පොත් ගුල්ලන් විතරක් බිහි කළාට මදි: ජය පැරදුමට හුරු සිසු පිරිසක් බිහි කරමු

පොත් ගුල්ලන් විතරක් බිහි කළාට මදි:
ජය පැරදුමට හුරු සිසු පිරිසක් බිහි කරමු

- ජනාධිපති මහින්ද රාජපක්ෂ

පාසල් අධ්‍යාපනයට පමණක් සීමා නොවී කී‍්‍රඩාවටද දරුවන් යොමු කිරීම මගින් උසස් සෞඛ්‍ය හා මානසික තත්ත්වයකින් යුත් සමාජයට වැඩදායී පුරවැසියන් බිහි කර ගත හැකි බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

ජනාධිපතිවරයා මේ අදහස් පළ කෙළේ කී‍්‍රඩා පාසලක් ලෙස සංවර්ධනය කෙරුණු පිළියන්දල මධ්‍ය මහ විද්‍යාලය සිසු අයිතියට පත් කිරීමේ උත්සවයට පෙරේදා (9) සහභාගී වෙමිනි.

කී‍්‍රඩා අමාත්‍යංශය අධ්‍යාපන අමාත්‍යංශය සමඟ එක්ව කි‍්‍රයාත්මක කරන කී‍්‍රඩා පාසල් බිහි කිරීමේ ව්‍යාපෘතියේ පළමු වැන්න වශයෙන් සංවර්ධනය කෙරුණ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ අලුතෙන් ඉදි කෙරුණ ක‍්‍රීඩාංගණය , කී‍්‍රඩාගාරයද සිසු අයිතියට පත් කෙරුණු අතර රුපියල් මිලියන 30 ක වියදමකින් ඉදි කෙරෙන පිිහිනුම් තටාකයටද මුල් ගල් තැබිණි.

කැස්බෑව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා වන , කී‍්‍රඩා හා පොදු විනෝදාත්මක කටයුතු ඇමැති ගාමිණී ලොකුගේ මහතාට කැස්බෑව ජනතාව පිරිනැමූ උපහාර සම්මානය ජනාධිපතිතුමාගේ අතින් මෙහිදී පිළිගැන්විණි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී මෙසේ ද ප‍්‍රකාශ කෙළේය.

අධ්‍යාපන අමාත්‍යංශය හා ක‍්‍රීඩා අමාත්‍යංශය එක්ව බිහි කරන්නට බලාපොරොත්තු වෙන කී‍්‍රඩා පාසල් තුනෙන් පළමු පාසල තමයි අද මේ විවෘත කෙරෙන්නේ. ඊට සම්බන්ධ වීමට ලැබීම පිළිබඳව සතුටු වෙනවා. පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ ඉතිහාසය පිළිබඳවත් එයින් බිහි වූ බුද්ධිමතුන් පිළිබඳවත් මම අමුතුවෙන් කිව යුතු නැහැ. මේ ප‍්‍රදේශයේ අය පමණක් නොවෙයි මගේ ගමේ ඉපදුණු ආචාර්ය මොහොට්ටාල වගේ බුද්ධිමතුන් පවා විශ්වවිද්‍යාලයට යාමට තෝරා ගත්තේ මේ විද්‍යාලයයි.

එදා අප ගම් ප‍්‍රදේශවලත් පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයට සුවිශේෂි ස්ථානයක් ලැබුණා. අපේ අධ්‍යාපන ඇමැතිතුමා කිව්වා ගුරුවරුන් 31,000 ක් බඳවා ගත්තා කියලා. ඇත්ත වශයෙන්ම අපි ගුරුවරුන් 31,000 ක් බඳවා ගත්තා. කිසිම ලෝබකමක් නැතිව හමුදාවටත් අධ්‍යාපනයටත් පමණයි අපි ඒ තරම් විශාල ප‍්‍රමාණයක් බඳවා ගතතේ.

බඳවා ගත්තු 31,000 ක් සමඟ ගුරුවරුන් 218,000ක් ලංකාවේ ඉන්නවා. ගුරු හිඟයට වඩා තිබෙන්නේ මේ ගුරුවරුන් බෙදී විසිරී නොයාමයි. ගුරුවරුන් බඳවා ගත්තට මදි. අධ්‍යාපනයේ ගුණාත්මක භාවය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍යයි.

කී‍්‍රඩා පාසලක් ලෙස සංවර්ධනය කෙරුණු පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අතින් පෙරේදා (9) විවෘත කෙරිණි. එහිදී ජනාධිපතිවරයා රැස්වසිටි ජනතාවට ආචාර කළ අවස්ථාව සහ රැස්ව සිටි පිරිසෙන් කොටසක් මෙහි දැක්වේ. ඡායාරූප - කමල් ජයමාන්න.

මේ රටේ කී‍්‍රඩාව දියුණු කිරීමට නම් පාසල් අධ්‍යාපනය හා සම්බන්ධ කළ යුතු බව මා විශ්වාස කරනවා. කුඩා කාලයේ සිටම දරුවන්ගේ දක්ෂතා හඳුනාගෙන කටයුතු කළ යුතුයි. පළමු වතාවට කී‍්‍රඩා අමාත්‍යංශයත් අධ්‍යාපන අමාත්‍යංශයත් එකතුව කී‍්‍රඩා පාසල් ආරම්භ කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ කුඩා කාලයේ සිටම දරුවන්ගේ හැකියාවන් හඳුනාගෙන ඔවුන් ජාත්‍යන්තර තලය දක්වා ගෙන යාමයි.

අපි හිතනවා පාසල් දැරුවන් අධ්‍යාපනයට පමණක්සීමා කළ යුතු නැති බව. දරුවන් උදේ සිට හවස් වෙනකම් අධ්‍යාපනයට පමණක් යොමු කළ යුතු නැහැ. උදේ පාසල් යන දරුවා සවස ටියුෂන් යනවා. ගෙදර එන්නේ හෙම්බත් වෙලා. දරුවන්ගේ අධ්‍යාපනය වගේම සෞඛ්‍ය හා මානසික යහපත උදෙසා දරුවා ක‍්‍රීඩාවන්ට යොමු කිරීම ඉතා වැදගත් . අපි පොත් ගුල්ලෝ විතරක් බිහි කළාට මදි. ජය පරාජයන්ට මුහුණ දිය හැකි දරුවන් පිරිසක් බිහි කරන්න ඕනෑ.

ජය පරාජය සමව විඳ දරා ගැනීමට නායකත්වයේ ගුණාංග කණ්ඩායමක් තුළ වැඩ කළ හැකි ආකාරය ඉගෙන ගත හැක්කේ කී‍්‍රඩාව තුළින්. ඒ දරුවන් සමාජයට යන විට මේ ලැබුණු ගුණාංග ඉතා වැදගත් වෙනවා. සමාජයට වැඩදායි පුද්ගලයන් බවට පත් කර ගැන,ීමට මේ ගුණාංග වැදගත් බවයි මගේ විශ්වාසය.

හැම දරුවෙක්ම කී‍්‍රඩාවක් කරන්න පුහුණු විය යුතුයි. මේ රටේ බාධා විශාල ප‍්‍රමාණයක් අපි ඉවත් කළා. දරුවන්ගේ මවුපියන්ගේ සිත්වල තිබු බය අප ඉවත් කළා. උතුරු නැඟෙනහිර පළාත් වල අවුරුදු ගණනාවක් පස්සේ දරුවන්ගේ නැති ව තිබූ හැකියාවන් අපි නැවත සොයා ගත යුතුයි. ආසියාවේ පළමු පදක්කමක් ගෙනාපු එදිරිවීරසිංහම් වැනි දක්ෂ කී‍්‍රඩකයන් එදා කිලිනොච්චියෙන් මඩකළපුවෙන් බිහි වුණා.

පසුගිය වසර තිහ තුළ ඒ කී‍්‍රඩකයන්ගේ දක්ෂතා අපට ලැබුණේ නැහැ. ඔබේ දරුවා පොත පත අරගෙන යද්දී ඒ දරුවන්ට ලැබුණේ ටී. පනස් හය තුවක්කු . සහන කඳවුරු වල ඉන්නවා. ටී පනස් හය ගලවලා හදන්න පුළුවන් වයස දොළහේ දරුවෝ. ඒ දරුවන් විනාශයට යොමු කරලා තිබුණේ. මේ දරුවන් නැවත ගොඩ ගැනීමට කටයුතු කරන්න ඕනෑ.

අවුරුදු තිහක් නොලැබුණු දේ ලබා ගැනීමේ වගකීම අපට තිබෙනවා. අපට නැවත ලැබුණු ප‍්‍ර‍්‍රදේශ ඇතුළු සියලු ප‍්‍රදේශවල කී‍්‍රඩාව, අධ්‍යාපනය සංවර්ධනය කළ යුතුයි. රටක සංවර්ධනය එක ප‍්‍රදේශයකට සීමා කරන්නේ නැතිව කටයුතු කරනවා වගේම අධ්‍යාපනය හා කී‍්‍රඩාවන් එක ප‍්‍රදේශයකට සීමා කළ යුතු නැහැ. රටේ සෑම තැනකටම විසිරී යා යුතුයි.

ඒ නිසා තමයි අපි බෙලිඅත්ත නුවරඑළිය වගේ ප‍්‍රදේශවල කී‍්‍රඩාංගණ ඉදි කරන්නේ. වඩා හොඳ ක‍්‍රීඩකයකු මෙන්ම හෝ බුද්ධිමතුන් බිහි කරන්න මේ පාසල් දැඩි ලෙස ඉවහල් වන බව මා විශ්වාස කරනවා.

අධ්‍යාපන ඇමැති සුසිල් පෙ‍්‍ර්මජයන්ත, දහ අට වැනි සියවසේ අග භාගයේ ආරම්භ වූ පාසල රජයේ පාසලක් බවට පත් වී කන්නන්ගර මහතාගේ ප‍්‍රතිපත්ති මත 1944 දී මධ්‍ය විද්‍යාලයක බවට පත්වුණා. ජනාධිපතිතුමාගේ මහින්ද චින්තනය අනුව අග‍්‍රගණ්‍ය පාසල් 325 ක් බිහි කිරීමේ ප‍්‍රතිපත්තිය ආරම්භ වී තිබෙනවා. ඒ දිවයිනේ දුෂ්කරතම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස පදනම මත. උතුරු වසන්තය යටතේ උතුරු පළාතේ මේ වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කිරීමට රුපියල් මිලියන 1050 ක් වෙන් කර තිබෙනවා.

කැස්බෑව ජනතාව විසින් කැස්බෑව ශ‍්‍රීලනිප සංවිධායක ගාමිණී ලොකුගේ මහතාට පරිනමන ලද උපහාර සම්මානය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අතින් පිරිනැමුණු අවස්ථාවයි මේ. සුසිල් පේ‍්‍රමජයන්ත , බන්දුල බස්නායක ඇමැතිවරුද මෙහි වෙති.

පිළියන්දල මධ්‍ය විද්‍යාලයට කී‍්‍රඩා ඇමැතිතුමා විශාල මුදලක් වැය කර කී‍්‍රඩා පාසලක් බවට පත් කළා. මේ කී‍්‍රඩාංගණයත්, පිහිණුම් තටාකයත් ලැබුණේ කී‍්‍රඩා අමාත්‍යංශයෙන්. අධ්‍යාපන අමාත්‍යංශය නවීණ ශ‍්‍රවණාගාරයක් ලබා දුන්නා.

හොරණ තක්ෂිලාව, ශී‍්‍රපාලිය හැරුණුකොට අනෙක් පසින් නුගේගොඩ දක්වා යන අතර මඟ හමුවන විශාලතම පාසල මේ පාසලයි. ඒ නිසා විශාල ඉල්ලුමක් තිබෙනවා. අපි නව අධ්‍යාපන කෙටුම්පතක් සකස් කරගෙන යනවා. ඒ යටතේ නව පාසල් වර්ගීකරණයක් සිදු කෙරෙනවා. එය බොහෝ දුරට එදා කන්නන්ගර මැතිතුමා කළ වර්ගීකරණයට සමාන වනු ඇත.

ගෙවුණු වසර තුනේදී ගුරු පත්වීම් 31,000ක් ලබා දී තිබෙනවා. දැන් ගුරුවරු 218000 ඉන්නවා. ශිෂ්‍යයන් ලක්ෂ 40 ක් ඉන්නවා. අනුපාතය 19 ට එකක්. සංවර්ධිත රටවල තිබෙන විස්සට එක අනුපාතය ඉක්මවා යනවා. 1993 තිබූ ප‍්‍රතිඵලය අවුරුදු පහළොව දී දෙගුණයකින් ඉහළ දමා තිබෙනවා. අපේ රටේ සාක්ෂරතාව සියයට 95 ක්. ලෝකයේ සංවර්ධිත රටවලට සමාන මට්ටමක් අපට තිබෙනවා.

පිළියන්දල මැදි විදුහල අද භෞතික සහ මානව සම්පතින් අංග සම්පූර්ණ වී තිබෙනවා. කී‍්‍රඩා අමාත්‍යංශය යටතේ කි‍්‍රඩා පාසලක් බවට පත් කෙරෙන මේ විද්‍යාලය ජනාධිපතිතුමා එදා පාර්ලිමේන්තුවේදී සඳහන් කළ නව පුනරුද යුගයට සමගාමීව නව පුනරුද යුගයක් කරා ගමන් කරමින් තිබෙනවා. ගාමිණී ලොකුගේ ඇමැතිවරයා ඇතුළු අනෙකුත් මැති ඇමැතිවරු ඊට දැක් වූ දායකත්වයට අපගේ ගෞරවය පුද කරනවා.

කී‍්‍රඩා හා පොදු විනෝදාත්මක කටයුතු ඇමැති ගාමිණී ලොකුගේ මහතා, මාව මේ පළාතේ තමුන්නාන්සේලා 1983 දී මන්තී‍්‍රවරයකු ලෙස පත් කළා. ඒ ඔබ වෙනුවෙන් යමක් කරන්න. පළාත, රට වෙනුවෙන් යමක් කරන්න. මගේ දේශපාලනයට වසර 26 ක් පිරෙන මේ මොහොතේ ප‍්‍රධානම විද්‍යාලයට මෙවන් සේවයක් කරන්න ලැබීම පිළිබඳව මේ විද්‍යාලයෙන් විශිෂ්ට ගනයේ පුද්ගලයන් රැසක් බිහිකර තිබෙනවා. මේ විද්‍යාලයේ නව පරපුරට නව ලෝකයක් සමඟ ඉදිරියට යාමට ශක්තිය ලබා දීම අපගේ වගකීමයි.

මේ දරුවන් ඉදිරියට යනකොට අපි සතුටු වෙනවා. ඒක අපිට ආඩම්බරයක්. ඒ වගේ විශිෂ්ටයන් තව බිහිවෙන්න ඕනැ. ජනාධිපතිතුමා මහින්ද චින්තනයෙන් සඳහන් කළා කී‍්‍රඩාව ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම පිළිබඳව මම අධ්‍යාපන ඇමැතිතුමා සමඟ සාකච්ඡා කරලා අපි දෙගොල්ලො එකතු වෙලා පාසල් දරුවන්ගේ කී‍්‍රඩා කුසලතා ඉහළ දැමීම පිළිබඳ. ඒ අනුව කී‍්‍රඩා පාසල් ආරම්භ කළා.

අදටත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව යටතේ කී‍්‍රඩා පාසල් තිබෙනවා. අපි කල්පනා කළා මෙතෙක් නොතිබුණු කී‍්‍රඩාත් එකතු කොට කී‍්‍රඩා පසලක් බිහි කිරීමට. මාදම්පේ, හම්බන්තොට ආදී පළාත් වලත් මේ ආකාරයේ පාසල් ඉදි කෙරෙනවා. ඇතැම් කී‍්‍රඩා සඳහා සමහර ප‍්‍රදේශවල පහසුකම් නැහැ. රටේ තිබෙන කී‍්‍රඩාවලින් භාගයක්වත් කී‍්‍රඩා කෙරෙන්නේ නැහැ.

ගමේ පාසල්වල හයිය ශක්තිය තියෙන දරුවන් පුහුණු කරන්න අපේ ජනාධිපතිතුමා අයවැයෙන් රුපියල් මිලියන 300 ක් වෙන් කළා. ඒ අනුව ගම්බද පාසල් තෝරගෙන කී‍්‍රඩා පාසල් බවට පත් කළා. ප‍්‍රසන්න ඇමැතතුමාගේ මැදිහත්වීම මත වෑවල පාසලත් මේ පාසලටම භාර කළා . තව වසර කිහිපයක් යන කොට සෑම කී‍්‍රඩාවක්ම පුහුණු වන මධ්‍යස්ථානයක් බවට මේ පාසල පත් වෙනවා.

අද අපි නිදහසේ ජීවත් වෙනවා. වෙනදා අපි ගමනක් ගියෙත් ආරක්ෂකයෝ පිරිවරාගෙන. එතුමාගේ ශක්තියත්, බුද්ධියත් මෙහෙයවලා මේ රට එක්සේසත් කර තිබෙනවා. එතුමාට අද සමස්ත ජාතියම ගෞරව කරනවා. ඊට ශක්තියක් දෙන්න මට අවස්ථාවක් ලැබුණා. මම තීරණය කළා රට බේරා ගැනීමේ සටනේදී පක්ෂය අමතක කර ජනාධිපතිතුමාට ශක්තියක් ලබාදීමට ලංකාවේ සෑම නායකයෙක්ම පාහේ විදෙස් බලවේගවලට ඔළුව නැමුවා.

එතුමා ඒවා තුට්ටුවකට ගණන් ගත්තේ නැහැ. එතුමා ශී‍්‍ර ලාංකිකයකු ලෙස ශී‍්‍ර ලාංකිකයන් පිළබඳව විශ්වාසය තබා කටයුතු කළ නිසා අද මේ ජයග‍්‍රහණය ලැබී තිබෙනවා. ඒ නිසා අපි පක්ෂ දේශපාලනය අත හැර අපේ ජනාධිපතිතුමා සමඟ එකතු වී රටේ ජයග‍්‍රහණය සංවර්ධනය වෙනුවෙන් කටයුතු කරමු කියා ඉල්ලා සිටිනවා.

ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති , බෙල්ලන්විල රජ මහා විහාරාධිපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමි, මේ අවස්ථාව ප‍්‍රීතිමත් , අසිරිමත් අවස්ථාවක් , මම මේ විදුහලේ මෑණියන්ගේ දරුවෙක්. එදා අපි ඉගෙන ගන්න කාලේ මේ තරම් දියුණුවක් තිබුණේ නැහැ. මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉතා වාසනාවන්තයි. මේ රටේ මධ්‍ය මහා විද්‍යාල ආරම්භ කෙළේ අධ්‍යාපනයට ශ්‍රේෂ්ඨ කර්තව්‍යයක් ඉටු කළ කන්නන්ගර මහතා. ගමේ පාසලෙන් දක්ෂතා දැක් වූ දරුවන්ට ශිෂ්‍යත්ව ලබා දුන්නා.

ඒ ළමයින් මධ්‍ය මහා විද්‍යාලවලට පැමිණියා. මමත් ඉගෙන ගත්තේ කටු මැටි පාසලක. 5 ශිෂ්‍යත්වය සමත් වෙලා මම පාසලට ආවා. එසේ මධ්‍ය මහා විද්‍යාලවලට පැමිණි දරුවන් සුවිශේෂ දක්ෂතා දැක්වූවා. කී‍්‍රඩා අංශයෙන් වගේම ඉගෙනුම පැත්තෙනුත් මේ දැරුවන් ඉදිරියෙන් සිටියා. අද පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය අංග සම්පූර්ණ කී‍්‍රඩා විද්‍යාලයක් ලෙස ආරම්භ කෙරෙනවා. ගාමිණී ලොකුගේ ඇමැතිතුමා මේ ප‍්‍රදේශයේ අධ්‍යාපනය ඉහළ දැමීමට විශාල සේවයක් කරනවා.

අධ්‍යාපනය දෙනවා කියන්නේ සියලු දේ දෙනවා හා සමානයි. අධ්‍යාපනය තරම් ලෝකය ජය ගන්න පුළුවන් වෙනත් දෙයක් නැහැ. පළාතක් අනෙකුත් පහසුකම් වගේම අධ්‍යාපනය දියුණු කිරීමටත් අත හිත දීම වැදගත්. කී‍්‍රඩාව පාසල් මට්ටමෙන් වැඩි දියුණු කර දරුවන් ජාත්‍යන්තර මට්ටමට ගෙන යාමට මෙය ඉතා වැදගත් පියවරක්. වෙනත් රටවල් සමඟ සැසැඳීමේ දී අපිට තිබෙන්නේ අඩු පහසුකම්. එවැනි අඩු පහසුකම් තිබෙන රටක දරුවන් මෙවැනි දක්ෂතා දැක්වීම අගය කළ යුතුයි.

ලංකාවේ අධ්‍යාපන ක‍්‍රමයේ යම් කිසි වෙනසක් විය යුතුයි. හැමෝම උත්සාහ කරන්නේ සුපිරි පාසල් වලට දරුවන් ඇතුළත් කර ගන්නයි. ගමේ පාසල් වැසී යනවා. ගමේ දරුවන් කොළඹ සුපිරි පාසල් වලට ඇතුළත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට නඩු තීන්දු දෙන්න වීම ඉතා කණගාටුදායකයි.

ගමේ පාසලෙන් ඉගෙන ගෙන ලෝකයට යන මාවත විවෘත කෙරෙන ආකාරයේ අධ්‍යාපන ක‍්‍රමයක් අවශ්‍යයි. ඔබතුමා වසර 30 ක් පැවැති ත‍්‍රස්තවාදය නිමා කළා. දැන් මේ උපහාර උත්සව මඳකට නවතා දමා උතුරු පළාත දියුණු කරන්න කටයුතු කළ යුතුයි.

පිළියන්දල මධ්‍ය මහා විදුහලේ , විදුහල්පති ඩබ්ලිව්. එම්. එල්. විජේසිංහ මහතා, අද කැස්බෑව ජනතාවට වැදගත් දිනයක් . මේ විදුහලේ උගෙනුම ලබන දූ දරුවන්ට විශ්ව සමාජය ජය ගැනීමට සියලු පහසුකම් සහිත පාසලක් හිමිවීම අපගේ සතුටට හේතුවක් . උතුරේ දැවැන්ත අර්බුදය අවසන් කරලීමට ජනාධිපතිතුමා අභීත නායකත්වයක් අපේ රණවිරුවන්ට ලබා දී ත‍්‍රස්තවාදය අවසන් කළා.

සිතාරා මධුෂානී උඩුවන ශිෂ්‍යාව, අද පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ අප සියලු දෙනාටම ඉතා වැදගත් සුබ දිනයක් . ජනාධිපතිතුමා අද අපේ පාසලට පැමිණ ඉතිහාසයේ කවදාවත් නොලැබුණු තරමේ ප‍්‍රදානයක් කිරීම ඉතා වැදගත්. නමුත් එය පුදුුමයක් නොවන්නේ ඔබතුමා මේ රටේ හතළිස් ලක්ෂයක් වන දරු කැළගේ ආඩම්බරකාර පියාණන් නිසාය. පිළියන්දල මැදි විදුහල කී‍්‍රඩා පාසලක් වශයෙන් ඉහළ ස්ථානයකට පත් වන්නේ ඔබ නිසායි. මේ කෙළිබිමෙන් ඔලිම්පික් ඇතුළු සියලු කෙළිබිම් තරණය කරන ක‍්‍රීඩක කී‍්‍රඩිකාවන් බිහි කරන බවට අපි ඔබතුමාට ප‍්‍රතිඥා දෙන්නෙමු.

මහා සංඝරත්නයත් , බන්දුල ගුණවර්ධන , බන්දුල බස්නායක , ජීවන් කුමාරතුංග , පී. දයාරත්න ඇමැතිවරුන් , බස්නාහිර පළාත් මහ ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක් වූහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා