මවුපියන් ජීවත්ව සිටින තුරු දේපළවලට

මවුපියන් ජීවත්ව සිටින තුරු දේපළවලට
අයිතිවාසිකම් කියන්න දරුවන්ට අයිතියක් නෑ

විත්තිකරුවකුට තරයේ අවවාද කරමින් මිනුවන්ගොඩ මහේස්ත‍්‍රාත් කියයි

කසාදයක් බඳින කාන්තාව සහ පිරිමියා හොඳින් අවබෝධ කරගත යුත්තේ විවාහ වි ජීවත් වන්නේ කොහොමද කියන එකයි. මවුපියන්ගේ දේපළ තිබුණු පලියට විවාහ වෙලා ඔවුන්ට කරදර කරනවා නම් එය වැරැදි වැඩක්.

දරුවන් හැටියට දේපළවලට අයිතිවාසිකම් කියන්න ඔවුන් ජීවත්ව සිටිනතුරු අයිතියක් නැතැයි මිනුවන්ගොඩ මහේස්ත‍්‍රාත් ඛේමා ස්වර්ණාධිපති මහත්මිය අධිකරණයේ පැවති නඩුවකදී පැවැසුවාය.

මහේස්ත‍්‍රාත්වරිය එසේ පවසන ලද්දේ සිය පියාගේ දේපළවල උරුමය පෙන්වා සිය මවට කරදර කිරීමක් සම්බන්ධව රක්‍ෂිත බන්ධනාගාරයේ සිටි පුද්ගලයකු අමතමිනි.

එම පුද්ගලයාට පියාගේ හෝ මවගේ පාර්ශ්වයේ කිසිවකු ඇප තැබීමට නොඑන බැවින් රක්ෂිත බන්ධනාගාරගතව සිටින බවත් බිරියට හෝ බිරියගේ පාර්ශවයෙන් අයෙකුට ඇප තැබීමට අවස්ථාව සලසන ලෙසත් විත්තිකරු අධිකරණයෙන් ඉල්ලීමක් කෙළේය.

ඒ අවස්ථාවේ පැමිණි ඔහුගේ බිරිය අමතා අවවාද කළ මහේස්ත‍්‍රාත්වරිය ගැහැනියක් පිරිමියකු එක්ක විවාහයකට යද්දී පළමුවෙන් සොයා බැලිය යුතු එකම කරුණ මොහු හා ගත කරන ජීවිතය මට ගෙවා ගන්න පුළුවන්ද බැරිද යන්නයි.

පිරිමියෙක් බැලිය යුත්තේ මට මේ ගැහැනියට කන්න අඳින්න දෙන්න පුළුවන්ද ජීවිතේ ගෙන යන්න පුළුවන්ද කියන එකයි. එසේ නැතිව මවුපියන්ගේ දේපළ බලාගෙන පවුල් කන්න බැහැ.

මවුපියන් ඉන්නා තුරු ඔවුන්ට සලකාගෙන හිටියොත් ඔවුන්ගේ උරුමය දෙන්න පුළුවන්. එසේ නැතිව පිට අයට දුන්නොත් නීතියටවත් කරන්න දෙයක් නැහැ. අපි කවුරුවත් දේපළ උරුම කරගෙන ඉපදිලා නැහැ. අපි ඉගෙනගෙන දෑතේ වෙර වීරියෙන් තමයි ඒ දේ හරි හම්බ කළ යුත්තේ.

මවුපිය උරුමයෙන් ලැබෙන දේ බලහත්කාරයෙන් ගන්න බැහැ. ඒ නිසා යමක් ලැබෙනවා නම් ලැබෙන තුරු ඉවසා කටයුතු කිරීම මිස ඔවුන් පන්නා දමා බලහත්කාරකම් කිරීම නොවන බවද මහේස්ත‍්‍රාත්තුමිය පැවසුවාය.

විත්තිකරු වෙනුවෙන් නීතිඥ සරල කරුණාරත්න මහතා පෙනී සිටියේය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා