මුද්‍රණය සඳහා

 
ආචාර්ය නීලන් තිරුචෙල්වම් මරා දමයි


 

මධ්‍යස්ථ මතධාරියකු ලෙස ගෞරවයට පාත‍්‍ර වූ කීර්තිමත් මිනිසා

ආචාර්ය නීලන් තිරුචෙල්වම් මරා දමයි

වාහන තදබදය අස්සේ පැමිණ මරාගෙන මැරෙයි

අසූව දශකයේ අග වන විට එල් . ටී. ටී. ඊ ය කළු ජූලිය සැමරීම ආරම්භ කර තිබුණි. මේ නිසා ප‍්‍රභූ ඝාතනයක් හෝ වෙනත් විනාශයක් ජූලි මාසයේ අසන්නට ලැබීම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබුණි. එහෙත් 1999 වර්ෂයේ ජූලි මාසය අවසන්වීමට ආසන්න වෙමින් තිබුණි.

එවැනි සිදුවීමක් පිළිබඳව අසන්නට ලැබුණේ නැත. විශේෂයෙන් ම මේ වන විට රටේ දේශපාලනයේ ප‍්‍රධාන මාතෘකාව වී තිබුණේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ දේශපාලන යෝජනාවලියයි.

යෝජනාවලිය සකස් කිරීමේ කටයුතු පැවැරී තිබුණේ අමාත්‍ය ජී.එල්. පීරිස් සහ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ මන්තී‍්‍ර ආචාර්ය නීලන් තිරුචෙල්වම් යන මහත්වරුන්ට ය.

සකස් කළ යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන කාලය පිළිබඳ මාධ්‍යයන් හි වාර්තා විය. ඒ අනුව අගෝස්තු මාසයේ බලය බෙදා හැරීමේ යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන ලකුණු පෙනෙන්නට තිබුණි.

මෙවැනි පසුබිමක් රටේ දේශපාලන ක්ෂේත‍්‍රයේ පවතින අතර තවත් එක් දවසක් ලෙසින් 1999 ජූලි 29 වෙනිදා උදා විය. සුපුරුදු පරිදි එදින ද ආචාර්ය නීලන් තිරුචෙල්වම් සිය කාර්යාලයට යාමට සූදානම් වෙමින් සිටියේ ය.

වෙලාව පෙරවරු 9.00 පමණ වන්නට ඇත.

රොස්මිඩ් පෙදෙසේ පිහිටි සිය නිවසින් තිරුවෙල්වම් මන්තී‍්‍රවරයා පිටත් වීමට සූදානම් විය. ඒ වන විටත් මන්තී‍්‍රවරයා ගේ 301 – 2811 දරන නිල් පැහැති නිසාන් රථයේ රියදුරු අසුනේ පද්මසිරි අසුන් ගෙන සිටියේ ය.

රථයේ පසුපස ආසනයට වම් පසින් ගොඩ වූ තිරුචෙල්වම් මහතා අසුන් ගත්තේ ය. ඒ සමඟ ම ප‍්‍රධාන ආරක්ෂක නිලධාරියා වූ පාරුක් ද ඉදිරිපස අසුනේ වාඩි වනවාත් සමඟ ම නිල රථය ඉදිරියට අදෙන්නට විය.

ආරක්ෂක ජීප් රථයක් ද තවත් ආරක්ෂක යතුරු පැදියක් ද පසු පසින් විය. වාහනය ඉදිරියට ඇදෙනවාත් සමඟ ම තී‍්‍රරෝද රථයක් මන්තී‍්‍රවරයා ගේ නිවස දෙසට පැමිණෙමින් තිබුණි.

දුර සිට ම තී‍්‍රරෝද රථය දෙස බලා සිටි මන්තී‍්‍රවරයා එහි සිටින්නේ තම හිතවතුන් දෙදෙනකු බව හැඳීන ගත්තේ ය. පසුව ඔවුන්ට නිවසට යන්නැයි කී ඔහු ’’යමු ‘’ කියා රියදුරුට කීවේ ඊළඟට ය.

ගෙවත්තෙන් එළියට බට රිය රොස්මිඩ් පෙදෙස දිගේ ඉදිරියට ඇදෙන්නට විය. වාහනය කිංසි පාරට හැරවීමට ආසන්න වෙමින් තිබුණි. එහෙත් සුපුරුදු තදබදය නිසා මන්තී‍්‍රවරයා රැගත් රථයට ඉදිරියට යාමට හැකියාවක් තිබුණේ නැත.

ආරක්ෂක ජීප් රථය පිටු පස්සෙන් තිබුණ ද ආරක්ෂක යතුරු පැදියට තිරුචෙල්වම් මහතා ගේ කාරය අසල ළංවීමට නොහැකි වූයේ ඒ නිසා ය.

අනතුරක ඉව

මේ අතර, හොන්ඩා “ඛ්90” වර්ගයේ පැරැණි යතුරු පැදියක් විජේරාම මාවත ඔස්සේ ඉදිරියට පැමිණෙමින් තිබුණි. යතුරු පැදියේ දෙදෙනකු වූ අතර එය පැදවූයේ කහ පැහැති කමිසයක් ඇද සිටි පුද්ගලයෙකි.

දුඹුරු පැහැති අත්දිග කමිසයක් ඇදගත් අයකු පිටුපස විය. වාහන තදබදය අස්සේ පැමිණි යතුරු පැදියේ පසු පස සිටි මිනිසා ඉන් බැසගත්තේ ය. බැලු බැල්මට වයස අවුරුදු 30 – 35 ක් අතර වියේ අයකු යැයි පැවසිය හැකි මොහු වාහන අස්සෙන් රිංගමින් තිරුචෙල්වම් මහතා ගේ වාහනය දෙසට කිට්ටු වෙමින් සිටියේ ය.

අතර මඟ එක් අවස්ථාවක දී මේ දුඹුරු පැහැති කමිසකාරයා වැටෙන්නට ද ගියේ ය. එයින් නොනැවතුණු ඔහු ටිකෙන් ටික වාහනය දෙසට ළං වෙමින් සිටියේ ය. මේ අතර වාහන තදබදය තරමක් අඩු විය.

රියදුරු කිංසි පාරට දැමීමට වාහනය ඉදිරියට ගන්නට සැරසුණි. විමසිලිමත්ව සිටි පසුපස ආරක්ෂක රථයේ සිටි පොලිස් නිලධාරියාට අනතුරක ඉව වැටුණේ මේ අතර ය. දුඹුරු පැහැ කමිසකාරයා මන්තී‍්‍රවරයාට කතා කිරීමට ඔහු සිටි කාරයේ දොර අසළට ළං විය. ඒ සමඟ ම

“ෆයර් ....ෆයර් ....” යනුවෙන් කියමින් ආරක්ෂක රථයේ සිටි පොලිස් නිලධාරියා වෙඩි තබන්නට පිස්තෝලය අතට ගත්තේ ය.

එම මොහොතේ ම ඇදගෙන සිටි කමිසය අස්සට අත දාගත් දුඹුරු කමිසකරුවා කාරයේ ගැටිණි.

පිපිරීමත් සමඟ ම ගිනි ජාලාවක් නිකුත් විය. වාහනය කුඩු පට්ටම් වී ගියේ ය. අසල සිටි පිරිස බිම අද වැටිණි. වාහනවල වීදුරු කැඩී බිඳී ගියේය. තිරුවෙල්වම් මහතා ගේ රියේ ගැටුණු මිනිසා ගේ හිස මීටර් 20 ක් පමණ දුරින් විජේරාම පාර දෙසට යන මාවත අසළ වැටී තිබුණි.

එක් පාදයක් කුඩුපට්ටම් වී ගිය නිසාන් රථය අසල වූ අතර අනික් පාදය කිංසි පාරේ වැටී තිබිණි. ඔහු ගේ කීතු කීතු වී ගිය සිරුරේ කොටස් අසළ බිම වැටී සිටි මිනිසුන් ගේ ඇඟවල් මත විසි වී ගොස් ය.

පිපිරීමත් සමඟම ‘’ඛ්90“ වර්ගයේ යතුරු පැදියේ සිටි කහ පැහැති කමිසයක් ඇද සිටි පුද්ගලයාගේ හිසට ද තුවාල විය. ප‍්‍රදේශය පුරා පැතිරි තිබූ දුමාරය අස්සේම.

’’ අයියෝ ..... අයියෝ ........ ‘’ කියමින් ඔහු ‘’ඛ්90 ‘’ යතුරු පැදියේ නැගී පලා ගියේ හිසෙන් ගලා යන ලේ පිළිබඳව ද නොතකමිනි.

ඒ සමඟ ම අසළ සිටි පිරිස් නීලන් තිරුචෙල්වම් මහතාට සිදු වූයේ කුමක් දැයි සොයා බලන්නට වූහ. නිසාන් රථය අසළට ගිය ඔවුනට දැක ගත හැකි වූයේ පසුපස ආසනයේ දකුණු පසට විසි වී සිටි තිරුචෙල්වම් මහතා ය. ඔහු ගේ හිස කැබලි වී ගොස් තිබෙන දුටු බොහෝ දෙනෙකුට ‘’අනේ අපොයි’’ කියැවුණේ ඉබේ ම ය.

ආචාර්ය නීලන් තිරුචෙල්වම් යනු අන්තර් ජාතිකව විශාල කීර්තියක් ලබා සිටි මෙරට බුද්ධිමතෙකි. 1944 ජනවාරි මස 31 වෙනි දින කොළඹ දී උපත ලබන නීලන් තිරුචෙල්වම් මහතා කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවෙකි.

 ඔහු ගේ පියා වූ මුරගේසු තිරුචෙල්වම් මහතා 1965 – 1970 ඩඩ්ලි සේනානායක මහතා ගේ ආණ්ඩුවේ පළාත් පාලන අමාත්‍යවරයා ය. 1960 දශකයේ මුල් භාගයේ දී ශිෂ්‍යයකු ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නීති පීඨයට ඇතුළත් වන හෙතෙම 1966 දී නීතිය පිළිබඳ උපාධිය ලබා ගත්තේ ය.

පසුව එම විශ්වවිද්‍යාලයේ ම කථිකාචාර්යවරයකු වශයෙන් ද සේවය කරන තිරුචෙල්වම් මහතා 1969 දී නීතිඥයකු වශයෙන් කටයුතු ආරම්භ කළේ ය. 1971 – 73 කාලයේ දී සිය පියා ගේ කණිෂ්ඨ නීතිඥවරයා ද වූයේ නීලන් තිරුචෙල්වම් ය.

මේ අතර ම පුල් බ‍්‍රයිට් ශිෂ්‍යත්වයක් ලැබූ ඔහු අමෙරිකාවේ හාවර්ඩ් සරසවියෙන් නීතිය පිළිබඳ ශාස්ත‍්‍රපති උපාධියද ලැබුවේ ය. එයින් නොනැවතී හාවර්ඩ් විශ්වවිද්‍යාලයෙන් ම ආචාර්ය උපාධියක් ද ලබා ගත් තිරුචෙල්වම් මහතා හාවර්ඩ් සරසවියෙන් නීතිය පිළිබඳ ආචාර්ය උපාධිය ලබාගත් ප‍්‍රථම ශ‍්‍රී ලාංකිකයා බවට ද පත් විය.

ව්‍යවස්ථා නීතිය පිළිබඳ ප‍්‍රාමාණික බුද්ධිමතකු වූ ඔහු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලවල ද කටයුතු කළේ ය. ඉතියෝපියාවේ ව්‍යවස්ථා සම්පාදන කටයුතු අධීක්ෂණ මණ්ඩලයේ ද සාමාජිකයෙකු විය.

 චිලී, හංගේරියාව, බංගලිදේශය, පකිස්ථානය, වැනි රටවල් ගණනාවක ම අන්තර්ජාතික කටයුතුවලට ද සහභාගි විය. තව ද දකුණු අපි‍්‍රකාවේ සාමය තහවුරු කිරීමේ වැඩපිළිවෙළට ද සම්බන්ධ වී කටයුතු කළේ ය.

1983 දී ඇති වූ කළු ජූලියේ ප‍්‍රතිඵලයක් වශයෙන් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණෙන් පාර්ලිමේන්තුවට පිවිසීමට ඔහුට අවස්ථාව උදා විය. තිරුචෙල්වම් මහතා ඒ වන විටත් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ දේශපාලනය තුළ සැඟවුණු බුද්ධිමතකු ගේ කාර්ය ඉටු කරමින් සිටියේ ය.

ඔහු සමඟ සිටි අනික් පුද්ගලයා වූයේ චෙල්වනායගම් මහතා ගේ බෑනණුවන් වූ මාහාචාර්ය ඒ. ජේ. විල්සන් මහතා ය. ඔවුන් 1977 වර්ෂයේ දී නව ව්‍යවස්ථාව සැකසීම සඳහා එක්සත් ජාතික පක්ෂයට සහයෝගය ද ලබා දී තිබුණි. 1981 දී දිස්ති‍්‍රක් සංවර්ධන මණ්ඩල ඇති කිරීමේ දී ද මුල් වී තිබුණේ මේ දෙපොල ය.

මානුෂික ගුණය

ආචාර්ය නීලන් තිරුචෙල්වම් මහතා දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ සිටි උගතකු හා බුද්ධිමතකු විය. එහෙත් ඒ උගත්කම බුද්ධිය ඉක්මවා ගිය මානුෂික ගුණයක් ඔහු තුළ පැවැතිණි.

විශේෂයෙන් ම ඔහු මෙරට සිංහල - දෙමළ ජනතාව අතර ඇති වී තිබූ දුරස්ථභාවය අඩු කිරීමටත් සමඟිය නංවාලීමටත් කටයුතු කළේ එහෙයිනි. ඉතිහාසයේ ඛේදනීය සිදුවීමක් වූ කළු ජූලිය සම්බන්ධයෙන් ඔහු මහත් කනගාටුවට පත්ව සිටියේ ය.

මෙරට පැවැති අර්බුදය සඳහා සාකච්ඡාමය කි‍්‍රයාමාර්ගයක් තුළින් එකඟත්වයකට පැමිණීම ඔහු වඩාත් අගය කළේ ය. තිරුචෙල්වම් මහතා 1994 ජනාධිපතිවරණයේ දී ගාමිණි දිසානායක මහතා විසින් ඉදිරිපත් කළ බලය බෙදාහැරීමේ යෝජනාවලිය සහ වඩාත් අර්ථවත් කර ගැනීමට සහය දෙනු ලැබුයේ ද ඒ නිසා ය.

ඉන් පසුව පොදුජන එක්සත් පෙරමුණ ගෙන ඒමට බලාපොරොත්තු වූ දේශපාලන යෝජනාවලිය සැකසීමටත් එය ඉදිරියට ගෙන යාමටත් සහාය ලබා දෙන්නේ ද ජාතීන් අතර සමඟිය ඇතිකිරීමට එයින් ලබාගත හැකි පිටිවහල නිසා ය. එම යෝජනාවලිය සැකසුණේ ද මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සහ නීලන් තිරුචෙල්වම් මහත්වරුන් ගේ ප‍්‍රධානත්වයෙනි.

ඉදිරිපත් වීමට නියමිතව තිබූ ඒ යෝජනාවලිය දෙමළ ජනතාවට වඩාත් සමීප වනු ඇති බවට ඔහු තුළ විශ්වාසයක් තිබුණි. මේ නිසා ම මුල සිට ම ඔහු පොදු පෙරමුණ ආණ්ඩුව සමඟ සමීපව සිටියේ ය.

එමෙන් ම ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පිළිබඳව ද ඔහු ගේ තිබුණේ දැඩි විශ්වාසයකි. මෙසේ පොදු පෙරමුණට සමීප වීම නිසා ඔහු දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ තුළ ද යම් අර්බුදවලට ලක් වී සිටියේ ය.

පොදු පෙරමුණ හරහා ඉදිරිපත් වී තිබෙන යෝජනාවලියෙන් දෙමළ ජනතාව ගේ ප‍්‍රශ්න විසඳෙන බවට ඔහුතුළ තිබූ විශ්වාසයට ඔහු ගේ පක්‍ෂයේ ම බොහෝ පිරිසක් එකඟ වූයේ නැත.

ඔවුන් සිටියේ ඉදුරා ම වෙනස් මතයක ය. එහෙත් නීලන් තිරුචෙල්වම් මහතා යෝජනාවලිය කෙරේ දැඩි විශ්වාසයක් තබා කටයුතු කරන්නට විය. මේ නිසා පක්‍ෂයේ අභ්‍යන්තර මතයන් ඔහු සැලකිල්ලට නොගෙන තිබුණි. එල්. ටී. ටී. ඊ. ය ද මේ යෝජනාවලියට එකඟ කරවා ගත හැකි බවට ඔහු තුළ විශ්වාසයක් තිබුණි.

යෝජනාවලිය

”අපි උත්සාහ කළොත් ඒක අසාර්ථක වෙන එකක් නැහැ” එල්. ටී. ටී. ඊ. ය දේශපාලන යෝජනාවලියට සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන් ලබා දුන්නේ එවැනි පිළිතුරකි.

”සිංහල රජයත් දෙපාරක් මේ සඳහා උත්සාහ ගත්තා. පෙ‍්‍ර්මදාස ජනාධිපතිතුමා ගේ කාලයේ දී හා චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය යටතේ මේවා සිදුවුණත් ඒ සෑම අවස්ථාවක දී ම සාමය කඩ වුණා.

එහෙම සිදු වුණේ පාර්ශවයන් දෙක ම එකිනෙකා විශ්වාස නොකළ නිසයි. නමුත් එහෙම වුණායි කියලා අපි අධෛර්යමත් විය යුතු නැහැ. ලෝකයේ සමහර රටවල් මීට වඩා දරුණු ප‍්‍රශ්න සාමකාමී මාර්ගයෙන් විසඳ්‍රගෙන තියෙනවා. ඒ නිසා සාකච්ඡාව සඳහා තිබෙන ඉඩකඩ සහමුලින් ම වසා දැමිය යුතු නැහැ” යි ඔහු කීවේ ය.

එහෙත් එල්. ටී. ටී. ඊ. යට තිබුණේ වෙන ම අභිලාෂයකි. ඔවුන්ට පොදු පෙරමුණ ගෙන එන යෝජනාවලියට එකඟ වීමේ අවශ්‍යතාවක් තිබුණේ නැත. ඔවුන්ට අවශ්‍යව තිබුණේ වෙන ම ඊළාම් රාජ්‍යයක් ලබා ගැනීම ය. එමෙන් ම මේ යෝජනාවලිය දෙමළ ජනතාව පිළිගතහොත් තමනට තර්ජනයක් වන බව ද එල්. ටී. ටී. ඊ. ය තේරුම් ගත්තේ ය.

මේ අතර ආණ්ඩුව ද අගෝස්තු මාසයේ දී යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ප‍්‍රකාශ කළේ ය. මේ නිසා යෝජනාවලිය සකස් කිරීමට මුල් වූ නීලන් තිරුචෙල්වම් මහතා කොටින් ගේ ඉලක්කයක් බවට පත්ව තිබුණේ ය.

මෙහි දී ඔහු ගේ ආරක්‍ෂාව පිළිබඳව සැලකිලිමත් වන ලෙසට ආරක්‍ෂක අංශ තිරුචෙල්වම් මහතාට උපදෙස් ලබා දුණි. විටින් විට ගමන් මාර්ග වෙනස් කරන ලෙසට ආරක්‍ෂක අංශ ඔහුට කීහ. එහෙත් ඔහු ඒ පිළිබඳ තැකීමක් කළේ නැත. තවත් වරෙක ප‍්‍රකාශයක් කළ තිරුචෙල්වම් මහතා;

”මාව ඝාතනය කරන්න එල්. ටී. ටී. ඊ. ය කවදාවත් මරාගෙන මැරෙන කොටියකු යොදා ගන්නේ නැහැ. ඔවුන් කවදා හරි දවසක මට වෙඩි තබාවි. මාව මරන්න මරාගෙන මැරෙන කොටියකු යොදවන්නේ නැතිව රටට විශාල හානියක් කරන්න ඔහුව යොදා ගනීවි.”

දේශපාලන විසඳුම

ඔහුද ප‍්‍රකාශ කළ පරිදි එල්. ටී. ටී. ඊ. යට අවශ්‍යව තිබූ විශාල ම විනාශය තිරුචෙල්වම් මහතා ඝාතනය කිරීම වන්නට ඇත. ඒ ඔහු ගේ සහයෙන් සැදුනු යෝජනාවලිය කි‍්‍රයාත්මක වී ජනතාව ගේ විශ්වාසයට පත්වුවහොත් එයින් කොටින්ට සිදුවන හානිය විශාල නිසා ය. කොටින් දෙමළ ජනතාව ගේ එක ම නියෝජිතයාය යන ලේබලය ද ගැල වී යනු ඇත.

තව ද දෙමළ දේශපාලනය තුළ කොටින් ගේ මතයට හැර වෙනත් මතයකට ඉඩ නැති බව පෙන්වීමට ද කොටින්ට අවශ්‍යතාව තිබෙන්නට ඇත. මෙවැනි හේතු නිසා කොටි ත‍්‍රස්තවාදීන් නීලන් තිරුචෙල්වම් මහතා ඝාතනය කිරීමට තීරණය කිරීමට බලපාන්නට ඇත.

ඒ කිසිවක් පිළිබඳ වැඩි අවධානයක් යොමු නොකළ තිරුචෙල්වම් මහතා අගෝස්තු මාසයේ යෝජනාවලිය පාර්ලිමේන්තුවට එනතෙක් බලා සිටියේ ය. ඒ අනුව දේශපාලන විසඳුමකින් ප‍්‍රශ්නය විසඳෙනු ඇතැයි ඔහු සිතුවේ ය.

ඒ අතර ම ඔහු තවත් අපේක්‍ෂාවකින් සිටියේ ය. වසර අවසාන වන විට දේශපාලනයෙන් ද, රටින් ද සමුගෙන විදේශ ගතවන්නට ය. ඒ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ තනතුරක් සඳහා ය.

එහෙත් ඒ සියල්ලට ම පෙර මරුවා ඉදිරියට පැමිණියේ මධ්‍යස්ථ මතධාරියකු වූ ආචාර්ය නීලන් තිරුචෙල්වම් මරා දමමිනි. ඔහු එල්. ටී. ටී. ඊ. ය විසින් මරා දැමූ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ පස්වන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයා ද විය.

මඩු පල්ලියට පහර දෙයි - හෙට ‘දිනමිණ’ කියවන්න


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2008 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]