වමේ පක්ෂ සියල්ලම සිටින්නේ නිදහස් සන්ධානය සමඟයි

වමේ පක්ෂ සියල්ලම සිටින්නේ නිදහස් සන්ධානය සමඟයි

මැතිවරණ ජයග‍්‍රහණය අපට ගැටලුවක් නොවෙයි

එජනිස මාධ්‍ය හමුවේදී ඇමැති නිමල් සිරිපාල ද සිල්වා කියයි

බහු ජාතික ජනතාවක් ජීවත් වන බදුල්ල දිස්ති‍්‍රක්කයේ මෙවර දේශපාලන වශයෙන් අති දැවැන්ත වෙනසක් සිදුවන බව සෞඛ්‍ය ආරක්ෂණ හා පෝෂණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

මෙවර ඌව පළාත් සභා මැතිවරණය සඳහා සන්ධානය සමඟ වතුකරයේ පක්ෂ රැසක් එකතු වී සිටින බැවින් හා වමේ පක්ෂ සියල්ලගේ සහය සන්ධානයට ලැබෙන බැවින් මැතිවරණ ජයග‍්‍රහණය ගැන ගැටලුවක් නැතැයි ද සිල්වා මහතා සඳහන් කරයි.


ඌව පළාත් සභා මැතිවරණය හා යාපනය, වව්නියාව පළාත් පාලන ආයතන මැතිවරණය පිළිබඳ පුවත්පත් සාකච්ඡාවක් ඊයේ (23) දා මහවැලි කේන්ද්‍රයේදී පැවැත්විණි. එම අවස්ථාවට කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා ඇමැති මෛතී‍්‍රපාල සිරිසේන, සෞඛ්‍ය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප‍්‍රවාහන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ යන මහත්වරු සහභාගි වී සිටි අයුරු.
ඡායාරූපය - සරත් වීරසිංහ

හෙතෙම මේ අදහස් පළකෙළේ ඊයේ (23) මහවැලි කේන්ද්‍රයේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාධ්‍ය හමුවේදීය. එහිදී ඇමැතිවරයා පැවසුවේ මෙවර සන්ධානයේ ඡන්ද සටන ගෙන යන්නේ ත‍්‍රස්තවාදයට එරෙහිව කළ සටනේ ජයග‍්‍රහණය මත පමණක් නොවන බවයි.

රජය ඌව පළාතේ විශාල සංවර්ධනයක් සිදුකර ඇතැයි පැවසූ ඇමැතිවරයා මහින්ද චින්තන යටතේ ජනතාවට ලැබුණු ප‍්‍රතිලාභ පිළිබඳව විශේෂයෙන් ඌවේ ජනතාව විශාල පැහැදීමකින් සිටින්නේ යැයි ද කීවේය.

ඇමැතිවරයා මෙසේ ද කීවේය.

ශ‍්‍රී ලංකාවට දැනුණේ ලෝක ආර්ථික අවපාතයේ අවම බලපෑමක් පමණයි. රජය සියලු අභියෝග හමුවේ රට සංවර්ධනය කිරීමේ මෙහෙයුම කි‍්‍රයාත්මක කළා.

අද වන විට විපක්ෂයේ බොහෝ දෙනා රජය සමඟ එකතු වෙමින් ඉන්නවා. මේ නිසාම එජාපය දේශපාලන වශයෙන් සෝදාපාළුවට ලක්වෙලා තිබෙනවා.

ඉදිරි වසර 30 ක් වත් යනතුරු එජපායට බලයට ඒමට හැකියාවක් නැති බව එජාපයේ සියලු දෙනා දන්නවා.

ඒ නිසා පක්ෂයේ ඡන්ද පදනම ගිලිහී යන බව දන්න අය සන්ධානයට පැමිණෙනවා. මේ නිසා ඌව මැතිවරණයෙන් අපි විශිෂ්ට ජයක් ලබා ගන්නා බව පැහැදිලි වී තිබෙනවා.

අපි මෙවර මැතිවරණයට ද්‍රවිඩ අපේක්ෂකයන් 6 දෙනෙක් හා මුස්ලිම් අපේක්ෂකයෙක්ද ඉදිරිපත් කර තිබෙනවා. ජනතාවගේ සිතුම් පැතුම් නොදැන කි‍්‍රයාකිරීමේ විපාක අද එජපායට විඳින්නට සිදුවී තිබෙන බව පැහැදිලියි.

ජනාධිපතිතුමාට අවශ්‍ය කැඩී බිඳී ඉරිතැලී ගිය ජාතික සමගිය යළි ගොඩනැගීමයි. මෙවර අපේ දේශපාලන සටන් පාඨයද එයයි.

කෘෂිකර්ම හා ගොවිජන සේවා ඇමැති මෛතී‍්‍රපාල සිරිසේන මහතා - ඌව පළාත් සභා මැතිවරණයෙන් මෙන්ම වවුනියාව යාපනය පළාත් පාලන මැතිවරණයෙන්ද එක්සත් ජනතා නිදහස් සන්ධානය අති විශිෂ්ට ජයග‍්‍රහණයක් හිමිකර ගන්නවා.

එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදය පළවා හැරීමට කටයුතු කළ ජනාධිපතිවරයා සමඟ එක් වී රට සංවර්ධනය කිරීමට හොඳම අවස්ථාව එළැඹී ඇති බවට පොදු මතයක් ජනතාව තුළ ගොඩනැඟී ඇතැයිද ඇමැතිවරයා ප‍්‍රකාශ කෙළේය.

ඇමැතිවරයා ප‍්‍රකාශ කෙළේ පරාජය කළ නොහැකි බව කී එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදය සහමුලින්ම පරාජය කළ රජයට රටේ සංවර්ධන කි‍්‍රයාදාමය හා ආර්ථිකය ජය ගැනීම එතරම් අසීරු නොවන බවයි.

පෙර පැවැති මැතිවරණවලදී විකාර රූපි දේශපාලනය මත ඉදිරිපත් කරමින් ජනතාවගේ විහිළුවට ලක් වූ එජාපය එම මැතිවරණවලදී මෙන්ම ඌව පළාත් සභා මැතිවරණයෙන්ද දැවැන්ත පරාජයක් අත්කර ගත්තේ යැයි ඒ මහතා සඳහන් කෙළේය.

ඓතිහාසික යුද ජයග‍්‍රහණයකින් පසුව රජය මුහුණ දෙන පළමු මැතිවරණය ඌව පළාත් සභා මැතිවරණය බව පෙන්වා දෙන ඇමැතිවරයා ඌව පළාතින් ඉතිහාසය වැදගත් අවස්ථා රැසක් සනිටුහන් කරන බවද කීවේය.

ඌවේ ජනතාව දේශමාමක උදාර හැඟීම් සමඟ වසර දහස් ගණනක ඉතිහාසයක් ඉදිරියට ගෙන ආ ජනතාවක් බවද හෙතෙම පෙන්වා දුන්නේය.

ත‍්‍රස්තවාදය පරාජය කර ඒකීය ශී‍්‍ර ලංකාවක් බිහිකළ එක්සත් ජනතා නිදහස් සන්ධානය මුහුණ දෙන ඌව මැතිවරණය ඓතිහාසික ජයග‍්‍රහණයක් සනිටුහන් කරන මැතිවරණයක් වනු නිසැක යැයිද කීවේය. ඒ වෙනුවෙන් ඌවේ ජනතාව සිය අනුපමේය දායකත්වය ලබාදෙනු ඇතැයිද ඇමැතිවරයා සඳහන් කෙළේය.

යුදමය වශයෙන් එල්.ටී.ටී.ඊ. ය පරාජය කළ නොහැකි බව කී එජාපය හැකි නම් කිලිනොච්චිය අල්ලන්න යැයි අභියෝග කළ බව මෙනෙහි කළ ඇමැතිවරයා රජය ඒ අභියෝග ජය ගැනීමත් සමඟ එජාපය රටේ ආර්ථිකය දිය වී යන බවට චෝදනා එල්ල කර ඇතැයිද පෙන්වා දුන්නේය.

ජනතාවගෙන් කොන් වී යන එජාපයේ මේ පුහු මතවාදවල ඇත්තක් නොමැති බව ජනතාව වටහා ගෙන ඇතැයි ද ඇමැතිවරයා කීවේය. අද වන විට කොටස් වෙළ¼ඳපොළ ඉහළ ගොස් විදේශ සංචිත විශාල ප‍්‍රමාණයක්ද රටට හිමි වී තිබෙන බවත් සඳහන් කෙළේය.

උතුරේ ජනතාව මහත් ඛේදවාචකයකට මුහුණ දුන් ජනතාවක් බවත් ඔවුන්ගේ එකම ගැලවුම් කරුවා කවුදැයි ඔවුන් දැන් අඳුනන බවත් පැවසූ ඇමැතිවරයා රජය සමඟ අත්වැල් බැඳ ගනිමින් ඉදිරියට යෑමට උතුරේ ජනතාව සැදී පැහැදී සිටින බවද ප‍්‍රකාශ කෙළේය.

ප‍්‍රවාහන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා- එක්සත් ජනතා නිදහස් සන්ධාන මැතිවරණ ඉතිහාසයේ ප‍්‍රථම වරට මෙවර යාපනය හා වවුනියාව බුලත් කොළය යටතේ අපේක්ෂකයන් කිහිප දෙනෙක් තරග කරනවා.

මෙතෙක් සන්ධානයට එක් නොවූ පක්ෂ රැසක් මේ මැතිවරණ සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග වදින බවද අලහප්පෙරුම මහතා කීවේය.

ලංකා කම්කරු කොංග‍්‍රසය ඇතුළු පිළිගත් දේශපාලන පක්ෂ රැසක් ඒ අතර වෙන බවද ඒ මහතා සඳහන් කෙළේය.

ඌව පළාත් සභාව සඳහා නියෝජිතයන් 34 දෙනෙක් තෝරා පත්කර ගැනීමට නියමිත බවත් ඒ සඳහා අපේක්ෂකයන් 38 දෙනෙක් ඉදිරිපත් වී ඇති බවත් ඇමැතිවරයා කීවේය. බදුල්ල සඳහා නියෝජිතයන් 21 දෙනෙකුත් මොණරාගල සඳහා 11 දෙනෙකුත් හා ප‍්‍රසාද ආසන 2 කුත් වශයෙන් ඌව පළාතට නියෝජිතයන් පත් කර ගැනීමට නියමිත බව ද හෙතෙම කීවේය.

අපි මින් පෙර පැවැති මැතිවරණවල තේමාව කර ගත්තේ රට සුරකින සටන රකිමු යන්නයි. ඒ සඳහා ජනතාව නොමසුරුව සහය දැක්වූවා. මෙවර අපේ තේමාව වන්නේ රට දිනවන ගමන රකින්නට එක්වන ලෙසයි.

නැගෙනහිර මුදාගත් පසු පැවැත් වූ මැතිවරණයට වඩා වැඩි ජයක් අපි උතුරු මැදින් ලබා ගත්තා. පසුව මධ්‍යම පළාතෙන් ඊටත් වැඩි ජයක් ලබාගත් සන්ධානය වයඹින් අති දැවැන්ත ජයක් ලැබුවා. මේ සියල්ලට වඩා වැඩිම ජයක් හිමිවුණේ බස්නාහිර පළාත තුළිනුයි. මෙවර ඌව මැතිවරණය ගැන අපට කිසිම ගැටලුවක් නැහැ. මෙවර අපි වාර්තා ගත ජයග‍්‍රහණයක් ලබන බව ස්ථිරයි. ඊට හේතුªව මෙතෙක් රටේ සිටි කිසිම නායකයෙකුට වඩා වැඩි විශ්වාසයක් වත්මන් ජනාධිපතිතුමා කෙරෙහි තිබීමයි.

ජනාධිපතිතුමා ඒකාධිපති පාලනයකට යෑම ස¼ඳහා මැතිවරණ සිතියම හකුලා දමන්නට සූදානම් වන බවට එජාපය චෝදනා කරනවා. අපි ඒ චෝදනාව පිළිකුªළෙන් යුතුව ප‍්‍රතික්ෂේප කරනවා. ජනතාවගේ කැමැත්තක් නැතිව බලයේ රැඳී සිටින්නට ජනාධිපතිතුමාට අවශ්‍යතාවක් නැහැ.

පසුගිය මැතිවරණ පහේදීම එජාපය ඉදිරිපත් කළ සටන් පාඨය වුණේ රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යවමු යනුවෙනුයි. අද ජනතාව බලාගෙන සිටිනවා මෙවර එජාපයේ සටන් පාඨය කුමක්ද කියලා දැනගන්න.

2005 ජනාධිපතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය බදුල්ල දිස්ති‍්‍රක්කය ඡන්ද 33841 කින් පරාද වුණා. ජයගත හැකි වූයේ එක් ආසනයක් පමණයි .

ඌව පළාත් සභා මැතිවරණයේදී අපි ඡන්ද 2510 කින් පළාත් සභාව පරාජයට පත් වුණා. නමුත් මෙවර මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය අති විශිෂ්ට ජයග‍්‍රහණයක් හිමි කර ගන්නවා.

ජා.නි.පෙ. සභාපති පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ මහතා - ත‍්‍රස්තවාදයෙන් බැට කෑ අවතැන් ජනතාව වෙනුවෙන් උසස් ජීවන තත්ත්වයක් උදාකිරීමට රජය කටයුතු කරන මේ අවස්ථාවේදී මුදාගත් ජනතාව දඩමීමා කොටගෙන පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට එක්සත් ජාතික පක්ෂය උත්සහ දරනවා.

මුදාගත් ජනතාව ගැන සොයා බැලීමට සහන ගම්මානවලට යෑමට අවස්ථාව ලබා දෙන්නැයි ඉල්ලා සිටින ඇතැම් එජාප මන්තී‍්‍රවරු කළක් තමන්ගේ නිවෙස්වලට කොටි ගෙන්වා ගෙන ඇප උපස්ථාන කළ බව ද වීරවංශ මහතා පැවැසීය.

මුදාගත් ජනතාවගේ ගැටලුවට මුවාවී දේශපාලන වාසි ගැනීමට හෝ ඔවුන්ගේ ගැටලුව මුවාවෙන් ගසාකෑමට එක්සත් ජාතික පක්ෂයට අවස්ථාව නොදෙන බවයි.

එහිදී වීරවංශ මහතා මෙසේද කීවේය.

කොටි පරාජය කිරීමෙන් පසු ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන ප‍්‍රථම මැතිවරණය ඌව පළාත් සභා මැතිවරණයයි.

මේ සඳහා තරඟ වදින්නේ කරනවයි කියූ දේ කරලා පෙන්නූ එක්සත් ජනතා නිදහස් සන්ධානය හා අසත්‍ය ප‍්‍රචාර ජනතාව අතර පැතිරවීමට ගොස් නන්නත්තාර වූ එක්සත් ජාතික පක්ෂයයි.

පෙර පැවැති මැතිවරණවලදී එජාපය ඉදිරිපත් කළ සියලු මතවාද අසත්‍ය බව අද ඔප්පු වී අවසානයි. එජාපය අද හිතන්න ඕනේ උරුම පරාජය ගැන පමණයි. මෙවර කොතරම් පරාජයක් ලැබේද කියා පමණයි.

අපේ රටේ බුද්ධිමත් ජනතාව මේ අසත්‍ය ප‍්‍රචාර පතුරුවා හරින පක්ෂ පරාජයට පත්කරලා තිබෙනවා. මේ නිසා අද එජාපය දේශපාලන වශයෙන් අවාසනාවන්ත ලෙස ඇද වැටී තිබෙනවා. ඔවුන් නැති මාතෘකා මවමින් සිටිනවා.

මාතෘභූමිය විජයග‍්‍රහණය කරා ගෙන ආ එක්සත් ජනතා නිදහස් සන්ධානයත් ඒ ගමනට විරුද්ධව කටයුතු කළ එජාපයයි අතරේ අද මැතිවරණය පැවැත්වෙන බව ඌව ජනතාව මැනවින් දන්නවා.

රට ආරක්ෂා කර දීමට මෙන්ම උතුර දකුණ ආරක්ෂා කර දීමට උරදුන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග‍්‍රහණය කරවීමට ජනතාව පෙළ ගැසී ඉන්නවා. ඌව ජනතාව දන්නවා රටට හතුරු අය තවමත් ඉන්න බව.

උතුරේ පළාත් පාලන මැතිවරණය පදනම් කරගෙන එජාපය දැන් තවත් මතයක් ඉදිරිපත් කර තිබෙනවා. මුදාගත් ජනතාව දඩමීමා කර ගැනීමටයි අද එජාපයට අවශ්‍ය වී තිබෙන්නේ.

එදා එජාපය ධවල භීෂණය නිර්මාණය කර රැඳවුම් කාමරවලට වෙන කිසිවෙකුට යෑමට අවස්ථාව ලබා දුන්නේ නැහැ.

අද අවතැන් කඳවුරුවලට යන්න බලාගෙන ඉන්නවා. මේ ජනතාව අතර ගැටුම්කාරී තත්ත්වයක් මවාපෑමටයි දැන් උත්සහ ගන්නේ.

එවැනි දුෂ්ට අරමුණු සහිත අය එදා පුලිදේවන් ගෙදර ගෙන්නගෙන කන්න බොන්න දුන්නු බව අමතක වෙලාද?

අද අවතැන් කඳවුරුවලට යෑම සඳහා අවසර ඉල්ලන ඇතැම් අය කොටින්ගේ මහවිරු සමරුවේදී කතා පවත්වලා තිබෙනවා.

ජනතාව මේ පිළිබඳව හොඳ අවධානයෙන් සිටින බව අපට විශ්වාසයි. රට සුරකින සටන රකින්නට එක්වූ සියලු දෙනා ඊට නොදෙවෙනි සහයක් රට දිනවන ගමන රකින්නට සහය දෙන බවත් අපට විශ්වාසයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා