දිඹුලාගලට පහන් වැටක් වූ සීලාලංකාර හාමුදුරුවෝ

දිඹුලාගලට පහන් වැටක් වූ සීලාලංකාර හාමුදුරුවෝ

රාති‍්‍රයේඝන අඳුර කපා හරිමින් ඇදුණු කැබ් රථයකි. හමුදා මුරකපොල්ලට ළං වත් ම අත දැමූ සෙබළකු එය නැවැත්වීමට සංඥා කළේ ය. ඊළඟ මොහොතේ වාහනය අසලට සෙබළෙකු කිට්ටු වූයේ ;

‘කවුද මේ ?’ අසන්නට මෙනි. ඒ සමඟම ;

‘මම කැප්ටන් දිඹුලාගල’ කියා වාහනයෙන් එළියට බැස්සේ ඉදිරි අසුනේ සිටි අයෙකි.

දෙකම්මුල් පුරා වැඩුණු සුදු රැවුල, සුදු පැහැ කෙසින් වැසුනු හිස, දහඩිය තැවරුණු පඬු පැහැ සිවුර, කර ගැට නැගුණු අත් පා, හදවතින්ම නැගෙන සිනහවෙන් යුතු මේ අමුත්තා හඳුනාගන්නට සෙබළුන්ට මුරකපොල්ල අසල වූ ලා එළිය පමණක් ප‍්‍රමාණවත් විය.

‘දිඹුලාගල හාමුදුරුවෝ’ කියු සෙබළු දණ ගසා වැඳ වැටිණි.

දිඹුලාගල නායක හාමුදුරුවන්ට එසේ නැතිනම් කිතලගම සීලාලංකාර නායක හාමුදුරුවන්ට රැයක් දවාලක් කියා දෙයක් තිබුණේ නැති බව අවට ගම්වාසීහු හොඳීන් ම දැන සිටියහ. ප‍්‍රදේශයේ වෙසෙන ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා මහත් කැපවීමෙන් සේවය කළ උන් වහන්සේ එක් දිනක හමුදා මුර කපොල්ලක් අසලදී මුහුණ දුන් සිදුවීමකි ඒ.

මාතර කිතලගම උපන් සීලාලංකාර හිමියන් පැවිදි දිවියට ඇතුළු වූයේ 22 වැනි වියේ පසුවද්දී ය. ඒ මාතර වල්පිට ආරණ්‍ය සේනාසනාධිපති බදුල්ලේ පඤ්ඤාලංකාර නාහිමියන්ගේ ශිෂ්‍යයකු ලෙසට ය. පසුව භාවනායෝගීව වැඩ විසීම සඳහා පොළොන්නරුවට වැඩම කරන උන් වහන්සේ කදුරුවෙල පලුගස්දමන ප‍්‍රදේශයට පැමිණියහ.

පලුගස්දමන ප‍්‍රදේශයේ සොහොන් පිටියක වූ නුග ගසක් ආවාසය කරගත් සීලාලංකාර හිමියෝ භාවනායෝගීව සිටීමට සොහොන් පිටියේ වූ කුඩා ගොඩනැගිල්ල භාවිත කළහ.

කෙමෙන් කාලය ගත වත්ම පලුගස්දමන ප‍්‍රදේශය ජනාවාස වන්නට විය. ඒ අතර ඒ ජනාවාසවල වෙසෙන ජනතාව අප‍්‍රමාණ දුක් කන්දරාවක් විඳින බවද සීලාලංකාර හිමියන්ට අවබෝධ විය.

හැකි පමණින් අවවාද අනුශාසනා එම පිරිසට ලබාදීමට කටයුතු කළ උන් වහන්සේ පසුව හඳපාන්ගල කැලෑවට පිටත් වුහ. එහිදී සොරවිල ප‍්‍රදේශයේ ගල් ගුහාවක් වාසස්ථානය කරගෙන සිය භාවනා කටයුතු කරන්නට වූහ.

මේ සීලාලංකාර හිමියන්ගේ ධනයයි

මේ අතර ගම්වාසීන්ද උන් වහන්සේට බොහෝ උපස්ථාන කිරීමට පෙළඹුණහ. මේ මිනිසුන් සමඟ කෙරෙන කතා බහේදී මොවුන් ජීවත්වීමට විඳින දුක පිළිබඳ විශාල කනගාටුවක් සීලාලංකාර හිමියන්ට ඇති විය.

එමෙන් ම සොරවිල සිංහල ගමක් විය. ගම්වැසියන්ගේ වාසගම් මුදියන්සේ, රත්නායක මුදියන්සේ ආදි ලෙස විය. එහෙත් නම් තිබුණේ කන්නයියා, කන්නම්මා වැනි දෙමළ බසට නැඹුරුවකිනි.

මොවුන් ආහාරයට ගත්තේ දඩ මස් ය. මෙලෙස ග‍්‍රාමීය සමාජයේ පවතින දුක්ඛ ස්වරූපය තේරුම් ගත් සීලාලංකාර හිමියන් භාවනා කරමින් භව දුකට පිළියම් සෙවීමට වඩා පරාර්ථ සේවයක් කිරීමට තිබෙන බව අවබෝධ කර ගත්හ. යහපත් සමාජ ජීවිතයකින් අධ්‍යාත්මික දියුණුවකට මග පෙන්වනු ඇතැයි යන්න විශ්වාස කළහ.

ඒ අනුව මේ ප‍්‍රදේශවල දුක් විදින ජනතාවගේ ජීවිතය ගොඩ නැගීමට කටයුතු කරන්නට වූහ. මෙහිදී පළමුව සිංහල භාෂාව පිළිබඳ දැනුමක් ඇති පිරිසක් තෝරා ගෙන පාසලක් ආරම්භ කිරීමට කටයුතු කළහ. එහෙත් එය සාර්ථක ප‍්‍රතිඵල ගෙන දෙන බවක් පෙනෙන්නට තිබුණේ නැත.

පසුව සැතපුම් ගණනක් පොලොන්නරුවට පයින්ම වැඩම කළ සීලාලංකාර හිමියන් හාල්, ලුණු, මිරිස් ආදිය ගම්වාසීන්ට ලබාදීමට කටයුතු කළහ. පාසලට පැමිණෙන ළමයින්ට උදේ සහ දිවා ආහාරය ලබා දෙන වැඩපිළිවෙළක් ද සැකසූහ.

ඒ සමඟ ම පාසලේ ශිෂ්‍ය පිරිස ක‍්‍රමයෙන් ඉහළ ගියහ. මහත් කැපවීමෙන් සිය කාර්ය කරගෙන ගිය සීලාලංකාර හිමියන්ගේ තිබූ ධෛර්ය සම්පන්න බව නිසා ම මේ පාසල පසුකාලීනව සොරවිල මහා විද්‍යාලය බවට පත් විය.

1996 මැයි 25 ‘දිනමිණ’

ක‍්‍රමයෙන් සොරවිල ප‍්‍රදේශයේ ජනතාව හිස ඔසවන්නට විය. ඒ සමඟ ම තම කාර්ය අවසන් බව දැනගත් උන් වහන්සේ දිඹුලාගල ප‍්‍රදේශයට භාවනාව සඳහා පිටත්වීමට අදහස් කළහ.

උන් වහන්සේ මහ වනාන්තරයේ පාත‍්‍රයක් පමණක් අතට ගෙන වාසය කිරීමට ගල් ලෙනක් සොයමින් ඇවිදිමින් සිටියහ. එහෙත් හමුවන හැම ගල්ලෙනකම ගැටලුවක් තිබුණි.

ඒ වැදි පවුල් පදිංචි වී සිටීම ය. කාලයාගේ අවෑමෙන් ඒ වන විට වනාන්තරය ගිලගෙන තිබුණද දිඹුලාගල ප‍්‍රදේශයේ වූ ලෙන් සමූහය බෞද්ධ සරසවියක් වී තිබූ ස්ථානයකි.

ශ‍්‍රී කාශ්‍යප මහ තෙරුන් වහන්සේගේ ප‍්‍රධානත්වයෙන් පැවැති එය පසුකාලීනව ජරාවාස වී වල් වැදුණි. වැදි ජනතාව පදිංචිව සිටියේ මේ ලෙන්වල ය. බුදු පිළිම පසෙකලා වැද්දන් ඒවායේ ජීවත්වූ අතර වේලාගත් මස්ද ඒවායේ දක්නට තිබුණි.

මේ බව සියසින්ම දැක සීලාලංකාර හිමියන් මහත් කම්පාවට පත් වූහ. වැදි නායකයා වූ ‘මිල්ලාන’ හමුවූ උන් වහන්සේ ගල් ගුහාවක් තමාට ලබා ගත හැකිදැයි විමසීය. ‘මිල්ලාන’ එක්වරම එයට එකඟ නොවිණි. එහෙත් පසුව වැදි ජනතාවට විසීමට තැනක් ලබා දෙන බව ප‍්‍රකාශ කළ පසුව ‘මිල්ලාන’ තමා පදිංචිව සිටි ‘චන්ද්‍ර චූකී ලෙන’ කිතලගම හිමියන්ට පූජා කිරීමට කැමැති විය.

එදින ගල් තලාවක් මත තවත් ගල් කැටයක් හිසට තබාගත් සීලාලංකාර හිමියෝ නින්දට පිිවිසුණහ. පසුදින පැමිණි ‘මිල්ලාන’ උන් වහන්සේට ගල් ලෙනෙහි මැස්සක්ද සාදා දුන්නේය. මෙසේ ගල්ලෙන වාස භූමිය කොට නැවතත් සිය භාවනා කටයුතු ආරම්භ කළද වැදි ජනතාව ගෙවන ජීවිතය පිළිබඳ උන්වහන්සේට මහත් වේදනාවක් තිබුණි.

ඒ අනුව ඒ පිරිස එයින් ගලවා ගැනීමට සීලාලංකාර හිමියන් කටයුතු කළහ. මිල්ලානගේ කුඩා දරුවා බුද්ධ ශාසනයට එක්කර ගත්හ. කොළඹට වැඩමකර ආධාර උපකාර ලබාගත් උන් වහන්සේ වැද්දන් සඳහා ගෙවල් සාදා දීමට කටයුතු කළහ. පසුකාලයකදී ‘මිල්ලාන’ මේ සම්බන්ධයෙන් මෙසේ ප‍්‍රකාශ කර තිබුණි.

‘මගේ පුතා නායක හාමුදුරුවෝ මහණ කර ගත්තා. එදා උන් වහන්සේ කිව්වා මස් කන්න එපා කියලා. මම මස් කෑම අත් හැරියා. බත් කන්න කියලා හාමුදුරුවොයි අපිට කිව්වේ. එදා පටන් මුවා, ගෝනා, තලගොයි, ඌරා, වඳුරා මරාගෙන කෑවේ නැහැ. නායක හාමුදුරුවෝ ආව දවසේ ඉඳලා අපි නැවත ඉපදුණා. කොළ අතු පට්ටා ඉණෙන් ගැලවුණා. අපිට ඇඳුම් අඳීන්න දුන්නා. බත් කන්න ඉගැන්නුවා. බුදුන් වඳීන්න ඉගැන්නුවා.’

වැදි ජනතාව ඉත්තෑවන් පිච්චු ස්ථානයක් තිබුණි. එම ස්ථානයේ වැවක් සෑදීමට උන් වහන්සේ කටයුතු කළ අතර එම වැව පසුව ‘ඉත්තෑ පිච්චු වැව‘ නමින් ප‍්‍රසිද්ධ විය.

මේ අතර 1958 දී මහා ගංවතුරක් ඇති විය. ඉන් උතුරු මැද පළාත සම්පූර්ණයෙන් ම වාගේ යට විණි. දිඹුලාගල වැසියන්ට දිවි ගලවා ගැනීමට වුණේ දිඹුලාගල උඩට දිව යාම පමණි.

හිටපු ජනාධිපති පෙ‍්‍ර්මදාස මහතා සමඟ...

එහෙත් මිනිසුන්ට කෑමට කියා දෙයක් මේ කන්දේ නොතිබිණි. තිබුණා නම් ඒ කැලෑ ගස්වල ගෙඩි හා කොළ පමණි. මේ දින කිහිපයේ සීලාලංකාර හිමියන් මේ මිනිසුන් වෙනුවෙන් කළ හැකි හැම දෙයක්ම සිදු කළහ.

දින කිහිපයකින් ගංවතුර බැස යන ලකුණු පහළ විය. මේ සමඟ ම සිවුර ඔළුවේ බැඳගත් සීලාලංකාර හිමියෝ නානකඩය ඇඳගෙන පොළොන්නරුව පැත්තට පීනා යන්නට වූහ. සැතපුම් ගණනාවක් පීනා ගිය උන්වහන්සේ නතර වූයේ පොලොන්නරුව දිසාපති කාර්යාලයේය.

කෑමට කිසිවක් නොමැතිව දිඹුලාගල කන්දේ සිටින පිරිස ගැන උන්වහන්සේ දිසාපතිවරයාට කියා සිටියහ. ඒ වන තෙක් දිසාපතිවරයාට ද මෙවැනි පිරිසක් ගැන කිසිම තොරතුරක් ලැබී තිබුණේ නැත. පසුව ආහාර පාර්සල් යැවීමට කටයුතු කෙරුණි. මෙහිදී සිය ගණනක් වූ වැසියන්ගේ ජීවිත බේරුණේ සීලාලංකාර හිමියන් කළ කැපවීම නිසාය.

මීට වසර ගණනාවකට පෙර මායිම් ගම්මාන ලෙස අප හැඳින්වූ ගම්වල වැසියන්ගේ දුකේදී උන්වහන්සේ පිහිටට පැමිණියහ. මේ ප‍්‍රදේශවල මිනිසුන්ගේ ජීවත්වීම සඳහා කෙරුණු සුවිශාලම අරගලය පැවැතියේ මහපොළව සමඟ ය. එසේ නොගැටුණහොත් ඔවුනට සිදුවූයේ හාමතේ මිය යන්නට ය. වර්ෂාව වුව ඔවුනට ලැබුණේ අවුරුද්දේ සීමිත කාලයක පමණි.

ගිනි ගහන අව් කාෂ්ටකයකට වියැළෙමින් මහ පොළවත් සමඟ දිනපතාම හැපෙන මේ මිනිසුන්ගේ ජීවිත විවිධ වසංගතවලට ගොදුරු වූ අවස්ථා අපමණ ය. එහෙත් ලෙඩකට දුකකට කියා බෙහෙතක් ගැනීමට පහසුකමක් තිබෙන රෝහලක් මේ ප‍්‍රදේශයේ නොතිබිණි. නව ලොව දකින්නට වෙර දරණ දරුවකුට අකුරක් ඉගෙන ගන්නට හරි හමන් පාසලක් තිබුණේ නැත.

පාසල් තිබුණද ඒවාට ගුරුවරුන් සොයා ගැනීම ඊටත් අමාරුය. පාසල්වල ගුරුවරු හිඟය මෙන් ම රෝහල්වල වෛද්‍යවරුන්ගේ හිඟයෙන් ද මොවුහු පීඩාවට පත්වූහ. ඒ නිසාම උන්වහන්සේ අප‍්‍රහිත ධෛර්යයෙන් යුතුව පාසල්, රෝහල් මෙන් ම ඒවාට අවශ්‍ය පහසුකම් ලබාදීමට ද කටයුතු කළහ. ඒ සඳහා ගමක් ගමක් ගානේ ඇවිද්දෙත් ඔවුන්ගේ දුක් ගැනවිලි අරන් කොළඹ රජ මැදුරට ගියේත් පාවහන් යුගලක් හෝ නොමැතිවය.

හිටපු අමාත්‍යවරයකු වූ ලලිත් ඇතුලත්මුදලි මහතා සමඟ...

මේ ගම්මානවල ජීවත්වන මිනිසුන්ගේ දුෂ්කර කාලවලදී වගාවන් පාළු වේ. ඒ කාලයට ගම්වාසීන්ට සිදුවන්නේ ගඩා ගෙඩිවලින් දිවිය රැකගැනීමටය.

 මෙවන් දුක් කන්දරාවලින් වෙලෙමින් සිටින ගමේ මිනිසකු පන්සලට ආ විට සිය දහවල් දානය වුව පරිත්‍යාග කිරීමට උන්වහන්සේ සූදානම්ව සිටියහ. ජනතාව ගම්මාන හැර ගියොත් වෙන්නේ කුමක්ද යන්න උන්වහන්සේ තේරුම් ගෙන සිටියහ. ගම්මාන හිස්වූවා නම් කොටි ගම්මානවලට පැමිණ මංකොල්ල කනු ඇත. අල්ලා ගනු ඇත.

“දරුවනේ මේවා කාපල්ලා. බය නොවී හිටපල්ලා. කොහෙද යෝධයෝ සිංහලයෝ බයවෙලා පැනලා ගියේ”

මෙවැනි වදන් උතුරු නැඟෙනහිර සීමාවේ සිටි ජනතාවට ප‍්‍රාණය ගෙන දෙන වදන් විය. එහෙත් සමහර පිරිස් උන්වහන්සේ ජාතිවාදියෙකු යැයි චෝදනා එල්ල කළහ.

එහෙත් එය බිඳ වැටෙන හොඳ ම උදාහරණය “මලියදේව පුරයයි.” එය තනිකරම සමඟිපුරයකි. මේ ගම පිහිටුවීමට නායක හිමියන් මෙන් ම පොන්නම්බලම් යන දෙමළ ජාතිකයෙක් ද එක්විය.

දෙමළ ජනතාවත්, සිංහල ජනතාවත් බොහෝ සමඟියෙන් වාසය කළ මේ ප‍්‍රදේශයේ සිලාලංකාර හිමියෝ මේ ජනවර්ග දෙකෙහිම දුක සැප නිතරම බැලූහ. දෙමළ ජනතාවගේද දානය පන්සලට ලැබුණේ එහෙයිනි.

“කොටි මෘගයෝ. ඒත් දෙමළ වැසියන් අහිංසකයි. ඇයි අපිට සමඟියෙන් ඉන්න බැරි?” උන්වහන්සේ නිතරම ඇසූහ.

“මේ ගම්වල ඉන්නෙ දෙමළ මිනිස්සු අහිංසකයි. සිංහල මිනිස්සුත් අහිංසකයි. මේ දෙගොල්ලන්ම කොටි ත‍්‍රස්තවාදීන්ගෙන් බේරාගන්න එක මගෙ යුතුකමක්” තවත් විටක උන්වහන්සේ එසේ කීහ.

මෙලෙස සමාජ සේවය කළ උන්වහන්සේ ගල් පර්වත ගිරි දුර්ග පසුකරමින් පයින්ම ගමන් කළහ. එහෙත් කිසි දිනක පාවහන් පැළඳුවේ නැත. මහ කැලයේ වුව වැඩම කළේ එසේ ය. නමුදු සතා සර්පයාගෙන් කිසියම් හෝ හානියක් උන්වහන්සේට සිදු නොවිණ. ඒ පිළිබඳ රහසක් පවතීදැයි සමහර පුවත්පත් කලාවේදීන් උන්වහන්සේගෙන් අසා තිබුණි.

“මාව මරන්න බැරි රහස දිඹුලාගල තියෙන බුද්ධ බලයයි. මං අදහන බුද්ධ මන්තරයයි. මං මාතර කෙනෙක් නිසා සමහරු හිතනවා මං ළඟ බලගතු මන්ත‍්‍ර ශාස්ත‍්‍ර තියෙනවා කියලා. මං ළඟ එහෙම ඒවා නැහැ. මට තියෙන්නේ බුද්ධ මන්තරේ බලය විතරයි.” උන්වහන්සේ කීහ.

එල්. ටී. ටී. ඊ. ය යුද්ධය ආරම්භ කළ දවසේ සිට ම උන්වහන්සේට විවිධ තර්ජන එල්ල විය. ඒ සෑම තර්ජනයකදීම නොසැලී සිටීමට සීලාලංකාර හිමියන්ට හැකි වූයේ හිතේ තිබුණු දැඩි අධිෂ්ඨානය නිසාය.

දිඹුලාගල හිමි ඝාතනය ඉතිරි කොටස හෙට ‘දිනමිණ’ කියවන්න

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා