සෙලින්කෝ ශී‍්‍ර රාම් සමාගමේ අධ්‍යක්‍ෂවරු 3ක් ඇප මත නිදහස්

සෙලින්කෝ ශී‍්‍ර රාම් සමාගමේ අධ්‍යක්‍ෂවරු 3ක් ඇප මත නිදහස්

තැන්පත්කරුවන්ට ලබාදිය යුතු රුපියල් බිලියන හතකට අධික මුදල හා පොලිය නොගෙවා පැහැරහැරියේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කෙරුණු සෙලින්කෝ ශී‍්‍ර රාම් සමාගමේ තවත් අධ්‍යක්‍ෂවරුන් තිදෙනෙකු රුපියල් පනස් දහස බැගින් වූ මුදල් හා රුපියල් පනස් ලක්‍ෂය බැගින් වු ශරීර ඇප දෙක බැගින් මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කෙළේය.

අජිත් ගුණවර්ධන, නිහාල් පීරිස්, හා සංක විජේසිංහ නමැති සෙලින්කෝ ශී‍්‍ර රාම් කැපිටල් මැනේජ්මන්ට් පුද්ගලික සමාගමේ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයන් තිදෙනෙකුට එසේ ඇප නියම කෙරිණි. විදේශ ගමන් බලපත‍්‍ර අධිකරණයට බාරදීමටත් සෑම මසකම අවසන් ඉරුදින රහස් පොලිසියට වාර්තා කිරීමටත් සැකකරුවනට නියම කෙරිණි.

ශී‍්‍ර ලංකා මහ බැංකුව නීතිපතිවරයා වෙත කළ දැනුම් දීමක් පරිදි මේ සිද්ධිය සම්බන්ධව පරීක්‍ෂණයක් පැවැත්වීමට නීතිපතිවරයා විසින් රහස් පොලිසියට දන්වා තිබුණි.

ඒ අනුව රහස් පොලිසිය සිද්ධිය සම්බන්‍ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කළ බව රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.

මීට පෙර මේ සිද්ධිය අධිකරණයේ කැඳ වු අවස්ථාවේ නීතිඥ මහතෙකු මගින් අධිකරණයට දන්වා සිටි පරිදි තැන්පත්කරුවන් හාර සියයක් දෙනා සමඟ මුදල් නැවත ලබාදීම සඳහා සෙලින්කෝ ශී‍්‍ර රාම් සමාගමේ අධ්‍යක්‍ෂ මණ්ඩලය සමඟ එකඟතාවකට පත්ව ඇද්ද යන කරුණ සම්බන්‍ධව සොයා බලා ඊළඟ දිනයේ අධිකරණය වෙත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත‍්‍රාත්වරයා රහස් පොලිසියට නියෝග කළේය.

එම සිද්ධිය අසත්‍යයක් නම් සැකකරුවන්ගේ ඇප අවලංගු කැර රක්‍ෂිත බන්‍ධනාගාර බාරයට පත්කරන බව මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ප‍්‍රකාශ කෙළේය.

තැන්පත්කරුවන් 400 දෙනෙකු සමඟ සැකකරුවන් මුදල් ගෙවීමක් සම්බන්‍ධව එකඟතාවකට පත්ව ඇතැයි යන කරුණ සම්බන්‍ධව මේ වනතෙක් පැමිණිල්ලට හෝ අධිකරණයට ලිඛිතව දැනුම්දීමක් සිදු කැර නොමැති බැවින් එම කරුණ සම්බන්ධව විශ්වාසයක් තැබිය නොහැකි බව රජයේ අධිනීතිඥ ෂමින්ද වික‍්‍රමගේ මහතා අධිකරණයට කළ ප‍්‍රකාශයෙන් අනතුරුව ඒ සම්බන්‍ධව සොයා බැලීම සඳහා මහේස්ත‍්‍රාත්වරයා රහස් පොලිසියට නියම කළේය.

රහස් පොලිසිය කළ ඉල්ලීමක් අනුව හය වැනි හා හත්වන සැකකරුවන්ට රහස් පොලිසියට ගොස් ප‍්‍රකාශයක් ලබා දෙන ලෙසට මහේස්ත‍්‍රාත්වරයා නියෝග කෙළේය.

මේ වංචාව සමාගම ආරම්භයේ සිටම පැමිණිලි ලැබෙන තෙක්ම සිදුවූවක් බවත් තැන්පත්කරුවන් හත්දහස් තුන්සිය විසිපහකට අයත් මුදල් හා පොලිය බිලියන හතකට අධික මුදලක් මොවුන් වංචා කැර ඇති බවත් පැවසු රජයේ අධිනීතිඥ ෂමින්ද වික‍්‍රමගේ මහතා සැකකරුවන්ට ඇප ලබාදීම සම්බන්ධව තරයේ විරුද්ධ වන බව ප‍්‍රකාශ කෙළේය.

රජයේ මහ බැංකුව ලෙසට මේ සමාගමේ මුදල් තැන්පත් කිරීමෙන් අවධානමක් ඇති විය හැකි බව ජනතාව දැනුවත් කිරීමට මහබැංකුව වගකීමක් නැද්දැයි මහේස්ත‍්‍රාත්වරයා ප‍්‍රශ්න කැර සිටි අතර ඒ සම්බන්ධව මේ අවස්ථාවේ තමාට ප‍්‍රකාශයක් කිරීමට අපහසු බව දැන් වූ රජයේ අධිනීතිඥවරයා මහ බැංකුවට ඒ සඳහා වගකීමක් ඇති බවට පිළිගන්නා බව දන්වා සිටියේය.

මෙතරම් විශාල මුදලක් ජනාතාව මේ සමාගමේ තැන්පත් කිරීමේදී එහි අවදානම සම්බන්‍ධව ජනතාව දැනුවත් කිරීමට මහබැංකුවට ජනතාව වෙනුවෙන් විශාල වගකීමක් තිබුණු බව මහේස්ත‍්‍රාත්වරයා ප‍්‍රකාශ කෙළේය.

සිද්ධිය නැවත කැඳවීම ලබන 29 වැනිදාට කල් තැබිණි.

රහස් පොලිසියේ පොලිස් අධිකාරි එච්. කේ. ඩී සිල්වා ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක සේරසිංහ යන මහත්වරුන් සමඟ රජයේ අධිනීතිඥ ෂමින්ද වික‍්‍රමගේ මහතා පැමිණිල්ල මෙහෙය වූයේය.

සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා සමඟ නීතිඥ නලින්ද්‍ර ඉන්ද්‍රතිස්ස, කුවේරාඩි සිල්වා, ශිරාෆ් නූර්ඩීන්, ප‍්‍රසන්න වීරසේකර හා අසේල රැකව යන මහත්වරු පෙනී සිටියහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා