවක් එල්ල විය.

1989 වසරේ සිදු වූ මහාචාර්ය රැල්ෆ් බුල්ජන්ස් මහතා පැහැරගෙන යාමේ සිදු වීම සම්ධන්ධයෙන් චෝදනා එල්ල වී තිබුණේ ගාමිණී දිසානායක මහතාට ය. එමෙන් ම ඊශ‍්‍රායල බුද්ධි ආයතනයක් වූ මොසාඩ් සංවිධානයට සුඛමය කටයුතු සඳහා මහවැලියේ මුදල් ලබා දුන් බවට ද චෝදනාවක් එල්ල විය. එල්ල වී පවතින චෝදනාවලට පිළිතුරු දීමට ගාමිණි දිසානායක මහතාට අවශ්‍ය වූ අතර ඒ සඳහා ඔහු ශ‍්‍රී ලංකාවට පැමිණියේ ය.

ශ‍්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව දිසානායක මහතා තමන්ට එල්ල වූ චෝදනාවලට පිළිතුරු දෙන්නට විය. මේ අතර ම ඔහු රැල්ෆ් බුල්ජන්ස් මහතා ගේ සිදු වීම හා සම්බන්ධයෙන් තිබූ නඩුවෙන් නිදහස් විය.

බෝම්බය පුපුරා ගිය ස්ථානය

මොසාඩ් කොමිසමෙන් එල්ල වූ චෝදනා වලින් ද ඔහු ජය ගත්තේ ය. මේ සමඟ ම ලලිත් අතුළත්මුදලි, ගාමිණී පේ‍්‍රමචන්ද්‍ර, සමරවීර වීරවන්නි වැනි එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් ගාමිණි දිසානායක මහතාට සහය ලබා දීමට පෙළඹිණි. මේ සමඟ ම ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට කටයු‍්‍රතු කෙරිණි.

දෝෂාභියෝගය

මෙහි දී දෝෂාභියෝගයට ලක් කිරීමට තුඩු දුන් තත්ත්වයක් වූයේ ජනාධිපතිවරයා ගේ ශාරීරික හා මානසික දුර්වලත්වය, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සිතා මතා උල්ලංඝනය, රාජද්‍රෝහී කි‍්‍රයා ආදියයි.

 එමෙන් ම අවි ආයුධ සැපයීම ඇතුළුව එල් . ටී. ටී. ඊ සංවිධානය සමඟ පේ‍්‍රමදාස ජනාධිපතිවරයා පැවැත් වූ ගනු දෙනු ද ප‍්‍රමුඛ විය.

කෙසේ වුවත් පෙ‍්‍ර්මදාස මහතාට දෝෂාභියෝගයෙන් හානියක් වුයේ නැත. ඔහුට ජනාධිපති ධූරයේ තව දුරටත් රැඳී සිටි අතර ලලිත්, ගාමිණී, පේ‍්‍රමචන්ද්‍ර යන මහත්වරුන්ට සිදු වුයේ එක්සත් ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ පිිහිටුවා ගෙන තම ඉදිරි කටයුතු කිරීමට ය. පසුකාලීනව 1993 අප‍්‍රියෙල් 23 දින ලලිත් ඇතුළත්මුදලි මහතා ඝාතනය විය.

ගාමිණී දිසානායක මහතාගේ දේහය චිතකය කරා...

සතියක් ගත වෙත් ම ජනාධිපති රණසිංහ පෙ‍්‍ර්මදාස මහතා ද මරාගෙන මැරෙන මිනිස් බෝම්බයකට බිලි විය. පසුව ජනාධිපති ධූරයට පත් වූ ඩී. බී. විජේතුංග මහතා ඇතුළු පිරිසක ගේ උත්සාහයේ ප‍්‍රතිඵලයක් ලෙස ගාමිණී දිසානායක මහතා ඇතුළු පිරිස එක්සත් ජාතික පක්ෂයට එක් වූහ.

මේ අතර 1994 අගෝස්තු පැවැති මහමැතිවරණයෙන් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අග‍්‍රාමාත්‍ය ධූරයට පත් විය. පසුව 1994 නොවැම්බර් මාසයේ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත විය.

ගාමිණී දිසානායක මහතා ගේ ආගමනයත් සමඟ ම එජාපය තුළ ප‍්‍රබල අභ්‍යන්තර අර්බුදයක් ඇති විය. ඒ රනිල් වික‍්‍රමසිංහ මහතා සහ ගාමිණී දිසානායක මහතා අතර ය. එයින් ද ජය ගත් ගාමිණී දිසානායක මහතා එජාපයේ ජනාධිපති අපේක්ෂයා ලෙස තරඟ බිමට පිවිසියේ ය.

ගාමිණි දිසානායක මහතා පළමු වරට මැතිවරණකට ඉදිරිපත් වුයේ 1970 වර්ෂයේ ය. එහි දී එම ජයග‍්‍රහණයට එරෙහිව මැතිවරණ පෙත්සමක් ඉදිරිපත් විය.

අපහාස සිදු වීමක් පදනම් කරගෙන එල්ල වුණු මේ පෙත්සම නිසා ගාමිණි දිසානායක මහතාගේ මන්තී‍්‍ර ධූරය අහෝසි විය. මේ සමඟම 1971 ඔක්තෝම්බර් මාසයේ අතුරු මැතිවරණයක් නුවරඑළිය ආසනයට පැවැත්වීමට නියමිත විය. අතුරු මැතිවරණයට සමඟි පෙරමුණු මෙන් ම එජාපය ද ප‍්‍රබල සටනක් දුන්නේ ය.

මෙහි දී ගාමිණී දිසානායක මහතාගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ජේ. ආර්. පී සුරියප්පෙරුම, ජීී. එම්. පෙ‍්‍ර්මචන්ද්‍ර, රයිටර් තිලකරත්න යන මහත්වරු සහය දැක්වීමට ඉදිරිපත් විය.

1994.10.25 ‘දිනමිණ’ පුවත්පත

මේ මැතිවරණ ව්‍යාපෘතියත් සමඟ ම ජී. එම්. පෙ‍්‍ර්මචන්ද්‍ර මහතා ගාමිණී දිසානායක මහතාට වඩාත් සමීප විය. එතැනින් ඇරැඹුණු ඒ සමීපතාව ඔවුන් මිය යන තෙක් ම එලෙසින් ම පැවැත්විණි. 1971 අතුරු මැතිවරණයේ දී ගාමිණී දිසානායක මහතා, ජී. එම්. පෙ‍්‍ර්මචන්ද්‍ර සහ තවත් පිරිසක් සමඟින් රැස්වීමක් අවසන් කර පැමිණෙමින් සිටියේ ය.

අතර මඟ දී විරුද්ධ පාක්ෂිකයෝ රැසක් පැමිණ ඔවුන් ගමන් ගත් වාහනය වට කළහ. මේ සමඟ ම තමන්ට පහර දේවි කියන සැකයක් දිසානායක මහතා ඇතුළු පිරිසට තිබුණි. එහෙත් ආරක්ෂාව සඳහා භාවිතයට ගැනීමට වත් කිසිදු ආයුධයක් නොතිබිණි. තත්ත්වය එන්න එන්න ම උණුසුම් වෙද්දි ප්‍රේමචන්ද්‍ර මහතා අතට යමක් ගෙන වාහනයෙන් බිමට පැන කෑ ගසන්නට විය.

තවත් ඉස්සරහට අවොත් තොපිට වෙඩි තියෙනවා. දුවපල්ලා නැත්නම් තොපිට වෙඩි තියනවා යැයි නැවත කෑ ගසන්නට විය.

බිය වූ පිරිස ද අසල වූ කැලෑබද පෙදෙසට පැන ගියේ මර බයේ ය. ඒ සමගම පෙ‍්‍ර්මචන්ද්‍ර මහතා වාහනයට නැංගේය. ඔහු අත වූයේ කොඩි කණුවකි. එය දුටු දිසානායක මහතා ඇතුළු පිරිසට මහ හඩින් හිනා ගියේ වට වී සිටි පිරිස දිවු හැටි ද සිහියට නැගෙමිනි.

1977 දී පාර්ලිමේන්තුවට තේරී පත් වූ ප්‍රේමචන්ද්‍ර මහතා 1983 දී මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා විය. 1990 දී කම්කරු හා වෘත්තීය පුහුණු ඇමැතිවරයා බවට පත් විය. දෝෂාභියෝගයක් සමඟම ඔහු ද පාර්ලිමේන්තුවෙන් ඉවත් කෙරුණු අතර පසුව ප‍්‍රජාතන්ත‍්‍රවාදී එක්සත් පෙරමුණට එක් වන ඔහු එහි මහලේකම් ධූරයට පත් විය. පසුව 1993 පළාත් සභා මැතිවරණයේ දී වයඹ මහ ඇමැතිවරයා ලෙසට ද පත් විය.

තොටළඟ බෝම්බ ප‍්‍රහාරයෙන් එජාපයේ සිටි "ගාමිණී" ලා තිදෙනෙක් ඔවුනට අහිමි විය. ඒ ගාමිණී දිසානායක, ගාමිණී පෙ‍්‍ර්මචන්ද්‍ර සහ ගාමිණී විජේසේකර යන මහත්වරුන් ය. වෘත්තියෙන් වෛද්‍යවරයකු වූ ගාමිණී විජේසේකර මහතා මියයන විට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා විය. සිය දේශපාලන දෘෂ්ඨිය පිළිබඳව වරෙක ප‍්‍රකාශයක් කරන ඔහු :

"අවංක, නිහතමානී, අවිහිංසාවාදී දේශපාලනය මා අනුගත මඟයි. ඒ මඟ ඔස්සේ ගමන් කරමින් අපගේ දේශපාලන ව්‍යුහය තුළ ද එම තත්ත්වය ගොඩනගා ගැනීමට වුවමනා පසුබිම සැකසීම මගේ අරමුණයි."

ඔහු එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම සංස්ථා කිහිපයද තනතුරු දැරුවේය. ඒ කුමන කාර්යක ඔහු නිතර වුවද සිය ඩිස්පැන්සරියට ගොස් රෝගීන්ට

1994.10.24 ‘ලක්ජනතා’ පුවත්පත

බෙහෙත් ලබාදීම ඔහු කිසිම දිනෙක වැරැද්දුවේ නැත. මේ බෝම්බ ප‍්‍රහාරයෙන් මියගිය වීරසිංහ මල්ලිමාරච්චි මහතා ද 1977 සිටම පාර්ලිමේන්තුව නියෝජනය කළ අතර අමාත්‍ය ධූර ගණනාවක්ද දරා තිබුණි.

ශී‍්‍ර ලංකා මහජන පක්ෂයේ කි‍්‍රයාකාරිකයෙකු වූ ඔසී අබේගුණසේකර මහතාද මේ බෝම්බ ප‍්‍රහාරයට ලක්ව දින කිහිපයකට පසුව මරණයට පත් විය.

ඔස්වින් නන්දිමිත‍්‍ර අබේගුණසේකර ඔහුගේ සැබෑ නම විය. වයස අවුරුදු 16 දී තරම් ළාබාල වියේදී ආර්. ජී. සේනානායක මහතාගේ අනුගාමිකයකු ලෙස ඔහු දේශපාලනයට පිවිසිණි. කෙසේ වුව 1980 දශකය ඇරැඹෙන විට විජය කුමාරතුංග මහතා සමඟ තිබූ සබදතාව නිසා ඔහු ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධව කටයුතු කෙළේය.

1982 ජනාධිපතිවරණයේ දී ඔහු ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා වූ හෙක්ටර් කොබ්බෑකඩුව මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් කටයුතු කෙළේය.

ජනාධිපතිවරණයෙන් පසුව විජය කුමාරතුංග, ඔසී ඇතුළු පිරිසක් " නක්සල්වාදී" චෝදනා මත අත්අඩංගුවට ගනු ලැබිණි.

නක්සල්වාදී නැතිනම් "නැක්සලයිට්" යනු පවතින රජයකට පහරදී නායකයන් මරා රාජ්‍ය බලය ලබා ගැනීමේ ක‍්‍රමයකි.

මේ චෝදනාව මත ඔසී අබේගුණසේකර මහතා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනිණ. පසුව එයින් නිදහස් වන ඔහු හබරාදූව අතුරු මැතිවරණය සඳහා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා ලෙස තරඟ කෙළේය. එහිදී ඡන්ද 17756 ක් ලබා ගැනීමට ඔහු සමත් වුව ද පරාජය විය.

පසුව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව 1984 ජනවාරි 22 දින විජය කුමාරතුංග මහතා සමඟ ශී‍්‍ර ලංකා මහජන පක්ෂය පිහිටුවා ගෙන කටයුතු කරන්නට විය.

මෙකල උතුරු නැෙඟනහිර ප‍්‍රශ්නය සඳහා විසඳුමක් ලෙස ත‍්‍රස්ත සංවිධානය සමඟ සාකච්ඡා කිරීමට විජය කුමාරතුංග මහතා කටයුතු කළේය. ඒ අනුව උමා මහේෂ්වරන්, පද්මනාභ වැනි පිරිස් සමග මදුරාසියේදී ද පසුව යාපනයට ගොස් එල්.ටී.ටී.ඊ. ය සමඟ ද සාකච්ඡා කිරීමට විජය සමඟ ඔසී ද සහභාගී විය.

විජය කුමාරතුංග මහතා ඝාතනය වීමෙන් පසුව පැවැති ජනාධිපතිවරණයේ දී ශී‍්‍ර ලංකා මහජන පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ද ඉදිරිපත් වූයේ ඔසී අබේගුණසේකර මහතා ය.

ගාමිණී දිසානායක මහතා එල්.ටී.ටී.ඊ. යේ ඝාතන ඉලක්කයක් වීමට බලපෑ කරුණු කිහිපයක් තිබුණු බව පෙනේ. ඔහුගේ වඩාත්ම ජනපි‍්‍රය මෙන්ම සාර්ථක ව්‍යාපෘතිය වූ මහවැලි ව්‍යාපාරයෙන් උදා වූ තත්ත්වයක්ද මේ සඳහා හේතුවන්නට ඇති බව විශ්වාසයයි. මහවැලි ව්‍යාපාරය යටතේ "එල්" කලාපය නමින් කඩිනම් විශේෂ කලාපයක් ඇති කිරීමට කටයුතු කෙරිණි. මෙයින් උතුරට අවශ්‍ය පහසුකම් ලබාදීම මෙන්ම වැලිඔය ප‍්‍රදේශයේ ආරක්ෂාවද තර විය. තවද වැලිඔය ජනපදයක් කිරීමට අවශ්‍ය මුදල් ද සපයාදීමට කටයුතු කෙළේ ගාමිණී දිසානායක මහතා ය. එහිදී ලලිත් ඇතුළත්මුදලි මහතා ද පසුතලයේ විය.

"මනල් ආරු"

ඒ සමඟම වැලිඔය ප‍්‍රදේශයේ එල්.ටී.ටී.ඊ. යට වැදගත් කමක් තිබුණි. ඔවුන් විසින් වැලිඔය හඳුන්වනු ලැබූයේ "මනල් ආරු" නමිනි. එල්.ටී.ටී.ඊ ය සිය හදවතක් ලෙස වැලිඔය සළකා තිබුණි. මේ නිසා එල්.ටී.ටී.ඊ ය වැලිඔය ප‍්‍රදේශයේ ජන ජීවිතය කඩාකප්පල් කිරීමට කටයුතු කෙළේය. ඒ සමඟම මේ සඳහා මුල් වී කි‍්‍රයාකළ ලලිත් සහ ගාමිණී යන දෙදෙනා කෙරේ වෛර කරන්නට ද විය.

ගාමිණී දිසානායක මහතා ඉන්දු-ලංකා ගිවිසුම පිළිබඳව දුටුවේ ධනාත්මකව ය. මේ නිසා නැවතත් ඔහු බලයට පැමිණිය හොත් ඉන්දු-ලංකා ගිවිසුම බලපැවැත්වීමටත් කටයුතු කරනු ඇතැයි එල්.ටී.ටී.ඊ. ය තුළ බියක් තිබූ නිසා දිසානායක මහතා එල්.ටී.ටී.ඊ. යේ ඝාතන ඉලක්කයක් විය.

ඒ සමඟම එල්.ටී.ටී.ඊ. ය ගාමිණී දිසානායක මහතා ඝාතනය කිරීමෙන් තවත් දෙයක් ලොවට ඒත්තු ගැන්වූයේ ය.

ඒ ඔවුන්ගේ පැසිස්ට්වාදයයි. දිසානායක මහතා මැතිවරණයට පෙරබලය බෙදා හැරීම පිළිබඳ යෝජනාවලියක් ඉදිරිපත් කර තිබුණි. එය එතෙක් මෙරට ඉදිරිපත් කෙරී තිබුණු පෙඩරල් පාලනයක් සඳහා වන හොඳම යෝජනාවලිය ලෙස සැලකුණි. එහෙත් එල්.ටී.ටී.ඊ. ය එය ප‍්‍රතික්ෂේප කරන බවද මේ ඝාතනයෙන් තහවුරු විය. ඒ අනුව ප‍්‍රභාකරන්ට අවශ්‍ය වී තිබුණේ පෙඩරල් වැනි විසඳුමක් වත් නොව පැසිස්ට් වාදයක් රජ කරවීම බව තහවුරු විය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා