රවි කරුණානායකට ලක්ෂයක මුදල් ඇප

රවි කරුණානායකට ලක්ෂයක මුදල් ඇප

රටින් පිටවීමත් තහනම් කරයි

විනිමය ආඥා පනත යටතේ වරදක් සිදු කිරීම සම්බන්ධයෙන් අධිචෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවී කරුණානායක මහතාට කොළඹ මහාධිකරණය රුපියල් ලක්‍ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්‍ෂ දහයක ශරීර ඇපයක් ඊයේ (10) නියම කෙළේය.

කරුණානායක මහතාට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කර ඇති අධිචෝදනා ඇතුළත් අධිචෝදනා පත‍්‍රය විවෘත අධිකරණයේදී ඊයේ ඔහු වෙත බාර දෙනු ලැබිණි.

කොළඹ මහාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය හමුවේ ඊයේ නඩුව කැඳවුණු අවස්ථාවේදී කරුණානායක මහතා සහ ඔහු සමග අධිචෝදනා ලැබ සිටින අනෙක් විත්තිකරුවන් දෙදෙනාට අධිකරණයේ පූර්ව අවසරයකින් තොරව රටින් පිටවීම බැහැර වීම තහනම් කළ විනිසුරුවරිය විත්තිකරුවන්ගේ විදේශ ගමන් බලපත‍්‍ර අධිකරණයට බාර කරන ලෙසද නියම කළාය. ස

ීමාසහිත නෙක්සියා කෝපරේට් කන්සල්ටන්ස් (පුද්ගලික) සමාගම සහ ලින්කන් පියසේන අනෙක් විත්තිකරුවෝ වෙති. එම සමාගමේ පරිපාලන කළමනාකාර මොහමඩ් රම්සි විසින් බලය පවරන ලද නියෝජිතයකු පළමු විත්තිකරු ලෙස අධිකරණයට ඉදිරිපත් විය.

අධිචෝදනා පත‍්‍රයේ සඳහන් දෙවැනි සහ තුන්වැනි විත්තිකරුවන්ගේ නම් ලින්කන් චන්ද්‍රසෝම පියසේන සහ රවීන්ද්‍ර සන්ඩ්රේස් කරුණානායක ලෙස සංශෝධනය කිරීමට පැමිණිල්ලේ නීතිඥවරයා කළ ඉල්ලීමට අධිකරණයේ අවසරය ලැබිණි.

අධිකරණ බල ප‍්‍රදේශයේ පදිංචි ස්ථිර පදිංචිකරුවන් දෙදෙනකු ඇපකරුවන් ලෙස ඉදිරිපත් කරන ලෙසත් ග‍්‍රාමසේවා සහ පොලිස් වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් විනිසුරුවරිය විත්තිකරුවන්ට නියම කළාය.

විදේශ ගමන් බලපත‍්‍ර ග‍්‍රාමසේවා සහ පොලිස් වාර්තා මේ 13 අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම විය.

විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබා ගෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අධිකරණ පොලිස් මුරපොළට නියම කෙරිණි. 2006 දෙසැම්බර් 22 දා ගැලියන් ඉන්ටර්නැෂනල් මාස්ටර් ෆන්ඩ් ආයතනය විසින් මෙරටට එවන ලද අමෙරිකානු ඩොලර් මිලියනයක් (රු. 1,07,049,464) ක් සහ 2007 ජනවාරි 03 දා අනේවාසික පදිංචිකරුවෙක් වන රාජ් රාජරත්නම් මෙරටට එවන ලද අමෙරිකානු ඩොලර් මිලියන දෙකක් (රු. 2,14,00,000) ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අවසරයකින් තොරව චාර්ටඩ් ස්ටෑන්ඩර්ඩ් බැංකුවේ කිරුළපන ශාඛාවේ ගිණුමක තැන්පත් කිරීමට සීමාසහිත නෙක්සියා කෝපරේට් කන්සල්ටන්ස් (පුද්ගලික) සමාගමට ආධාර අනුබල දෙන ලදැයි රවි කරුණානායක මහතා සමඟ ලින්කන් පියසේන මේ නඩුවේ අධිචෝදනා ලැබ සිටිති.

2002 අපෙ‍්‍ර්ල් 19 දිනැති රජයේ අති විශේෂ ගැසට් නිවේදනයේ කොන්දේසි උල්ලංඝනය කරමින් සීමාසහිත යුනියන් බැංකුවේ කොටස් මිලට ගැනීමට අනේවාසික පදිංචිකරුවෙක් වන රාජ් රාජරත්නම් විසින් එවන ලද අ. ඩො. මිලියනයක් ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ කිරුළපන ශාඛාවේ නෙක්සියා පෞද්ගලික සමාගම නමින් කොටස් ආයෝජන ගිණුමක් නොවන වෙනත් ගිණුමක් විවෘත කර එම මුදල් බැර කරවීම කරුණානායක මහතාට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කර ඇති අනෙක් අධි චෝදනාවයි.

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ දිලිප පීරිස් මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.

නීතිඥ යූ. ආර්. ද සිල්වා මහතා සමග ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා කරුණානායක මහතා වෙනුවෙන්ද නීතිඥ සුදත් ජයසුන්දර මහතා සමග ජනාධිපති නීතිඥ ආනන්ද විජේසේකර මහතා පළමු විත්තිකරු වෙනුවෙන්ද නීතිඥ අනිල් සිල්වා මහතා දෙවැනි විත්තිකරු වෙනුවෙන්ද පෙනී සිටියහ.

නඩු විභාගය සැප්තැම්බර් 25 වැනි දාට නියම විය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා