සුනාමිය වගේම කොටි අපේ ජීවිත නැත්තට ම නැති කළා


 

සුනාමිය වගේම කොටි අපේ ජීවිත නැත්තට ම නැති කළා

අපිට දැන් වාරකන් ඉවරයි

අම්පාර දිස්ති‍්‍රක්කයට අයත් වෙරළබඩ තීරයේ කිලෝමීටර් 90 ක ප‍්‍රමාණයක් දුරට මුහුද ඇත. මෙම මුහුදු තීරුවේ දහස් සංඛ්‍යාත ධීවරයින් පිරිසක් ධීවර කර්මාන්තයෙන් තම ජීවිතය ගැට ගසා ගනිති.

මුස්ලිම්, දෙමළ, සිංහල ජනතාවද මෙම මුහුදු තීරයේ තම රැකියාවේ යෙදී සිටින අතර මේ රටේ පැවැති යුද්ධය ධීවර කර්මාන්තයට තදින් බලපෑවේය. යුද්ධයෙන් මෙන්ම සුනාමියෙන් ද නැඟෙනහිර ධීවර ජනතාව දැඩි අසීරුතාවයට පත්විය.

සියලුම ධීවරයින්ගේ ධීවර බෝට්ටු, දැල් ආම්පන්න මුළුමනින්ම විනාශ විය. උන්හිටි තැන්ද අහිමිවිය.

ධීවර කර්මාන්තයේ යෙදුණු දහස් සංඛ්‍යාත ජනතාවක් මාස ගණනාවක් යනතුරු ම අනාථ කඳවුරුවල ජීවත්වන්නට සිදුවිය.

සුනාමියෙන් තමන්ගේ දූදරුවන් අහිමි වූ ධීවරයන් මුහුදට යාමට පවා අකමැත්තක් දැක්වීය.

කොටි සංවිධානයේ නැඟෙනහිර බලය අවසන් කිරීමට රජයට හැකිවීම නිසා නැඟෙනහිර ජනතාවට යම් අස්වැසිල්ලක් උදාවිය.

නැඟෙනහිර මුදාගනු ලැබූවත් උතුර මුදාගන්නා තුරු නැගෙනහිර ධීවරයන්ට මුහුදේ සීමාවන් ඉක්මවා යාමට නොහැකිවිය. ඔවුන්ට මේ නිදහස ලැබුණේ දැනට සති කිහිපයකට පෙරය.

රජය මුහුදු තහංචිය ඉවත් කිරීම නිසා ධීවරයන්ට අද සහනයක් ලැබී ඇත. නැගෙනහිර නවෝදයත් සමඟ අම්පාර දිස්ති‍්‍රක්කයේ ධීවර කර්මාන්තය ඇති වී තිබෙන ප‍්‍රබෝධය පිළිබඳ අද සතියේ ගවේෂණයෙන් විමසුමට ලක් කෙරේ.


ධීවර කටයුතු නැංවීමට නව සැළැසුම්

ෆීලික්ස් පෙරේරා - ධීවර හා ජලජ සම්පත් ඇමැති

මාළු මිල ඉහළ යාමට තිස් වසරක කුරිරු යුද්ධය තදින්ම බලපෑවා. 1983 දී උතුරු නැඟෙනහිරින් මාළු නිෂ්පාදනය සඳහා ලැබුණු දායකත්වය 40% ක් වූවත් 2008 වනවිට එම දායකත්වය 5% දක්වා පහත බැස තිබෙනවා.

නමුත් උතුරු වසන්තය වැඩසටහන යටතේ උතුරු නැඟෙනහිර මාළු නිෂ්පාදනය 1983 පැවැති ප‍්‍රමාණය ඉක්මවා ඉහළ නැංවීමට සැළැසුම් සකස් කර තිබෙනවා.

මේ යටතේ මත්ස්‍ය සම්පත වැඩි කිරීමට කටයුතු යොදන අතර ඒ සඳහා කාර්ය සාධක බලකායක්ද පිහිටුවා හමාරයි.

අප සතු මුහුදු කලාපයෙන් 2/3 ක් අයත් වන්නේ උතුරු නැඟෙනහිර කලාපවලට.

පසුගිය කාලය පුරාවට එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදී කි‍්‍රයාකාරකම් නිසා මත්ස්‍ය අස්වැන්න ලබාගැනීම අඩුවී ගියා.

ඒ වගේම ආරක්ෂිත හේතුන් මත ධීවරයන් සඳහා සීමා පැනවීමත් මාළු නිෂ්පාදනය අඩුවීමට හේතුවූවා.

තවද 2004 දී සුනාමි ව්‍යවසනයත් එල්.ටී.ටී.ඊ.ය මගින් ධීවරයන් රට මැදට රැගෙන යාමත් ධීවර නිෂ්පාදනයන්ට තදින්ම බලපෑවා.

මේ වනවිට මේ සියලු බාධා ඉවත්වෙලා. එතුළින් ධීවර ජනතාවට සිය වෘත්තීය කරගෙන යාමට පහසුකම් සැළසිලා.

මීට අමතරව ආයතනික රාමුවක් සෑදීමට 33,000 ක් වන ධීවර ප‍්‍රජාවගේ ජීවනෝපාය ඉහළට ගෙන ඒමට, ආහාර සුරක්ෂිතතාවයට යටිතල පහසුකම් වැඩි කිරීමට, කඩොලාන කලපු මෝයවල් සංරක්ෂණය කිරීමට පියවර ගනිමින් සිටිනවා.

1983 දී මුලතිව්, යාපනය, මන්නාරම සහ කිලිනොච්චිය යන දිස්ති‍්‍රක්කවලින් පමණක් මාළු මෙටි‍්‍රක්ටොන් 75,740 ක් ලැබුණත් 2002 සහ 2008 වසරවල වනවිට පිළිවෙළින් එම ප‍්‍රමාණය මෙටි‍්‍රක් ටොන් 24,150 ක් සහ මෙටි‍්‍රක් ටොන් 13,840 ක් දක්වා පහළ බැහැලා.

කි‍්‍රයාකාරී ධීවර ප‍්‍රජාව 1989 දී 34,809 සිටියත් 2002 වනවිට එම සංඛ්‍යාව 28,070 දක්වා පහළ බැස තිබුණා.

ඒත් 2008 වනවිට මානුෂීය මෙහෙයුම හරහා ඇතැම් ප‍්‍රදේශ මුදාගෙන සිටි නිසා කි‍්‍රයාකාරී ධීවර ප‍්‍රජාව 34,870 ක් දක්වා වැඩිවුණා.

ඒවගේම අවතැන්ව සිටින 45,000 ක් පමණ වන ධීවර ප‍්‍රජාවගේද ජීවනෝපාය උතුරු වසන්තය යටතේ ඉහළට ගෙනඒමට හැකිවේ යැයි විශ්වාස කරනවා.


මාළු කොළඹට ගේන්න නිදහස නෑ

ඒ. එල්. මුස්තතීන් - මාළු ව්‍යාපාරිකයෙක්

මුලින්ම අපිට මුහුදේ නිදහසේ මාළු ඇල්ලීමට අවසරදීම පිළිබඳව ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා. මුහුදෙන් මාළු අල්ලන්න නිදහස හම්බවුණාට අල්ලන මාළු කොළඹට ගේන්න අපට නිදහසක් නෑ.

බලපත‍්‍ර අරගෙන එනකල් මාළු පටවන්න බෑ. බලපත‍්‍රය අරගෙන ආයෙත් සැරයක් එස්.ටී.එෆ්. එකට ගිහින් ලොරිය පෙන්වලා මාළු පටවද්දී අයිස් දෙපාරක් ගහන්න වෙනවා.

සමහර වෙලාවට බැරියල් එකෙන් බහින්න වෙනවා. එතකොට මාළු බිස්නස් එක නතර කරන්න හිතෙනවා. මේ වැඩ ඔක්කොම කරලා අපිට කොළඹ යන්න පරක්කු වෙනවා.

උදේම කොළඹට යන්න ඕන හින්දා ඩ‍්‍රයිවර් වේගයෙන් යනවා. එතකොට රථවාහන පොලිසියෙන් අල්ලනවා. ඒක නිසා මාළු ප‍්‍රවාහනය කරන නිදහසත් අපිට ලබාදෙන්න කියලා රජයෙන් ඉල්ලනවා.


මේ කර්මාන්තය අපි සුහදව කරමු

පී. එච්. නිශාන්ත - මාතර ධීවරයෙක්

ධී වර රස්සාව කියන්නේ අද හොඳයි. හෙට නරකයි. දකුණේ මාළු අහුවෙන්නේ නැති වෙද්දී අපි වෙනත් ප‍්‍රදේශවලට යනවා. ඉස්සර අපි එහෙම යද්දී ගියේ හරි බයෙන්, කොයි වෙලාවේ කොටි කරදරයක් කරයිද කියලා.

අද අපිට ඒ බය නැති වෙලා. ඒ හින්දා අපිට නිදහසේ මුහුදු කර්මාන්තය කරන්න පුළුවන්. ඒ වගේම අපි දකුණේ ඉඳලා ඇවිත් මෙහෙ මාළු අල්ලනවාට (කල්මුණේ) සමහර අය විරුද්ධයි.

මේ ගමනත් අපි ආවේ එස්. ටී. එෆ්. එකේ මහත්වරු මැදිහත් වූ නිසයි. මම කියන්නේ මේ මුහුදේ මාළු ඉන්නවා. මේ කර්මාන්තය අපි සුහදව කරමු.


අපිට නාවික හමුදාව උදව් කරනවා

පී. එච්. චන්ද්‍රසේන - කෝට්ටේගොඩ ධීවරයෙක්

අපිට නිදහසේ මාළු අල්ලන්න පුළුවන් වුණේ මේ යුද්ධය ඉවර වුණ හින්දා. දැන් අපිට තහංචි නැති හින්දා අතමිට සරුකර ගන්න පුළුවන්.

ඒ දවස්වල රෑට මුහුදු යන්න එපා කියනවා. ඒ වගේ ප‍්‍රශ්න අද නෑ. අපි අද මුහුදු යන කොට නාවික හමුදාව උදව් කරනවා. අපි ප‍්‍රාර්ථනා කළ නිදහස අපට ලැබී තියෙනවා.

අද අපි කල්මුණේ මාළු අල්ලන්න ආවාම ගෙදර අය ඉන්නේ විශ්වාසයෙන්.

ඉස්සර එහෙම නෑ. ගෙදර එනකම් විශ්වාසයක් නෑ.


මේ නිදහස ලබා දුන් සැමට ස්තුතියි

ආර්. නන්දසිරි - මාතර ධීවරයෙක්

අපි දකුණේ ඉඳන් ආ ධීවරයෝ. මේ වෙනකොට අපේ මාළු ටැංකි පහක් මෙහාට ගෙනත් තියෙනවා. තවත් මාළු ටැංකි ගේන්න තියෙනවා. පහුගිය කාලේ විවිධ ප‍්‍රශ්න නිසා අපි කල්මුණේට ආවේ නෑ.

ජනාධිපතිතුමා රටට නිදහස අරන් දුන්න නිසා අද මේ පළාත්වලට ජනතාව එනවා. පැය විසිහතරේම මුහුදු යන්න හැකි නිසා අපේ කර්මාන්තය හොඳට දියුණු කරගන්න පුළුවන්. අපේ කර්මාන්තය දියුණු කර ගැනීමට සහයෝගය දුන් ජනාධිපතිතුමා ඇතුළු රජයට අපි ස්තුතිවන්ත වෙනවා.

ආණ්ඩුව හින්දයි අද අපි නිදහසේ ඉන්නේ. මේ නිදහස අපට දිගටම රැක දෙන්න.


අපිට ධීවර පාසලක් ලබා දෙන්න

ඒ. එම්. ජවාර්හිජ් - මාළු ව්‍යාපාරිකයෙක්

අපි අවුරුදු ගාණක් ඉඳලා කරන්නේ මේ රස්සාව. අපි හැමදාම මාළු අල්ලන්නේ එකම විදියට. දැනට අවුරුදු තිහකට කලින් මාළු අල්ලපු විදියටම තමා අදත් මාළු අල්ලන්නේ.

ඒ නිසා අපි පැරැණි සම්ප‍්‍රදායට අනුව මාළු අල්ලපු ක‍්‍රමය අවසන් කරලා නවීන ක‍්‍රමයට මාළු අල්ලන්න පටන් ගන්න ඕනේ. මම රජයෙන් ඉල්ලා සිටිනවා අපිට ධීවර පාසලක් ලබාදෙන්න කියලා.

මෙය ඉතා ඉක්මනින් කරන තරමට හොඳයි. අපේ ධීවරයන් ගතානුගතික ක‍්‍රමයෙන් මුදාගත යුතුයි.

අලුත් ක‍්‍රම තුළින් අපට මාළු විශාල ප‍්‍රමාණයක් අල්ලා ගත හැකි. එතුළින් අපේ අත මිට සරු වෙනවා


අපිට තියෙන ලොකුම ප‍්‍රශ්නය අයිස් හිඟකම

පී. එම්. සම්සුදීන් කල්මුණේ

අපේ ජීවිතය ගැට ගැහිලා තියෙන්නේ ධීවර කර්මාන්තයත් එක්ක. අපි වයසට ගියත් මහමුහුද සමඟ ජීවත් වෙනවා. ධීවර කර්මාන්තයේ යෙදෙන අපට කරදර හිරිහැර වැඩියි.

කල්මුණේ ධීවරයන්ට තියෙන ලොකුම ප‍්‍රශ්නය අයිස් හිඟකම. ඒ නිසා අපට අයිස් කම්හලක් වුවමනායි. සමහර වෙලාවට පිට ප‍්‍රදේශවලින් අයිස් ගන්න වෙනවා.

ඒ නිසා අල්ලන මාළු නරක් නොවී තියාගන්න අවශ්‍ය විදියට අයිස් ගන්න පුළුවන් ස්ථානයක් රජය මැදිහත් වී ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා.

ඒ වගේම අපේ මාළු අස්වැන්න විකුණා ගන්නත් ක‍්‍රමයක් ආණ්ඩුව සලසා දෙනවානම් ඉතා හොඳයි.


ධීවරයන් රැක ගැනීමට ආණ්ඩුව කටයුතු කළ යුතුයි

ඒ. එල්. තහීම් - ධීවරයෙක්

ධීවර කර්මාන්තය කියන්නේ විශ්වාස කරන්න බැරි රස්සාවක්. සමහර වෙලාවට දවස් දෙකේ තුනේ මාළු අහුවෙන්නේ නෑ.

ඒ වගේ දවස්වලට අපි අසරණ වෙනවා. ධීවරයන් රැකගන්න ආණ්ඩුව කටයුතු කළ යුතුයි.

මේ නිදහස ලබා දීම ගැන අපි ආණ්ඩුවට ස්තූති වන්ත වෙනවා.


දැන් සියලු තහංචි අවසන්

මහින්ද අබේසුන්දර - දිනමිණ ප‍්‍රධාන කර්තෘ

ප‍්‍රභාකරන්ගේ ත‍්‍රස්තවාදී භීෂණය නිසා උතුරු නැගෙනහිර සියලු ක්ෂේත‍්‍ර අකර්මන්‍ය වී තිබිණි. ධීවරයන්ට නිදහසේ මාළු බාන්නට තිබූ මුහුද යුද කලාපයක් බවට පත්විය.

එනිසා පැය විසිහතරේම ජීවත්වන්නට මුහුද සමග පොර බැදූ ධීවර ජනතාවට කාල සටහන් දෙන්නට සිදුවිය. වාරකන් කාලයට දකුණේ සිට උතුරට ගොස් මාස හයක් පුරා බඩ වියත රැක ගන්නා දකුණේ ධීවරයන්ට එයින් බඩේ පහර වැදුණි.

දැන් සියලු තහංචි අවසන්ය. මාළු අතින් පෝෂණය වී ධීවරයන්ගේ මඩිය පිරෙන දිනය උදාවී ඇත.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා