දඟ පන්දු රජා නැති පිටියේ දෙවැනි ටෙස්ට් ගැටුම හෙට ඇරැඹේ

දඟ පන්දු රජා නැති පිටියේ දෙවැනි ටෙස්ට් ගැටුම හෙට ඇරැඹේ

ශ‍්‍රී ලංකාව තරගමාලා ජයග‍්‍රහණයක් වාර්තා කිරීමේ අරමුණින් හෙට (12) පී. සරා ඕවල්හි පාකිස්තානයට එරෙහිව ඇරැඹෙන දෙවැනි ටෙස්ට් තරගයට සහභාගි වන්නේ නැවත වතාවක් ඔවුන්ගේ දඟ පන්දු රජා වන මුත්තයියා මුරලිදරන් නොමැතිවය.

ලොව පෙරමුණේ සිටින ටෙස්ට් හා එක්දින පන්ද්‍ර යවන්නා වන “මුරලි” පසුගිය සතියේ පුහුණුවීම් වලදී දකුණු දණහිසේ ආබාධයකට ලක්වීම හේතුවෙන් ශ‍්‍රී ලංකාව ලකුණු 50 කින් ගාල්ලේදී ජය ගත් පලමු ටෙස්ට් තරගයට සහභාගි නොවීය.

37 හැවිරිදි මුරලිදරන් සැලකිය යුතු තරමින් සුවය ලබා ඇතත් වැඩි ආරක්ෂාව පතා හෙට ඇරැඹෙන තරගයට සහභාගි නොවන බව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ කළමනාකරු බ්‍රෙන්ඩන් කුරුප්පු පවසයි.

“මුරලි තෙවැනි ටෙස්ට් තරගයට සහභාගි වනු ඇති බවට අපට විශ්වාසයි” යැයිද කුරුප්පු මහතා කියයි.

තරගමාලාව සම කිරීමේ අපේක්ෂාවෙන් පසුවන පාකිස්තානය මුරලිදරන්, ඔහු දීර්ඝ කාලයක් නියෝජනය කරන ද්‍රවිඩ සංගම් පිලේ කී‍්‍රඩාංගණය වන පී. සරා ඕවල් හී තරගයට සහභාගි නොවීම පිළිබඳ සතුටු වනු ඇත.

“මුරලි” මේ කී‍්‍රඩාංගණයේ ටෙස්ට් තරග 9 කදී කඩුලු 52 ක් ලබා ගෙන තිබේ. දිවයිනේ වඩාත්ම කී‍්‍රඩාශීලී තණතිල්ල ලෙසින් සැලකෙන සරා පිටියේ ශ‍්‍රී ලංකාව අවසන් වරට කී‍්‍රඩා කළ ටෙස්ට් තරග හතරම ජය ගෙන තිබේ.

සංචාරක පාකිස්තානය අවසන් වතාවට මේ කී‍්‍රඩාංගණයේ කී‍්‍රඩා කෙළේ 2002 වසරේදීය. එහිදී ඔවුහු ලකුණු 41 කින් ඔස්ටේ‍්‍රලියාවට පරාජය වූහ. පාකිස්තානයේ අයහපත් ආරක්ෂක තත්ත්වය හේතුවෙන් එම තරගය මධ්‍යස්ථ ස්ථානයකට මාරු කර තිබිණි.

පලපුරුද්දක් නැති සිය පන්දු ප‍්‍රහාරය පිළිබඳ පාකිස්තානයට මුලදී තිබූ කණස්සල්ල දැන් නැත.

හේතුව පලමු තරගයේදී ශ‍්‍රී ලංකාව ලකුණු 292 හා 217 කට සීමා කිරීමට එම පන්දු ප‍්‍රහාරය සමත් වූ හෙයිනි. ඔවුන්ගේ ප‍්‍රධාන පන්දු යවන්නා සිවු දෙනාගෙන් තිදෙනෙක්ම ගාල්ලේදී සහභාගි වූයේ ඔවුන්ගේ මංගල ටෙස්ට් තරගයටය.

ඉනිම දෙකේදී කඩුලු 3 බැගින් ලබා ගත් වමතින් වේග පන්දු යවන මොහමඩ් ආමිර් ඔවුන්ගේ සුපිරි පන්දු යවන්නා විය. අනෙක් නවකයන් වූ අබ්දුර් රවුෆ් හා සයීඩ් අජ්මාල් කඩුලු 8 ක් ඔවුන් අතර බෙදා ගත්හ.

එහෙත් ඔවුන්ගේ පිතිකරුවන් අසාර්ථක වූහ. සල්මන් බට්, කුරාම් මන්සූර් හා නායක ඛාන් යන මුල් පෙළ පිතිකරුවන් තිදෙනා ගෙන් එක් කෙනෙකුට හෝ ලකුණු අතරට පිවිසීමට නොහැකි වූහ.

මාස 18 කට පසුව යළි පිටියට පිවිසි පලපුරදු පිතිකරු මොහමඩ් යුසූෆ් පලමු ඉනිමේදී ශතකයක් වාර්තා කළද දෙවැනි ඉනිමේ ලකුණු 12 කට ඔහු දැවී යාම පාකිස්තාන පරාජයේ ආරම්භය විය.

ශ‍්‍රී ලංකාව පැත්තෙන් බලන විටද ඔවුන්ගේ පිතිකරුවෝ පළමු තරගයේදී අසාර්ථක වූහ. හෙට ඇරැඹෙන තරගයේ පෙරමුණ ගැනීමට නම් ශ‍්‍රී ලංකා පිතිකරුවන් ඉනිමට සවිමත් ආරම්භයක් ලබා දීමට වග බලා ගත යුතු වෙයි.

උප නායක මහේල

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ උප නායක මුත්තයියා මුරලිදරන් තුවාල ලබා සිටින නිසා හෙට ඇරැඹෙන දෙවැනි ටෙස්ට් තරගයේ උප නායකත්වය හිටපු ශ‍්‍රී ලංකා කි‍්‍රකට් නායක මහේල ජයවර්ධනට පවරා තිබේ.

ගාල්ලේ පළමු ටෙස්ට් තරගයේ තීරණාත්මක අවස්ථාවලදී මහේල තමාට වටිනා උපදෙස් ලබා දුන් බව එම තරගයෙන් පසුව නායක කුමාර් සංගක්කාර ප‍්‍රකාශ කෙළේය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා