අන්තවාමවාදී සංවිධානයට ඉන්දීය රජයෙන් තහනමක්

මාඕවාදී කැරලිකරුවන් අයත්

අන්තවාමවාදී සංවිධානයට ඉන්දීය රජයෙන් තහනමක්

ඉන්දීය මාඕවාදී කැරලිකරුවන් අයත්වන ඉන්දීය මාඕවාදී කොමියුනිස්ට් පක්ෂය නම් අන්තවාමවාදී සංවිධානය ඉන්දීය රජය විසින් පෙරේදා නිල වශයෙන් තහනම් කරන ලදී.

ඒ එය ත‍්‍රස්තවාදී සංවිධානයක් ලෙස හඳුන්වමිනි. මේ තහනම පැනවී ඇත්තේ මාඕවාදීන් නැඟෙනහිර හා මධ්‍ය ඉන්දියාවේ ප‍්‍රාන්ත පහක දෙදින මහවැඩවර්ජනයක් පැවැත්වීම සහ බටහිර බෙංගාලයේ සටන් උත්සන්න කැර තිබියදී ය.

මධ්‍ය රජය, මෙම මාඕවාදී සංවිධානය තහනම් කිරීමට තීරණය කරන ලද්දේ ඉන්දීය මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂ පාලනයට නතු බටහිර බෙංගාල රජය මෙම මාඕවාදී සංවිධානය තහනම් කිරීම ප‍්‍රතික්‍ෂේප කරමින් එම කැරලිකරුවන් සමඟ දේශපාලනමය වශයෙන් සටන් කරන බව ප‍්‍රකාශකිරීමෙන් අනතුරුවය.

මේ සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ නිර්නාමික නිලධාරියකු පවසා ඇත්තේ, ප‍්‍රාන්තයක නීතිය හා සාමය රැකීම ප‍්‍රාන්ත රජයේ වගකීමක් නමුදු මෙහි දී බටහිර බෙංගාල ප‍්‍රාන්ත රජයේ බලය අභිබවමින් ප‍්‍රාන්තයකට සීමා නොවී මුළු රටටම බලපාන ‘නීති විරෝධි කි‍්‍රයාදාම නිවාරණය කිරීමේ පනත’ යටතේ ඉන්දීය මාඕවාදී කොමියුනිස්ට් පක්ෂය මධ්‍ය රජය විසින් තහනම් කැර ඇති බවය.

මේ අනුව පාකිස්තානය පදනම් කැරගත් ලෂ්කර් – ඉ - ටොයිබා මෙන් ම අල් කයිඩා සංවිධානය හා ද්‍රවිඩ කොටි සංවිධානය ඇතුළු ඉන්දීය රජය විසින් තහනම් කැර ඇති ත‍්‍රස්ත සංවිධාන 34 ලැයිස්තුවට දැන් මාඕවාදී සංවිධානය ද ඇතුළත් වෙයි.

මෙම සංවිධානය දැනටමත් ඉන්දීය ප‍්‍රාන්ත කීපයක තහනමට ලක්ව ඇත. ඔවුන් රජයේ හමුදාවන් සමග දශක ගණනාවක් තිස්සේ සටනේ නියැලීසිටින නැක්සල් කැරලිකරුවන්ගේ දේශපාලන අංශය ලෙස සැලකේ. පසුගිය මාසයේ දී පමණක් මේ කැරලිකරුවන් පොලීසියේ 180ක් පමණ ඝාතනය කැර ඇත.

මෙම මාඕවාදී කොමියුනිස්ට් පක්ෂය වෙනත් වාමවාදී සංවිධාන කීපයක එකතුවෙන් 2004 දී බිහිවූවකි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා