නැෙඟනහිර නවෝදයත් සමඟ ධීවර ප‍්‍රබෝධය


 

නැඟෙනහිර  නවෝදයත් සමඟ ධීවර ප‍්‍රබෝධය

උතුරේ ධීවර ජනතාව මේ වන විට බියෙන් සැකෙන් තොරව මුහුදු යන්නේ ඔවුනගේ හෙට දිනය පිළිබඳව පැහැදිලි බලාපොරොත්තු සහිතවය. එදා වෙඩි වරුසා මැදින් බොඳව ගිය උතුරේ ධීවර සිහින අද අතු රිකිලි දමා වැඩෙමින් පවතින්නේ උතුරේ ධීවර රැකියාවට පනවා තිබූ තහනම ඉවත් කර පැය 24 ම ධීවර රැකියාවෙහි යෙදීමට අවසර ලබාදීමය.

මෙයට පෙර නැඟෙනහිර  ධීවරයනටද මෙම වරම හිමි වූ අතර අද වන විට, රජය කි‍්‍රයාත්මක කළ නැඟෙනහිර නවෝදය සංවර්ධන වැඩසටහන යටතේ එම ධීවර ප‍්‍රදෙශයන් සංවර්ධනය කර තිබේ.

පැය 24 පුරා ධීවර කර්මාන්තයේ යෙදීමට උතුරේ ධීවරයන්ට ලබාදුන් අවසරය පිළිබඳව ඔවුන් කතාබහ කරන්නේ හදපිරි සතුටිනි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ රජයට මේ පිළිබඳව තුති පුදන ඔවුන් දැන් සැරසෙන්නේ තමන් නෙළාගන්නා මත්ස්‍ය අස්වැන්න දකුණේ ජනතාවටද ලබාදීමටය.

උතුරේ ධීවර කර්මාන්තය ආරම්භ වීමත් සමඟම එම ප‍්‍රදේශවල මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ යමින් පවතියි. මේ වන විට යාපනයේ මත්ස්‍ය නිෂ්පාදනයේ දෛනික අතිරික්තය පමණක් මෙටි‍්‍රක් ටොන් 25 කි.

ති‍්‍රකුණාමලය, අම්පාර, මන්නාරම දිස්ති‍්‍රක්කවල ධීවර කාර්මිකයන් වෙත පනවා තිබූ මුහුදු සීමා, කාලවේලා සීමා හා වෙනත් බාධක ඉවත් කිරීමත් සමඟම එම ප‍්‍රදේශවල ධීවරයින්ගේ මත්ස්‍ය නිෂ්පාදනයේ සැළැකිය යුතු වර්ධනයක් වී තිබේ.

මේ වන විට ති‍්‍රකුණාමලයේ පමණක් මත්ස්‍ය නිෂ්පාදනය 25% කින් ඉහළ ගොස් ඇතැයි ධීවර අමාත්‍යංශ වාර්තා කියයි. මේවන විට ති‍්‍රකුණාමලය, මන්නාරම ප‍්‍රදේශවලින් මත්ස්‍ය තොග කොළඹ නගරය කරා ගෙන ඒම දෛනිකව සිදුවෙයි.

උතුරේ ධීවරයන් සතු දෛනික මත්ස්‍ය අස්වනු අතිරික්තය ඒ-9 මාර්ගය ඔස්සේ යාපනය සිට කොළඹට රැගෙන ඒම පසුගිය 11 දා ධීවර හා ජලජ සම්පත් ඇමැති ෆීලික්ස් පෙරේරා මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදුකෙරුණේ උතුර- දකුණ ධීවර සහයෝගිතාවයද වර්ධනය කරමිනි.

මෙයට අමතරව ධීවර හා ජලජ සම්පත් ඇමැති ෆීලික්ස් පෙරේරා මහතාගේ උපදෙස් පරිදි උතුරු ප‍්‍රදේශයේ යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම දිස්ති‍්‍රක්කවල ධීවරයනට අවශ්‍ය ධීවර යාත‍්‍රා සහ ආම්පන්න ලබාදීමද සිදුකෙරෙමින් පවතියි.

මේ සඳහා අවශ්‍ය රුපියල් දශලක්ෂ 250 ක මුදල “ගම නැඟුම” ප‍්‍රතිපාදන යටතේ වෙන්වනු ඇත.

උතුරු පළාතේ ධීවර ගම්මාන 219 කි. ගැටුම්කාරී තත්ත්වයට පෙර උතුරු පළාතේ ධීවර අංශය ප‍්‍රාදේශීය ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදුන් අතර 1983 වසර වන විට මුලතිව් යාපනය සහ මන්නාරම දිස්ති‍්‍රක්කවලින් ලැබුණු ධීවර දායකත්වය 40% කි. යාපනය දිස්ති‍්‍රක්කයේ පමණක් දායකත්වය 26% කි.

වසර 25 කට වඩා පැවැති ගැටුම්කාරී තත්ත්වය මත ධීවර අංශය මුළුමනින්ම පාහේ කඩා වැටුණු අතර එම ප‍්‍රදේශවල ධීවර අංශයේ පසුබෑමට හේතු වූ අනෙකුත් කරුණු වූයේ පනවන ලද කාලසීමා සහ ප‍්‍රදෙශ සීමාවන්, නව තාක්ෂණයෙන් සමන්විත ධීවර යාත‍්‍රා සහ ධීවර ආම්පන්න හඳුන්වාදීමට නොහැකිවීම, යුදමය වාතාවරණය නිසා ධීවර ප‍්‍රජාව අවතැන්වීම 2004 වසරේ සිදුවූ සුනාමි ව්‍යසනය ආදියයි.

මේ වන විට උතුරේ සිටින කි‍්‍රයාකාරී ධීවර කාර්මිකයන් සංඛ්‍යාව (2008-ධීවර අමාත්‍යංශ සංඛ්‍යාලේඛන අනුව) 34870 කි. 1980 දශකය වන විට උතුරේ මත්ස්‍ය නිෂ්පාදනය මෙටි‍්‍රක් ටොන් 66580 ක් වූ අතර 1990 දී එය මෙට්‍්‍රක් ටොන් 24150 ක් විය.

2002 වසරේදී එය යළිත් මෙටි‍්‍රක් ටොන් 34570 දක්වා ඉහළ ගියද 2007 වසරේදී මෙට්‍්‍රක් ටොන් 15250 දක්වාද පසුගිය වසරේදී (2008) එය මෙට්‍්‍රක් ටොන් 13840 ක් දක්වා පහත බැස්සේ යුද්ධයේ අනිටු විපාක ධීවර කර්මාන්තයට උරුම කර දෙමිනි.

වසර 2007 දී උතුරේ තිබූ ධීවර යාත‍්‍රා සංඛ්‍යාව 170 ක් වූ අතර වසර 2008 දී එය 509 ක් දක්වා ඉහළ ගියේය.

1993 වන විට යාපනය දිස්ති‍්‍රක්කයේ ධීවරයන් සතුව පිටත එන්ජින් සවිකළ ෆයිබර් ග්ලාස් ධීවර යාත‍්‍රා 1000 ක් තිබූ අතර වසර 2002 වන විට එම යාත‍්‍රා ප‍්‍රමාණය 1932 ක් විය. වසර 2007 දී එම යාත‍්‍රා සංඛ්‍යාව 4733 ක් දක්වා වැඩිවුවද, 2008 වසරේදී එම ප‍්‍රමාණය 2491 දක්වා අඩු වී ගියේ උතුරේ පැවැති තදබල යුද ගැටුම් නිසා ධීවර කර්මාන්තයට බාධා පමුණුවමිනි.

කට්ටුමරන්, වල්ලම් හා ඔරු ආදි සාම්ප‍්‍රදායික ධීවර යාත‍්‍රා භාවිතා කරන උතුරේ සාම්ප‍්‍රදායික ධීවරයන්ද යුද්ධය නිසා බොහෝ පීඩාවිදි අතර ඔවුන් නෙළාගන්නා මත්ස්‍ය අස්වැන්න නිසි ආකාරයෙන් අලෙවි කරන ගැනීමට හෝ පහසුකම් ද ඔවුනට නොවිණි.

කරුණු එසේ වුවද අද උතුරේ මෙන්ම නැෙඟනහිර ධීවරයන්ගේද කළ හොඳ වී තිබේ.

ආරක්ෂක අංශ මගින් මෙම ප‍්‍රදේශ මුදාගැනීමත් සමඟම උදා වූ යහපත් වාතාවරණය මත කි‍්‍රයාත්මක වන සංවර්ධන වැඩසටහන් හේතුවෙන් එම ප‍්‍රදේශවල ධීවර පූජාවට අලුත් හෙට දිනක් කෙරෙහි විශ්වාසය තබා ගැනීමට හැකි වී තිබේ.

විශේෂයෙන්ම උතුරේ ධීවර සංවර්ධනය සඳහා රජය කි‍්‍රයාත්මක කර ඇති “උතුරු වසන්තය” සංවර්ධනය වැඩපිළිවෙළ යටතේ ධීවර අමාත්‍යංශය කි‍්‍රයාත්මක කරන ව්‍යාපෘති කඩිනම් (කෙටි කාලීන) හා මධ්‍යකාලීන යනුවෙන් දෙවදෑරුම්ය.

දින 180 කඩිනම් වැඩපිළිවෙළ යටතේ සැළැසුම් ව්‍යාපෘති සඳහා රුපියල් දශලක්ෂ 821 ක මුදලක් වැයවන අතර මධ්‍යකාලීන වැඩපිළිවෙළ සඳහා රුපියල් දශලක්ෂ 1121 ක් වැයවෙතැයි ධීවර අමාත්‍යංශ වාර්තා කියයි.

දින 180 කඩිනම් සංවර්ධන වැඩපිළිවෙළ යටතේ උතුරේ වෙරළබඩ මිරිදිය හා කිවුල්දිය ධීවර කර්මාන්තය සඳහා අවශ්‍ය යාත‍්‍රා සහ දැල් ආම්පන්න ලබාදීම, හානියට පත් ධීවර යාත‍්‍රා පිළිසකර කර ගැනීම සඳහා මූල්‍යාධාර ලබාදීම, ධීවර නිෂ්පාදන අලෙවියට පාපැදි මෙවලම් ලබාදීම, ශීතාගාර පහසුකම් සැපයීම, මසුන් මිලදී ගැනීමේ තාවකාලික මධ්‍යස්ථාන හා අලෙවිසල් ස්ථාපිත කිරීම, ධීවර සමුපකාර සමිති ශක්තිමත් කිරීම, ධීවර කාන්තාවන් සඳහා වැඩසටහන් පැවැත්වීම සිදුකරමින් පවතියි.

දෑ අවුරුදු සැළැසුම හෙවත් දිගුකාලීන සැළැසුම් යටතේ ධීවර තොටුපොළ හා නැංගුරම්පොළ සංවර්ධනය, ධීවර වරායන් ස්ථාපිත කිරීම, නව තාක්ෂණයෙන් යුතු බහුදින ධීවර යාත‍්‍රා හඳුන්වාදීම, ධීවර සංගණනයක් පැවැත්වීම, උතුරේ ඉස්සන් වගාව දියුණු කිරීම, ධීවර හා නාවික ඉංජිනේරු පාසල ස්ථාපිත කිරීමටද පියවර ගෙන ඇත.

මෙම සැළැසුම් කි‍්‍රයාත්මක කිරීම තුළින් අවතැන් වූ ධීවර ප‍්‍රජාවගෙන් දළ වශයෙන් 45145 කට පමණ ජීවනෝපාය සැළසීමටද හැකිවනු ඇතැයි ධීවර අමාත්‍යංශය විශ්වාස පළ කරයි.

උතුරේ ධීවර කර්මාන්තය දියුණුවීම සමඟම දකුණට එන මත්ස්‍ය තොග වැඩිවීමත් මාළු මිල පහත බැසීමත් සිදුවෙයි. දකුණේ සංක‍්‍රමණික ධීවරයාට උතුරු නැෙඟනහිර මුහුදේ මසුන් මැරීමේ අවස්ථාව හිමිවීමත් සමගම ඇන්ටනිලා, ප‍්‍රනාන්දුලා, සෙල්ලයියලා තංගවේලුලා එකට එක්වී එක මවකගේ දරුවන් මෙන් තම ධීවර රැකියාවේ යෙදෙන හෙට දිනය වඩාත් සුන්දර වනු නොඅනුමානය.

ස්තුතිය ධීවර අමාත්‍යංශ ලේකම් ජී. පියසේන මහතාට

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා