ශ‍්‍රී ලංකා වෛද්‍යවරු දහසක් ලිබියාවේ රෝහල් සේවයට

ශ‍්‍රී ලංකා වෛද්‍යවරු දහසක් ලිබියාවේ රෝහල් සේවයට

ශ‍්‍රී ලංකාවේ වෛද්‍යවරුන් දහසක් ලිබියාවේ රැකියා සඳහා යැවීමට විදේශ රැකියා ප‍්‍රවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

සම්මුඛ පරීක්ෂණ පවත්වා ඊට සුදුසු වෛද්‍යවරුන් දැනටමත් තෝරාගෙන අවසන් බව අමාත්‍යාංශය පවසයි. තව මාස කීපයක් ඇතුළත ඔවූහු ලිබියාව බලා යති.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලිබියාවේ කළ සංචාරයේ දි එරට රජය මගින් ශ‍්‍රී ලංකාවේ වෛද්‍යවරුන් දහසක් එරට රෝහල් වල වෛද්‍ය සේවයට යොදා ගැනීමට එකඟ වී ඇත.

ඒ සඳහා දෙරට අතර ද්විපාර්ශ්වික ගිවිසුමක්ද අස්සන් කෙරුණි. සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ කි‍්‍රයාත්මක වන වෛද්‍යවරුන් විදේශගත කිරීමේ මධ්‍යස්ථානයේ ලියාපදිංචි වී ඇති වෛද්‍යවරුන් අතරින් එම දහස තෝරාගෙන තිබේ.

එම වෛද්‍යවරුන් ලිබියාවට යැවීමේ සම්පූර්ණ වගකීම අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ විදේශ රැකියා ප‍්‍රවර්ධන අමාත්‍යංශයෙන් පමණක් සිදු කෙරේ.

ලිබියාවේ රෝහල් සේවයට අමතරව එරට වෛද්‍යවරුන් පුහුණු කිරීමේ කාර්යයද මේ රටින් යන වෛද්‍යවරුන්ට බාර වී තිබේ’
වෛද්‍යවරුන්ගේ එතෙර සේවා කාලය වසර දෙකකට සීමා වෙයි.

වෛද්‍යවරුන් දහසක් විදේශ රටකට යැවීමෙන් මෙරට වෛද්‍ය ක්ෂේත‍්‍රයේ සම්පත් වලට කිසිදු අඩුපාඩුවක් සිදු නොවන බව අමාත්‍යංශ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා