වෙහෙරගල ආදර්ශය

වෙහෙරගල ආදර්ශය

වෙහෙරගල ජලාශයේ මංගල දියවර සුළි නඟමින් ගලා ගියේ ය. ප‍්‍රධාන සොරොව්වෙන් නව වාරිමාර්ගයට පිවිසි නිල් දිය කඳ ඉදිරියට ගලන්නට වූයේ අතීත උරුමය පිළිබඳ මතකයන් ද අනාගත සමෘද්ධිය පිළිබඳ බලාපොරොත්තු ද පොදි බැඳගෙන ය.

රුහුණටත් ඌවටත් මේ මගින් ජීවයක් ලැබේ. මිනිස් සමාජය සත්ව සන්තතිය පමණක් නො ව ගහකොළ පවා උද්දාමයක පැටලී සිටියේ ය. නව ඇළමාර්ගවල සීතල ජලකඳට පනින කොලු – කුරුට්ටන් ප‍්‍රීතියෙන් පිහිනනු දක්නට ලැබිණි. කලකට පෙර දරුණු නියඟයකට මුහුණ දුන් හම්බන්තොට ප‍්‍රදේශයට කොළඹින් වතුර ගෙන යන්නට සිදු වූ බව අපට මතක ය.

මේ ජලාශය ඉදිකිරීම සඳහා රුපියල් දසලක්ෂ දෙදහස් දෙසීයක මුදලක් වැය කර තිබේ. අදාළ සැලැසුම් හා ඉදිකිරීම් දේශීය ඉංජිනේරුවන්ගේ තාක්ෂණය අනුව සිදු විය.

ඒ මගින් විශාල විදේශ විනිමයක් ඉතිරි විය. විදේශීය කොම්පැනියකට මෙහි ටෙන්ඩරය බාරදුන්නේ නම්; වියදම තව කිහිප ගුණයකින් වැඩිවෙනු සිකුරු ය. එපමණක් නොව අතයට ගැහිලි ද වැඩිවනු ඇත.

ලොව ඉතා ඉහළින් අගය කරන වාරි තාක්ෂණයක් සහිත ශ‍්‍රී ලංකාව, ජලාශ ඉදිකිරීම සඳහා පිටරටින් දැනුම ලබාගන්නේ නම්; එය ලැජ්ජාවට කාරණයෙකි.

මංගල දියවර මුදාහැරීමේ අවස්ථාවට එක් වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනතාව ගේ දැන ගැනීම සඳහා වැදගත් අදහස් ගණනාවක් පළ කළේ ය. පළමුවැන්න යුද්ධයක් කරන අතර ම සංවර්ධනය අත් නො හළ නිසා වෙහෙරගල වැනි ජලාශ ඉදිකරන්නට හැකි වූ බව ය.

දෙවැන්න අද උතුරත් – දකුණත්, නැඟෙනහිරත් – බටහිරත් යන සමස්ත ශ‍්‍රී ලංකාව ම ජනාධිපතිවරයා ගේ පාලනයට නතු වී ඇති බව ය. තෙවැන්න පාතාල කල්ලි මර්දනය කරමින් මතට තිත තබමින් සදාචාරවත් සමාජයක් ගොඩනඟන බව ය. හතරවැන්න රට ගොඩනැඟීම සඳහා රාජ්‍ය සේවකයා ගේ කැපවීම අත්‍යවශ්‍ය බව ය.

ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළ හැම වචනයක් ම මේ රටේ අනාගත සංවර්ධනයට අදාළ ය. එයිනුදු රාජ්‍ය සේවකයා ගේ කැපවීම යන කාරණය කෙරෙහි අප ගේ වැඩි අවධානය යොමුකරන්නට කැමැත්තෙමු. රාජ්‍ය සේවකයාට රටක් යන මාර්ගය වෙනස් කළ හැකි යැයි පිළිගැනීමක් තිබේ. 1991 වන විට අසිරිමත් සෝවියට් දේශය බිඳ වැටුණේ නිලධාරිවාදය මුල්කරගෙන යැයි මතයක් තිබේ.

එහි සත්‍යයක් පවතින බව පසුකලෙක කරන ලද විමර්ශනවල දී පැහැදිලි වී තිබේ. නිලධාරිවාදය විසින් සෝවියට් ආර්ථිකය බිඳ දමන ලදී. අප‍්‍රිකානු රාජ්‍ය ගණනාවක ද මේ සන්තෑසිය සිදු ව තිබේ.

රාජ්‍ය නිලධාරියා යනු මව්බිමට ආදරය කරන පුද්ගලයකු විය යුතු යැයි මහින්ද රාජපක්ෂ මහතා කියයි. එලෙස ම ඔහු රටේ සංවර්ධනය වෙනුවෙන් බලවත් කැපකිරීමක් කරන පුද්ගලයකු විය යුතු යැයි ද ජනාධිපතිවරයා පෙන්වා දෙයි. කලකට පෙර එබඳු නිලධාරීන් සිටි බවට සාක්ෂ්‍ය තිබේ. අදටත් එවැනි ආදර්ශවත් නිලධාරීන් සිටින බවට ද සාක්ෂ්‍ය තිබේ.

වාරිමාර්ගයක සොරොව්ව ඇහිරුණු කළ වතුරට බැස එය ශුද්ධ කිරීමට වෑයම් කළ රාජ්‍ය නිලධාරියකු පිළිබඳ කතාවක් ද මහින්ද රාජපක්ෂ මහතා විසින් ගෙනහැර දක්වන ලදී. එබඳු නිලධාරීන් රටට සම්පතෙකි. ජාතියට ආඩම්බරයෙකි.

ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ ගාම්භීරත්වය කෙලෙසෙන්නට පටන් ගත්තේ අවදි දෙකක දී ය. සිරිමාවො බණ්ඩාරනායක මැතිනිය ගේ පාලන සමයේ දී රාජ්‍ය නිලධරයාට වැඩි බලයක් ලැබුණු අතර බලය අනිසි ලෙස පාවිච්චි කිරීමේ වාසිය ද ඔවුනට ලැබිණි.

එහි එක් අභාග්‍යයක් වූයේ රාජ්‍ය සේවකයා දූෂිතයකු බවට පත්වීමේ ප‍්‍රවණතාවට ඉන් පිටුබලයක් ලැබුණු බැවිනි. ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩු සමයේ පළමු කී සියල්ල වෙනත් අතකට හැරවිණි.

ජේ. ආර්. ජයවර්ධන මහතා බටහිර ධනපති රටවල් දෙස බලාගෙන සිංගප්පූරු ආකෘතියක් ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ආදේශ කළේ ය. ඒ න්‍යායය තුළ රාජ්‍ය සේවකයා යනු කිසිසේත් ම සැලකිල්ලට ගත යුතු පුද්ගලයෙක් නො වේ.

ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය සේවාව පහත් මට්ටමකට ඇද දැමීමේ වගකීම මුළුමනින් ම ජේ. ආර්. භාරගත යුතු ය. ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය සේවාව මුල සිටම ගොඩ නැගුණේ අධිරාජ්‍යවාදී පාලකයන්ට උවමනා අන්දමටය.

ඉංග‍්‍රීසි කාරයා රාජ්‍ය සේවාව කි‍්‍රයාත්මක කෙළේ ශ‍්‍රී ලංකාවේ පුරවැසියන් බිය ගන්වා පාලනය කිරීමට හා ඔවුන්ගෙන් බදු මුදල් අය කර ගැනීමට ය. මේ රටේ මුල් බැස ගත් ආර්ථික සම්ප‍්‍රදාය ඔස්සේ ජාතික සංවර්ධන ව්‍යාපාරයක් ගෙන යෑමේ උවමනාව කිසිවෙකුටත් නො තිබිණි.

විදේශාධිපත්‍යයෙන් රට නිදහස් වී අවුරුදු හැට එකකට පසු ඒ තත්ත්වය තේරුම් ගත් රාජ්‍ය නායකයා මහින්ද රාජපක්ෂ මහතාය. එතුමා රාජ්‍ය සේවාවට දර්ශනයක් ලබා දීමට වෑයම් කරන බව පෙනේ. එය සාර්ථක වුවහොත් රටේ ඉදිරි ගමනේ කොඳු නාරටිය රාජ්‍ය සේවාව බවට පත්වනු ඇත.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා