ගුවන් යානා දෙකකට කොටි මිසයිල ප‍්‍රහාර

ගුවන් යානා දෙකකට කොටි මිසයිල ප‍්‍රහාර

මඟීන් 98 ක් බිලි
අපේ සපු, කිරම, එඩ්වින් මරුට

දාහත් වසරක එක්සත් ජාතික පක්ෂ පාලනය 1994 දී අවසන් විය. අගෝස්තු 16 වෙනිදා පැවැති මහ මැතිවරණයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අගමැති ධූරයට පත් වුවාය. ඒ සමගම ඇය එල්. ටී. ටී. ඊ. ය හා සාකච්ඡා ඇරැඹීමට කටයුතු කළා ය. මේ අනුව 1994 ඔක්තෝම්බර් 13 වෙනිදා සාකච්ඡා සඳහා දිනය ලෙස නියම කර තිබුණි. අතරතුර කාලයේදී චන්ද්‍රිකා මැතිණිය සහ ප‍්‍රභාකරන් අතර ලිපි හුවමාරුවක්ද සිදු විය. එහෙත් සාකච්ඡා ඇරඹීමට පෙර සැප්තැම්බර් 19 වෙනිදා ‘සාගර වර්ධන’ නෞකාවට පහර දුනි.

ඇව්රෝ වර්ගයේ ගුවන් යානාවක්

කෙසේ වෙතත් රජය සාම සාකච්ඡා පිළිබඳ විශ්වාස තබා කටයුතු කෙළේය. පැවැති සටන් විරාමය තුළ එල්. ටී. ටී. ඊ. ය සුපුරුදු පරිදි උපක‍්‍රමිකව රජයෙන් ඉල්ලීම් කිහිපයක් ඉල්ලා සිටියේය. උතුරට ගෙන යාමට තහනම් කර තිබූ භාණ්ඩවල තහනම් ඉවත් කිරීම, හමුදා කඳවුරු කිහිපයක් ඉවත් කර ගැනීම ධීවර කටයුතුවලට පනවා තිබූ තහනම ඉවත් කිරීම මේ අතර විය.

රජය ද කරෙයිනගර් සහ කන්කසන්තුරෙයි නාවික වරායන් ආශ‍්‍රිත ප‍්‍රදේශවල හැර යාපනය අර්ධද්වීපයේ සෙසු ප‍්‍රදේශවල ධීවර කටයුතු මත පනවා තිබූ තහනම ඉවත් කරන ලදී. නාවික හමුදාවේ ශක්තිය දුර්වල කිරීමේ උපක‍්‍රමික සැලැසුමක මෙලෙස එල්. ටී. ටී. ඊ. ය නියැලෙමින් සිටියේය. අපෙ‍්‍ර්ල් මාසයේ 15 වෙනි දින එල්. ටී. ටී. ඊ. ය සටන් විරාමයෙන් ඉවත්වන බව දන්වන ලදී. පසුව එළැඹි 17 වෙනි දින ති‍්‍රකුණාමලයේ දී නාවික හමුදාවට අයත් යාත‍්‍රා කිහිපයකට පහර දී තුන්වෙනි ඊළාම් යුද්ධය ආරම්භ කළහ.

මේ අතර 1995 අපෙ‍්‍ර්ල් මස 28 වෙනිදා උදා විය. වෙලාව පස්වරු 4.00 පසු වී තිබුණි.

නිවාඩු ලබා සිටි හමුදා භටයන් රැසක් පලාලි ගුවන් හමුදා කඳවුර කරා පැමිණෙමින් සිටියහ. ඒ තම නිවෙස් කරා යොමුවීමේ අදහසිනි. ඔවුන්ව යාපනයේ සිට ගෙන යාම සඳහා ඇව්රෝ ගුවන් යානයක් සූදානම් කර තිබුණි. හෝකර් සිඩ්ලි එච්. එස්. 748 වර්ගයේ එම ගුවන් යානා සංකේත නාමය ‘චාලි රෝමියෝ 835’ ලෙසින් විය. පස්වරු 4.20 වන විට එයට අවසාන මගියා ද ගොඩ නැඟුණි. ඔහු උතුරු ප‍්‍රදේශයේ ගුවන් හමුදා මෙහෙයුම් භාර වින්ග් කමාන්ඩර් වරයා වූ රොජර් වීරසිංහ මහතා ය. හෙතෙම සිය ආසනයේ අසුන් ගැනීමත් සමගම යානයේ දොරවල් වැසිණි.

පලාලියෙන් අනුරාධපුරයටත් අනුරපුරින් කොළඹටත් යාමට නියමිත මේ ගුවන් යානයේ නියමුවා මහේෂ් ගමගේය.

  • යැංකි ගෝල්ෆ්

යැංකි ගෝල්ෆ් යන සංකේත නාමයෙන් හැඳින්වුණු ඔහු සියල්ල සූදානම් වූ පසුව ගමනට පිටත්වීම සඳහා අවසර ලබාදෙන මෙන් පාලක මැදිරියෙන් ඉල්ලා සිටියේය.

‘ඔබට පිටත්වීමට අවසර ඇත. අඩි 7000 ක් ඉහළට නැග ඒ මට්ටමින් ම යානය ගෙනියන්න’ යි පාලන මැදිරියෙන් උපදෙස් ලැබුණි.

රත් පැහැ ගත් සැන්දෑ අහස් කුස මතට පලාලි වලින් නැගුණු ‘චාලි රෝමියෝ 835’ සිය ගමන ආරම්භ කෙළේය.

මේ අතර කඩිඩුවාන් ප‍්‍රදේශයේ හමුදා බංකරයක සිටි යුද හමුදා සෙබළකු වලාකුළු අස්සෙන් ඉහළට නැගෙන යානය දෙස නෙත යොමු කර සිටියේය.

1996. 04. 29 ‘දිනමිණ’

ගිනි බෝලයක් මෙන් යමක් යානයේ වදින ආකාරය ඔහු එක්වරම දුටුවේ අදහා ගත නොහැකි පරිද්දෙනි. එක්වරම ඔහුට කෑ ගැසිණි. තමා දුටු දර්ශනය ගැන ඔහු අන් සෙබළුන්ට කියන්නට විය.

‘පිස්සු නැතිව ඉදපං’ අසල සිටි සෙබළකු ඔහුට කීවේය.

‘මට නම් ෆ්ලයිට් එක ගැන සැකයි. ගින්දරත් එක්කයි ඒක වලාකුළු අස්සට ගියේ’ යැයි ඔහු නැවත කියන්නට විය.

මෙලෙස ගොඩබිම සෙබළකුගේ ඇසට යානය හසුවන අතරදී ‘චාලි රෝමියෝ 835’ නියමු මැදිරියේ ගුවන් විදුලි යන්ත‍්‍රය කි‍්‍රයාත්මක වන්නට විය.

‘ඔබගේ වම්පස එන්ජිමෙන් දුමක් පිටවෙනවා’ ඉන් කියැවිනි.

‘නියමු මැදිරියේත් දුම් නගිනවා. ගිනි නිවීමට පියවර ගන්නා අතරම යානය ආපසු බැස්සවීමට ගෙන එනවා’ නියමුවා ගෙන්ද පිළිතුරු ලැබිණි.

වම් පසට බර කර ගුවන් යානය හරහා ගොඩ බැස්සවීමට අවශ්‍ය පියවර නියමුවා ගනිමින් සිටියේය.

මේ අතර කඩ්ඩුවාන් හි සිටි සෙබළුන්ද ඉහළ අහස් කුස දෙස බලමින් සිටියහ. ඒ සමගම නැවත හරවා පලාලි යමින් සිටි යානය ඔවුන්ගේ නෙත ගැටිණි. එහෙත් ඒ සමග දුටු දර්ශනයෙන් ඔවුන් ත‍්‍රාසයෙන් භීතියෙන් ගල් ගැසිණි.

‘දෙවියනේ’ යැයි ඔවුනට එක්වරම කියැවිණි. යානයේ වම් පස තටුව ගිනි ගෙන තිබිණි. ගින්න ක‍්‍රමයෙන් වැඩි වෙන්නට විය. යානය ගමන් කරමින් තිබුණේ තනි ඇන්ජිමකිනි. තවත් මොහොතකින් යානයේ ගිනිගත් වම් පස තටුව කඩා ගෙන වැටුණේය. ඒ සමගම යානය කැරකී අසල තල් කැලයට වැටුණේ හෙණ හඬක් නංවමිණි. එහි ගමන් ගත් 48දෙනාම මරු මුවට පත් වූහ.

මේ ගුවන් යානා අනතුර නිසා ආරක්ෂක අංශ මහත් කැලඹීමට පත්විය. මෙය සිදුවූයේ කෙසේද යන්න ගැටලුවක් විණි. කාර්මික දෝෂයක්ද ? කොටින්ගේ ප‍්‍රහාරයක්ද ? යන සැකය දිගින් දිගටම එල්ල වුණි. එවන් ප‍්‍රහාරයක් එල්ල කිරීමට කොටින් සතුව මිසයිල තිබේද යන්න පිළිබඳ ආරක්ෂක අංශ වලට වාර්තා වී තිබුණේ නැත.

මේ ගැටලුව එසේම ඉතිරි වද්දී ගුවන් හමුදාපති ඔලිවර් රණසිංහ මහතා නිරීක්ෂණ චාරිකාවක් සඳහා පලාලි වලට යාමට සූදානම් විය.

ඒ ඉන් පසු දිනය. එනම් අපෙ‍්‍ර්ල් 29 වෙනිදාය. ගුවන් හමුදාපති වරයා කොළඹින් පිටත්වීමට පෙර රත්මලාන ගුවන් තොටුපලින් පරීක්ෂණ පවත්වන නිලධාරීන් පිරිසක්ද පලාලි බලා යෑමට සිටියහ.

  •  චාලි රොජර්

29 වෙනි දින උදෑසන 6.30 ට රත්මලානෙන් ගමන් අරඹන මේ යානය ‘චාලි රොජර් 834’ නම් සංකේත නාමයෙන් හැඳින්විය. නියමුවා වූයේ සුජීව පතිරණ ය. රත්මලානෙන් ගුවන් ගතවූ යානය පළමුවෙන්ම අනුරාධපුරයට ගොඩ බැස්සුවේය. පසුව නැවතත් පෙ. ව. 8.07 පමණ පලාලි බලා යාමට ගුවන් ගත කෙරිණි.

කරුණාරත්න සපුතන්ති‍්‍ර

කිරම පියසෝම

එඩ්වින් වීරසිංහ

යානය ගමන් ගත්තේ අනුරාධපුරයේ සිට කෙළින්ම පලාලි දක්වාය. පුනරින් කඳවුර පෙදෙසට ඉහළ අහසට ළංවත්ම පලාලි පාලන මැදිරිය ඇමතූ ‘චාලි රොජර් 834’ යානයේ ගුවන් නියමුවා යානය ගොඩ බැස්සවීමට අවසර ඉල්ලීය. ඒ සඳහා ඔහු යානය අඩි 8000 සිට අඩි 3500 දක්වා පහළට ගෙන එන බවද දැන්වූ අතර එයට අවසර පාලන මැදිරියෙන් ලැබිණි.

දැන් යානය ගොඩ බැස්සවීමට සූදානමින් පවතී. මේ අතර පාලන මැදිරිය ඇමැතූ නියමුවා ‘අපේ යානයට මිසයිල දෙකක් වැදුණා. යානය කෑලි කැඩී ඇද වැටෙනවා’ යැයි පැවසීය.

මේ බිහිසුණු ආරංචිය සමගම පාලන මැදිරියට පිපිරුම් හඬක් ඇසිණි. එහි සිටි නිලධාරීන් ඈත අහස දෙස බලන විට දුටුවේ අදහාගත නොහැකි දර්ශනයකි. ගිනි ගනිමින් තිබුණු යානය කැබලි තුනකට කැඩී කොටි පාලන ප‍්‍රදේශයට කඩා වැටෙමින් තිබුණි. මෙහිදී විසිවී ගිය යානයේ කොටස් මාදගල් ප‍්‍රදේශයේ නිවාස මතද වැටී තිබුණු අතර ඉන් නිවාස කිහිපයක්ද ගිනි ගෙන දැවෙන්නට පටන් ගත්තේය. මේ අතර යානයේ සිටි පනස් දෙනෙකුගේ පණ නල ද අවට වා තලයට මුසු වෙමින් තිබුණි.

දෙවෙනි ගුවන්යානා අනතුර පිළිබඳ තොරතුරු පැතිරෙද්දි එල්. ටී. ටී. ඊ. ය ‘කොටි හඬ’ ඔස්සේ ප‍්‍රකාශයක් නිකුත් කළේය. ගුවන් යානා දෙකට පහරදීමේ වගකීම ඔවුන් බාර ගන්නා බව ඉන් කියැවිණි.

මේ සමගම ගුවන් යානා දෙකම විනාශ වී ගියේ එල්. ටී. ටී. ඊ. යේ සෑම් මිසයිල ප‍්‍රහාර මගින් බව තහවුරු විය. එල්. ටී. ටී. ඊ. මිසයිල හඳුන්වා තිබුණේ ‘මුත්තුතම්බි’ යන නමිනි.

ඒ සඳහා ඔවුන්ට බලපෑවේ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර සෑම් මුත්තු තම්බි මහතාය. කෙසේ වුවත් 1991 වර්ෂයේ දිනක සෑම් මුත්තු තම්බි මහතා එල්ටීටීඊ ය විසින්ම ඝාතනය කෙළේය.

මේ සමගම ගුවන් යානා දෙකම විනාශ වී ගියේ එල්ටීටීඊ යේ සෑම් මිසයිල ප‍්‍රහාර මගින් බව තහවුරු විය. එල්ටීටීඊ ය තෙවැනි ඊළාම් සටන ආරම්භ කර තිබුණේ මිසයිල ද සටන්වලට එක් කර ගනිමිනි. මෙයින් කියැවුණු ප‍්‍රබලම කරුණ වූයේ කොටි සෑම සටන් විරාමයක් තුළදී ම ආයුධ ලබා ගෙන තම සටන් ශක්තිය වර්ධනය කර ගත් බවය. කොටි ‘සෑම් මිසයිල භාවිතය දක්වා පැමිණි ගමන අත්දැකීම් මත පෝෂණය වූ බව පෙනෙන්නට තිබුණි.

විශේෂයෙන්ම පළමුවැනි ඊළාම් යුද්ධය ආරම්භයේ දී කොටි හොඳ්‍රකාර අත්දැකීමක් ලබා ගත්තේය. ඒ අනුව කොළඹින් උතුරු නැඟෙනහිර ප‍්‍රදේශවල හමුදාවන්ට ආධාර ලැබෙන තුරු තමන්ගේ ඉලක්ක ජය ගත නොහැකි බව අවබෝධ කරගත්තේය.

ඒ අනුව දෙවැනි ඊළාම් යුද්ධය ආරම්භ කර ඔවුන් කොළඹින් උතුරු නැඟෙනහිර හමුදා කඳවුරුවලට ලැබෙන ආධාර පහසුකම් වැළැක්වීමට කටයුතු කළහ. එමෙන්ම දෙවැනි ඊළාම් යුද්ධය කි‍්‍රයාත්මක වන විට තමනට ගුවනින් විශාල අභියෝගයක් එල්ල වන බව ඔවුන්ට හැඟී ගියේය. ඒ අනුව ඔවුන් හමුදාවේ ගුවන් යානා වල බලය බිඳ හෙළීමටත් මෙන්ම තමන්ගේ ගුවන් ශක්තිය වර්ධනය කර ගැනීමට කටයුතු කරමින් සිටියහ.

කොටින් විසින් සෑම් මිසයිල ප‍්‍රහාර එල්ල කිරීම නිසා 1995 අපෙ‍්‍ර්ල් 28, 29 දින දෙක තුළ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානා 2 ක් විනාශ වීමෙන් කියැවුණේ කොටින්ගේ තිබු එම ශක්තියය. අපෙ‍්‍ර්ල් 29 වෙනිදා සිදුවූ ප‍්‍රහාරයෙන් ලේක්හවුස් ආයතනයට ද සුවිශේෂී පුද්ගලයන් තිදෙනෙකු ම අහිමි වී ගියේය. එවකට සිළුමිණ සම කර්තෘවරයා වූ කරුණාරත්න සපුතන්ති‍්‍ර, නියෝජ්‍ය ප‍්‍රවෘත්ති කර්තෘ කිරම පියසෝම, ඡායාරූප ශිල්පි එඩ්වින් වීරසිංහ මේ තිදෙනාය.

  • ධෛර්යමත් පත්තරකාරයෙක්

පුවත්පත් කලාවේදියකු මෙන්ම ප‍්‍රකට ගත්කරුවෙකු වූ සපුතන්ති‍්‍ර මහතා ‘ජයලද්දෝ’ ‘එයා දැන් ලොකු ළමයෙක්’ ‘මහ මුහුද ඉකිබිඳියි’ ‘ගංගා සහ නිශ්ශංක’ නවකතාවන්හි කර්තෘවරයාද විය. 70 දශකයේ තරුණ පරපුර අතර ඔහුගේ මේ නවකතා අතිමහත් ජනප‍්‍රියත්වයට පත්ව තිබුණි.

එඩ්වින් ගත් ඓතිහාසික ඡායාරූපයක්. බන්ධනාගාර රෝහලේ සිටි විජය ඡායාරූපයේ වෙයි.

පාසල් වියේ තරුණ තරුණියන්ගේ පෙ‍්‍ර්ම සබඳතා වස්තු බීජය කොට රචනා කෙරුණු මේ නිර්මාණයන් යොවුන් පෙ‍්‍ර්මය සුන්දරත්වය මැනවින් නිර්මාණය කර තිබුණි.

පොත් ප‍්‍රකාශකයකු ද වූ කරුණාරත්න සපුතන්ති‍්‍ර ‘සමනල’ ප‍්‍රකාශකයෝ නමින් පොත් ප‍්‍රකාශනයට පෙළඹී සිටියහ. ඔහු විසින් ප‍්‍රකාශයට පත් කෙරුණු මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ ‘ගීත ගෝවින්දය’ සුවිශේෂී ප‍්‍රකාශනයක් විය.

ආරක්ෂක තොරතුරු වාර්තා කිරීම වෙනුවෙන් කැපවී සේවය කළ කිරම පියසෝම උද්යෝගිමත් ධෛර්යමත් පත්තරකාරයකු බව අදටත් සිළුමිණේ බොහෝ දෙනා කියන කතාවකි.

ප‍්‍රවෘත්ති වාර්තා කිරීම මෙන්ම ඒ තුළ සැඟවුණු තොරතුරු සොයා ගවේශණාත්මක ලිපියක් සකස් කර මහත් අවධානයක් දිනා ගැනීමට ඔහු සමතෙක් වී සිටි අයෙකි.

එඩ්වින් වීරසිංහ ගැන මතකයට නැගෙන විට අප කාහටත් සිහියට නැගෙන ඡායාරූපයක් ද තිබේ. ඒ විජය කුමාරතුංග මහතා සිරකරුවකු ලෙස සිටින අවස්ථාවේ ගත් ඡායාරූපයයි. එදා එඩ්වින් වීරසිංහ එම ඡායාරූප ගැනීමට ගොස් තිබුණේ බත් පාර්සලයක කැමරාව සඟවා ගෙනය.

ඒ ඔහු එදා ජීවිත අවදානම නොතකා ගත් එක් ඡායාරූපයක කතාව පමණි. මෙලෙස උද්යෝගිමත් පුවත්පත් කලාවේදීන් තිදෙනෙක් ද කොටින් විසින් එදා අපෙන් උදුරා ගත්හ. යුද මාධ්‍ය වාර්තාකරණයේ දී මරණයට පත් වූ ප‍්‍රථම සිංහල මාධ්‍යවේදීන් තිදෙනා ද මොවුන් වෙති.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා