අපජල කළමනාකරණයට ඩොලර් මිලියන 100ක්

අපජල කළමනාකරණයට ඩොලර් මිලියන 100ක්

මහ කොළඹ අපජල කළමනාකරන ව්‍යාපෘතිය සඳහා ආසියා සංවර්ධන බැංකුවෙන් ලබා දීමට නියමිත ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක ණය ආධාර මුදල සඳහා දැනටමත් අනුමැතිය ලැබී ඇති බව කොළඹ මහා නගර සභාවේ ඉංජිනේරු අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘ දිනමිණ’ට පැවැසීය.

ව්‍යාපෘතිය පිළිබඳ කරුණු අධ්‍යයනය කිරීමෙන් පසු මුදල් අමාත්‍යාංශය සමග අදාළ ගිවිසුම ඉදිරි මාස 3 තුළ දී අස්සන් තැබෙනු ඇතැයි එම නිලධාරියා ප‍්‍රකාශ කෙළේය.

මේ සඳහා ව්‍යාපෘති කාර්යාලයක් නව නගර ශාලා පරිශ‍්‍රයේ පිහිටුවා ඇති අතර, 2010 වන විට ව්‍යාපෘති සැලසුම් සකස් කිරීමට නියමිතව ඇත.

2011 වසරේදී අපජල කළමණාකරණ ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ කිරීමටත් 2014 වන විට අවසන් කිරීමටත් කොළඹ මහා නගර සභාව හා ජලසම්පාදන මණ්ඩලය සැලසුම් කැර ඇත.

කොළඹ නගරයේ පමණක් අපජල පොම්පාගාර 14 ක් පවතින අතර ඒවා පුනරුත්ථාපනය කිරීමටත්,නව ඉදිකිරීම් එම ස්ථානවලම සිදු කිරීමටත් අරමුණු කැරගෙන ඇත.

මීට අමතරව කොළොන්නාව හා දෙහිවල ගල්කිස්ස නගර සභා බල ප‍්‍රදේශවලත් අනෙකුත් මළ නාලිකා පද්ධති අලුත්වැඩියා කැරෙන අතර මේ ව්‍යාපෘතිය මගින් නගරයේ ජනතාවට එදිනෙදා කටයුතු අවහිරතාවයකින් තොරව කරගැනීමට හැකියාව ලැබෙන බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කෙළේය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා